සම්මුති ආණ්ඩුවට ඡන්දෙ දුන්න ජනතා පැතුම ඉටු කළොත් හරි | සිළුමිණ

සම්මුති ආණ්ඩුවට ඡන්දෙ දුන්න ජනතා පැතුම ඉටු කළොත් හරි

 එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවාගත් සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන්මඟ මෙන්ම වර්තමානයේ රටේ පවතින තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ කොළඔ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා 'සිළුමිණ' සමඟ පවත්වන ලද සාකච්ඡාවකි මේ.

සම්මුතිවාදී ආණ්ඩුවේ මේ වසර දෙකක කාලය තුළ ගමන් මඟ පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙනවාද?

පක්ෂ දෙකකින් සැදුම්ලත් ආණ්ඩුවක ගමන්මඟ ලෙහෙසියෙන් යන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙත් අප වසර දෙකක කාලයක් මේ ආණ්ඩුව රැගෙන ආවා. ඒ ගමන්මඟ ජනතාවට විශාල සහන ලබා දුන් වසර දෙකක් වුණා. ගෑස් මිල අඩු වුණා. ඖෂධ මිල පහත දැම්මා. ඉන්ධන මිල පහත දැම්මා. ජනතාව ඒවා හොඳින් දන්නවා.

ඒ කොහොම වුණත් මේ පක්ෂ දෙක අතර මත ගැටුම් තිබෙනවා?

මත ගැටුම් එකම පක්ෂයේ අය අතරත් තියෙනවා නේ... ඒක සාමාන්‍ය දෙයක්. ඒත් පක්ෂ දෙකක ප්‍රතිපත්ති වෙනස්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස්. අපේ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිවලට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති බොහෝ සෙයින් වෙනස්. ඉතිං මතගැටුම් නැති වෙන්න විදියක් නැහැ. ඒත් පක්ෂ දෙකම පොදු එකඟතාවකින් ගමන් කරනවා.

අර්බුද ඔස්සේ ගමන් කරමින් ජනතා අපේකෂා ඉටු කරන්න පුළුවන් වෙයිද?

ජනතා අපේක්ෂා ඉටු කරන්න උපරිම විදිහට කටයුතු කර තිබෙනවා. මා කලින් කියපු සහනවලට අමතරව ජනතාවට විශාල බදු සහන ලබා දෙන්න මේ සතියේත් කටයුතු කළා. යතුරුපැදි ඇතුළු වාහන කාණ්ඩ රැසක මෙන්ම ජංගම දුරකථන බදු මෙන්ම තවත් සහන රැසක් ලැබුණා. පක්ෂ දෙකේම අය ඒ සියල්ල අගය කරනවා.

අමාත්‍ය මණ්ඩලයේ දෙපක්ෂයෙන්ම අය සිටිනවා. මන්ත්‍රීවරයකු ලෙස මේ තත්ත්වය දෙස බලන්න වෙන්නේ අලුත්ම ආකාරයකටයි. ජනතා කාර්යයන් කෙසේ වෙතත් දේශපාලන ක්‍රියාකාරීන්ට ගැටලුවක් නැද්ද?

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ කටයුතු කරන්න තිබුණා නම් අපිත් කැමතියි. ඒත් සම්මුතිවාදිව අපි යන මේ ගමනේ, මේ ආණ්ඩුව බලයට පත් කිරීමේ විශේෂ ජනතා අපේක්ෂා කිහිපයක් තිබුණා. ඒ අපේක්ෂා ඉටු කරන්න බැරි නම් මේ ජාතික ආණ්ඩුවෙන් වැඩක් නෑ. දේශපාලන ගමන්මඟ නිසි පරිදි ක්‍රියාකාරී වන්න නම් ජනතා විශ්වාසය දිනාගන්න වෙනවා.

මේ දිනවල ආණ්ඩුව ඇතුළේ වරින් වර කැරකෙන ‍විශ්වාසභංග නිසා ජනතා විශ්වාසය රැකෙයිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මැති-ඇමැතිවරු කියන කතා එක් අතකින් පටු අරමුණු ඇතිවයි කියන්නේ. ඒ වගේම කැබිනට් රහස් එළියට දෙන්න ඇතැම් අය පියවර ගන්නවා නම් එතැන විශ්වාසයක් රඳවාගන්න අමාරුයි. මේ තත්ත්වය මැති-ඇමැතිවරු සියලු දෙනා තේරුම් ගත යුතුයි.

කොහොම වුණත් වර්ජන පිකටිං රැල්ල නම් අඩුවක් නැතිවම තියෙනවා...

නිදහසේ උපරිම ප්‍රයෝජනය ගැනීමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒක අසීමිතව භුක්ති විඳිනවා. වර්ජනයකට යන්නෙ යම් කරුණක අවසානයේ කරන්නම දෙයක් නැති වුණාමයි. දැන් කලින්ම කරන්නෙ ඒක. පහුගිය දවසක දුම්රිය සේවකයන් පිරිසක් මකුණො හිටිය කියලත් වර්ජනයක් කරා‍. මේ නිසා සිද්ධ වෙන්නෙ වර්ජනයේ තියෙන වටිනාකම නැතිවෙන එකයි... රටේ ඉදිරි ගමනට බාධා ඇති වෙන එකයි...

අපේ රටේ නඩු පමාවත් රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් වෙලා තියෙන්නෙ. රජය ඒ ගැන පියවරක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද?

නඩු පමාව ඇත්තෙන්ම රටක සංවර්ධනයට විශාල බාධාවක්. නඩු පමාව නිසා පැමිණිලිකරුත්, චුදිතයාත් දෙදෙනාම අසරණ වෙනවා. රජයේ මුදල් නිකරුණේ වියදම් වෙනවා. මේ නිසා සියලු දෙනාම අපහසුතාවට පත් වෙනවා, නීතිඥවරුන් හැර. මේ නිසා අනිවාර්යෙන්ම නඩු කඩිනමින් විසඳීමට පියවර ගත යුතුයි. දැනට තිබෙන ක්‍රමවේදය අනුව නඩුවක් විභාග වී අවසන් වෙන්න අවම වශයෙන් අවුරුදු 10ක් පමණ ගත වනවා.

සම්මුතිවාදී ආණ්ඩවෙන් සිදු කළ යුතු, තවමත් සිදු නොවුණු දේ ලෙස ඔබ දකින්නේ මොනවාද?

ජාතික ප්‍රශ්නයට වගේම ව්‍යවස්ථා ප්‍රශ්නය මේ ජාතික ආණ්ඩුව විසින්ම විසඳිය යුතු වෙනවා. ඒ සම්බන්ධව අනිවාර්යෙන්ම කටයුතු කළ හැක්කේත් රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් සැදුම්ලත් ජාතික ආණ්ඩුවකට පමණයි. දැන් ඒ සඳහා අවස්ථාව තිබෙනවා. ඒ නිසා මේ අවස්ථා‍වේ ඒ සම්බන්ධව කටයුතු කළ යුතුයි. අපට යම් යම් අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒත් රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් යම් කැප කිරීමක් කරන්න වෙනවා.

පුංචි ඡන්දෙ නැත් නම් පළාත් පාලන මැතිවරණය ගැන ගමේ-ගොඩේ අය ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියා, මොකද වෙලා තියෙන්නේ...?

පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වුණේ පහුගිය ආණ්ඩුව සීමා නිර්ණ කටයුතු ආදිය නිසි පරිදි සිදු නොකළ නිසයි. මැතිවරණය ඉක්මනින්ම තිබෙනවා නම් ඒක එක්සත් ජාතික පක්ෂයටත් වාසියක්. මහ මැතිවරණයත් එක්කම මේ පළාත් පාලන මැතිවරණය තිබ්බ නම් අපිට ලෙහෙසියෙන්ම දිනන්න තිබුණා. ඒත් පොදු ක්‍රමවේදයක් මැතිවරණ යන්ත්‍රණයක් යටතේ මේ සියල්ල සිදු විය යුතු වනවා. ඒ සඳහා පමාවක් සිදු වුණා.

ආගමික නායකයන්ගේ ප්‍රකාශ ගැන පවා ආණ්ඩුවේ ඇතැම් අය අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒ තත්ත්වය ඒ තරම් සුබදායකයැයි සිතන්න පුළුවන්ද?

රටක ආගමික නායකයන් කියන්නේ ජනතාවට ගුණධර්ම වටහා දෙන, ජනතාව යහමඟට යොමු කරන අයයි. ඒ ආගමික නායකයන් බෞද්ධ හෝ වේවා, කතෝලික හෝ වේවා, ඉස්ලාම් හෝ වේවා, කවුරුන් හෝ ලබා දෙන රටක දියුණුවට හේතු වන කරුණු ගැන අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතු වෙනවා. ආගමික නායකයන්ගේ ප්‍රකාශ විවේචනය කිරීම හෝ ඉට එරෙහිව නැඟී සිටීම කිසිසේත්ම සුදුසු නැහැ.

මේ දවස්වල රටේ පවතින දැඩි නියං තත්ත්වයෙන් පිඩා විඳින ජනතාවට සහන සලසා දෙන්න රජයේ නිලධාරීන් කටයුතු කරන්නේ මන්දගාමීව බවයි වාර්තා වන්නේ. ඒ ජනතාවට බොන්න වතුර වත් නැහැ...

නියඟය, ගංවතුර පමණක් නෙමෙයි; රජයේ කාර්යාලවල වැඩක් කරගන්න ගියාම වුණත් පුදුමාකාර දුකක් විඳින්න ජනතාවට සිද්ධ වෙනවා. අපි වැටුප් ගන්නේ ජනතාවගේ මුදලින්, ඒ නිසා අපි ජනතා සේවය කළ යුතුයි, යන දැක්ම ඔවුන් තුළ නැහැ.

මේ ක්‍රියාදාමයට රජය විසින් ඉක්මන් පියවරක් ගත යුතු වනවා. බොහෝ විට ග්‍රාම නිලධාරි‍යාගේ සිට ඉහළම නිලධාරියා දක්වා ජනතා සේවය මහ කරදරයක් ලෙසයි සලකන්නේ.

ඔවුන් උපරිම ප්‍රතිලාභ ලබමින් ජනතාව තළා-පෙළා දමන්නේ. ඒ සම්බන්ධව ඉක්මන් පියවරක් නොගත හොත් කොයි මොහොතක හෝ පිපිරීමක් සිදු විය හැකියි. අවසානයේ රජයේ නිලධාරීන් හා ගැටුම් ඇති කරගැනීමට ජනතාව පෙලඹෙන්න පුළුවන්.

සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර

Comments