සිංහ රෙජිමේන්තුවට ‍ගෙනා කෘෘගර් | සිළුමිණ

සිංහ රෙජිමේන්තුවට ‍ගෙනා කෘෘගර්

වනාන්තරේ රජා ලෙසින් විරුදාවලි ලත් සිංහයා සුරතලකු ලෙස ඇති-දැඩි කරන පිරිසක් ද සිටී. ඒ ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රබලතම පාබල රෙජිමේන්තුවක් වන සිංහ රෙජිමේන්තුවයි. එම රෙජිමේන්තුවේ නිල සුරතලා (Mascot) සිංහයායි. එම නිසා කාලයක සිට අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ වනාන්තරේ රජාට ඉඩක් වෙන් වේ. එම භූමියේ දැන් වෙසෙන සිංහයා වයසට ගොස් දුර්වලව පසුවේ. එහෙයින් නව සිංහ සුරතලකු අඹේපුස්ස මූලස්ථානයට ගෙන ඒමට යුද හමුදා බලධාරීන් තීන්දු කිරීමත් සමඟින් ඊට සහාය වූයේ දෙහිවල සත්වෝද්‍යානයයි.

තිරසර සංවර්ධන හා වනජීවි දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ ධේනුවකට දාව උපන් මාස 4ක් වයසැති සිංහ පැටවකු සිංහ රෙජිමේන්තුවේ හතරවැනි සිංහ සුරතලා ලෙස පසුගියදා එක් වූයේ ඒ අනුවය. මේ පැටවා පසුගිය 10 වැනිදා දෙහිවල සත්වෝද්‍යාන භූමියේදී වනජීවි නියෝජ්‍ය ඇමැතිනි සුමේධා ජී. ජයසේන මහත්මිය විසින් සිංහ රෙජිමේන්තුවේ බළසේනාධිපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා වෙත ප්‍රදානය කරනු ලැබුවාය.

මේ පැටවා නම් කරනු ලැබ ඇත්තේ කෘෘගර් නමිනි. සිංහ රෙජිමේන්තු මූලස්ථානයට පැමිණෙන සෑම සිංහ සුරතලකුටම ලැබෙනුයේ එම නාමයයි. මේ සිංහ පැටවා උපත ලද්දේ මෙරටදී වීමද විශේෂත්වයකි. උගේ පියා හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ වෙසෙන චීනයෙන් ත්‍යාග ලෙස ලද ෂුලා නමැති සිංහයාය. මව ජර්මනියෙන් ලැබුණු ෂිනි නමැති සිංහ ධේනුවයි. කෘෘගර් උපත ලැබුවේ පසුගිය අප්‍රේල් 06 වැනිදා රිදියගම සෆාරි උද්‍යානයේදීය.

මේ කෘෘගර් සිංහ පැටවා සිංහ රෙජිමේන්තුවට ලබා දීමට තීන්දු කිරීමත් සමඟින් එම රෙජිමේන්තුවේ සෙබළුන් කිහිප දෙනෙක් මාස දෙකක පමණ කාලයක් සෆාරි උද්‍යානයේදී සිංහ පැටවා ගැන අධ්‍යයනය කරමින් උගේ ආව-තේව පිළිබඳ පුහුණුවක් ලැබූහ. අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ ඉතාම නිරෝගීව කල් ගෙවන කෘෘගර්ගේ ආහාරය මස්-මාංශය. කෘෘගර්ට දිනපතාම මස් ආහාරයට දෙන අතර ඊට අමතරව සතිපතා විටමින් වර්ග ද ලබා දේ.

කවදත් සිංහ රෙජිමේන්තුවට අභිමානයක් එක්කරන සිංහයා ගැන අභිමානයෙන් කතා කරන එම රෙජිමේන්තු නිලධාරීහූ මේ සිංහ පැටවාද තම රෙජිමේන්තුවේ සුරතලා සේම අභිමානය ලෙසින් ද සලකති.

අමිල

Comments