සියවස සපුරන ජෝසප් ෆ්‍රේසර් රෝහල බලන්න පරම්පරා තුනක සාමාජිකයන් ස්කොට්ලන්තයේ සිට ආ හැටි | සිළුමිණ

සියවස සපුරන ජෝසප් ෆ්‍රේසර් රෝහල බලන්න පරම්පරා තුනක සාමාජිකයන් ස්කොට්ලන්තයේ සිට ආ හැටි

පැට්‍රි­ෂියා මොලෝයි ෆ්‍රේසර්

ම්බලපිටියේ ජෝසප් ෆ්‍රේසර් අනුස්මරණ පුද්ගලික රෝහලට පසුගිය අගෝස්තු 10 වැනිදා වසර 100ක් සපිරිණි. ඊට සමගාමීව ස්කොට්ලන්තයේ වෙසෙන ෆ්‍රේසර් පවුලේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද රැගෙන ෆ්‍රේසර් මහතා ගේ මී මිනිබිරියක වන පැට්‍රිෂියා මොලෝයි ෆ්‍රේසර් ශ්‍රී ලංකාවට පැමිණියා ය.

ඇය ජෝසප් ෆ්‍රේසර්ගේ එක පුතකු වූ, ෆ්‍රෙඩ්රික් හෙන්රිගේ පුතු වූ, ජෝසෆ් ෆ්‍රෙඩ්රික්ගේ දියණිය යි.

සිය මී මුත්තාගේ නමින් ශ්‍රී ලංකාවේ ඇති මෙම රෝහල දැක බලා ගනු පිණිස ආ පරම්පරා හතර පහක නෑ පරපුර අතර, දෙතුන් හැවිරිදි පුංචි ෆ්‍රේසර්ලා දෙදෙනකු ද වූයේ ය. ඒ පුංචි ෆ්‍රේසර්ලා සිය මිත්තණිය එදින ජෝසප් ෆ්‍රේසර් මී මුත්තාගේ නමින් සිට වූ බෙහෙත් නෙල්ලි සමරු ගස ළඟ ඡායාරූපවලට පෙනී සිටියේ ය. දුව පැන සෙල්ලම් කළේ ය.

" මම ශ්‍රී ලංකාවට අන්තිමට ආවේ මීට අවුරුදු විස්සකට පමණ පෙර. ඒ වෙලාවේ මගේ මුත්තා ගේ මේ ඉතිහාසය කෙදිනක හෝ මගේ දරුවන්ටත්, මී මුනුපුරු මිනිබිරියන් 17ත් දෙනාට පෙන්වීමටත් සිතා ගත්තා. මේ ඒ සඳහා සුදුසු ම කාලය නිසා පවුලේ සියලු දෙනා එක්ක සති දෙකක කාලයකට ශ්‍රී ලංකාවට පැමිණියා. මට සතුටුයි මේ තරම් පිළිවෙළට සහ ලස්සනට මේ රෝහල අවුරුදු සියයක් පවත්වාගෙන ආ එක පිළිබඳව..." 

ජෝසප් ෆ්‍රේසර් යනු, ශ්‍රී ලංකාවේ කෝපි, තේ සහ රබර් වගාවේ පුරෝගාමියකු වූ ස්කොට්ලන්ත ජාතිකයෙකි. බොහෝ කලක් ලංකාවේ ජීවත් වූ ඔහු මෙරට ඉතිරි කොට ගිය සිහිවටන කිහිපයකි. මෙම අනුස්මරණ රෝහලට අමතරව, ඔහුගේ පුංචි දියණිය මිහිදන් කළ හපුතලේ ශාන්ත ඇන්ඩෲ දෙව්මැදුරු සුසාන භූමියේ ඇති සොහොන් ඵලකයේ ද ඔහුගේ නම කොටා තිබෙයි. වසර 146 ක් ගෙවී ගොස් තිබුණද ගලේ කෙටූ ඒ අකුරු තවමත් මැකී නැත. එහෙයින් ජෝසප් ෆ්‍රේසර් යනු, සතුටත් දුකත් අතර සිහිවටන ලංකා මහ පොළොවේ තබා ගිය ස්කොට්ලන්ත ජාතිකයෙකි.

ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් නගරයට සැතපුම් 5 ක් බටහිරින් පිහිටි ස්කේන් අසල, බිෂොප් ඩෑම්ස් ෆාම් හි දී ජෝසප් ෆ්‍රේසර් උපන්නේ, 1852 සැප්තැම්බර් 20 වැනිදා ය.

ඔහුගේ පියා රොබට් ෆ්‍රේසර් විය. මව, මේරි ඕර්චෙස්ටන් නම් විය. ඇය, ඇබර්ඩීන් වරාය මාස්ටර් ගේ සහෝදරිය විය. 5 වැන්නා ළදරු වියේදී ම මිය ගිය, දරුවන් 14 දෙනකුගෙන් යුත් විශාල පවුලක ජෝසප් නවවැන්නා වූයේ ය.

ඔහු හැදී වැඩුණේ ඔහුගේ සීයා ජෝන් විසින් කලින් වගා කරන ලද අක්කර 200 ක පමණ විශාල ගොවිපළේ ය. ඔහුගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් ඒ වන විටත් පියා සමඟ බිෂොප් ඩෑම්ස් ගොවිපළේ සේවය කළ නිසා, වයස13 දී ජෝසප් පාසලෙන් ඉවත් ව ආධුනිකයකු ලෙස වෙනත් ගොවිපළකට ගියේ ය.

1872 වසර වන විට, ජෝසප් වයස 20 ක ඉලන්දාරියෙකි. ඔහු තම වැඩිමහල් සහෝදරයා වන ජේම්ස් ඒ වන විට ගොස් සිටි ශ්‍රී ලංකාවට යන්නට තීරණය කළේ ය. ජේම්ස් 1869 දී ගාල්ලේ දී ඇනී ඩන්කන් සමඟ විවාහ විය. ඔහුගේ වැඩිමහල් දරුවන් දෙදෙනා ස්කොට්ලන්තයේ ෆෝවරන් හි නැවත ගොවිතැන් කිරීමට පෙර මාතලේ උපත ලැබූහ.

ජෝසප් කැනඩාවේ සිටින ඔහුගේ තවත් සහෝදරයකු සමඟ සම්බන්ධ වීමට අදහස් කළ නමුත් ලංකාවේ වැවිලි කර්මාන්ත ශාලාවක් දැකීමෙන් ඔහු ලංකාවේ රැඳී සිටීමට තීරණය කළේය. ඔහු මුලින්ම වැඩ කළේ හපුතලේ ලයාමාස්ටෝට් හි ඩෆස් නම් කෝපි වත්තක ය.

1875 නොවැම්බර් 18 වැනි දින හපුතලේ ශාන්ත ඇන්ඩෘ දේවස්ථානයේ දී ඇබර්ඩීන් ෂයර් සිට පැමිණි ක්‍රිසී රැම්සේ වොට්සන් සමඟ ජෝසප් විවාහ පත් විය. ඔවුන්ගේ කුලුඳුල් දරුවා, ජූලියා ඇනී නම් දියණිය 1877 ජුනි මාසයේ දී උපන්නා ය. එහෙත්, 1877 ඔක්තෝබර් 14 වැනි දින මාස 4 ක් වයසැති ඒ පුංචි දියණී, මිය ගියා ය. සීත කඳුකරයේ නිතරම මීදුමෙන් වැසෙන කඳු ගැටයක පිහිටි හපුතලේ ශාන්ත ඇන්ඩෲ කුඩා දෙව්මැදුරේ සුසාන භූමියේ ඇය මිහිදන් කෙරිණි. ඇගේ සොහොන් ඵලකය අද ද, ශාන්ත ඇන්ඩෘ සුසාන භූමියේ දී දැකගත හැකි ය.

පුංචි ජූලියාගේ මරණයෙන් පසු ජෝසප්ට හපුතලේ දුක්ඛදායක පළාතක් ලෙස දැනෙන්නට විය. ඒ හා සමඟ ආ 'කෝපි වගාව විනාශ කළ අංගමාරය' හේතුවෙන් ජෝසප් තේ වගාවට යොමු විය. ඔහු සිය බිරිය ක්‍රිසී හා මාතලේ දඹුලාගල තේ වත්තේ පදිංචියට ගිය අතර, ඔවුන්ගේ පුතු ජේම්ස් රොබට් 1878 ජූලි 29 වැනිදා මාතලේ දී උපත ලැබීය. දියණියගේ මරණින් ශෝකයට පත්ව සිටි ජෝසප් ෆ්‍රේසර් යුවළට ජේම්ස් පුතූගේ උපත මහත් සතුටක් රැගෙන ආවේ ය.

1880 මැයි මාසයේ දී දියණියක් උපන් අතර ඇය, ක්‍රිස්ටීන් ෆ්‍රේසර් විය (පසුව කාර්වර් මහත්මිය බවට පත් වූවාය).

1882 දී ෆ්‍රෙඩ්රික් හෙන්රි පුතු උපන් අතර, ඔවුන් ගේ අවසාන දියණිය වූයේ ජොසපින් ෆ්‍රේසර් ය (ඇය, එෆ්.එන්. සුඩ්ලෝ සමඟ විවාහ වූවා ය. මෙම යුවළ ලංකාවේ සිට ස්කොට්ලන්තයේ ඩොර්නොච් වෙත විශ්‍රාම ගොස් ස්කිබෝ අසල 'ඔස්පිස්ඩේල්' මිල දී ගත්හ. කාසල් සහ ඔවුන් ඉතා අලංකාර උද්‍යාන නිර්මාණය කළ අතර, ඉතා ප්‍රසිද්ධියට පත් යුවළක් විය).

ජෝසප් ෆ්‍රේසර් යනු, නවෝත්පාදකයෙකි. පළමුව හපුතලේ සහ පසුව මාතලේ වැවිලිකරුවන් ගේ සංගම්වල අතිශයින් ක්‍රියාකාරී ව් සිටි සාමාජිකයෙකි. 19 වැනි සියවස අගභාගයේ දී, පිටකන්දේ පිහිටි ඔහුගේම තේ වත්තේ ආනයනික පොස්පේට් සහ නයිට්‍රේට් සහිත 'කෘත්‍රිම' පොහොර වෙනුවට මාළු, මස්, ඇට කටු යනාදිය අත්හදා බැලීමෙන් පසු ඔහු දැඩි ලෙස කාබනික පොහොර භාවිතයට අනුබල දුන්නේ ය. ඉන් වැඩි අස්වැන්නක් ලැබුවේ ය. ඔහු තම සේවකයන්ට වඩා හොඳ තත්ත්වයක් වෙනුවෙන් පෙනී සිටි පළමු තේ වතු හිමි කරුවන්ගෙන් කෙනෙකි. සේවකයන් සඳහා පාසලක්, සාප්පුවක්, වෛද්‍ය පහසුකම් සහ වඩා හොඳ ජීවන රටාවක් හදා දුන් හාම්පුතෙකි. ජෝසප්, සිය සේවකයන් සඳහා ඔහුගේ වත්තේ නිල නිවාස ඉදි කළේ ය.

ලංකාවේ ජීවත් වන්නට ප්‍රිය කළ ද, ඔහු සිය අවුරුදු 6 සහ 7 පුතුන් දෙදෙනා ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් පාසලට යැව්වේය. ඔහුගේ වැඩිමහල් පුත් ජේම්ස් රොබට් 1891 සැප්තැම්බර් මාසයේදී වයස අවුරුදු 13 දී පාසලේදී ඛේදජනක ලෙස දියේ ගිලී මිය ගියේය. ෆ්‍රෙඩ් දෙවැනි පුතු දිගටම පාසල් ගියේ ය. ඔහු ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහු කෘෂිකර්මය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගත්තේ ය. වැවිලිකරුවන්ගේ සංගමය සහ ලංකා වාණිජ මණ්ඩලය 1915 දී ජෝසප් සිහිපත් කිරීම සඳහා විශ්වවිද්‍යාලයේ නිවර්තන කෘෂිකර්මය පිළිබඳ ශිෂ්‍යත්ව තුනක් ස්ථාපිත කළහ. මේවා තවමත් පවතී. (ෆ්‍රෙඩ් 1902 දී නැවත ලංකාවට පැමිණ මාතලේ පිටකන්දේ සමූහ ව්‍යාපාරයේ සහකාර සහ කළමනාකරු බවට පත් විය. ඔහු, ගෞරවයට පාත්‍ර වූ වැවිලිකරුවකු වූ අතර දෙවන ලෝක යුද්ධයට පෙර නැඟෙනහිර ග්‍රින්ස්ටඩ්හි 'මිල්ෆීල්ඩ්' හි විශ්‍රාම ගියේය.

ජෝසප් පසුව පිටකන්දේ සාර්ථකව රබර් ද වගා කළ අතර, 1913 ජුලි මස ලන්ඩනයේදී රබර් වගාකරුවන්ගේ සංගමය විසින් ඔහුට රන් පදක්කමක් පිරිනමන ලදී. ඔහු තේ සහ රබර් විද්‍යාත්මක ව වගා කිරීම කෙරෙහි විශේෂයෙන් උනන්දු වූ අතර ඒවායේ උද්භිද විද්‍යාව, ක්ෂුද්‍ර රෝග සහ සාමාන්‍ය ලක්ෂණ සම්බන්ධයෙන් පිළිගත් අධිකාරියක් නිර්මාණය කළේය. ඔහුගේ උපදෙස් බොහෝ විට එක්සත් රාජධානියේ සමාගම් විසින් සොයනු ලැබූ අතර, ඔහු බොහෝ කීර්තිමත් සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල අසුන් ගත්තේ ය.

ගිම්හාන ඍතුව ළඟා වත් ම, ජෝසප් බොහෝ විට ඇබර්ඩීන් වෙත ආපසු ගිය අතර නැඟෙනහිර ප්‍රදේශයේ තම වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාමට කැමැති තරුණයන්ට උපකාර කිරීම සඳහා දැනුම ලබා දුන්නේ ය.

1914 අප්‍රේල් මාසයේ දී, ඔහුගේ පුත් ෆ්‍රෙඩ් කොළඹදී විවාහ වී මාස කිහිපයකට පසු, ජෝසප් ඔහුගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත නිවාඩුව සඳහා ඇබර්ඩීන් වෙත ආපසු ගියේ තරමක අසනීපයෙන් පසු වූ බැවිනි. 1914 අගෝස්තු 28 වැනි දින වයස අවුරුදු 61 දී, කෙටි රෝගාබාධයකින් පසු, ඇබර්ඩීන්හි දී ඔහු මිය ගියේ අනපේක්ෂිත මොහොතක ය. ඔහු ගේ දේහය ඇලන්වේල් සුසාන භූමියේ තැන්පත් කෙරිණි.

ජෝසප්ගේ මරණයෙන් පසු ක්‍රිසී ඔහුගේ මතකය වෙනුවෙන් තම සැමියා බොහෝ කලක් ජීවත් වූ ශ්‍රී ලංකාවේ රෝහලක් පිහිටුවීමට නොමසුරුව මුදල් පරිත්‍යාග කළාය. ඔහුගේ දරුවන් නොමසුරුව අවශ්‍ය උපකරණ පරිත්‍යාග කළ අතර, විවෘත කිරීමට වසරකට පමණ පෙර ක්‍රිසි මිය ගියා ය.1922 සැප්තැම්බර් 6 වැනි දින ඇබර්ඩීන්හි දී මිය ගිය ක්‍රිසී ගේ සිරුර, කුඩා කාලයේ දී දියේ ගිලී මිය ගිය ඔවුන්ගේ පුතු වූ ජේම්ස් මෙන්ම, ඔහු සමඟ මිහිදන් කෙරිණි. පුංචි ජූලියා පමණක් හපුතලේ ශාන්ත ඇන්ඩෘ සුසාන භූමියේ තනි වූවා ය. කෙසේ වෙතත්, ඉතා උනන්දුවෙන් සොයා බලා විය පැහැදම් කර ක්‍රිසී සිය සැමියා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හැදු රෝහල,1923 අගෝස්තු 10 වැනි දා එවකට සිටි ආණ්ඩුකාරවරයා විසින් 'ජෝසප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල' නමින් විවෘත කළේය.

බම්බලපිටිය සහ වැල්ලවත්ත අතර, අක්කර දෙකහමාරක් වැනි සුවිසල් භූමි භාගයක ඉදිකර ඇති මෙම රෝහල, ඕලන්ද යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කර ඇති අතර, වනස්පතියන් බඳු දැවැන්ත වෘක්ෂයන්ගෙන් සමන්විත මනරම් උද්‍යානයකින් හැඩ ව තිබේ.

මෙය මාතෘ සහ ළමා රෝහලක් වන බැවින්, මානසික සුවය උපරිම ලෙස දැනෙන්නට සලස්වා තිබේ. මෙහි වාට්ටු කිසිවක් නැති අතර, ඇත්තේ කාමර 25කි. ඒ අතර විශාලත්වයෙන් වැඩි සුවිශේෂී කාමර තුනකි.

ඔහුගේ උපන් ගම වන ඇබර්ඩින් සිහිපත් වනු පිණිස, එක් කාමරයක් නම් කොට ඇත්තේ, 'ඇබර්ඩීන්' යනුවෙනි. ඔහුගේම නමට වෙන්වූ 'ෆ්‍රේසර්' අනෙක් සුවිශේෂී කාමරය යි. ඔහු මෙරට දී නිරත වැවිලි කර්මාන්තය සිහි වනු පිණිස 'ප්ලාන්ටේෂන්' නමින් වෙන් කර ඇත්තේ අනෙක් සුවිශේෂී කාමරය යි.

විසල් ලී කණුවලට බර දුන් කොරිඩෝ අතර ඇවිද යන විට හිතට දැනෙනුයේ, අතීත යුගයක ගමන් කරනවා වැනි හැඟුමකි. ලී සොල්දර, සැලුන් දොර පියන්, විසල් දොර උළුවහු පමණක් නොව, එහි ඇති සෑම ගොඩනැඟිල්ලක්ම තවමත් ගාම්භීර ව නැඟී හිඳිනුයේ වසර සියයක ඉතිහාසය දකිමිනි.

කෙසේ වෙතත්, 1923 විවෘත කළ මෙම රෝහලේ ඉදි කිරීම් ආරම්භ කෙරුණේ 1921 වසරේය. 1926 යම් බිළිඳකු ඉපදුණා නම් ඒ බිළිඳාට ද දැන් වසර 100 කි. මෙහි ඉපැදුණු ඒ අතීත බිළිඳුන් මහා මිනිසුන් වී මිය පරලොව ගිය ද, ඒ සියල්ල දකිමින් රෝහල තවමත් නිහඬව නැඟී හිඳී හිඳිනුයේ, ඉපැදෙන සතුටත්, මිය යන ශෝකයත් සහිත මහා ඉතිහාසයක් දරා ගෙන ය.

එදා පටන් රෝහලේ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම පැවරුණේ, භාරකාර මණ්ඩලයකට හෙයින්, අදත් එය එලෙසම ක්‍රියාත්මක ය. ජෝසප් ෆ්‍රේසර් රෝහලේ භාරකාර මණ්ඩලයේ වර්තමාන සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන මනිලාල් ප්‍රනාන්දු ය. එහි කළමනාකාරීත්වය සිදුවන්නේ, නයින් වේල්ස් පුද්ගලික රෝහල සමඟ ඒකාබද්ධව, Access සමූහ මඟිනි.


ඡයාරූප- නිශ්ශංක විජේරත්න

Comments