රටේ පවත්නා අර්බුදය වහා නිම කළ යුතුව ඇත | සිළුමිණ

රටේ පවත්නා අර්බුදය වහා නිම කළ යුතුව ඇත

නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතළ ම ව්‍යවස්ථා අර්බුදය අවසන් කිරීම සඳහා කාලය එළැඹ තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුගතව රාජ්‍ය පාලන යන්ත්‍රණයක් නිර්මාණය කර ගෙන ඇති ඕනෑ ම රටක එකී සම්ප්‍රදායයන් හා ව්‍යවස්ථාමය එකඟත්ව පදනම් කරගෙන විවිධ මතභේද නිර්මාණය විය හැකිය; ඒවා අර්බුද කරා වර්ධනය වීම ද විය හැකිය. එහෙත් ඒවා නිසි මොහොතේ නිසි ආකාරයට සමථයකට පත් කරගැනීමට රාජ්‍ය පාලනයට සම්බන්ධ සෑම පාර්ශ්වයක් ම වගබලා ගත යුතුය.

අද වන විට අප මුහුණ දෙමින් සිටින ව්‍යවස්ථා අර්බුදය නිර්මාණය වන්නේ යහපාලන රජය බිඳ වැටීමත් සමඟ ය. එය බිඳ වැටෙන්නේ එහි ප්‍රධාන පාර්ශ්වකරුවකු වශයෙන් ක්‍රියා කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉන් ඉවත් වීමත් සමඟ ය. නව අග්‍රාමාත්‍යවරයකු පත් කිරීමේ අවශ්‍යතාවක් ජනාධිපතිවරයා හමුවේ පැන නඟින්නේ ඉන් අනතුරුව ය. එහිදී අග්‍රාමාත්‍ය තනතුර සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තෝරා ගැනීම වූයේ මහින්ද රාජපක්ෂ මහතා ය. එවැනි තෝරා ගැනීමකට මෙන් ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ධුරය අහිමි කිරීම සඳහා ජනාධිපතිවරයා පෙන්වා දී ඇති හේතු කාරණා සැලකිමේදි ඒ තීරණය සහේතුකය. එහෙත් ඒ සඳහා අත්‍යවශයෙන් ම ගත යුතු ක්‍රියා මාර්ග වැටී ඇත්තේ රටේ බලාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීන්දුව පි්ළිබඳ ව මත දෙකක් පැන නැඟීම හේතුවෙන් එය අර්බුදයක් දක්වා වර්ධනය විය.

ඒ අර්බුදය කල්පවත්නා එකක් බවට පත් වූයේ ඒ සඳහා ගත යුතු විසඳුම අධිකරණයෙන් ලබා ගැනීම සඳහා යොමු වීමත් සමඟ ය. එය අප සියලු දෙනා පිළිගත යුතු ස්වාභාවික මෙන්ම යුක්ති සහගත තත්ත්වයකි. මක්නිසා ද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්වචනය කිරිමේ මෙන්ම ජනතාවගේ මානව හිමිකම් රැකදීමේ පරම බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරී ඇති නිසා ය. එමෙන්ම පුරවැසියකුට, ආයතනයකට හෝ රටට යම් අගතියක් ඇති වීම වළක්වාලමින් රීට් ආඥාවන් ද ඇතුළු අතුරු තහනම් නියෝග පැනවීමේ බලය ද අධිකරණය වෙත පැවරී තිබීම ඊට හේතුවයි.

ඒ අනුව ජනාධිපතිවරයා මොනතරම් සහේතුක ව සහ රටේ අනාගතයේ යහපත උදෙසා සද්භාවයෙන් යුතුව නීත්‍යානුකූල ව තීරණයක් ගෙන ඇත්තේ වුව ද, ඕනෑ ම පාර්ශ්වයකට නෛතික වශයෙන් ඊට අභියෝග කිරීම සඳහා ව්‍යවස්ථාපිත නීතියෙන් ලබා දී ඇති ප්‍රතිපාදන අනුව, ජනාධිපතිවරයාගේ තීරණය අධිකරණ දෙකක් හමුවේ අභියෝගයට ලක් වී තිබේ. එ් අභියාචනාධිකරණය හමුවේ සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ය.

එහිදී අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති නඩුවට පදනම් කර ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් දරන අග්‍රාමාත්‍ය තනතුර සහ නව කැබිනට් මණ්ඩලය පත් කිරීම නෛතික ව අභියෝගයට ලක් කිරීම ය. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එමඟින් මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය තනතුර හා නව කැබිනට් මණ්ඩලය පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය, බල රහිත කර නැතත් අග්‍රාමාත්‍යවරයාගේ සහ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගේ ක්‍රියාකාරීත්වය වළක්වා තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගට ලක් කර අැතත් ඒ පිළිබඳ ව වන විභාගය, පත්‍රය මුද්‍රණයට යන මොහොත වන තුරුත් සිදු කෙරෙමින් පැවතිණි. එහි තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇතැයි විශ්වාස කළ හැක්කේ එළැඹෙන සතියේ මුල් දිනකදී ය.

මෙවන් පරිසරයක අවම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන නඩුවේ තීන්දුව ප්‍රකාශ වන තෙක් පැහැදිලි විසඳුමකට යෑමට සියලු ම පාර්ශ්වයන්ට නොහැකි වනු ඇත. මේ තත්ත්වය ඇතුළත ආණ්ඩුවක් ඇතත් ආණ්ඩුවේ සක්‍රීය ක්‍රියාකාරීත්වයක් නොමැති ව රට යහපත් තත්ත්වයෙන් පවත්වා ගෙන යෑම ද එක්තරා අන්දමකට ආශ්චර්යයකි.

එහිදී විධායක ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලය ද අතිශයින් ම තීරණාත්මක විය. කුමන විවේචන පැවතිය ද විධායක ජනාධිපති ධුරයට ඇති තීරණාත්මක බව හා වැදගත්කම පිළිබඳ ව තක්සේරුවක යෙදීම සඳහා ද පසුගිය කාල සීමාවේ රටේ පවත්වා ගෙන ගිය සාමකාමී තත්ත්වය නිමිත්තක් කර ගත හැකිය.

ඒ කෙසේ වුවත් රටක් ලෙස අද අප ගෙවමින් සිටින්නේ තීරණාත්මක මොහොතකි. මතු වූ දේශපාලන ව්‍යවස්ථාමය ගැටලුවලට ස්ථිරසාර විසඳුමක් නොපමාව ලබා ගත යුතු මොහොතක අපි පසු ‍ෙවමු. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේදී අවධාරණය කළ අයුරින් ම එළැඹෙන සතියේ මුල් දින කිහිපයේ ස්ථාවර රජයක් ඇති කර ගැනීම සඳහා පදනම සැකසිය යුතුව තිබේ. එහිදී පුද්ගල සාධක වැදගත් විය හැකි නමුත් එය එක ම සාධකය බවට පත් කර ගත යුතු නැත. වඩා වැදගත් වන්නේ රටේ යහපැවැත්ම ය. එහෙත් එක් දෙයක් පමණක් අවධාරණය කළ යුතු ම ය. එළැඹෙන සතියේ ගොඩනඟන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා කවුරුන් විය හැකි වුව ද, ඔහු ඍජු ජනතා පරමාධිපත්‍ය බලය සහිත විධායක ජනාධිපති තනතුර සමඟ සහජීවනයෙන් යුතුව කටයුතු කළ හැකි අයකු විය යුතුය.

Comments