
* ඉපදුණේ 1927
* 48 ජාතික ගීය ගැයුවේ පාසල් සිසුවියක ලෙස
* සුනිල් ශාන්තයන්ගෙ සිසුවියක්
* ඔහු සමඟ ගැයූ යුග ගී ඉතා ජනප්‍රිය වුණා
මෙවන් පිටිසරේ
මේ දූගී පැලේ...
සුනිල් ශාන්තයන් ගයන මේ ගීතය ඇසෙන මොහොතක් පාසා ඔහු හා යුග ගී ගයන ඇය කවුදැයි සිත ප්‍රශ්න කරයි. නමුදු ඇය පිළිබඳ තොරතුරක් සොයා ගන්නට සිත සිතා සිටි මොහොතක මා මිත්‍රයකු කතා කොට අපූරු තොරතුරත් කීවේය.
“එක්දහස් නවසිය හතළිස් අටේ පළමු නිදහස් උත්සවයේදී ජාතික ගීතය ගායනා කළ ගැහැනු ළමයි හතර දෙනාගෙන් කෙනෙක් තවමත් ඉන්නවා. ඇයගේ පුතෙක් ඉන්නවා.”
එලෙස අප හා තොරතුරු පැවසුවේ කර්නල් නිරෝෂන් ජයමහය.
ඔහු කියූ තොරතුරු අනුව අපි ඇය සොයා ගියෙමු. ඒ හෝකන්දර නිවෙසටය.
ඇය නමින් ලීලා අශෝකාය. දැන් ඇගේ වයස අවුරුදු අනුඑකකි. යොවුන් වියේදි බොහෝ හැඩකාරව සිටින්නට ඇතැයි ඈ දෙස බැලු බැල්මට පෙනේ.
“මගේ නම හේවා ගීගනගේ ලීලාවතී. මම උපන්නේ එක්දහස් නවසිය විසි හතේ ජූලි හත්වැනිදා. මගේ පියා නැති වෙලා තියෙන්නේ අයියයි මමයි පුංචි කාලේ. අම්මා නැවත විවාහ වෙලා තියෙනවා. අපේ බාප්පා කවදාවත් අපට වෙනස්කමක් කළේ නැහැ. ඔහු කලාවට බොහෝම කැමැති කෙනෙක්. ඒ නිසා ඔහු අපේ කලා හැකියාවන් දියුණු කර ගැනීමට උදව් කළා.”
ඇය සිය අතීත මතක අවදි කරන්නට වූයේ බොහෝ සෙමෙනි. ඇයට දැන් බොහෝ අතීත තොරතුරු අමතකය. නමුදු බොහෝ වේලා කල්පනා කිරීමෙන් පසු ඇය සිය අතීතය සිහිපත් කරයි.
“මං ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ. අපේ ගෙවල් තිබුණේ තිඹිරිගස්යායේ. එක්දහස් නවසිය හතළිස් අටේ නිදහස් උත්සවයට ජාතික ගීය ගයන්න අප තෝරා ගත්තා. කරුණාරත්න ගුරුතුමිය තමයි අප තෝරා ගත්තේ මර්සලින් ජයකොඩි පියතුමා අපට ගීය පුරුදු කරන්න ආවා මතකයි. මේ ඉන්නේ මගේ අනෙක් යෙහෙළියෝ.”
ඇය සිය ලිපිගොනුවෙන් ගන්නා ලද දිනමිණ පුවත් පතක පළවූ ඡායාරූපයක් අපට පෙන්වන්නීය. ඇගේ ලිපි ගොනුවේ බොහෝ මතක වස්තු ඇත. ඒ අතර ඇයගේ විභාග සහතික මෙන්ම පාසල් කාලයේ ඇය විසින් අඳින ලද සිතුවම් ආදිය ද වේ.
“අපේ අම්මාට පැරණි තොරතුරු හොඳට මතකයි. නමුත් මේ මොහොතේ සිදුවන දේ මොහොතකින් අමතකයි. මට මතකයි අපි පුංචි කාලේ ගෙදර සර්පිනාවක් තිබුණා. අම්මා ඒ දවස්වල අම්මගේ පාසල් ජීවිතය වගේම ඇගේ කලා ජීවිතය ගැන තොරතුරු කියනවා. අපි දැක්කේ හැමදාම අපේ අම්මා සතුටින් ඉන්නවා.” ලීලාගේ පුතු රීසා පවසන්නේ තම මව දෙස බලමිනි.
“මගේ අම්මා ජොසලින් පෙරේරා. තාත්තා හේවා ගීගනගේ එන්දෝරිස්. මියුසිසියස් විද්‍යාලයෙන් පසුව මම මරදාන මැදි විදුහලේ ඉගෙන ගත්තා. එහිදි මම චිත්‍ර අදින්න, රවිකිඤ්ඤාව, සර්පිනාව වාදනය කරන්න ඉගෙන ගත්තා. එම විදුහලේ චිත්‍ර කලා ගුරුවරයා වුණේ එච්. පී. චාල්ස් මහත්තයා. මගේ මාමා කෙනෙක් තමයි ඒ කාලේ හෙළ හවුලේ සාමාජිකයෙකු වුණු වෙ. ම පෙරේරා.”
ලීලා මහත්මිය අතීත තොරතුරු සිහිපත් කරන අතරේ ඇගේ පුතු ඇයට යම් යම් සිදුවීම් සිහිපත් කරයි. ඇයගේ ගායන දිවිය ඇරැඹියේ කෙසේදැයි අපි විමසීමු.
ඒ අතීතය සිහිපත් කරන විට ඇගේ වත ප්‍රභාමත් විය.
“මම ඉස්කෝලෙත් සින්දු කිව්වා. ගුවන් විදුලියේ සින්දු කියන්න ගියා. දැන් ගුවන් විදුලිය තියෙන තැන නෙෙමයි එදා ගුවන් විදුලිය තිබුණේ. අප හිටිය තඹිරිගස්යායේ ගේ ඉස්සරහින් නිතර ගුවන් විදුලියට යන එන ශිල්පීන් යනවා. ඒකාලේ ඇල්බට් පෙරේරා ගුවන් විදුලියට එන්නේ වාදන ශීල්පියෙක් හැටියට. අපි ගයන විට ඔහු වාදනය කරනවා. සමහර දවස්වලට පප්පා මාව ඇල්බට් පෙරේරාගේ නිවෙසට එක්කගෙන යනවා.
ඒ ගායනය පුරුදු වෙන්න. සර්පිනාව වාදනය කරන්නත් කෙනෙක් යනවා. එහෙම පුරුදු වෙලා තමයි අපි ගායනා කෙරුවේ. ඇල්බට් පෙරේරා පසුව අමරදේව වුණා. මට මතකයි ඔහු ඒ කාලේ හැමදාම පුහුණු වීම් වලට එන්නේ ප්‍රමාද වෙලා. ඒ නිසා තමයි අපි ඔහුගේ නිවෙසට යන්නේ. ඒ කාලේ ඔහු ගායනා කළේ නැහැ. හේවාගීගනගේ ලීලාවති වුණු මගේ නම ගායන ලෝකයට හරියන ලෙසින් ලීලා අශෝකා කියලා වෙනස් කෙරුවා.”
ලීලා අශෝකා ගී ගයන්නීය. ඇයට යුග ගී ගැයිමට ද ඒ අතර අවස්ථාව ලැබෙන්නේය. ඒ සුනිල් ශාන්ත සමඟය. එමෙන්ම ඇයට ආනන්ද සමරකෝන් සමඟද යුග ගී ගයන්නට ලැබිණි. අවාසනාව නම් මේ ගී අද අසන්නට නොලැබීමය. සුනිල් ශාන්ත යනු ගුවන් විදුලියේ එක්තරා යුගයකි. නමුදු ඔහුට ගුවන් විදුලියේ රැකියාව අහිමි වුයේය.
“ඒ කාලේ ඉන්දියාවෙන් රතන් ජන්කර් ඇවිල්ලා ගුවන් විදුලියේ ශිල්පින් ශ්‍රේණිගත කෙරුවා. මේ පරික්ෂණයට සුනිල් ශාන්ත මහත්මයා ගියේ නැහැ. ඔහු කිව්වේ ඔහුට වඩා අඩු සුදුසුකම් තියෙන කෙනෙක් ගාවට යන්නේ නැහැ කියලා. අපි පරික්ෂණයට ගියා. මම ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ගායිකාවක්. මට මතකයි සුනිල් ශාන්ත මහත්මයා අපි පාරේ යනකොට දැක්කොත් වාහනය නතර කරනවා. නමුත් කවදාවත් ඔහු ගැහැනු අය ඉස්සරහින් නග්ග ගත්තේ නැහැ. පිටි පස්සේ අසුනට තමයි නග්ගවා ගත්තේ. ඒ වගේ තමයි ඔහු කිසිම කෙනෙක් එක්ක ආවාට ගියාට කතා කළේ නැහැ. මට ඔහුගේ යුග ගී වලට සහාය වීමට ලැබුණා. සමහර ගීවල පේළියයි දෙකයි ගයන්න ලැබුණේ. මෙවන් පිටිසරේ ගීතයේ නම් පේළි ගොඩක් ගයන්න තිබුණා. ඒ කාලේ මම ගුවන් විදුලියේ ගී බොහෝමයක් ගැයුවා. විවියන් ද සිල්වා බොරලැස්ස මගේ පාසල් යෙහෙළියක්. ඒ කාලේ මම ගුවන් විදුලියට ගවුම් ඇඳගෙන යන්නේ. සමහර දවස්වලට සාරි ඇදගෙන ගියා මතකයි.”
ගුවන් විදුලිය ගැන පරැණි ගී ගැන සිහිපත් කරන විට ඇයට සතුටුය. ඇය ගී මුමුනයි. ගුවන් විදුලියට ගිය තරුණ ලීලාට ගුරු පත්වීමක් ලැබෙන්නේය. ඇය කලක් මරදානේ පාසලක ඉගැන්නුවාය. ඒ පාසල්වල නම් කීමට දැන් ඇයට හරි හැටිද මතක නැත.
කෙසේ වුවත් පළමු නිදහස් උත්සවයේදී ජාතික ගීය ගායනා කළ; එකල සංගීත ක්ෂේතයේ ප්‍රවීණයන් සමඟ යුග ගී ගැයූ ඇයට ඒ සියල්ලෙන් වෙන්වීමට සිදුවන්නේ විවාහයත් සමඟය.
“මම කෙටි කාලයක් තැපැල් කන්තෝරුවේ සේවය කළා. ඒ කාලේ තැපැල් කන්තොරුවට ඔහු එනවා ලියුම් විදුලි පණීවුඩ ආදිය යවන්න. ඔහු සේවය කළේ රජයේ වෙළෙද ආයතනයක. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. ඔහුගේ නම එම්. ඒ. කමල්ඩීන්. අපේ සම්බන්ධයට කවුරුවත් කැමති වුණේ නැහැ. නමුත් අපි විවාහ වුණා. මම පන්සල් ගියා ඔහු පල්ලි ගියා. මට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා.
එයා බොහෝම හොඳට අපට සැලකුවා. නමුත් මම ගුවන්විදුලියට යනවට ගීත ගායනා කරනවාට ඔහු තැමති වුණේ නැහැ. ඔහු කිව්වේ මගේ ගී ගුවන් විදුලියේ ප්‍රචාරය කරන්න එපා කියලා ලියුමක් දෙන්න කියලා. මම ඒ විදිහට කෙරුවා. ඒකයි මගේ ගී ගුවන් විදුලියේ නැත්තේ. නමුත් යුග ගී එහෙම්ම තියෙනවා.” ඇගේ හඬ දුක්බරය. ගී ගායනයෙන් ඈත් වීම ඇයට දුකක් වන්නට ඇති බව අපට හැඟණි. ඇය පරණ තෝම්බු අතරේ තිබු චිත්‍ර එකින් එක ඇද අපට පෙන්වන්නට වුවා. ඒ චිත්‍ර හරි අපූරුය. ඒ චිත්‍ර අතර ඇය සමත් වූ චිත්‍ර, සංගීත පරික්ෂණවල සහතික පත් ද විය. ඇය මේ සියල්ල ඉතා ඕනෑකමින් ආරක්ෂා කර ගෙන සිටින්නීය.
“අම්මා හැමදේම හරි පරිස්සමට එකතු කරනවා. මේ තියෙන්නේ අම්මා තරුණ කාලේ ජේ. ඩී පෙරේරා කියන චිත්‍ර ශිල්පියා ඇය සිතුවමට නගපු එකක්. මේ චිත්‍රය කලාභවනේ තියෙනවා. ඒකෙන් ගත්ත රූපයක් තමයි මේ තියෙන්නේ. අම්මා හැමදාම බොහෝම ස්වාධින චරිතයක්. මම හුඟක් උත්සාහ කළා අම්මාගේ ගීත හොයන්න. නමුත් සුනිල් ශාන්ත මහත්මයා එක්ක ගැයූ ගීත අතරින් හතරක් විතරයි තියෙන්නේ. සරත් ද අල්විස් කියන්නේ මගෙ මාමා. ඔහු මගේ අම්මගෙ බාල මල්ලි. අද වෙන කොට බොහෝ දෙනා දන්නේ නැහැ අම්මා ජීවත්ව සිටින බව.”
රීසා පවසන්නේ දුකෙනි. සුනිල් ශාන්තයන්ගේ සියවැනි සමරු උලෙළට ද ලීලා අශෝකා මහත්මියට සහභාගි වීමට අවස්ථාව ලැබිණි. නමුදු ඇය ගැන සමාජය කතා කරන්නේ නැති තරම්ය. මීට වසර දහපහළොවකට පෙර ඇය හා කතා කළේ නම් අතීත ගුවන් විදුලිය හා එහි ගත කළ ජීවිතය මෙන්ම නිවේදිකාවන් නිවේදකයන් ගායන ශීල්පීන් ගැන වටිනා කතා බහක නිරත වන්නට ඉඩ තිබිණී.
අවුරුදු අසූව අසූ පහේදි පමණ ඇය විසින් කාන්සිය මඟහරවා ගැනීමට ඇඳි සිතුවම් මෙන්ම මැහුම් නිර්මාණ ආදිය ඇය එකින් එක පෙන්වයි. පාසල් වියේදි ප්‍රදර්ශණවලට තියන්නට ඇදි සිතුවම් ද ඒ අතර විය. හෝරා තුනහතරක් ඇය හා ගතකරමින් ගෙවූ කාලය මනරම්ය. තවත් ඇය නොවෙහෙසා අපි ඇයට සමු දුනිමු. ඇය ඒ පැය කිහිපයම අපට අප නොදන්නා අතීතයක් සිහිපත් කර දුන්නාය.
“කෑම සොයන්නට මේ පැටියන් හට ඈත වනේ සැරුවා...”
ඒ ගෙවුණු කාලය පුරා ඇය මුමුනන ලද ගී පදයයි. තවත් විටෙක,
“එන්ඩද මැණිකේ මමත් දියඹටා
නෙළන්න කෙකටිය මල්...” යනුවෙන් ගුරු දෙවි සුනිල් ශාන්තයන් ගයන ගීයක පද වැලක් මුමුනන්නිය. වයස ගෙවී ගිය ද ඇගේ ගී හඬ තවමත් සොඳුරුය.
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු