ඉදිරි දිනවල කවුරුත් නොහිතන දෙයක් සිදු වන්න පුළුවන්! | සිළුමිණ

ඉදිරි දිනවල කවුරුත් නොහිතන දෙයක් සිදු වන්න පුළුවන්!

ඔබේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා කියා කිව්වා. දැන් ඔහු කවුරුදැයි තීරණය කරලාද තිබෙන්නේ?

අප පොදු ව්‍යාපාරයක් ගොඩනඟමිනුයි ඉන්නේ. ඒ ව්‍යාපාරයේ මූලික සභාව විසින් තමයි ජනාධිපති අපේක්ෂකයා තෝරාගත යුත්තේ. ඒ කටයුතු ලබන මස අවසන් වෙනවා.

ඒ කියන්නේ මැයි මස වන විට ජවිපෙ ජනපති අපේක්ෂකයා දැනගන්න පුළුවන් වෙයි...

ඔව්. ඒත් ඊට කලින් අප උත්සාහ ගන්නේ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නයි. එසේ කරන්න බැරි වුණොත් ජනතාවට ඒ බව පැහැදිලි කර දී, 20 වන සංශෝධනය අයින් කරලාම දානවා.

ඒත් ඔබ පක්ෂය 20 වන සංශෝධනය මූලික කරගෙන සියලු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා පවා පැවත්වූවා නේද?

බොහෝ පක්ෂ සමඟ සාකච්ඡා සාර්ථක වුණා. ඒත් එජාපය පැත්තෙන් සාධනීය පිළිතුරක් ලැබු‍ණේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ කැමැත්ත පළ කර තිබෙනවා. එහෙත් ඔහු වටා ඉන්න සමාජ කණ්ඩායම් සමඟ මේ සම්බන්ධ එකඟතාවට පැමිණීම ගැන ප්‍රායෝගික ප්‍රශ්නයක් තිබෙන නිසා ඒ සම්බන්ධ තීරණයකට පැමිණීමට ඔහුටත් අසීරු වී තිබෙනවා. 20 වන සංශෝධනය පාර්ලිමේනතුවට ඉදිරිපත් වුව හොත් දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා සහාය දෙන්න කැමැත්ත පළ කළා.

දැන් හැම පක්ෂයකටම පළාත් සභා ඡන්දය අමතකම වෙලා වගේ..

අද වන විට රටේ ප්‍රධාන කතා-බහ වෙලා තිබෙන්නේ රටේ බලය මාරු වීමක් ගැනයි. පළාත් සභා මැතිවරණයකින් එය කරන්න බෑ. ඒ නිසයි පළාත් සභා මැතිවරණය කියන සාධකය පසෙකට විසි වෙලා තිබෙන්නෙ. පහුගිය කාලෙ ප්‍රාදේශීය සභා මැතිවරණය තිබ්බා. දැන් කෝ ඒ ගැන කතා-බහක් වත් තිබෙනවද? ඒ නිසා මේ අවස්ථාවේ රටේ දේශපාලන අවශ්‍යතාව ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් ලබාගැනීමයි.

මෙවර ජනාධිපතිවරණය ගැන සමාජ කණ්ඩායම් විවිධ මත පළ කරනවා, එය ඉතා ගැටලු සහගත විය හැකි බවට. ඔබ පක්ෂය ඒ ගැන දරන මතය පැහැදිලි කළොත්...

ඇත්තෙන්ම එය ඉතා සංකීර්ණ තත්ත්වයක් වන්න පුළුවන්. ඒ වගේම අලුත් හැඩයකින් නිර්මාණය වූවක් වේවි.

අලුත් හැඩය යන්න පැහැදිලි කළොත්...

මෙවර කිසිදු අපේක්ෂකයකුට 50%ක ඡන්ද ප්‍රතිශතය ගන්න පුළුවන් වෙයි කියා අප හිතන්නේ නැහැ. ඒ නිසා දෙවන මනාපයක් කරා යා යුතු වෙනවා.

එහෙත් ජනතාවට දෙවන මනාපයක් ගැන දැනුමක් නැහැ...

ඒකත් සංකීර්ණ ප්‍රශ්නයක්. දැනුමක් නැති බව විතරක් නොවෙයි; මැතිවරණ ව්‍යාපාරයේදී කිසිදු පක්ෂයකට දෙවන මනාපයක් ගැන කියන්නත් බැහැ. මොකද: දෙවන මනාපයක් දෙන්න කියලා කියන්නේ තමන් පරාජය බාරගෙන අවසන් කියන එකනේ. ඒකනේ යථාර්ථය.

ඔබ කියන්නේ රට අස්ථාවර වීමක් නැත් නම් කැඳ හැළියක් වන තත්ත්වයක් බවට පත් වනවා කියලද?

දේශපාලන භාෂාවෙන් කියනවා නම් රට අරාජික වනවා. ජනාධිපතිවරණයෙන් පසුව වුවත් ස්ථාවර රටක් බිහි වේයැයි සිතන්න බැහැ. ප්‍රධාන කරුණු දෙකක් මත තමයි රටේ ඉදිරි දේශපාලන ගමන්මඟ තීරණය වන්නේ. එමඟින් අර්බුදයක් නිර්මාණය වනවාද නැත් නම් තවත් අරාජික තත්ත්වයට යනවාද යන්න ඒ හරහා තීරණය වේවි.

ඒ සම්බන්ධව පැහැදිලි කරමු...

ආර්ථික අර්බුදය, බඩු මිල ඉහළ යෑම වැනි කරුණු හැරුණාම මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ සාධක මත තමයි ඉදිරිය තීරණය වන්නේ. එයින් මෛත්‍රීපාල සිරිසේනට පය ගහන්න බිමක් නැහැ. එයා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමේ පය ගහගෙන ඉඳලා අනෙක් පැත්තේ පය ගහ ගත්තත් ඒ පැත්තෙ අය එයාව බාර ගන්න සූදානම් නැහැ. ඒ නිසා ඔහුට සිද්ධ වනවා මේ කාලයේ අලුත් ක්‍රියාවලියක් ගැන හිතන්න. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ නායකත්වයේ සිටින තුරු තමන්ට ඉදිරියට ඒමක් නැති බව සිතන මන්ත්‍රීන් පිරිසක් එකතු කරගෙන, එමෙන්ම චන්ද්‍රිකා මැතිනිය, මංගල වැනි අය වගේම පොදුජන පෙරමුණේ අර්බුදය නිසා එතැනින්ද පිරිසක් සම්බන්ධ කරගෙන අලුත්ම සූත්‍රයක් හදාගන්න ඔහුට සිදු වේවි.

ගෝඨාභය මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න හැකි වේයැයි මා සිතන්නේ නැහැ. ඔහුට අපේක්ෂකත්වයට එන්න බැරි වෙන්න දේශපාලන කාරණ මෙන්ම තාක්ෂණික කරුණුත් හරස්ව තිබෙනවා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ යන චරිත ඔස්සේ ගොඩනැ‍ඟෙන දේශපාලන සංස්ථාව අලුත්ම හැඩයකින් එන්න පුළුවන්.

ඒ විතරක් නොවෙයි, මේ විසඳුම රනිල්-මහින්ද සුසංයෝගයක් වෙන්නත් පුළුවන්. ඒක හරියට විසංවාදි - සුසංවාදයක් වෙන්න පුළුවන්. කොහොමටත් ඉදිරි දිනවලදී අපි කවුරුත් බලාපොරොත්තු නොවන බොහෝ දේ සිද්ධ වන්න පුළුවන්. මොනව වුණත් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වෙනස් වන්නේ නැහැ. ජනාධිපතිවරණයක් ආවොත් අපේ අපේක්ෂකයා ඉදිරිපත් වෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුණා 19 වන සංශෝධනය කඩිනමින් සම්මත කෙළේ ඔහුගෙන් පලි ගන්න කියලා...

19 වන සංශෝධනය සම්මත වී නොතිබෙන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමයි මහින්ද මහතායි කරපු කුමන්ත්‍රණය ජය ගන්නවා නේ? ජනාධිපතිවරයකුට ඕනැ ඕනැ වෙලාවට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් නම් ඡන්දයක් තියල පාර්ලිමේන්තුවට නියෝජිතයින් පත් කරගන්නේ මොකටද?

රටේ සියලු දේශපාලන ගැටලුවලට විසඳුම් 19 වන සංශෝධනය මඟින් නොලැබුණත් එය ධනාත්මකයි. එය සම්මත නොවුණා නම් ක්‍රියාත්මක වන්නේ 18 වන සංශෝධනය නෙ. එහෙම වුණා නම් මහින්ද මහතාට යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න තිබුණා. ඔහු ඒ දෙස බලමින් මේ ප්‍රකාශ පවසනවා වන්න පුළුවන්. ඒත් රටක ව්‍යවස්ථාව දෙස බැලිය යුත්තේ පුද්ගල බද්ධව නොවෙයි නෙ? සමහර රටවල ජනාධිපති ධුරය අවස්ථා දෙකයි; නැත් නම් එකයි. ස්විට්සර්ලන්තය වගේ රටවල වසර 2යි. ඒ නිසා තමන්ගේ පෞද්ගලිකත්වය අනුව ව්‍යවස්ථාව අර්ථ දැක්වීම සුදුසු නැහැ.

Comments