තෙල් ගා පිරිමැද ඔසු පැනින් නහවා හෙළ වෙදකමේ අගය පෙන්වූ දා | සිළුමිණ

තෙල් ගා පිරිමැද ඔසු පැනින් නහවා හෙළ වෙදකමේ අගය පෙන්වූ දා

‍“අද හැමදේම කෙරෙන්නේ සල්ලිවලට. සල්ලි නැත්නම් ලෙඩක් හැදුණත් ප්‍රතිකාරයක් ගන්න බැහැ. සල්ලි නැති මිනිස්සුන්ට වෙන්නේ ලෙඩක් දුකක් වුණහම හූල්ල හූල්ල ඉන්න විතරයි. අද අපට මේ ප්‍රතිකාර සඳහා සත පහක්වත් වැය වුණේ නැහැ. අපි මින් ලද සහනය සල්ලිවලින් මනින්න බැහැ.”

පාරම්පරික හෙළ වෙදකමට අතීත ශ්‍රී ලංකාවේ හිමිව තිබුණේ අද්විතීය ස්ථානයකි. නූතන ජන සමාජයේ කාර්යබහුලකම හේතුවෙන් දේශීය වෙදකමට යෙදවීමට මිනිසුන්ට ඇති කාලය ඉතා අල්පවීමත්, බටහිර වෙදකමේ ඇති පහසුවත් ආදී වූ විවිධ කරුණු නිසා දේශීය ආයුර්වේද ක්‍රමය මේ වනවිට ඇතැමුන් වෙතින් දුරස්ව යමින් පවතී. නමුත් අති දියුණු තත්ත්වයක පවතින බටහිර වෛද්‍ය ‍විද්‍යාවේ ඇතැම් න්‍යායවලටත් හසුනොවන, එහි ප්‍රතිකාරවලින් පවා සුව නොවන ඇතැම් රෝග පාරම්පරික ආයුර්වේද වෙදකමින් සුවකරන අවස්ථා දක්නට ලැබේ. එමෙන්ම ඊට සමත්කම් දක්වන ඍෂිවරුන් බඳු වූ ආයුර්වේද වෛද්‍යවරුන් අදටත් අපට හමුවේ.

මේ කියන්නට යන කතාව එවන් වෙදැදුරන් ගැන නම් නොවේ. ක්‍රමයෙන් අභාවයට යමින් පවතින දේශීය වෙදකම ජනතාව අතර නැවත ප්‍රචලිත කිරීමට ගම්වාසීන් පිරිසක් ගත් අගය කළයුතු වෑයමක් පිළිබඳය. මෙම සද්කාර්යයට උරදෙනු ලැබුවේ කළුතර දිස්ත්‍රික්කයට අයත් ඉංගිරිය ග්‍රාමයේ, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. වැඩසටහන පැවැත්වූයේ සම්පූර්ණයෙන්ම නොමිලයේ වුවද ඉන් සැලසුණු සේවාව නම් කිසිසේත්ම මිල කළ නොහැකිය. නව පරම්පරාව විසින් එතරම් තැකීමක් නොකළද, පුරාණ දේශීය ආයුර්වේද වෙදකමේ අංග වන තෙල් සත්කාරය, ආයුර්වේද සම්බාහනය සහ ඖෂධීය ජලස්නානය ජනතාව අතර නැවත ප්‍රචලිත කිරීමට ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම වැඩසටහනේ මූලික අරමුණ විය.

‘සැමට සුවසෙත ප්‍රජා සත්කාර වැඩසටහන’ යනුවෙන් නම්කර තිබූ මෙය පැවැත්වුණේ ඉංගිරිය, තානායම් පෙදෙස, සුබසාධක හා මරණාධාර සමිති ශාලාවේදීය. මින් සේවය ලබාගැනීම සඳහා සහභාගිවූ සිය ගණනක් අතරින් බහුතරය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය.

වාත රෝග, හන්දිපත් ආබාධ ආදී දහසකුත් එකක් රෝගාබාධයන්ගෙන් පීඩා විඳි ජනතාව මේ වැඩසටහන මහත්සේ අගය කළහ.

කුරණ, කොටිගල පියදස්සනාරාමයේ හඳපාන්ගොඩ රතනසිරි හිමියෝ ද එදින මේ හෙළ ඔසු සත්කාරය ලැබීමට වැඩම කර සිටියහ.

“මෙම වැඩසටහනේ වටිනාකම වචනයෙන් කියා නිම කරන්න බෑ. මගේ දකුණු පාදයේ මෙන්ම කොන්දේ කාලයක පටන්ම දැඩි වේදනාවක් පැවතුණා. කෙතෙක් ප්‍රතිකාර ලැබුවත් සැලකිය යුතු සුවයක් ලැබුවේ නැහැ. මෙහි කළ ප්‍රතිකාරවලින් මට සෑහෙන ගුණයක් තියෙනවා. මේ කරන ලද සමාජ සත්කාරයට මං මෙහි සංවිධායකයින්ට ස්තූතිවන්ත වනවා”

ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි වී. ඒ. සී.කුලරත්න මහතා විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකි. ඔහු කවදත් දේශීය වෙදකම අගය කරන්නෙකි.

“මට කාලයක් තිස්සේම ශරීරයේ නොයෙක් අපහසුතා තිබුණා. දේශීය වෙදකමින් වාත අමාරු වගේ රෝගවලට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. අද මෙතැන තිබුණු වැඩසටහනෙන් මගේ ශරීර අපහසුතාවලට කියන්න බැරිතරම් සුවයක් ලැබුණා පමණක් නෙමෙයි, නැවත ගෙදර ගිහින් අපේ අත්වලින්ම මේ ප්‍රතිකාර කර ගන්න පුළුවන් විදියේ හොඳ පුහුණුවකුත් ලැබුණා.”

මේ සියලුම රෝගීන්ගේ ශරීරයේ ඖෂධීය තෙල් ගල්වා සම්භාහනය කිරීම සිදු කෙරුණු අතර පසුව වැල්මදට, වැල්මී, සුවඳ කොට්ටන්, කස්තුරි කහ, වෙනිවැල්ගැට, බෙලි, පාවට්ටා, නික, යකිනාරං සහ එඬරු යන ඖෂධ සුසංයෝගයකින් තැනූ දියරයකින් ස්නානය කරවනු ලැබීය. රෝගීන්ගේ ශරීරයේ තෙල් ගල්වා සම්භාහනය සඳහා ආයුර්වේද වෛද්‍යවරුන් මෙන්ම ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ නිලධාරීන්ගේ සහාය ලැබිණි. රෝගීන් ස්නානය කිරීමට යොදාගත් ඖෂධීය දියරයද එම ස්ථානයේදී එවේලේම සකසනු ලැබූ අතර, විශාල කල්දේරම් යොදාගෙන සිදුකෙරුණු එම කටයුත්ත සඳහා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර අංශයේ නිලධාරීන්ගෙන් ලැබුණු දායකත්වය අගය කළයුතුය. දේශීය ඖෂධීය පාන පැමිණ සිටි අයට ලබාදුන් අතර සියලු සේවා සිදු කෙරුණේ නොමිලයේය. මෙම සියලුම ‍සේවාවේදී එක් රෝගියෙකු වෙනුවෙන් පැයකට ආසන්න කාලයක් වැය කිරිම වි‍‍ශේෂය.

“අද හැමදේම කෙරෙන්නේ සල්ලිවලට. සල්ලි නැත්නම් ලෙඩක් හැදුණත් ප්‍රතිකාරයක් ගන්න බැහැ. සල්ලි නැති මිනිස්සුන්ට වෙන්නේ ලෙඩක් දුකක් වුණහම හූල්ල හූල්ල ඉන්න විතරයි. අද අපට මේ ප්‍රතිකාර සඳහා සත පහක්වත් වැය වුණේ නැහැ. අපි මින් ලද සහනය සල්ලිවලින් මනින්න බැහැ.” යනුවෙන් මෙහි ප්‍රතිකාර ලැබූ ගිරිය, තානායම් පෙදෙස පදිංචි ඩබ්ලිව්.කේ.ඇසිලින් නෝනා මහත්මිය පැවසුවාය.

වැඩසටහනට සහභාගි වූ රෝගීන් ඇතුළු සියලුම‍ දෙනාට ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ඉංගිරිය, තානායම් පෙදෙස සුභසාධක හා මරණාධාර සමිතිය එක්ව දිවා ආහාරය සපයනු ලැබූ අතර, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් කුරක්කන් කැඳ සංග්‍රහයක්ද පැවැත්විණි.

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් අයිරාංගනී වීරසිංහ, සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් පෙරේරා, ප්‍රජා ආයුර්වේද වෛද්‍ය දිනේෂ විද්‍යාරත්න, ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති බී.එල්. ප්‍රේමරත්න, එම සභාවේ ලේකම් ලක්මාලි වික්‍රමාරච්චි, ආයුර්වේද වෛද්‍යාචාරිනී රම්‍යා විජේසේකර යන මහත්ම මහත්මීහු සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර අංශයේ සියලුම සාමාජිකයන් මෙදින වැඩසටහනට සහභාගි වූ සියලුම රෝගීන්ට තම හැකි උපරිම සේවය ලබාදීමට ඇපකැප වී ක්‍රියාකරවනු දක්නට ලැබිණි.

ඉංගිරියේ පදිංචි පී.ඩබ්ලිව්.එස්.රණසිංහ මහතා, “අපි මෙතැනට එද්දි මෙවැනි දෙයක් සිදු වෙනවායැයි දැන සිටියේ නැහැ. මෙවැනි වැඩ සටහන් රටපුරා ක්‍රියාත්මක වෙනවානම් ආයුර්වේද වෙදකමේ අගය අද කාලේ අලුත් පරම්පරාවට දැනගන්න පුළුවන් වෙයි. අපි ගම්වාසීන් විදිහට මේ වැඩ කටයුත්ත ඉහළින් අගය කරනවා”යැයි පැවසුවේය.

සියල්ල මුදල් මතම පමණක් තීරණය කෙරෙන සමාජයක සිය කාලය, ශ්‍රමය මෙන්ම මුදල්ද කැපකරමින්, දේශීය හෙළ වෙදකම නැවත කරළියට ගෙන ඒමට මොවුන් දරන ලද මෙම අවංක කැපකිරීම හා වෙහෙස මහන්සිය සැබවින්ම අගය කළ යුතුය.

ප්‍රියදර්ශනී කහවල 

Comments