බැංකුව උඩට වැටුණු දිවුල් ගෙඩිය | සිළුමිණ

බැංකුව උඩට වැටුණු දිවුල් ගෙඩිය

ල් අත්ත මතට දිවුල් ගෙඩිය වැටුණු කල්හි නින්දෙන් අවදි වී බලවත් සේ බියට පත් වූ හාවා ලෝක විනාශය පටන්ගෙන ඇති බව කියමින් වනාන්තරය දිගේ දිව ගියද කිසිවක් සිදුවී තිබුණේ නැත. හැබැයි හාවාගේ පණිවිඩයෙන් කලබලයට පත් සෙසු වන සත්තු ලෝක විනාශ පුවත දසත පතුරවමින් හාවාට වඩා වේගයෙන් දිව ගියහ. පසුගියදා දින 5 ක් තිස්සේ බැංකු වසා දමන ලද විට ඉන් බියට පත් විපක්ෂයේ රැළ බැංකු කඩා වැටෙනු ඇති බව කියමින් රට පුරා දුවන්නට පටන් ගත්තේය. සජබ ද හෙලිකොප්ටරයද වෙන වෙන පුංචි පුංචි පක්ෂ කෑලි ද මේ රේස් එකට එකතු වූහ.

දවස් 5 අවසන්වී බැංකු අැරුණු විට කිසිදු බැංකුවක් බිමට සමතලාවී නැති බව ජනතාවට පෙනී ගියේය. බැංකු වසා තබන ලද දින 5 තුළ පවා එදිනෙදා ගනුදෙනු ඩෙබිට් කාඩ් හරහා කර ගැනීමට ජනතාවට හැකි විය. බැංකු ඇරුණු පසු කොටස් වෙ‍ෙළඳපොළ ඉහළටම නැංගේය. රුපියල තවදුරටත් ශක්තිමත් වූ අතර, බැංකු වහන තුරු නඟිමින් තිබූ ඩොලරය ආපසු බිමට බහින්නට පටන් ගත්තේය. ආණ්ඩුව විසින් ඉතා සාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන ලදී. ඊළඟට මහ බැංකුව විසින් පොලී අනුපාත අඩු කරන ලදී. මේ වන විට මහ බැංකුව සටන් කරන්නේ බැංකු කඩා වැටීම ගැන නොව අඩු කළ පොලී අනුපාතවල සහනය ජනතාවට ලබාදීම සඳහාය. සාමාන්‍යයෙන් ප්‍රයිවට් බැංකු කෙසේ වෙතත් කිසිදු ෆිනෑන්ස් කොම්පැනියක් පොලී අනුපාත අඩු කරන්නේ නැත. ඔවුන්ගේ එකම කටයුත්ත වී ඇත්තේ ආණ්ඩුවේ නියෝගවලට පයින් ගසා ඒවා කුඩු කරමින් වාහන උස්සා ගෙන යාම පමණි. ෆිනෑන්ස් කොම්පැනි සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නා ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලමු. නැතහොත් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම ජනතාව භාර ගන්නවා ඇත. මෙයට කලකට පෙර ග්‍රීසියේ ආර්ථිකය කඩා වැටුණු විට ඒ රටේ ෆිනෑන්ස් කොම්පැනි ද හැසිරුණේ ලෝක විනාශය සිදු වූ සේ ය. ඒ වෙලාවේ ග්‍රීසියේ ජන ජීවිතයේ පාලනය ආණ්ඩුව වෙතින් ගිලිහී තිබුණි. එයට හේතුව රටේ මිනිසුන්ට කන්න දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ධනවත් රටවල් පසුපස දිවයාමට ආණ්ඩුවට සිදුවීමය. මේ නිසා ෆිනෑන්ස් කොම්පැනි සම්බන්ධයෙන් නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම ඉතා අවාසනාවන්ත ලෙස ජනතාව අතට පත් විය. එතැන් සිට කුමක් සිදුවී දැයි මේ කතුවැකියේ සඳහන් කිරීමෙන් අපි වළකිමු. ඇත්තෙන්ම ග්‍රීසියේ තිබූ ප්‍රශ්නයෙන් දාහෙන් එකක්වත් අද මේ රට තුළ නැත. එබැවින් අනවශ්‍ය ගිනි ඇවිළීම් ඇති නොකිරීමේ ජනතාවාදී ප්‍රතිපත්තියට ගරු කිරීමට අපට සිදුව තිබේ.

අපට නොතේරුණාට ලංකාව තුළ ලොකු සමාජ ප්‍රශ්නයක් තිබේ. එනම් මේ රටේ අති බහුතර දෙනා ආර්ථික විද්‍යාඥයන් වීමය. එසේම අති බහුතර දෙනා දේශපාලනඥයෝ ද, දාර්ශනිකයෝ ද වෙති. ඊට අමතරව සමහර අවස්ථාවලදී මේ රටේ සියලුම දෙනාට චේ ගුවේරා වීමට උවමනා වෙයි. මේ ආර්ථික විද්‍යාඥයන්ගේ ආර්ථික පුරෝකතන අරාබි නිසොල්ලාසයේ කතන්දර හා සමානය. පියාඹන කාපට්වල නැඟී ගමන් බිමන් යන කුමාරවරුන් ගැන ද යකා නිදාගෙන සිටින විට උගේ කටට අත දමා පෙම්වතිය රැගෙන පැන දුවන පෙම්වතුන් ගැන ද අරාබි නිසොල්ලාසයේ සඳහන්ය. මේ රටේ සිටින ව්‍යාජ අර්ථ ශාස්ත්‍රඥයන්ගේ (Tsudo Economist) පුරෝකථන අප විසින් පිළිගන්නා ලද්දේ නම් ජනතාවගෙන් භාගයක්ම සියදිවි නසාගන්නවා ඇත. මන්ද යත් ඔවුන් හැමදාමත් කියන්නේ ඊළඟ වේලට කන්නට පෙර රට කඩා වැටෙන බවය.

රෝම අධිරාජ්‍යය පැවති සමයේදී මෙවැනි එක්තරා මෝඩ දාර්ශනිකයෙක් සිටි බව කියනු ලැබේ. එකල රෝමය පෞර රාජ්‍යය සමූහයකි. මේ කියන දාර්ශනිකයා හෙට ලෝක විනාශය සිදුවන බව හැම දවසකම කීවේය. ඒ නිසා ජනයා තමන් අත ඇති සියලු ධනය විනාශ කරගනිමින් කා බී විනෝද වූහ. ටික කලක් යන විට මේ මෝඩ දාර්ශනිකයා නිසා තමන් හිඟමනට වැටෙන බව ජනතාවට තේරුම් ගියේය. දිනක් දාර්ශනිකයා අල්ලාගත් ජනතාව ඔහුට හොඳටම පහර දුන්නේය. එදා සාමාන්‍ය ජනතාවගේ ලෝකය විනාශ නොවූ නමුත් අර්ථ ශාස්ත්‍රඥයාගේ ලෝකය විනාශ වී හේ මරු දුටුවේය.

කට යනු කිසිදු පාලනයකින් තොර ඉන්ද්‍රියකි. මේ අවයවයට සමාන අනෙක් අවයවය වන්නේ සමාජ මාධ්‍යයයි. මේ දෙක යම් තරමකින් හෝ පාලනය කර ගත හැකි නම් ප්‍රජාතන්ත්‍රවාදයට ජයග්‍රහණය හිමි වේ. හැබැයි මේ දෙක පාලනය කිරීමට යාමේදී ජනතාවගේ ප්‍රකාශන නිදහස පෑගෙන බව කියමින් ඇතැම්හු නටති. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ජනතාව සතුය. හැබැයි එම නිදහස් අදහස් රට තුළ ගිනි අවුළුවන ආර්ථිකය වනසන සමාජයට කෙළවන අදහස් නම් එම අදහස් ප්‍රචාරය කරන වුන් අල්ලා කටේ කිරි මැටි එබිය යුතු බව කිසිවකු විසින් යෝජනා කරනු ලැබීමට ඉඩ තිබේ. එහෙත් කායික තාඩන පීඩනවලට තරයේ විරුද්ධ මේ පුවත්පත එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කරන්නේ නැත.

මේ රට මේ මොහොතේදී ඇත්තේ ආර්ථික අවපාතයකින් ගොඩ එමිනි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ රට තුළ පැවති දූෂණය සහ ප්‍රචණ්ඩ ක්‍රියා ද කොරෝනා වසංගතය ද නිසා රනිල් වික්‍රමසිංහ විසින් භාර ගන්නා ලද්දේ හිස් භාණ්ඩාගාරයකි. හිස්ව තිබෙනවා මදිවාට ඒ භාණ්ඩාගාරයේ දොර ජනෙල් සියල්ල ඇර දමා තිබිණ. ඒ දොරවල් ජනෙල් වසා අගුලු දැමීමට නොහැකි විය. එයට හේතුව එම අගුල්වල යතුරු ආර්ථික කුඩුකාරයන් විසින් පිත්තල බරට විකුණා එම මුදලෙන් කුඩු ගසා තිබීමය. එබැවින් රනිල් වික්‍රමසිංහ රට භාර ගත් පසු දොරේ යතුරේ සිට සියල්ලම අලුතෙන් තැනීමට සිදු විය. ඉතා කෙටි කාලයක් තුළ එම යතුරු සාදා ගැනීමටත් නැවත වතාවක් විදේශ විනිමය එකතු කර භාණ්ඩාගාරයට දමා ගැනීමටත් ජනාධිපති වික්‍රමසිංහට හැකි විය. අරගල සමයේදී දිගටම උඩට ගොස් රුපියල් 400 ඉක්මවා සිටි අමෙරිකන් ඩොලරය බැංකුවේ මිලට වඩා අඩු මිලකට එනම් රුපියල් 303 ට බ්ලැක් මාර්කට් එකෙන් ලබා ගැනීමට අද අපට පුළුවන. මේ ගැන විස්තර කිරීමට කතුවැකි දහස් ගණනක් ලිවීමට සිදු වනු ඇත. එබැවින් අදට මෙය මෙතෙකින් නවත්වනු ලැබේ.

Comments