මහින්දට විශ්වාසභංගය ගෙනත් තමා අගමැති නොවන බව රනිල්ම පිළිගත්තා | සිළුමිණ

මහින්දට විශ්වාසභංගය ගෙනත් තමා අගමැති නොවන බව රනිල්ම පිළිගත්තා

වර්තමාන අර්බුදකාරී දේශපාලන වාතාවරණය යටතේ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්නේ තමන්ගේ බලය වැඩි කර ගැනීමට මිස රට පත්ව ඇති අසීරුතාව ගැන සිතා නෙමෙයි, යනුවෙන් පැවසුවහොත්....

අපේ බලය වැඩි කරගන්න මේ සදාචාර විරෝධී අරගලය කිසිසේත්ම අදාළ වන්නේ නැහැ. අපි නැඟී සිටින්නේ ව්‍යවස්ථා විරෝධීව පත්වූ මේ ආණ්ඩුවට එරෙහිවයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන සියලු දෙනාම විසින් ගිල ගනිමින් තියෙන්නෙ. අපි උත්සාහ කරන්නේ ජනතාව වෙනුවෙන් ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර දීමටයි. අර්බුද නිර්මාණය කළ අයම ඒ අර්බුද විසඳාලිය යුතුමයි.

මේ අර්බුදය විධායකයට අභියෝග කර තම පටු අරමුණු ඉටු කර ගැනීමට දේශපාලන පක්ෂයක් දරන වෑයමක් ලෙස හැඳින්වුවහොත් ඔබ එය පිළි ගන්නවාද?

ඉතිහාසයේ පළමු වතාවට අධිකරණය, විධායකය හා ව්‍යවස්ථාදායකය යන රටක ප්‍රධාන බල කණු තුන දැන් එකට හැප්පෙන්න පටන් අරන් තියෙන්නෙ. විධායකය අත්තනෝමතික ලෙස, ව්‍යවස්ථා විරෝධී ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ක්‍රියාත්මක වීමත් සමඟ එයට ව්‍යවස්ථාදායකය පැටලුණා. ඒ කියන්නෙ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවයි විධායකයයි අතර තියෙන මේ ගැටුම අවසානයේ අධිකරණය දක්වා ගියා.

අධිකරණය මෙයට සම්බන්ධ වුණා. ඉතිහාසයේ පළමු වතාවට තමයි ජනාධිපතිවරයාගේ නියෝග ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, අභියාචනාධිකරණය විසින් අත්හිටුවලා තියෙන්නේ. ආණ්ඩුව විසිරවීමට අදාළ ගැසට් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවා තිබෙනවා. අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අභියාචනාධිකරණයෙන් අත්හිටුවා තිබෙනවා.

රටේ අද පවතින අරාජික තත්ත්වය මෙය බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ තත්ත්වයෙන් පටු අරමුණු ඉටු කරගැනීමට ඉඩ ලබාදී තිබීමයි මෙහිදී ගැටලුව වී ඇත්තේ. මේ ගැටුමට මුල පිරූ ක්‍රමය ඉවත් කර ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම පමණයි මේ සියල්ලටම එකම විසඳුම වන්නේ.

ආණ්ඩුවට බහුතරයක් නැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නමුත් ඔවුන්ටත් බහුතරයක් නැහැ. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

සුළුතර ආණ්ඩුවක් තමයි රජ කරන්නෙ. එය ව්‍යවස්ථා විරෝධියි. ආණ්ඩු පක්ෂයෙ අයම කියනවා අපිට බහුතරයක් නැහැ කියලා. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාම මාධ්‍ය සාකච්ඡාවලදි පවසනවා අපිට බහුතරයක් නැහැ කියලා. ආණ්ඩුවක් ගෙනියන්න බහුතරයක් අවශ්‍ය නොවන බව සමාජගත කිරීමක් මේ කරන්න හදන්නෙ. එය ඉතාම බරපතළ තත්ත්වයක්.

බහුතරයක් නැති කිසිදු ආණ්ඩුවක් ව්‍යවස්ථාවට අනුව බලයේ ඉන්න බැහැ. අපිට කිසිම පක්ෂයක් බලයේ තියන්න කිසිම වුවමනාවක් නැහැ. නමුත් අවම වශයෙන් පවත්නා ආණ්ඩුව ව්‍යවස්ථාවට අනුව බහුතර ආණ්ඩුවක් විය යුතුයි.

මේ ප්‍රශ්නය ආරම්භ වුණේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයාගේ ක්‍රියා කලාපය නිසා බව ජනාධිපතිතුමා නිතරම පවසනවා. ඔබ පක්ෂය ඒ දෙස නොබලන්නේ ඇයි?

රනිල්, මහින්ද, මෛත්‍රී කියන මේ තුන්ගොල්ලම එකතු වෙලා තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන ගෙට ගිනි තිබ්බෙ. පැට්‍රල් දාල ගිනි තියන වැඩ ටික මහින්ද පර්ශ්වයයි, මෛත්‍රී පාර්ශ්වයයි කළා. අවුළුවන්න ඕන කරන දර කෑලි ටික රනිල්ලා ගෙනල්ල දීලා තිබුණ.

ඔබ පවසනවා ප්‍රජාතන්ත්‍රවාදය කියන ගෙට ගිනි තිබ්බා කියලා. දේශප්‍රේමී කියන දේශපාලන පක්ෂයක් හැටියට ඔබ පක්ෂයේ වගකීමක් නේද මේ ගේ ගිනි ගත්ත එක නිවා දමන එක.

අපි උත්සාහ කරන්නෙ නිවා දමන්න තමයි. නිවා දමන්න විතරක් නෙමෙයි. ගිනි ගත්ත ගේ ඇතුළෙ ඉන්න අය බේර ගන්නත් අපි උත්සාහ කරනවා. ඒත් එතකොට ගිනි තියපු අය අහනවා, අපි ගෙට ආවෙ අවසර අරගෙනද? නැතිනම් වැට පැන්නෙ අවසර අරගෙනද කියලා.

ඇතුළෙ ඉන්න අය බේරගන්න ගෙදර දොර ජනෙල් කඩන්න වෙනවා. එතකොට මේ අය චෝදනා කරනවා අපි දොර ජනෙල් කැඩුවා කියලා. රට අරාජික කරපු අය, අපි යම් හෝ ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් ගන්න යනකොට එයට ඇඟිල්ල දිගු කරනවා.

ඒ වුණාට ඔබ පක්ෂයට චෝදනා එනවනෙ පක්ෂය එජාපයට කඩේ යනවා කියලා.

අපි කඩේ යනවා තමයි. හැබැයි අපි කඩේ යන්නෙ ජනතාවට, රට බේරගන්න, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. අපි කියපු දේම තමයි ගෝමින් දයා ශ්‍රී නීතිඥ මහත්තයත් කියන්නෙ. එතකොට එයත් කඩේ යනවද? අධිකරණයත් අපි කියපු දේම කිව්වෙ. වාරණ නියෝග දුන්නා. එතකොට අධිකරණය කඩේ යනවද? මේ කුමන්ත්‍රණ අපි පරාජය කරනවා.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා තවමත් අගමැති තමන් බවත් ඇමැති මණ්ඩලය හිටපු එජාප ඇමැති මණ්ඩලය බවත්?

එජාපයට කොහෙත්ම අයිතියක් නැහැ එවැන්නක් පැවසීමට. රනිල් අගමැති නම් ඇයි මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවේ. එතැනම එයා පිළි අරගෙන අගමැතිවරයා එයා නෙවෙයි කියලා. ඒවා එයාල හිතින් ‘පොඩි චූන්’ එකක් ගන්න කියන කතා. ඔහේ ටිකක් චූන් වුණාවෙ. එයා‍ලගේ ආසාවනෙ.

ආණ්ඩුවට විරුද්ධව භාර දීපු අස්සන් ලේඛනයේ ජනතා විමුක්ති පෙරමුණත් හිටියා. ඒක එජාපයට ලබා දුන් සහායක් නෙවෙයිද?

එවැනි චෝදනාවකුත් සමහරු අපට එල්ල කරනවා. ඒකට කියන්න වෙනම කතාවක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාට විශ්වාසභංගයක් ගෙනාවා. මහින්ද රාජපක්ෂ ආවෙ නැහැ. අපි විරුද්ධව ඡන්දෙ දුන්නා. අපිට ඇඟිල්ල දික් කරන ගොඩක් අය එදා ආවේ නැහැ. මෛත්‍රීපාල ජනාධිපතිවරයා‍ ප්‍රමුඛ පිරිස තමයි එදා රනිල්ව බේර ගත්තෙ.

එදා ‍ඒ විශ්වාසභංගයට පක්ෂව ඡන්ද දුන් එකට කවුරු හරි කියනවා ඇති මහින්ද රාජපක්ෂට ක‍ඩේ ගියා කියලා. ඒකත් අපි පිළිගන්නෙ නෑ. විශ්වාසභංගය ගෙනාවෙ රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම කළ යුතුම නිසා.

මෙතැන ප්‍රශ්නෙත් ඒ වගේ තමයි. ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් කරලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරලා තියෙන්නෙ. ඊට එරෙහිවයි අපි නැඟී සිටියෙ. අපි තමයි විශ්වාසභංගය ඉදිරිපත් කෙළේ. එහෙම නැතිව එක්සත් ජාතික පක්ෂය ගෙනාපු විශ්වාසභංගයකට අපි හවුල් වුණා නෙමෙයි.

මේ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ මහ මැතිවරණයක් ඉල්ලා සිටීම බොර දියේ මාළු බෑමක් ‍කියල ‍චෝදනාවක් තියෙනවා?

අපිට එහෙම කිසිම වුවමනාවක් නැහැ. අපිට යම්කිසි දේශපාලන ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය තමයි මේ ධනපති දේශපාලනය පෙරළා දමා සමාජවාදය ස්ථාපිත කිරිම. ඒ සඳහා රාජ්‍ය බලය ලබා ගැනීමේ ඉලක්කයක් තියෙනවා. අපි යන්නේ අපේ පෞද්ගලික අවශ්‍යතාවකට නෙමෙයි. කෝටි 50කට 60කට මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ අලෙවි වෙද්දී අපේ පෞද්ගලිකත්වය උදෙසා නම් අපිට ඕන තරම් ඒවාට නැවෙන්න තිබුණා. අපි ඒ පහත් තත්ත්වයට වැටෙන්නෙ නැහැ. අපි විනයක් ඇති ඇත්ත යුක්තියට ගරු කරන පක්ෂයක්. අපි මැතිවරණවලට බය නැහැ.

Comments