අංකවලින් අනාවැකි පළ කළ ලුයිස් හැමෝන් සිටුවරයාගේ අභිරහස් වැඩ | සිළුමිණ

අංකවලින් අනාවැකි පළ කළ ලුයිස් හැමෝන් සිටුවරයාගේ අභිරහස් වැඩ

සංඛ්‍යා විද්‍යාව හා වෙනත් අනාවැකි පැවසීම සම්බන්ධයෙන් එක්වරම අප සිහියට එන්නේ චෙයිරෝ නමැති නාමයයි.සංඛ්‍යා විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු ලෙස ප්‍රසිද්ධ වූ හෙතෙම එංගලන්තයේ ලුයිස් හැමෝන් සිටුවරයා ලෙස ද හැඳින්වේ.

ලුයිස් හැමෝන් සිටුවරයා සංඛ්‍යා විද්‍යාව පමණක් නොව ගුප්ත විද්‍යාව ප්‍රගුණ කළ අයෙකු වූ අතර එම ගුප්ත කටයුතු යොදා රෝගීන් සුවපත් කිරීම පිළිබඳව ද ප්‍රසිද්ධියක් ලැබූ අයෙකු විය‍. ඔහු විසින් සුවපත් කරනු ලැබූ රෝගීන් ගෙන් නොයෙකුත් අගනා තෑගි ඔහුට ප්‍රදානය කිරීම සාමාන්‍ය කරුණක් විය.

1819 වසරේ හැමෝන් සිටුවරයා ඉහළ ඊජිප්තුවේ ලක්සෝර් ප්‍රදේශයට ගිය අවස්ථාවේ දී මැලේරියාවෙන් අතිශයින් අමාරු තත්ත්වයක සිටි ෂෙයික් වරයකු සුවපත් කෙළේය.

නිරෝගී සුවය ලැබූ ෂෙයික්වරයා කෙතරම් සතුටට පත් වී ද යත් පරම්පරා ගණනාවක් තිස්සේ උරුමව තිබූ වස්තුවක් හැමෝන්ට ප්‍රදානය කෙළේය. එය මරණයට පත් වී මමියක් බවට පත් කරනු ලැබූ ඊජිප්තු කුමරියකගේ කපා හෙළන ලද අතකි.

ජුගුප්සා ජනක වූ මේ ත්‍යාගය ප්‍රතික්ෂේප කළ නමුත් ෂෙයික් වරයා ගේ බලකිරීම නිසා මැලිකමින් වුව ද එය බාරගැනීමට හැමෝන් කැමති විය.වේලී ගිය එසේම රැළි ගැසී තිබූ මේ අත් කැබල්ල එංගලන්තයේ කෞතුකාගාරයකට දීම අරමුණු කරගත් නමුත් එය බාර ගැනීමට කිසිවකු එකඟ නොවූ නිසා සිටුවරයාත් සිටුදේවියත් එම අත්කැබැල්ල විශාල පෙට්ටියක දැමූහ.

මේ අප්‍රිය ජනක අත්කැබැල්ල අයත් ව තිබූණේ 'ටුටන් කාමන්' පාරාවෝ රජුගේ මාමණ්ඩිය වූ ඊජිප්තුවේ රජ කළ අක්මටෝන් රජුගේ දියණියටයි.මිථ්‍යා අදහස්වලින් අවුල් වූ සිතකින් යුතුව ක්‍රියා කළ රජතුමාත් ඔහුගේ දියණියත් අතර ආගමික කරුණක් මත ගැටුමක් ඇති වූ අතර එයින් උරණ වූ රජතුමා ආගමික පූජකවරුන් ලවා තම දියණිය දූෂණය කරවා මරා දැමුවේ ය‍.ඉන් පසුව ඇයගේ අතක් කපා "රජුගේ මිටියාවත" යනුවෙන් හඳුන්වනු ලබන ප්‍රදේශයට රහසින් ගෙන ගොස් වළ දමන ලදී.

මේ අත් කැබැල්ල හැමෝන් විසින් සුරක්ෂිතව තිබූ අතර 1922 ඔක්තෝබර් මාසයේ දිනක තම බිරිඳ සමඟ එය බහා තිබූ පෙට්ටිය විවෘත ‍කළේ 'මමි 'තත්ත්වයේ තිබූ අත් කැබැල්ල දිරා ගොස් ඇතැයි යන අදහස ඇතිව ය.

එහෙත් ඔවුන්ට දක්නට ලැබුණේ පුදුම සහගත දසුනකි.එනම් වේලි ගොස් තිබූ අත් කැබැල්ලේ මස් ලියලා ප්‍රකෘති තත්ත්වයට පත් ව තිබීමයි. පණ ඇති අතක පවතින මෘදු බව ද ඒ අයුරින්ම තිබිණි.

එය දු‍ටු හැමෝන්ගේ සිටු දේවිය බෙරිහන් දෙමින් ඇද වැටුණා ය.ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනාම තීරණය කළේ මේ අත්භූත අත්කැබැල්ල විනාශ කර දැමීමටයි.

එහෙත් කුමරියකගේ අත් කොටසක් බැවින් එයට නිසි ගෞරව සහිතව අවමඟුලක් ලබාදීමට ඔවුහු තීරණය කළහ.ඒ අනුව ඔක්තෝබර් 31 දින රාත්‍රියේ ගිනි උදුන අසළ කුමරියගේ අත්කොටස ළංකොට ඊජිප්තුවේ අවමඟුලකදී කියවනු ලබන "මරණයේ ග්‍රන්ථයෙන් කොටසක් හැමෝන් විසින් හඬ නගා කියවන්නට විය.එසැනින් මහ පිපිරුමක හඬක් ඔවුන් ‍ට ඇසිනි.මුළු පලාතම දෙදරන්නාක් මෙන් වෙව්ලන්න‍ට විය. මුළු නිවෙසම එම දෙදරීමට හසුවී ඇත්තාක් මෙන් ඔවුන්ට දැණින. මුළු නිවෙසම කෑලි කැපිය හැකි අන්ධකාරයකින් වැසී ගියේ ය. හැමෝන් යුවල බයින් බිරාන්තව බිම ඇද වැටී ඊළඟට කුමක් සිදුවේදැයි සිතමින් සිටියදී හිටි හැටියේම ආලෝක ධාරාවක් තුළින් සුරූපී කාන්තාවක් මතුවිය. ඇය තරුණ කාන්තාවකි.ඇය පාරාවෝ කුමරියන් පළඳින අයුරින් සැරසී සිටි අතර හිස මත නයිපෙනයක් සහිත ඔටුන්නක් තිබිණ. හැමෝන් යුවලගේ අවධානය එකිනෙහිම යොමු වූයේ එක් අතක් කැපී ගොස් තිබූ අන්දමයි.

මේ හොල්මන් කාන්තාව ගිනි උදුන අසළ තිබූ අත් කැබැල්ල වෙත නැඹුරු වී එය අනෙක් අතින් ගෙන එතැනට පැමිණි අයුරින්ම අතුරුදන් වී ගියා ය.නැවත අඳුර පැතිර ගියේ ය. ලොමු දැහැ ගන්වන අත්දැකීමෙන් බියට පත්ව සිටි හැමෝන් සිටු යුවළ වහාම රෝහල් ගත කරන ලදී.

මෙසේ රෝහල් ගත වී සිටියදී හැමෝන්ට ඔහු‍ගේ මිතුරෙකු වන සුප්‍රකට පුරා විද්‍යාඥයෙකු වන කානාර්වෝන් සාමිවරයා ටුටන් කාමන් පාරාවෝ රජුගේ සොහොන් ගවේෂණයට ලක් කිරීමට සැරසෙන බව දැන ගැනීමට ලැබිණ.ඒ සඳහා පුරා විද්‍යාඥයින් රැසකගේ සහාය කානර්වොන් සාමිවරයාට ලැබී තිබිණ.

එහෙත් හැමෝන් සිටුවරයා මේ ගවේෂණයට තදින් විරුද්ධ බව ප්‍රකාශ කරමින් ඔහුත් ඔහුගේ බිරියත් මුහුණ පෑ භයානක අත්දැකීම සවිස්තරව ලියා කානර්වෝන් සාමිවරයා වෙත ලිපියක් යැවී ය.දෙවියන්ගේ නාමයෙන් මේ භයානක කටයුත්තට අත නොගසන ලෙස හැමෝන් සිටුවරයා අයැද සිටි නමුත් ගවේෂණය ඒ අයුරින්ම සිදුවිය.කානර්වෝන් සාමිවරයා ඇතුළු පිරිස ටුටන් කාමන් පාරාවෝ රජුගේ සොහොන් ගවේෂණය කිරීම ඇරඹීය.

ඊජිප්තුවේ තිබූ අභිරහස් එසේම අද්භූත රහස් ගැන තමා හඳුනා ගෙන තිබෙන නිසා මේ අවදානම ගැන හැමෝන් තම මිතුරාට පවසන නමුත් කානර්වෝන් සාමිවරයා එම විරෝධය ප්‍රතික්ෂේප කෙළේය.

එහි ප්‍රතිපලය වූයේ කානර්වෝන් සාමිවරයා අකාලයේ ජීවිතක්ෂයට පත්වීමයි.ඔහුගේ මරණයට හේතුව මදුරුවෙකුගේ දෂ්ට කිරීමක් විසවීම බව පවසන ලදී.එසේම එම ගවේෂණයට සහභාගි වූ සෙසු පිරිස ද වරින් වර අකාලයේ මරුමුවට පත් වී තිබිණ.එය පාරාවෝ සාපය ලෙස පසු කලෙක දී හඳුන්වනු ලැබුවේ පාරාවේ රජුගේ සොහොන්වල පැවැති අභිරහස් එළිදැක්වීම හේතුකොට ගෙන බව ද ප්‍රකාශ වේ‍.

Comments