පුංචි ඡන්දය ගැන විමසිල්ලෙන් | සිළුමිණ

පුංචි ඡන්දය ගැන විමසිල්ලෙන්

 වසර දෙකහමාරක් පමණ පමා වූ පුංචි ඡන්දය හෙවත් පළාත්පාලන මැතිවරණය ලබන මස 10 වැනිදා පැවැත්වේ. ඒ මහනගර සභා 24ක් නගර සභා 41ක් හා ප්‍රාදේශීය සභා 276 ක් ලෙස පළාත් පාලන ආයතන 341ක් උදෙසාය.

මෙම පළාත් පාලන ආයතන 341 සඳහා සභිකයන් 8346ක් තෝරා පත් කර ගැනීමට නියමිත ය. සමානුපාතික සහ කේවල යන ක්‍රම දෙකම මිශ්‍ර කරමින් සැදුම්ලත් නව ක්‍රමයක් යටතේ පළාත් පාලන ආයතන සඳහා සභිකයන් තෝරාපත් කිරීම මෙවර ඡන්ද විමසීමේ විශේෂ ලක්ෂණයකි. එවන් ආකාරයක මිශ්‍ර ක්‍රමයකට මැතිවරණයක් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවට නිසා මැතිවරණ නිලධාරීන්ට මෙන්ම ඡන්ද අපේක්ෂකයන්ටත් ඡන්ද දායකයන්ටත් මෙය නවමු අත්දැකීමක් වනු ඇත. මේ මැතිවරණය උදෙසා වරින් වර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් වරින් වර විශේෂ නිවේදන මෙන්ම විවිධ සිහි ගැන්වීම්ද සිදු කරනු ලැබුණි. එමෙන්ම මේ මැතිවරණය දෙස බලා සිටින සිවිල් සමාජයත් ඊටත් වඩා සිවිල් සංවිධානත් දැඩි විපරම් ඇසකින් ඒ දෙස බලා සිටී. මෙහිදී විශේෂත්වයක් ගන්නේ පැෆ්රල් සංවිධානයයි. කෙසේ හෝ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් මේ වන විට මාධ්‍ය ආයතන දෙස වැඩි අවධානයක් යොමු කර ඇති අතර මාධ්‍ය සඳහා උපමානයන්ද ඉදිරිපත් කර ඇත.

ඒ අනුව කිසිදු අපේක්ෂකයකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනයට හේතු සාධක වන පුවත් හෝ විශේෂාංග පළ නොකළ යුතු බවත් එමෙන්ම කිසිදු අපේක්ෂකයකු හෝ පක්ෂයක් අගතියට පත් වන පුවත් හෝ විශේෂාංග පළ නොකළ යුතු බවත් සභාපති මහින්ද දේශප්‍රිය මහතා දන්වා සිටී. මේ තත්ත්වය විශේෂයෙන්ම මැතිවරණය සඳහා ඉදිරිපත් වන ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිය යුතු බවද ඔහු පෙන්වා දී ඇත. ඒ අදාළ මාධ්‍යවේදීන් අයත් මාධ්‍ය ආයතනය මඟින් තම මාධ්‍යවේදීයා වෙනුවෙන් යම් ප්‍රවර්ධනයක් සිදු කරනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව වන්නට ඇත. එසේම මාධ්‍යවේදීන් විශේෂයෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් එවනු ලබන තොරතුරු වාර්තා පළ කිරීමේදීද විශේෂ අවධානයක් යොමු කරන ලෙස මාධ්‍ය ආයතනයන්ට දන්වා ඇත්තේ ඒ තොරතුරු ප්‍රවෘත්ති හරහා මාධ්‍ය ආයතනය නොදැනුවත්වම ප්‍රාදේශීය අපේක්ෂකයකු ප්‍රවර්ධනය වීමක් හෝ අගතියට පත් වීමක් හෝ සිදු වනු ඇති නිසාය.

මීට අමතරව විශේෂයෙන්ම විමධ්‍යගත අරමුදල් හරහා දේශපාලඥයන් විසින් විවිධ සංවිධාන හා ජනතාව වෙනුවෙන් ලබා දෙන ද්‍රව්‍යමය හො මූල්‍යමය ආධාර ලබා දීමද මේ වන විට නවතා සමන ලෙස අදාළ සියලු රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සමිති සමාගම් සංවිධාන දහම් පාසල් සඳහා ලබා දෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාණ්ඩ ලබා දීම පෙබරවාරි 15 වැනිදා දක්වා නවතා තබන මෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ලිඛිතවම දන්වා ඇත. එහෙත් කල් තබා ගත නොහැකි ජීවීන් හා ද්‍රව්‍ය ආධාර ලබා දිමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා අදාළ දේශපාලක නියෝජිතයන් හෝ පක්ෂ යොදා නොගත යුතු බවත් එසේ වුවත් ඒ සඳහා අදාළ තේරීම් භාර නිලධාරි හෝ මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය හෝ ලබා ගත යුතු බවත් දන්වා ඇත.

මැතිවරණ සමයේ ජනතා සහන සැලසීමට අපේක්ෂකයන්ට බලයක් සහ අයිතියක් ඇතැයි යන මතයක් ඇතැමුන් විසින් පතුරුවා හරිනු ලබන බවත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මහින්ද දේශප්‍රිය මහතා දන්වා සිටී.

එසේම තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු පැකට්ටු යැවීමේ දිනය මේ වන විට කල් දමා ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටී.

මේ අතර පැෆ්රල් සංවිධානය දන්වා සිටින්නේ පසුගිය මැතිවරණයන්හිදී නිරීක්ෂණ කටයුතු සිදු කළ ආකාරයටම නාම යෝජනා භාර දීම ආරම්භ කළ දින සිට පළාත් පාලන ඡන්ද විමසීම නිරීක්ෂණයට සූදානමින් සිටින බවයි.

පූර්ව-මැතිවරණ සමයෙන් ආරම්භ වී පශ්චාත් කාලසීමාව දක්වා නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට ඡන්ද නිරීක්ෂණයට 7000කට අධික පිරිසක් යොදවා ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම, පූර්ව මැතිවරණ සමයේ මාධ්‍යවේදීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් වැනි පළපුරුදු දිගුකාලීන නිරීක්ෂකයන් හරහා සියලු දිස්ත්‍රික්කවලට අයත් සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි නිරීක්ෂණ කටයුතු සඳහා 160කට අධික දිගුකාලීන නිරීක්ෂකයන් පිරිසක් පුහුණු කර මේ වන විට නිරීක්ෂණ කටයුතු සදහා එම සංවිධානය විසින් යොදවා ඇත. ඊට අමතරව දිස්ත්‍රික් කාර්යාල හරහාද, ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරුන් හරහාද පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කර ඇත.

මැතිවරණ දිනයේදී දේශපාලන වශයෙන් සංවේදී හා පූර්ව අත්දැකීම් අනුව යම් සිදුවීම් ඇතිවේයැයි අනුමාන කරනු ලබන සහ ඡන්ද ප්‍රතිඵල ගණනය කර ප්‍රකාශයට පත් කරනු ලබන ඡන්ද මධ්‍යස්ථාන සඳහා වැඩි සැලකිල්ලක් දක්වමින් ස්ථානගත නිරීක්ෂකයන් 4000කට ආසන්න පිරිසක් යෙදවීමටත්, එමගින් ආවරණය නොවන ඡන්ද මධ්‍යස්ථාන සඳහා සෑම පළාත් පාලන ආයතනයක්ම ආවරණය වන පරිදි ජංගම නිරීක්ෂකයන් සිව්දෙනකුගෙන් සමන්විත නිරීක්ෂණ රථ 341ක් යෙදවීමටත් සංවිධානය අපේක්ෂා කරයි.

ඊට අමතරව තැපැල් ඡන්ද නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයන් 1000ක් යෙදවීමටත් පැෆ්රල් සංවිධානය කටයුතු කර ඇත.

වැඩි ඡන්ද ප්‍රමාණයක් සහිත සහ යම්කිසි අක්‍රමිකතාවක් හෝ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වේයැයි හැ‍‍ඟෙන සිවිල් ආරක්ෂක කඳවුරු, හමුදා කඳවුරු, ගමනාගමන මණ්ඩල ඩිපෝ, අධ්‍යාපන කාර්යාල වැනි ඡන්ද මධ්‍යස්ථාන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් එම මධ්‍යස්ථාන සඳහා නිරීක්ෂකයින් 1000ක් යෙදවීමටත් සංවිධානය කටයුතු යොදා ඇත.

ඊඨ අමතරව පැෆ්රල් සංවිධානය විසින් විශේෂ පැමිණිලි ඒකකයක්ද ස්ථාපිත කර තිබේ. විශේෂයෙන්ම ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් සඳහා 25%ක නියෝජනයක් ලබාදී ඇති මෙවන් අවස්ථාවක මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී කාන්තා අපේක්ෂිකාවන්ට එරෙහිව සිදු කරනු ලබන චරිත ඝාතන, අසත්‍ය මඩප්‍රචාර සහ සමාජ වෙබ් අඩවි උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන විවිධ හිංසනයන් මෙන්ම ප්‍රචාරක කටයුතුවලට බාධාකාරී වන තත්ත්වයන් ගැන විශේෂයෙන්ම සොයා බැලීමට අපේක්ෂිතය.

විශේෂ පැමිණිලි ඒකකයට දුරකථන අංක - 011-2514441/2 / 011-3653656 (සිංහල මාධ්‍ය) හා 011-3653657 (දෙමළ මාධ්‍ය) සඳහා වෙන් කර ඇත. එමෙන්ම ෆැක්ස් අංක 011-2514443/ 011-2515011 ඔස්සේද මේ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. ඊට අමතරව හදිසි ඇමතුම් අංකයක් ලෙස 071-4464258 අංකය ලබා දී ඇත. එසේම ඊමේල් - [email protected] ඔස්සේද පැමිණිලි කළ හැකිය.

මේ වන විට මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් 400කට අධික ප්‍රමාණයක් වාර්තා මැතිවරණ කොමිසමට මෙන්ම පොලිස් ස්ථාන වෙතද වාර්තා වී ඇති අතර, එයින් බොහොමයක් බැනර් කටවුට් ප්‍රදර්ශනය මෙන්ම වාහනවල අපේක්ෂකයන්ගේ සේයාරූ ප්‍රදර්ශනය කිරීම් බවද වාර්තා වේ. එසේම පෙළපාලි සම්බන්ධයෙන්ද යම් යම් පැමිණිලි ලැබී ඇති අතර වෙනත් මැතිවරණවල මෙන් දැඩි ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නැති බවද මැතිවරණ කොමිසමෙන් වාර්තා වේ.

ඒ අද දිනයයි. හෙට දිනය මිට වඩා වෙනස් වන්නේ කෙසේද යන්න ගැන අපි විමසා බලා සිටිමු.

තාරක වික්‍රමසේකර

Comments