නාගයන් දමනය කළ නාගදීපය | සිළුමිණ

නාගයන් දමනය කළ නාගදීපය

බුදුරජාණන් වහන්සේ මෙරටට වැඩම කරන ලද අවස්ථා තුනෙන් වැදගත්ම අවස්ථාව ලෙස සැලකෙන්නේ දෙවන ලංකාගමනයයි. එයට හේතු වන්නේ බුදුරජාණන් වහන්සේ යුද්ධයක් සංසිඳුවීම පිණිස මෙරටට වැඩම කිරීමයි. වංස කථාවන්හි දැක්වෙන පරිදි බුද්ධත්වයෙන් පස්වන වසරේ බක් මස අමාවක පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේ දඹදිව ජේතවනාරාමයේ සිට නාගදීපයට වැඩම කළේ චූලෝදර හා මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර ඇතිවන්නට ගිය යුද්ධයක් මැඬ පැවැත්වීමටය. 

පැරණි ලක්දිව නාගයන්ට වාසස්ථානය වූ නාග භවන තුනක් පිළිබඳ සද්ධර්මාලංකාරයේද විස්තර වේ. ඒ වඩුන්නාගල නාග භවන, මණිනාග දිවයින සහ කැලණි ගංගා නාග භවනය යි. මේ අතුරෙන් වඩුන්නාගල නාග භවනයෙහි තිස් කෙළක් නාගයන්ට නායක වූ චූලෝදර නම් නාග රජු වාසය කළේ ය. මණිනාග දිවයිනෙහි වූ සමුද්‍රා නාග භවනයෙහි විසූ මහෝදර නම් නාග රාජයා ද තිස් කෙළක් නාගයන්ට නායක වූවෙකි. විසි කෙළක් නාගයන්ට නායක වූ මණි අක්ඛික නම් නාග රජු කැලණි ගංගා නාග වනයෙහි වාසය කළේ ය.

පුරාවෘත්තයන්ට අනුව නාගදීපය ඇතුළු මුහුදේ ප්‍රධානියාව සිටි මහෝදර නා රජුගේ සහෝදරිය වූ තිරවිකා නාග කන්‍යාව කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට සරණ පාවා දෙන ලදී. චූලෝදර ඔවුන්ගේ පුතණුවන්ය. චූලෝදර පසුව වඩුන්නාගල (කල්පිටියේ) සිටි බව ද සඳහන්ය. විවාහයේ දී පිය රජු ඇයට මැණික් පුටුවක් තෑගි කළේ ය. මහෝදර නා රජුගේ සොහොයුරිය වූ තිරවිකා හදිසි අසනීපයකින් මියගිය පසු මහෝදර නා රජු එම පුටුව ආපසු ඉල්ලා සිටියේ ය. එය ආපසු භාර දීම බෑනණුවන් වූ චූලෝදර ප්‍රතික්ෂේප කළේය. එය හේතු කරගෙන චූලෝදර සහ මහෝදර අතර යුද්ධයකට මඟ පෑදිණි. මහෝදර නා රජුගේ මාමා වූ කැලණියේ මණි අක්ඛිත නා රජු ද එම සටනට සහභාගි වීම සඳහා සේනා සන්නද්ධව නාගදීපයට ගියේය.

ඒ බව දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ අතර, වැඩම කිරීමට පෙර දෙව්රම් වෙහෙර අසල කිරිපලු රුකෙහි වාසය කළ සමිද්ධි සුමන දෙවියන්, පෙර භවයක මණිනාගදීපයේ විසූ නිසා තමන් වහන්සේ සමඟ ලංකාවට පැමිණෙන ලෙස දන්වා සිටියහ. සමිද්ධි සුමන දෙවියන් කිරිපලු රුකක් ද රැගෙන බුදුරජාණන් වහන්සේ සමඟ වැඩම කරන ලදී.

බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කර ආකාශයෙහි වැඩ හිඳිමින් යුද වැදීමට සූදානම්ව සිටි නාගයන් දමනය කරනු පිණිස ගන අඳුරක් මැවූ සේක. එයින් නාගයින් බියපත් වූ විට පසුව ආලෝකයක් විහිදුවා තමන් වහන්සේ ඔවුනට දකින්නට සැලැස්වූ සේක. එයින් ඉමහත් සොම්නසටත්, සැනසීමටත් පත් නාගයෝ සම්බුදු සිරිපා අබියස වැඳ වැටුණාහ. මැණික් පුටුව ද බුදුරජාණන් වහන්සේට පූජා කළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩහිඳ නා රජවරුන් ප්‍රමුඛ නාග සේනාවන් සමගි කරවීම පිණිස ධර්මය දේශනා කළ සේක. පසුව චූලෝදර මහෝදර නා රජවරු ඇතුළු පිරිසට සමගියෙන් සිටීමේ අනුසස් දේශනා කර ආරවුල ඇති වූ මිණි පලඟ හා සමිද්ධි සුමන දෙවියන් ගෙන ආ කිරිපලු රුක වන්දනාමාන කිරීමට ඉතිරි කර වැඩිසේක.

නාගයෝ කිරිපලු රුක රෝපණය කර ඒ අසල මිණි පලඟ තැන්පත් කර චෛත්‍යයක් සාදවන ලදී. එය නාගදීප වෛත්‍යයයි. මේ චෛත්‍ය කිරිපලු රුක අසල පිහිටි නිසා රාජායතන චෛත්‍යය ලෙස ද ප්‍රකට විය. ඇතැම් තැන්හි සාවද්‍ය ලෙස එම මිණි පළඟ කැලණි විහාරයේ නිධන් කර ඇති බවට තොරතුරු වාර්තා කර තිබේ.

එසේ නාගයන්ගේ වන්දනාවෙන් ඇරැඹුණු නාගදීප වන්දනාව අනුරාධපුර යුගයේ සහ පොලොන්නරු යුගයේ ද මහත් ඉහළින් සිදු කෙරුණද එයින් පසු යුගවල වන්දනාකරුවන්ගේ අවධානය තරමක් අඩු වු බවක් පෙනේ. එමෙන්ම දකුණු ඉන්දීය ආක්‍රමණ හා. 1505 වසරේ සිට අධිරාජ්‍යවාදී ආක්‍රමණ නිසාත් නාගදීප වන්දනාව අභාවයට යන්නට විය.

එසේ වුවත් නාගදීපය ගැන දැනගත් රන්දොඹේ සෝමසිරි තිස්ස නාහිමිපාණන් වහන්සේ 1931 වසරේ නාගදීපයට වැඩම කොට නාගදීපය බෞද්ධ වන්දනාව පිණිස බැතිමතුන්ට විවෘත කරන ලදී. බුරුම රජයෙන් තිළිණ කළ ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් ද එහි තැන්පත් කරන ලදී. එහෙත් 1958දී ජාතිවාදී කලබල නිසා සාහසික පිරිස් නාගදීප චෛත්‍යයට හානිකර බුරුමයෙන් තෑගි කර තිබූ ලෝහ බුද්ධ ප්‍රතිමාවේ සිරස ද මුහුදට විසි කළේ ය. නාගදීපය ප්‍රතිසංස්කරණය කළද 1983 වසරේ ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්න වීමත් සමඟ නාගදීපයට යළිත් හානි සිදු විය. ජනතාවගේ වන්දනාමාන කිරීම ද සම්පූර්ණයෙන්ම නැවතුණි. ත්‍රස්තවාදී යුද්ධය පැවැති සමයේදී එහි විහාරාධිපති ධුරය දැරූ ධම්මකිත්ති නා හිමියන් සහ උන් වහන්සේගේ ශිෂ්‍ය නවදගල පදුමකිත්ති හිමියන් එකතුව නාගදීපය රැක ගන්නා ලදී. ත්‍රස්තවාදී යුද්ධය නිසා වසර 30ක පමණ කාලයක් දකුණේ ජනතාවගෙන් ඈත්ව තිබුණු නාගදීප පුදබිම දිවි දෙවෙනි කොට රැකගත්තේ ධම්මකිත්ති නා හිමියන් සහ පදුමකිත්ති හිමියන්ය.

2003 වසරේ නා හිමියන් අපවත්වීමෙන් පසුව පුදබිම රැක ගන්නට සියලු කටයුතු කරන්නට සිදුවූයේ පදුමකිත්ති හිමියන්ටය. විහාරස්ථානයේ කටයුතු මෙන්ම අනෙකුත් සියලු කටයුතු ද සිදු කරමින් වසර 30ක පමණ කාලයක් උන් වහන්සේ විසින් සිදු කරන ලද්දේ මෙරට ඉතිහාසයේ කිසිදු භික්ෂූන් වහන්සේ නමක් සිදු නොකළ ක්‍රියාවකි. ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් දළදා වහන්සේ රැක ගන්නට වාරියපොළ සුමංගල හිමියන් දඹුල්ල කැලෑවේ දළදා වහන්සේ රැගෙන රැදී සිටියේද කෙටි කලකි. වළගම්බා රජ සමයේ වුව ද බැමිණිතියාසාය සාගත යුගයේදී භික්ෂූන් වහන්සේ ඉන්දියාවට පවා ගොස් රැඳි සිටියේ වසර 8ක කාලයක් පමණි.

ඒ අනුව බලන කල මෙරට ඉතිහාසයේ අලුතින් ලියැවිය යුතු නමක් ලෙස ‘නවදගල පදුමකිත්ති‘ යන නාමය සටහන් විය යුතුමය. අද උන් වහන්සේගේ වයස අවුරුදු 62කි. ඒ අනුව බලන කල 1983 වසරේ සිට 2009 දක්වා වූ කාලය උන් වහන්සේ වයස අවුරුදු 22 සිට 48ක් දක්වා වූ සම්පූර්ණ තරුණ කාලය ගෙවී ගොස් ඇත්තේ ත්‍රස්තවාදීන්ගෙන් නාගදීප පුදබිම රැක ගැන්මටය.

අද වන විට නාගදීප විහාරස්‌ථානයට පිවිසෙන ජැටිය, වාහල්කඩ, ඇත් පවුර, තෙමහල් ධාතු මන්දිරය, කෞතුකාගාරය හා භික්‍ෂුන් වහන්සේලාට වැඩ සිටීම සඳහා ඉදිකර ඇති භික්‍ෂු විවේකාගාරය පදුමකිත්ති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී. එමෙන්ම වලාකුළු බැම්ම මෙන්ම බෝ මළුවේ රන්වැට ඉදිකිරීම ද උන් වහන්සේ විසින් සිදු කරන ලද සේවාවන් අතර වේ. මේ සෑම සංවර්ධන කටයුත්තකදීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ලබාදී ඇති බව උන් වහන්සේ පවසති. සිංහල බෞද්ධ ජනතාව නොමැති ප්‍රදේශයක පිහිටි නාගදීප විහාරස්‌ථානය ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සුරක්‌ෂිතව ආරක්‌ෂා කිරීමට නාවික හමුදාව ප්‍රමුඛව ආරක්ෂක හමුදාව ලබා දී ඇති දායකත්වය ගැන නා හිමියෝ සිහිපත් කරති. එමෙන්ම ත්‍රස්තවාදීන් විසින් පුපුරවා හරින ලද බුද්ධ වලව්ව විහරස්ථානය ද යළි ගොඩ නැංවීමට පදුමකිත්ති හිමියෝ කටයුතු කළහ. එය පිහිටා ඇත්තේ නාගදීප විහාරස්ථානයේ සිට මීටර් 700ක් පමණ දුරිනි.

වර්තමානයේ නාගදීපයේ අපට දැක බලා ගන්නට හැකි විශේෂිත ස්ථානයන් අතර කිරිපලු ගස, ඉපැරැණි චෛත්‍යය, සුදු බෝ ගස, මෙන්ම මෑතදී සකස් කළ ශ්‍රී පාදයක්ද වෙයි. නාගදීපය අනුරාධපුරයේ රජ කළ පාලකයන් යටතේ පාලනය වූ ප්‍රදේශයක් බව ඉතිහාසගත කරුණු පෙන්වා දෙයි. වල්ලිපුරම් රන් සන්නසෙහි දැක්වෙන අයුරින් වසභ රාජ්‍ය සමයේ දී නාගදීපය පාලනය කරන ලද්දේ ඉසිගිර ඇමැතිවරයා විසිනි.

මහා පරාක්‍රමබාහු රජතුමාගේ නයිනතිව් පුවරු ලිපිය අනුව පැහැදිලි වන්නේ දොළොස් වැනි සියවසේ දීත් මුළු මහත් නාගදීපයම සිංහල රාජ්‍යයට යටත්ව පැවති බවයි. පසු කලෙක ආර්ය චක්‍රවර්තීන් විසින් යාපනය අල්ලා ගනු ලැබුව ද 6 වන පරාක්‍රමබාහු රජතුමා (1411 - 66) සපුමල් කුමරා යවා නැවත යාපා පටුන ලබා ගෙන මුළු ලක්දිවම එක්සේසත් කළේ ය.

මුහුදු මඟින්ම ගමන් කර වන්දනාමාන කළ යුතු එකම සොළොස්මස්ථානය වන්නේ නාගදීපයයි. පදුමකිත්ති හිමියෝ දඹකොළ පටුන සංඝමිත්තා පුරාණ විහාරයත් නාගදීපයේ බුද්ධ වලව්ව පුරාණ විහාරයත් යන විහාරද්විත්වයේ විහාරාධිපති ධුරය ද හොබවති.


බෞද්ධකම රැකගෙන නාගදීපයට පැමිණෙන්න
- උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක, නාගදීප රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති නා හිමි

බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ නාගදීප පුණ්‍ය භූමිය මේ වන විට බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍රවන ස්ථාන රාශියක් ඉදි කර තිබෙනවා. ඒ අතුරින් අඩි 27ක් උසැති අවුකන බුදු පිළිමයේ අනුරුවත් පසුගිය වසරේ මාගේ ජන්ම දිනය නිමිත්තෙන් විවෘත කළ දුෂ්කර ක්‍රියාව පෙන්නුම් කරන බුදු පිළිමයත් විශේෂයි. ඊට අමතරව බෝධි සත්ව පිළිමයක් මේ වන විට නෙළමින් පවතින්නේ. එහි වැඩ කටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් අවසන් කර තිබෙන්නේ. මේ සියල්ල නිර්මාණය කරන්නේ වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය වැඩි කිරීම පිණිසයි. වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ ගමනාගමනයට කුරිකට්ටුවාන් ජැටියේ සිට ඇති බෝට්ටු සේවාව ගැන නම් වන්දනාකරුවන්ගෙන් වගේම දූපතේ වැසියන්ගෙන් විශාල මැසිවිලි තියෙනවා. ඒ බෝට්ටු ඉතාම අබලන් තත්ත්වයේ තියෙන්නෙ. සියල්ල දිරලා, ආරක්ෂාව ඉතාම අවදානම්. ඒ බෝට්ටුවල කිසිම ප්‍රමිතියක් නැහැ. ඒ වගේම පාලම්පාරුවත් කොයිවෙලේද කියල නැහැ. මේ සම්බන්ධයෙන් දිසාපතිවරයා හෝ වෙනත් රජයේ නිලධාරීන් සොයා බලන්නේ නැහැ. විශාල විපතක් වුණාට පස්සෙ ඒ ගැන කතා කරල වැඩක් නැහැ.

නාගදීපය වන්දනාව කියලා එන්නේ හින්දු ජනතාව ඉන්න ප්‍රදේශයකට. එම නිසා අපේ බෞද්ධකම රැකගැනීම පිණිස කටයුතු කළ යුතුයි. ඇඳුම් පැලඳුම් ආදිය මෙන්ම ගමනෙන් කතාබහෙන් අපි බෞද්ධකම අනිවාර්යෙන්ම පෙන්විය යුතුයි. පහුගිය දවස්වල තිස්ස වෙහෙර ගැන මහා අර්බුදයක් මවා පෑවා. උතුරේ සිද්ධස්ථාන පුරාවිද්‍යාවෙන් සංරක්ෂණය කරනවා නම් එහි ගැටලුවක් නැහැ. දෙමළ ජනතාවත් විරුද්ධ නැහැ. ඒවාට හිමිකාරත්වයක් පෑමට අයිතිකරුවන් පැමිණීමෙනුයි, මේ සියලු ගැටලු මතුව තියෙන්නේ.


නාගදීපයට ගමන් පහසුකම්

1. තමන්ගේ පෞද්ගලික වාහනයකින් යන්නේ නම් යාපනයේ සිට පුන්ගුඩුතිව් හරහා කුරිකඩ්ඩුවාන් ජැටියට ගමන් කළ හැකිය. එහෙත් ජැටියේ වාහනය නවතා තබන්නට අවසර නැත. මීටර් 700ක් 800ක් පමණ දුරක් ආපසු වාහනය ගෙනවිත් නැවැත්විය යුතුය.

2. දුම්රියෙන් ගමන් කරන්නේ නම් යාපනය දුම්රිය ස්ථානයෙන් බැස දුම්රිය මාර්ගය අසලින් ඇති මාර්ගයේ මීටර් 150ක් පමණ ඉදිරියට ගමන් කළ විට හමුවන පේදුරුතුඩුව මාර්ගයට පිවිස එතැනින් බස් රථයකින් කිලෝමීටර් 1.2ක් යාපනය ප්‍රධාන බස් නැවතුමට ගමන් කර එතැනින් මාර්ග අංක 776 කුරිකඩ්ඩුවාන් බස් රථයෙන් කුරිකඩ්ඩුවාන් ජැටියටම ගමන් කළ හැකිය. බස් රථ අලුයම 5.45 සිට පස්වරු 6.30 දක්වාම ගමන් කරයි. සෑම විනාඩි 15කටම වරක් බස් රථයක් ගමන් කෙරේ. ගමන් කාලය පැයකි. දුර කිලෝමීටර් 32කි. මගී ප්‍රවාහන සේවා බස් රථ ජැටියටම ගමන් කරන නිසා බස් රථයෙන් බැස බෝට්ටුවට ගොඩ විය හැකිය.

කොළඹ සිට දුම්රියන් ගමන් කරන්නේ නම් දුම්රිය කාල සටහන

·පෙරවරු 5.30 (නගරාන්තර ශීඝ්‍රගාමී) (ගල්කිස්සෙන් පෙරවරු 5.10ට ගමන් අරඹයි.)

·පෙරවරු 5.45 (යාල්දේවී ශීඝ්‍රගාමී ) ගල්කිස්සෙන් ගමන් අරඹයි

·පෙරවරු 11.50 (උත්තර දේවි නගාරාන්තර)

·රාත්‍රී 8.00 (රාත්‍රී තැපැල් දුම්රිය)

·රාත්‍රී 10.30 යාල් නිලා (නගරාන්තර දුම්රිය) ගල්කිස්සෙන් ගමන් අරඹයි

පැමිණීමේ දුම්රිය (යාපනයෙන්)

·පෙරවරු 6.10 (උත්තර දේවි නගරාන්තර)

·පස්වරු 1.40 (නගරාන්තර ශීඝ්‍රගාමී)

·පස්වරු 2.05 (යාල්දේවි ශීඝ්‍රගාමී) (ගල්කිස්ස දක්වා ධාවනය වේ)

·රාත්‍රී 7.00 (රාත්‍රී තැපැල් දුම්රිය)

·රාත්‍රී 10.00 (යාල් නිලා) නගරාන්තර ශීඝ්‍රගාමී

· බස් රථයකින් යන්නේ නම් මාර්ග අංක 87 පුත්තලම් මාර්ගයේ හෝ අංක 15 දඹුල්ල කැකිරාව මාර්ගයේ හෝ යාපනයට ගමන් කර පෙර සේම කුරිකඩ්ඩුවාන් ජැටියට ගොස් බෝට්ටුවෙන් ගමන් කළ යුතුය.




 

Comments