කල් යන මැතිවරණයේ තිත්ත ඇත්ත | සිළුමිණ

කල් යන මැතිවරණයේ තිත්ත ඇත්ත

 පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට ලබන දෙසැම්බර් 04 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය පියවර ගැනීමත් සමඟ අදාළ මැතිවරණ පැවැත්වීම කල් යෑමට ඉඩ-කඩ ඇති බවට කසුකුසුවක් තැන තැන ඇති වෙමින් තිබේ. කොළඹ, නුවර, හාලිඇළ, මාතර සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි ඡන්ද දායකයන් හය දෙනකු විසින් පසුගියදා පළාත් පාලන සීමා නිර්ණ ගැසට්‌ නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මේ වාරණ නියෝගය නිකුත් කර තිබිණි. පළාත් පාලන ආයතනවල සීමා නීර්ණය කිරීම සඳහා පත් කළ අනු-කමිටුව නිකුත් කළ නිර්දේශවලට පරිබාහිරව යමින් විෂයය භාර අමාත්‍යවරයා අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව පෙත්සම්කරුවෝ අධිකරණය හමුවේ කියා සිටියහ. ඒ අනුව මේ නිර්දේශ සංශෝධනය කිරීමේදී විෂයය භාර අමාත්‍යවරයා නීතිය ඉක්මවා කටයුතු කර තිබේදැයි සොයා බැලීම සඳහා දෙසැම්බර් මස 04 දා විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කළ අතර, ඒ දිනය තෙක් පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් වාරණ නියෝගයක්ද නිකුත් කෙරිණි. උද්ගතව ඇති නව තත්ත්වය සම්බන්ධයෙන් නොවැම්බර් මස 25 දා රැස් වන මැතිවරණ කොමිෂන් සභාව තීරණයක් ගනු ඇති බවත්, සීමා නිර්ණ ගැටලු නැති ප්‍රදේශවල හෝ මැතිවරණය පැවැත්වීමේ හැකියාව කෙරෙහි එම හමුවේදී අවධානය යොමු වනු ඇති බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. මොහමඩ් මහතා සඳහන් කර තිබුණි.

මෙම තත්ත්වය උද්ගත වීමට බලපෑ හේතු කාරණා මදක් විමසා බලමු.

පසුගිය පාලන සමයේ එනම්, 2008 වසරේ මාර්තු මාසයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 09ක ඡන්ද විමසීම සිදු කළ අතර, එහි නිල කාලය 2012දී අවසන් විය. එවක පළාත් පාලන අමාත්‍යවරයා සිය බලතල පාවිච්චි කර එය වසරක කාලයකට දීර්ඝ කළේය. ඒ අනුව 2013 මාර්තු මාසය වන විට මෙහි කාලය අවසන් වූ අතර 2013 ජනවාරි හා පෙබරවාරි මාසවල ඡන්දය පැවැත්වීමට නියමිත තිබුණි.

එනමුත් කලක පටන් රට තුළ ඡන්ද ක්‍රමය පිළිබඳව සංවාදයක් ඇරඹී තිබූ අතර, මනාප ක්‍රමය වෙනස් කළ යුතු බව එහිදී බොහෝ දෙනාගේ අදහස විය. ඒ අනුව කිසියම් ඡන්ද කොට්ඨාසයකට තමන් නියෝජනය කරන මන්ත්‍රිවරයකු පත් විය යුතුය යන අදහස ඔවුන් තුළ විය. පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා සිදු වූ අතර, ඒ අනුව එළැඹෙන පළාත් පාලන ඡන්ද විමසීම හරහා මේ පිළිබඳව අත්හදා බැලීමකට යා හැකියැයි ඔවුන්ගේ යෝජනාව විය. මේ සඳහා 2012 අංක 22 දරන පනත සම්මත විය. ඒ අනුව කොට්ඨාස ක්‍රමය යටතේ සභිකයන් 70%ක් තෝරා පත් කරගන්නා අතර, අනෙක් 30% හෝ 25% පරාජිත අපේක්ෂකයන්ගෙන් තෝරා පත් කරගැනීමට තීරණය විය. 2012 අවසාන කාලයේ මෙය සම්මත වූ නමුත් කොට්ඨාස සෑදීම සඳහා සීමා නීර්ණය කිරීම අවශ්‍ය විය. ඒ වන විටත් මේ පනත බලාත්මකව නොපැවතිණි.

මේ අතර මඩකලපුවේ ඡන්දය ජනවාරි හෝ පෙබරවාරි මාසවල පැවැත් වීමට කටයුතු කළ යුතුව තිබිණි. ඒ අනුව පළාත් පාලන ඡන්දය පැවැත්වීමට සූදානම්ව තිබියදී පළාත්පාලන ඇමතිවරයා විසින් දෙසැම්බර් මාසයේ 30 හෝ 31 දා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2013 ජනවාරි මාසයේ 01 සිට මේ පනත බලාත්මක වන බවය. එසේ ප්‍රකාශ කළද ඒ වන විටත් කොට්ඨාස ගැන කිසිවක් නොදැන සිටි නිසා ඡන්දයක් පැවැත්වීමට හැකියාවක් නොවීය. මේ අතරතුර සීමා නීර්ණය කිරීම සඳහා නොවැම්බර් මාසයේ පස්දෙනකුගෙන් යුතු කමිටුවක් ජයලත් රවි දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරිණි. ඒ අනුව පෙර පැවති කොට්ඨාස වලංගු නොවන නිසා නව කොට්ඨාස නිර්ණය කිරීම ආරම්භ වූ අතර, මේනිසා ඡන්දය පැවැත්වීමද කල් ගියේය.

ඒ අතරතුර 2009 වවුනියාවේ පළාත් පාලන ආයතනවල කාලය 2013 අගෝස්තු වන විට අවසන් වී තිබිණි. එලෙසම යාපනය මහනගර සභාවේ කාලයද අවසන් වෙමින් තිබුණු අතර, එහි කාලය වසරකින් දීර්ඝ කළේය. එයද 2014 අගෝස්තුවල අවසන් විය. මෙලෙස පළාත් පාලන ආයතනවල කාලය අවසන් වෙමින් තිබුණද ජයලත් රවී කොමිසමේ කොට්ඨාස නිර්ණය කිරීමේ වාර්තාව සභාගත වූයේ නැත. 2012දී මේ පනත සකස් කළ අවස්තාවේ මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයා ලෙස මහින්ද දේශප්‍රිය මහතා මෙහි ප්‍රායෝගික තාක්ෂණික ගැටලු ඇති බව පෙන්වා දී තිබිණි. ඒ අනුව මේ පනත අඩුපාඩු සහිත බවත්, මෙය වෙනස් කළ යුතු බවත්, 2013 සිට එවක පළාත් පාලන ආමාත්‍යාංශයේ සිටි ලේකම්වරයාට ලිඛිතව දැනුම් දීමක් කර තිබිණි.

එම තාක්ෂණික ගැටලු පිළිබඳ විමසා බැලීමේදී, අදාළ පනතට අනුව නාමයෝජනා භාර දීමට තිබුණේ පක්ෂයේ ලේකම්ට හෝ බලය ලත් නියෝජිතයාටය. ඒ අනුව පක්ෂ ලේකම්වරයා විසින් සභා 300ක නියෝජිතයන් නම් කළ යුතු විය. එසේම කලින් පැවති අර්ථ නිරූපණය මේ පනතේ සඳහන්ව නොතිබීම නිසා මේ සඳහා පක්ෂ ලේකම්වරයාට ලංකාව පුරා යෑමට සිදුව තිබිණි. එය ප්‍රායෝගිකව කළ නොහැකි කාර්යයකි. අනෙක් අතට මේ පනත අනුව ඡන්ද ගණන් කළ යුතු වන්නේ ඡන්දපොළේ සිටින නිලධරයන් විසින්මය. එහිදි කිසියම් වරදක් සිදු වුව හොත් උදාහරණයක් ලෙස බීමත්ව සිටීමෙන් හෝ වුවමනාවෙන් වරදක් සිදු කළ හොත්, එසේත් නැති නම් දුර්වල නිලධරයකු සිටියේ නම් ඔහු ඉවත් කිරීමට මීට ප්‍රථම තේරීම් භාර නිලධාරයාට බලය පවරා දී තිබුණද 2012දී හඳුන්වාදුන් නව පනත අනුව එසේ කළ නොහැකි විය. එසේ කිරීමට නම් පෝලිම් නියෝජිතයන් පැමිණිලි කළ යුතු විය. එසේම පෝලිම් නියෝජිතයන් නොසිටිය හොත් සහ එක පක්ෂයක පෝලිම් නියෝජිතයන් පමණක් සිටිය හොත් තත්ත්වය කුමක් වේදැයි විමසා තිබිණි.

එසේම භාෂා පරිවර්තන දෝෂද තිබිණි. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පනතට අනුව Polling District ලෙස සටහන් කර ඇති වාක්‍ය සිංහලෙන් සඳහන් කර ඇත්තේ ඡන්ද දිස්ත්‍රික්කය ලෙසය. එය ඡන්ද කොට්ඨාසය ලෙස නිවැරදි විය යුතුය. මෙවැනි කාරණා සම්බන්ධයෙන් 2013 සිට දීර්ඝ ලෙස සාකච්ඡා කර පෙන්වා දී තිබිණි. මීට අමතරව පනත සම්මත වීමත් සමඟ සභික සංඛ්‍යාව වැඩි වීමද ගැටලු සහගත විය. ඒ අනුව පනතේ අඩු-පාඩු පළාත්පාලන අමාත්‍යවරයා මාර්ගයෙන් පාර්ලිමේන්තුව තුළ නිවැරදි විය යුතුව තිබිණි. එසේම සීමා නිර්ණයද අවසන් විය යුතුව තිබූ අතර, සභික සංඛ්‍යාවද ගැසට් කළ යුතු විය. 2013 ජයලත් රවී දිසානායක ප්‍රමුඛ කමිටුව කොට්ඨාස සීමා නීර්ණය කිරීම සිදු කරන අතරවාරයේ එය නිවැරදිව සිදු නොවන බවට මහජනතාවගෙන් හා සෑම පක්ෂයකින්ම පැමිණිලි ලැබී තිබිණි. ඒ අනුව එම කමිටුව අබිබවා යමින් මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් හා දිස්ත්‍රික් ලේකම්වරු මෙහි අඩුපාඩු ඇති බව පෙන්වාදුන්හ.

දින 100 අතරතුර කාලයේ එවකට සිටි අමාත්‍යවරයා විසින් මේ පැමිණිලි පිළිබඳ අධ්‍යයනයක් සිදු කළද කිසිදු වෙනසක් නොකළේය. පසුව වත්මන් පළාත්පාලන අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙහි තිබෙන පැමිණිලි විභාග කිරීම සඳහා අතුරු කමිටුවක් ස්ථාපිත කළ යුතු බවයි. අනතුරුව නව අමාත්‍යවරයා විසින් 2015 නොවැම්බර් මාසය අගදී නව කමිටුව පත් කරන ලද අතර, එය අසෝක පීරිස් කමිටුව නම් විය. මේ අතරතුර දිවයිනේ දකුණේ පළාත්සභාවලද නිලකාලය අවසන්ව තිබූ අතර, ඒවායේ කාලය දීර්ඝ කිරීමක් සිදු නොවිණි. එහෙත් කොළඹ නගරසභාව තුළ සභා 23ක නිලකාලය 2015 දෙසැම්බර් වන විට අවසන් වීමට නියමිතව තිබුණු අතර, එහි කාලය දීර්ඝ කර කෙරිණි. ඒ අනුව 2016 දෙසැම්බර් 31 දක්වා එය බලාත්මක විය. මේ අතරතුර 2016 අංක 01 දරන නව පනතක් සම්මත වූ අතර, ඒ අනුව මුළු නියෝජිතයන්ගෙන් 1/4 අනිවාර්යයෙන්ම කාන්තාවන් විය යුතු විය. එහෙත් එය කළ යුතු වූයේ සිටින සංඛ්‍යාව අඩු නොකරය. උදාහරණයකට අම්බලන්ගොඩ නගර සභාවේ මන්ත්‍රීන් 15 දෙනා 03න් බෙදා ඒ එන අගයට 15ක් එකතු කර එය 04න් බෙදූ විට ලැබෙන සංඛ්‍යාව කාන්තාවන් විය යුතුය. එනම් 05කි. ඒ අනුව සිටිය යුතු මන්ත්‍රීන් සංඛ්‍යාව 20ක් වේ. ගැටලුව වී ඇත්තේ මේ සංඛ්‍යාව ගැසට් කර නොමැති වීමය. එය අමාත්‍යවරයා විසින් සිදු කළ යුතු කාර්යයකි. ඒ අනුව ඔහු අප්‍රේල් මාසයේ සභික සංඛ්‍යාව ගැසට් කළ අතර, එය බලාත්මක වූයේ ජූලි මාසයේ පළමුවැනිදා සිටය. එහෙත් ජූනි මාසයේ 29 දා නැවත ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එය බලාත්මක වන්නේ ඔක්තෝබර් පළමු වැනිදා සිට බව සඳහන් කර සිටියේය.

අද වන විට කිසිදු පළාත් සභාවක් ක්‍රියාත්මක නොවන අතර, ඒවා නිලධාරීන්ගේ පාලනය යටතේ පවතී. අසෝක පීරිස් කමිටුව විසින් පළාත් පාලන අමාත්‍යවරයා, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහභාගි කරගෙන මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඔවුන් මාස තුනකින් මෙය නිමා කළ හැකියැයි සිතා සිටියද එය එතරම් කෙටි කාලයකින් නිම කළ නොහැකි විය. කෙසේ හෝ ඔවුහු 2017 ජනවාරි වන විට මේ කටයුතු සිදු කර අවසන් කළහ. එහි ගැසට් නිවේදනය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පසුගිය පෙබරවාරි 17 වැනිදාය. මේ අතරතුර මැතිවරණ කාර්යාලයත් විවිධ දේශපාලන පක්ෂත් පනතේ පවතින අඩුපාඩු පිළිබඳ දිගින් දිගටම විවාද කරමින් සිටි අතර, මෙහි 5% සළුවීමේ ප්‍රතිශතය (අවම ප්‍රතිශතය) ඇති බවද පෙන්වා දුන්නේය. එසේම තැබිය යුතු ඇප මුදල වැඩි බව බොහෝ දේශපාලන පක්ෂවල මතය විය. එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා පවසා සිටියේ ඡන්දය පැවැත්වීමට එය බාධාවක් නොවන නමුත් සලකා බැලිය යුතු වටිනා කරුණක් බවය. අසෝක පීරිස් කමිටුවට මූලික වශයෙන් පැවරී තිබුණ වගකීම වූයේ පැමිණිලි විමර්ශනය කිරීමය. ඔවුන්ට තුන්සීයකට ආසන්න පැමිණිලි සංඛ්‍යාවක් ලැබුණු අතර, ඉන් සීයකට අධික සංඛ්‍යාවක් සැලකිල්ලට ගනිමින් වෙනස්කම් සිදු කළේය. එසේ වුවත් සභිකයන් සංඛ්‍යාව නිශ්චිත ලෙස නොදන්නා තත්ත්වයකට පත් විය. මේ වන විට පනතේ තිබුණ සංශෝධන කෙටුම් පතක් ලෙස පාර්ලිමේන්තුවට යොමු කළ අතර, එය පෙත්සම්කරුවන් විසින් අභියෝගයට ලක් කර තිබේ.

මේ අනුව පෙනී යන්නේ පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වී ඇත්තේ 2015දී වත්මන් රජය බලයට පැමිණි නිසා නොව පසුගිය කාලයේ පටන් නොවිසඳුණු දීර්ඝ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් බවයි. පසුගියදා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ “තමන්ට කීමට කිසිවක් නැති බවයි.” ඇත්තෙන්ම කළ යුතුව ඇත්තේ එකිනෙකාට බෝලය පාස් කරමින් දේශපාලන වාසි සෙවීම නොව මේ ගැටලු මඟහරවාගෙන හැකි ඉක්මනින් ඡන්දය පැවැත්වීමට කටයුතු කිරීමය. එසේ නැතිව යහපාලනය අනතුරේ හෙළා පොහොට්ටු පක්ෂය සමඟ ගනුදෙනුවකට යෑම යහපාලනයට තරම් නොවනු ඇත.

රසික කොටුදුරගේ 

Comments