රෝද තුනෙන් හතරට යන්න ‘නයිටා’ වෙතින් අත්වැලක්! | Page 3 | සිළුමිණ

රෝද තුනෙන් හතරට යන්න ‘නයිටා’ වෙතින් අත්වැලක්!

ඡායාරූප - සමන්ත වීරසිරි

ත්‍රිරෝද රථය අද සමාජයේ ප්‍රවාහන කටයුතුවලදී මඟීන්ගේ ගජමිතුරා බවට පත්ව තිබෙන බව නොරහසකි. ශ්‍රී ලංකාව තුළ ගම්බද ප්‍රදේශවල මෙන්ම අර්ධ නාගරික හා තදාසන්න නගර ඇතුළු සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ සේවාව මගින් ලක්ෂ 75කට වැඩි පිරිසකට පොදු ප්‍රවාහන සේවාවක් සැලසීම මීට හේතුවයි. එහෙත් සමාජය තුළ වැඩිපුර ප්‍රචාරය වන්නේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වැරදි ගැන පමණකි. කෙසේ වෙතත් ‍මොවුහු දිවා-රාත්‍රි නොබලා ඕනෑම මොහොතක කුලී ගමනක් යෑම සඳහා සූදානම් පිරිසකි. එලෙසම ඔවුහු බොහෝ දෙනෙක් යමකුගේ විපතකදී කොන්දේසි විරහිතව පිහිට වීම සඳහා නිරන්තරයෙන් ඉදිරිපත්ව සිටිති.

ත්‍රිරෝද රථයේ මෙරට තුළ ඉතිහාසය විමසතොත්: 1978–80 වකවානුවේදී ශ්‍රී ලංකාවට ත්‍රිරෝද රථ මුල්වරට හඳුන්වා දෙනු ලැබීය. ඒ ඉතා කුඩා ප්‍රමාණයකිනි. එහෙත් ප්‍රවාහන අවශ්‍යතා මෙන්ම ජනතාව ඒ සඳහා ඇති විශාල කැමැත්ත මත මෙය ඉතා වේගයෙන් රට පුරා ව්‍යාප්තව ගියේය.

ශ්‍රී ලංකාව තුළ ළදරු මරණ අනුපාතය අඩු වීම සඳහාද ත්‍රිරෝද රථය බලපෑ බව ඉකුත් වසර විස්සක කාලය පිළිබඳ කළ සමීක්ෂණයකින් අනාවරණය වී යැයි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පවසයි.

එසේම විලිරුදාවෙන් කෑගසන ගැබිනි මවක ඉතා ඉක්මනින් රෝහල කරා ගෙනයෑමට ත්‍රිරෝද රථ රියැදුරෙක් කිසිවිටක පසුබට නොවේ. ඒ හේතුවෙන් ළමයින් දහස් ගණනක් නිරුපද්‍රැතව බිහි කිරීමට ඔවුන් සිය දායකත්වය ලබාදී ඇත්තේ දිවා-රෑ ‍නොබලා ය. රිය අනතුරක් සිදු වූ විට බොහෝ රිය හිමියන් ඒ දෙස නොබලා හෙමින් සීරුවේ එම ස්ථානයෙන් නික්ම යද්දී ත්‍රිරෝද රථ රියැදුරෝ ඉතා ඉක්මනින් තුවාලකරුවන් රෝහල කරා ගෙන යෑමට කටයුතු කරති. එලෙස ගෙන ගිය රෝගීන් රෝහල වෙත භාරදීමද මෙම රියැදුරු මහත්වරුන් විසින් සිදු කරනු ලබයි. එලෙස රෝගියා ඉතා ඉක්මනින් රෝහල වෙත ගෙන යෑම නිසා මිය යන්නට අවකාශය තිබූ තුවාලකරුවන් විශාල පිරිසකගේ ජීවිත බේරාගැනීමට වෛද්‍යවරුන්ට හැකි වී තිබේ. පාසල් ළමයින් විභාගවලට පෙනී සිටීමේදී ප්‍රමාද නොවී සහභාගි වීමට හේතුව ත්‍රි‍රෝද රථ රියැදුරන් පාසල් ළමයින්ට සැපයූ සේවාව බවද මේ සමීක්ෂණයේදී හෙළි වූ බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථ මඟී ප්‍රවාහනයට එක් වීමේ ප්‍රවණතාව විමසන විට පෙනී යන්නේ පාසල් අධ්‍යාපනය අතරමඟ හැරදැමූ බොහෝ තරුණ පිරිස් මේ රැකියාව තෝරාගන්නා බවයි. එහිදී ප්‍රධානම කරුණු වී ඇත්තේ මේ සඳහා ප්‍රාග්ධනය සොයාගැනීම පහසු වීම, ඉතා කෙටි කාලයකින් රැකියාව ආරම්භ කිරීමට හැකි වීම මෙන්ම ඕනෑම වේලාවක මෙහි නිරත වීමට ඇති අවස්ථාවය.

වැඩි වශයෙන් ත්‍රිරෝද රථ සේවාවේ යෙදී සිටින්නේ තරුණයෝය. ඔවුන්ට මෙය ආකර්ෂණීය රැකියාවක් බවට පත්වී තිබේ. එලෙසම ත්‍රීරෝද රථ සේවාවෙන් ඉවත් වන පිරිසට වඩා ඒ සඳහා එක් වන පිරිස අතිමහත්ය. මේ හේතුවෙන් මේ රැකියාවේ නිරතව සිටින්නන්ගේ අනාගතය පිළිබඳ ගැටලුවක් මතු වෙයි. ඒ සඳහා පිළියම් යෙදිය යුතු තත්ත්වයක්ද වර්තමානයේ උදා වී තිබේ.

මේ සඳහා විකල්ප ලෙස ත්‍රි‍රෝද රථ රියැදුරු මහත්වරුන් වෙනුවෙන් ක්‍රමවත් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ සම්බන්ධව එම අධිකාරියේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා අදහස් ප්‍රකාශ කළේ මෙසේය:

“ත්‍රිරෝද රථ රියැදුරන්ට වර්තමානයේ සමාජය තුළ හිමි ස්ථානය අප වෙනස් කළ යුතුයි. ඉතා සුළු පිරිසක් කරන වැරදි හේතුවෙන් මේ රැකියාවේ යෙදෙන පිරිසට වැරදි ප්‍රතිරූපයක් තමයි නිර්මාණය වී තිබෙන්නේ. ලක්ෂ 10කට වැඩි වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරන් වෙනුවෙන් අප කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර එය ක්‍රියාවට නංවමින් සිටිනවා.

රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරී‍ම් අධිකාරිය (NAITA) ආයතනය මඟින් පසුගිය කාලයේ අප සමීක්ෂණයක් සිදු කළා. එහිදී කරුණු රැසක් අනාවරණය කර ගැනීමට අපට හැකියාවක් ලැබුණා.

සාමාන්‍යයෙන් පැය අටක කාලයක් ත්‍රි‍රෝද රථ රියැදුරකු ලෙස සේවය කරන පුද්ගලයන් ඇත්තටම එම කාලය තුළ රථය පදවමින් කුලී ගමනේ යෙදෙන්නේ පැය 2කට ආසන්න කාලයක් පමණයි. ඉතිරි පැය 6ක කාලයක් රියැදුරකුට නිකරුණේ කාලය ගත කිරීමට සිදු වනවා.‍ ඒ තමන්ගේ වාරය එන තෙක් ත්‍රිරෝද රථගාලේ හෝ වෙනත් ස්ථානයක ත්‍රිරෝද රථය නවතාගෙන සිටීමට සිදු වීම නිසයි.

මෙන්න මේ කාලය ඔවුන්ට යම් වෘත්තිය පුහුණුවක් දී ඔවුන් එම වෘත්තියේ අතිරේකව යෙදෙවීමට අප සැලසුම් කළා. ඒ අනුව තෝරාගත් රැකියා කිහිපයක පුහුණුව නොමිලේ ලබාදීමට රජය කටයුතු ක‍රනවා. ඒ යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍ර සහ තවත් හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයකට මොවුන් යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙමඟින් තම ප්‍රදේශවල පවතින කෙටිකාලීන සේවා අවශ්‍යතා ඉටු කරලීම සඳහා අවශ්‍ය මූලික දැනුම හා කුසලතා ත්‍රි‍රෝද රථ රියැදුරන්ට ලබාදී ඔවුන්ට ආර්ථිකව සහනයක් ලබාදීමට අවකාශ සැලසෙනවා” යැයි ද සාරංග මහතා පැවසීය. මේ වැඩසටහන ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් නම් කර ඇත්තේ ‘ත්‍රී වීලයෙන් ෆෝ වීලයට’ යනුවෙනි. ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආදායම වැඩි කර, ඔවුන්ටද මෝටර් රථයක් මිල දී ලබාගැනීමට හැකියාව සලස්වා දීමේ රජයේ අරමුණ එයින් අරුත් ගැන්වේ.

පුහුණුව ලබාදීමට අපේක්ෂා කරන ප්‍රධාන ක්ෂේත්‍ර:

1. ගෘහස්ථ ගොඩනැගිලි නඩත්තු සහ සේවා-

Masonry, Carpenter, Domestic Electrician, Plumbing, Tiling, Landscaping, Building, Painting, Bar Bender

2. ලෝහ පිරිසැකසුම්කරණය -

Basic Welding, Basic Aluminum Fabrication|

3. ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියාව හා සේවා කිරීම -

House hold Electrical Appliances Repairing & Services and House hold Electrical equipment Repairing

4. කොණ්ඩා කැපීම - Hair Cutter

5. කාමර සේවා, භෝජනාගාර සේවා සහ උත්සව අවස්ථා කළමනාකරණය -

Hotel Services & Event Management

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල මඟින් දිවයිනේ ඕනෑම දිස්ත්‍රික්කයකදී මේ පුහුණුව ලබාගත හැකි අතර, සති අන්ත පාඨමාලා වශයෙන් මේවා ක්‍රියාත්මකය.

දැනටමත් මේ යටතේ 100කට ආසන්න ත්‍රිරෝද රථ රියැදුරන් පිරිසක් පුහුණුව ලබන අතර, මේ පිරිස පුහුණුවීම් අවසන් කිරීම්වලින් පසුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හා ප්‍රධාන නගරවලට අවශ්‍ය සේවාව ජංගම දුරකතනවලට ඇප් එකක් මඟින් ලබාදීමේ හැකියාවද සැලසුම් කර තිබේ.

www.naita.gov.lk යන ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ නිල වෙබ් අඩවියට පිවිස‍ීමෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමේ හැකියාව ඔබටත් විවරව පවතී.

Comments