
කෝච්චියේ ගියාට දකින්න බැරි දුම්රිය මඟේ අපූරු ස්ථාන - 08
මෙරට දුම්රිය මාර්ග පද්ධතියේ කෙටි දුරක් තුළ ඉහළ උසකට ළඟාවන දුෂ්කර මාර්ග කොටසක් ලෙස රඹුක්කන -
කඩුගන්නාව දුම්රිය මාර්ග කොටස හැඳින්විය හැකිය. ඒ ආශ්‍රිත සුවිශේෂ ස්ථාන සහ ඉංජිනේරුමය නිමැවුම් සොයා කඩුගන්නාවේ සිට පාගමනින් දුම්රිය මාර්ගය දිගේ යන සංචාරයක් ඇසුරෙන් සැකසෙන ලිපි පෙළක පෙර කොටස් පසුගිය සිළුමිණේ පළවිය. මේ සතියේ පළවෙන්නේ එහි අටවැන්නයි.
කඩුගන්නාව සහ රඹුක්කන අතර පිහිටි අංක 5A සහ 9A බිංගෙවල් ඉදිකරන්නට පෙර වසරේ වැඩි කාලයක් වැසි වැටෙන නිරන්තරව දිය දහරින් සුපෝෂිත මෙම මාර්ගයේ ධාවනය වන දුම්රියවලට නිතර නිතර කඳු රූරා වැටෙන ගල් පර්වත වලින් මාර්ගය අවහිරවීම්වලට ලක්වන්නට සිදුවිය. ආරම්භක අවධියේ මෙම මාර්ගයේ ධාවනය වී ඇත්තේ ML සහ F පන්තියේ වාෂ්ප එන්ජින්ය. මේ එන්ජින්වල රාත්‍රී ලාම්පු ඉතා දුර්වල තත්ත්වයේ පැවැති අතර මේ නිසා රාත්‍රී ධාවනය ඉතා අන්තරායකාරී විය. එසේ වැසි දිනකදී සිදුවූ ගල් කඩාවැටීම් නිසා 1897දී මීයන්ඇල්ල දුර්ගයේදී දුම්රිය පීලිපැනීමක්ද සිදුවී ඇත. මගී ධාවනය ප්‍රමුඛ නොවූ එම අවධියේ කඳුකරයේ සිට වැවිලි බෝග ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය අත්‍යවශ්‍ය වූ අතර මෙවැනි සිද්ධීන් නිසා සිදුවූ ප්‍රමාදයන් වලදී රජයට බදු ගෙවන වෙළඳ ප්‍රජාවගේ දෝෂාරෝපනය පාලකයින්ට එල්ලවී තිබේ. පසුකාලීනව 1907-1912 අවධියේදී ගල් පර්වත වලින් වැඩිම පීඩාවට ලක්වන දුර්ග කොටස් දෙකක පැවැති මාර්ගය වෙනස් කර බිංගෙවල් ඉදිකර ආරක්ෂිත ධාවනයකට අවස්ථාව සලසන්නට දුම්රිය ඉංජිනේරුවන් සමත් විය.
මා විසින් මේ ගැන ලිඛිත සටහන් විමසුවද සපයාගත නොහැකිවිය. එහෙත් දුම්රිය ඉතිහාසය පිළිබඳ සමකාලීන ගවේශකයකු වන නලීන් අබේසිංහ මහතාට 1898 වර්ෂයේ එංගලන්තයේ පළවූ the Engineer සඟරාවෙහි මෙම දුම්රිය අනතුර ගැන සටහනක් හමුව තිබේ. ඒ අනුව 1897 සැප්තැම්බර් මස 28දා රාත්‍රී 9.45ට කොටුවෙන් පිටත්වූ බණ්ඩාරවෙල තැපැල් දුම්රිය මෙම දුර්ගයේදී ඉහළ සිට පහළට හදිසියේ සේදී ආ ටොන් 7000කට වැඩි ගල් ගොඩක හැපී අනතුරට ලක්ව තිබේ. මීදුම් තත්ත්වය මත රියැදුරාට මාර්ගය පෙනී නැති බවද, පෙට්රොල්මන්වරයා අනතුර සිදුවූ අන්තයට අනෙක් අන්තයේ මෙපිටට පැමීණීමට නොහැකි ලෙස සිරවී සිටි නිසා අනතුරු හඟවන්නට නොහැකි වි ඇති බවද සඟරාවේ සටහන් වී තිබේ. නලීන් අබේසිංහ මහතා පවසන පරිදි Times of Ceylon පුවත්පතේ මෙම අනතුරෙන් දුම්රිය මැදිරි තුනකට හානි වූ බව සඳහන් ව ඇත.
“අපිට මේ අනතුර ගැන අහන්න ගමේ කෙනෙක් හොයාගන්න නැද්ද?” මම එහෙම ඇහුවේ මඟ පෙන්වන්න ආව එච්.එම්. විජේසිරි මහත්මයාගෙන්.
“මෙතැන ළඟම තිබ්බොටුමුණේ මහත්තයාගේ මල්ලිගේ ගේ තියෙනවා.අපි එයාලගෙන් අහමු.”
ඒ විමසීම අනුව අපි ඊළඟට ගියේ බිංගෙය ආසන්නෙයේ කුඩා අඩිපාරක පිහිටි නිවෙසකටය. ඒ ජයවීර බණ්ඩාර මහතාගේ නිෙවසයි.
“ඕකට හොඳම කෙනා අපේ අම්මා. වයස 92යි. හැබැයි මේ දවස්වල ඉන්නේ පහළ වළගොඩ. ගිහින් හමුවෙන්න.” යැයි පැවැසීය.
ඒ අනුව අපි අඩ පැයක පාගමනකින් ඇය සොයා ගියෙමු. නමින් එච්.ජි. පොඩිමැණිකා වන ඇය ඉපැදී ඇත්තේ 1926දීය. තවමත් හොඳ සිහියෙන් සහ නිරවුල් මතකයෙන් පරිපූර්ණ ඇය, ඉතා කැමැත්තෙන් අප සමඟ තොරතුරු හුවමාරු කර ගත්තාය.
“අපේ සීයලාගෙත් තාත්තලාගේ කාලේ තමයි රේල් පාර කපලා තියෙන්නේ. සුද්දා අපේ පරම්පරා ඉඩම් මැද්දෙන් තමයි කෝච්චි පාර කපලා තියෙන්නේ. පවරාගන්න ඕනැ කියල කිව්වට මේ ඉඩම් වලින් ලියවිලි හදල සුද්දාට දෙන්න අත්තලා කැමැති වෙලා නෑ. සුද්දාට ඕනැ තරමක් අරගෙන අපේ ඉඩම මැද්දෙන් පාර දාගන්න කියල තමයි දීලා තියෙන්නේ. ඇත්තට බැලුවොත් මේ හරියේ රේල් පාර තියෙන ඉඩම් ආණ්ඩුවට අයිති නෑ.”
මේ කතාව තරමක් ප්‍රබල එකක් වුවද ලිපි පෙළ පළවන්නට පෙර ඒ ගැන දෙපාර්තමේන්තුවේ ලේඛණ පරීක්ෂා කිරීමට අපට අවස්ථාව නොලැබිණි.
“ඔය අනතුර වෙලා තියෙන්නේ අපේ තාත්තලා පොඩිම දවස් වල. අපේ සීයලා අලුත් බිංගේ කපන්න ගිහිල්ලත් තියෙනවා. කන්දෙන් පිට පාරේ තමයි එතකොට කෝච්චිය ගිහින් තියෙන්නේ. අඟුරු කෝච්චි දුවපු කාලේ. මහ වැස්ස දවසක රෑ උඩහට යන කෝච්චියට කන්දෙන් ලොකු ගල් එක්ක ආව වතුර පාරක් වැටිලා තියෙනවා. ඊට පස්සේ අන්තිමට තිබුණු බඩු පෙට්ටියක් මීයන් ඇල්ල ගල්ගොඩට පෙරළිලා තියෙනවා. වටේට ලෑලි තිබිලා තියෙන්නේ. පතුලට යකඩ තහඩුවක් තිබිලා තියෙන්නේ. ලෑලි නම් කෑලි කෑලි කැඩිලා ගිහින්. අපේ සීයලා යකඩ තහඩුව අරන් ඇවිත් ඒක උඩ තමයි අපේ වී බිස්ස හදල තිබ්බේ. මම පුංචි කාලේ දැකලා තියෙනවා. ඒ යකඩ තහඩුව උඩ තිබුණු වී බිස්ස.”
“පෙට්ටියක් පෙරළුණා නම් රෝද එහෙම තියෙන්න ඕනෑ නේද?”
“ඔව්. ඒවා 1970 වෙනකම් තිබුණා. ඔය ගල්කන්ද උඩ තියෙන්නෙත් අපේ ඉඩමක්. ඒක දැන් අයිති ලොකු පුතාට. ඒ ඉඩමේ වී ලාස් හයක් විතර 70 දි නාය ගිහින් පහළට වැටිලා තිබ්බ රෝද ටික වැහිලා ගියා. ඒ නායට වැදිවත්තේ කුඹුරත් යටවුණා. දැන් ඒවා බලන්න බෑ.”
“එතකොට පෙරළුණු පෙට්ටියේ තිබුණු හාල් එහෙම නෑඹිලි අරන් ගිහින් ගැරුවා කියන කතාව ඇත්තද?”
“ඔව් මමත් අහලා තියෙනවා. ගමේ හැමෝටම කුඹුරු තිබ්බා. කාටත් අගහිඟයක් නෑ. ඒත් ගෝනි කැඩිලා මහවැස්සට වළගොඩ ඔය දිගේ පහළට ගලාගෙන ආව හාල් - කැඳ බොන්න කියල හිතාගෙන සමහර වයසක අය එකතු කරගෙන තියෙනවා. පස්සේ ගරාගෙන කැඳ ජාති- කෑම හදන්න ඇති. අහක යවන එක අපරාදෙනෙ.”
“බිංගේ පිට පාරේ අඟුරු කෝච්චි යන කාලේ ඒවට ඕනෑ වතුරයි, අඟුරුයි පුරවගන්න පුළුවන් විදියේ බක්කි දෙකක් මීයන්ඇල්ල කිට්ටුව හදල තිබ්බා. ඒ බිත්ති හරිම ගනකම්. ගඩොල් තුනක් විතර තියල බැඳල තිබ්බේ. අඩි දෙක තුනක් උසට තිබ්බා. අපි සමහර දාට හවසට කෝච්චි වලට අඟුරු වතුර පුරවනවා බලාගෙන ඉන්නවා.”
ඇගෙන් සමුගත් අපි එච්.එම්. විජේසිරි මහතා සමඟ ඊළඟට ගියේ පැරණි දුර්ග දුම්රිය මඟ ඉහත්තාවෙන් පහළට ගලා හැලෙන මීයන්ඇල්ල සොයාගෙනය. එය වෙත යා යුත්තේ 1970දී නායට හසුවූ වැදිවත්තේ ගෙදර පිටුපසිනි. වැදිවත්තේ ගෙදර දැන් පදිංචිව ඉන්නේ අසූතුන්වියැති ඩී. ඇම් කමලාවතී මහත්මියයි. ඇයට එම නායයාම හොඳට මතක ය. වැදිවත්තේ ගෙදර සිට මීයන් ඇල්ල සොයා යන්නට අපට සහය වූයේ ඇගේ පුත් පනස් හැවිරිදි ඒ.එම්.ජි.එස්.යූ. අලහකෝන් මහතාය. තැපැල් සේවකයෙකු ලෙස ප්‍රදේශයම හොඳින් දන්නා ඔහු 1970 නායට ගේ යට වන විට දෙහැවිරිදි දරුවෙකි.
“කෝච්චි පාර නිසා අපිට ලොකු වාසියක් වුණා. මොකද ඉඩමේ ගල් වැටිවලට ඕනෑ ගල් කෑලි සේරම ගත්තේ බිංගේ හාරද්දි කඩල පහළට දාපු ගල් කුට්ටි වලින්. ඒවගේම තමයි අපේ ඉඩමේ පර්චස් අසූවක් විතර තාමත් ඒ ගල් කුට්ටි වලින් වැහිලා තියෙන්නේ.”
අඩ පැයක පමණ ගමනකින් පසු අපි මීයන්ඇල්ල පාමුලට පැමිණියෙමු. ඉංග්‍රීසින් විසින් මීයන්ඇල්ල දුර්ගයෙන් දුම්රිය මඟ කණින්නට පෙර ගල්තලාව ඉහළින් මීයන්ඇල්ලේ හරහට කැපූ කට්ට ඔස්සේ මීයන්ඇල්ලේ ජල පහර කොටස් දෙකකට පහළට ගලායන්නට සකසා ඇත. ඒ දුම්රිය මාර්ගයේ ආරක්ෂාව වෙනුවෙනි. මේ හේතුව නිසා අඩි සියයකට ආසන්න උසක් ඇති මීයන්ඇල්ලේ ජල පහර ප්‍රාණවත් වන්නේ වැසි දිනවලට පමණි. එබැවින් ලාංකීය දිය ඇළි නාමාවලියේ මීයන්ඇල්ල නමින් දිය ඇල්ලක් ඇත්තේ නැත. ඒ වෙනුවට සැබෑ මීයන්ඇල්ල කුඩා දියකඳුරු දෙකක් ලෙස මීයන්ඇල්ල දුර්ග මඟේ දෙකෙළවරින් පහළට වළගොඩ ගමට ගලා හැලෙන්නේ වළගොඩ ඔය තනමිනි. අවසානයේ මා ඔයට එක්වන වළගොඩ ඔය කොච්චිකඩේ වෙරළින් මහ මුහුද සිපගනී.
අපි මීයන්ඇල්ල දැකගෙන ඉන්පසු පැමිණි මඟ ඔස්සේම ඉදිරියට ගොස් පැරණි දුම්රිය මගට ප්‍රවිෂ්ට වුණෙමු. එම දුර්ගයේ සමහර තැන් අඩි විස්සක් පමණ පළලට විහිදෙන අතර පටුම ස්ථානයේ පළල අඩි දහයකි. ඉතාමත් තෙත බරිත මාර්ග කොටසක් වන මෙහි ගල්තලාව දිගේ ස්ථාන ගණනාවකින් පහළට ගලා එන ජල පහරදුම්රිය මඟ පැවැති ඉඩකඩ ඔස්සේ පහළට ගලා යයි. මීයන්ඇල්ල සෘජුව දුම්රිය මාර්ගයට ගලා හැළීම වළක්වන්නට ගල්තලාව දිගේ ඉහළ සිට පහළට ඇළියක් සකසා තිබේ. එහෙත් ඉංග්‍රීසීන් බලාපොරොත්තු නොවන තරමේ වතුර කඳක් වැසි සමඟ ගලා ආ නිසා පෙර සඳහන් කළ අනතුර වැනි අනතුරු සිදුව ඇත්තේ සොබාදහමට සියල්ල අවනත වන පරම සත්‍යය නිසාය.
අපව වසා පැතිරෙන මානා පදුරු දණ්ඩකින් තළමින් පැරණි දුම්රිය මග දිගේ ඇවිද ගිය අපිට, වාෂ්ප දුම්රිය වලට අඟුරු සහ වතුර සපයන්නට තැනූ ටැංකි වල පාදම හඳුනාගන්නට අවස්ථාව ලැබිණි. වතුර ටැංකියේ යකඩ කණු සහ ජල පොම්පය පොළවට සවිව තිබූ ස්ථානය යැයි අනුමාන කළ හැකි වෘත්තාකාර කුහර සහිත ස්ථාන ද හඳුනාගත හැකි විය.
බිංගෙයට පිට පැරණි දුම්රිය මාර්ගයේ සිට පහළ බැලූ විට දැකිය හැක්කේ මනස්කාන්ත දර්ශනයකි. පහළින් එක යායට පැතිරෙන කුඹුරු යායත්, තැනින් තැන දූපත් ලෙස පෙනෙන ගංගොඩවලුත් සහිත ඒ දර්ශනය කිසි දිනෙක රඹුක්කන සිට කඩුගන්නාවට දුම්රියේ යන එන මගියකුට දකින්නට නොලැබෙන එකකි.
යළිදු ආපස්සට ගොස් බිංගෙයි රඹුක්කන අන්තයේ පිවිසුමට ළඟාවී රේල් පාරට ගොඩවුණු අපට රසවත් තේ කෝප්පයකින් සංග්‍රහ කළේ උදෑසන ද හමුවූ ජයවීර බණ්ඩාර මහතාය. තේ බොන අතරතුර දුම්රිය සේවයේ වත්මන් තත්ත්වය ගැන විවරණයක් කළ ඔහු එහි සේවකයින්ගේ ආකල්ප දියුණු කිරීමක් වහ වහා අවශ්‍ය බව පැහැදිලි කළේය.
“ඉස්සර කෝච්චි පාර බලන්න ලස්සනයි. පාර දෙපැත්තේ අඩි තුන ගානේ හරියට ශුද්ධ කරනවා. සිල්පර අතර වල් පැළ වැවෙන්න දෙන්නේ නෑ. ඇණ මුරිච්චි අඩු පාඩුවක් නැතිව දානවා. කන්දෙන් එන වතුර පාර නිසා රේල් පාර හෝදගෙන යන්නේ නැති වෙන්න කාණු දාලා හදනවා. අද ඒ මොන නඩත්තුවක් වත් හරියට වෙන්නේ නෑ. උදේ හතට පාරේ වැඩට ඇවිත් දොළහ වෙද්දි ගෙවල්වලට යනවා.”
මේ චෝදනා මේ මාර්ග කොටසටම පමණක් උරුම අඩුපාඩු නොවන බව පැහැදිලිය. එහෙත් ලෝකයේ දුෂ්කරම මාර්ග කොටසක් සේ සැලකෙන කඩුගන්නාව - රඹුක්කන දුම්රිය මාර්ග කොටසෙහි පවතින ඉහත අඩුපාඩු වලින් හානි වන්නට ඉඩ ඇත්තේ තවත් එක් දුම්රිය මාර්ග කොටසකට නොව - වසර සිය ගණනක් පුරා ගොඩනැඟුණු අපූරු දුම්රිය සංස්කෘතියක් වෙත බව නම් පැහැදිලිය.
ඡායාරූප - චතුර හේමාල් / දමින්ද ප්රසාංගික
ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ