ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව හා අධිපති දේශපාලනය | සිළුමිණ

ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව හා අධිපති දේශපාලනය

පාස්කු ඉරිදා එල්ල වූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව උද්ගත වූ වාතාවරණය තුළ අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ දේශපාලන හැසිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව බරපතල චෝදනා එල්ල විය. එනිසා අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතැති රාජපක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේ කතානායකට බාර දුණි.

රිෂාඩ් බදූර්දීන් රාජපක්ෂ රෙජීමයේ බලවත් අමාත්‍යවරයකු විය. ඔහු මුස්ලිම් අන්තවාදයට සහාය දෙන බවත් විල්පත්තුවේ කැලෑ කපමින් මුස්ලිම් ජනයා එහි පදිංචි කරවන බවත් පළමුවෙන් ම චෝදනා එල්ල වූයේ ඒ කාලයේ දී ය. මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ නායක රවුෆ් හකීම්ට එරෙහි ව බදූර්දීන් ශක්තිමත් දේශපාලකයකු බවට පත් කළේ රාජපක්ෂවරුන් විසිනි. මන්නාරම අධිකරණයට ගල් ගසන්නට තම පාක්ෂිකයන් පෙලඹවූ බවට බදූර්දීන්ට එරෙහිව චෝදනා එල්ල වන විටත් රාජපක්ෂවරු නොපැකිල ව ම ඔහුව ආරක්ෂා කළහ.

එකල රාජපක්ෂවරුන්ට, බදූර්දීන් හා පැවැති දේශපාලන සබඳතා නිසා ඉදිරිපත් ව ඇති විශ්වාස භංග යෝජනාව දේශපාලනිකව හෝ ආචාර ධාර්මිකව හෝ බල රහිත නොවේ. එහෙත් මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ බලය දරන්නේ බදූර්දීන්ගේ පක්ෂයේ සහායෙන් නිසා ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව ආචාර ධාර්මිකව බල රහිත එකක් බව පැවසිය හැකිය.

එක් අතකින් අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ පක්ෂය සමඟ දේශපාලන සම්මුතියක් ඇතිකරගෙන තිබිය දී අනෙක් අතින් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම නිසා රාජපක්ෂවාදී පාර්ලිමේන්තු කණ්ඩායමට දේශපාලනයේ ආචාර ධාර්මිකතාව පිළිබද බරපතල අභියෝගයකට මුහුණ දෙන්නට සිදුව ඇත. එහෙත් ඔවුන් හමුවේ පවතින බල දේශපාලන ව්‍යාපෘතිය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය අතාර්කික වීම ඔවුන්ට තවමත් බරපතල ප්‍රශ්නයක් නොවීම හාස්‍යජනක ය.

පශ්චාත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විසින් බරපතල අර්බූදයකට තල්ලු කළේ අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් පමණක් නොවේ. බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලන නායකයන් රැසකට එරෙහිව චෝදනා එල්ල වූයේ ඔවුන් ඉස්ලාම් අන්තවාදය පෝෂණය කිරීමට දායක වූවා යැයි කියමිනි. එසේම ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල සමඟ ම ඉස්ලාම් අන්තවාදය සබදතා පවත්වා ඇත. ඒ නිසා ඉස්ලාම් අන්තවාදය පෝෂණය කළා යැයි චෝදනා මත බොහෝ පක්ෂ සාමාජිකයන් අත් අඩංගුවට ගෙන තිබේ. සමස්ත දේශපාලන ජාලයම ඉස්ලාම් අන්තවාදයේ ග්‍රහණයට ලක්ව තිබීම බරපතල තත්ත්වයකි.

එහෙත් බොහෝ දේශපාලන පක්ෂ විසින් මේ සමස්ත ජාතික අභියෝගය හරියට තේරුම් ගෙන ඇති බවක් නොපෙනේ. සිද්ධිවාචකයන් උපුටා දක්වමින් ප්‍රතිවාදියාට ඇගිල්ල දිගු කරමින් සිටීමත් ඒ චෝදනාවම තමන්ට එල්ල වන විට නිහඩ ව සිටීමත් පුරුද්දක් කරගෙන ඇත. පසුගිය මාසයක කාලය තුළ එල්ල වූ අභියෝගය අන්තර් ජාතික ව්‍යසනයක් බවත් එය ජාතික මට්ටමෙන් තේරුම් කරගෙන ඊට මුහුණදිය යුතු බවත් කිසිම දේශපාලන පක්ෂයකින් ප්‍රකාශ වූයේ නැත. සුපුරුදු පරිදි ඔවුන් තෝරා ගත්තේ ජාතික අභියෝගයක දී තමන්ගේ නොමේරූකම ප්‍රදර්ශනය කරන්නට ය.

බොහෝදෙනෙක් පවතින දේශපාලන තත්ත්වය කියවා ගන්නට මහන්සි ගන්නේ ආණ්ඩුව හා ජනාධිපතිවරයා ලෙස දේශපාලන බලවේගයන් වෙන වෙනම සලකා බලමිනි. එහෙත් ආණ්ඩුවක් යනු ජනාධිපතිවරයා ද ඇතුලත් සමස්ත අමාත්‍ය මණ්ඩලයයි. අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා තම තමන් තුළ දේශපාලන පරස්පරතා පවතින බව පෙන්වන්නට මහන්සි ගත්ත ද රාජ්‍ය පාලනයේ දී වැදගත් වන දේශපාලන පරස්පරතාවක් ඔවුන් අතර දක්නට නැත. එහෙත් තම තමන්ගේ බල දේශපාලන ව්‍යාපෘතීන් තුළ එකිනෙකට වෙනස් පෞද්ගලික අභිලාශයන් ඔවුන්ට පවතින අතර ඒවා එකිනෙකට පරස්පරවීමක් නම් දක්නට ලැබේ. එහෙත් එවැනි ගැටුම් පවත්වාගෙන යෑම ඔවුන්ගේ දේශපාලන පන්ති නියෝජනයේ නොමේරුම් කමයි.

ශ්‍රී ලාංකික පාලක පන්තියේ නොමේරුම් කම නිර්මාණය වූයේ අහම්බෙන් නොවේ. පරිධියේ රටක ශක්තිමත් ධනපතියක් ස්ථාපිත වීම දීර්ඝකාලීන ක්‍රියාවලියකි. එහෙත් 1978 ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා එවැනි ක්‍රියාවලියක ගමන වෙනස් කරවීය. එනිසා ශක්තිමත් ධනපති පන්තියක් මෙරට බිහිවීම වැළැකී ශක්තිමත් ධනය ඇති පන්තියක් බිහි විය. ඒ ධනය ඇති පන්තියේ දේශපාලන හැසිරීම ධනපති පන්තියක දේශපාලන හැසිරීමෙන් මුළුමනින් ම වෙනස් විය. ඊට ආර්ථික සමාජ හා දේශපාලන දෘෂ්ටියක් නොවූ අතර මෝරා ගිය සංස්කෘතික හැකියාවක් ද නොවීය. ඒ නිසා එහි තාර්කිකය වූයේ රාජ්‍ය බලය ලබා ගන්නා ආණ්ඩුවේ දේශපාලනය, දෘෂ්ටියක් නොමැති නොමේරූ පදනමකින් යුක්ත වීමයි.

ශක්තිමත් දෘෂ්ටියක් සහිතව ජාතික අභියෝගයන්ට මුහුණදීමට ආණ්ඩුවට නොහැකි වී ඇත්තේ ඊට ආවේණික පන්ති දේශපාලන දුර්වලතා නිසා ය. තමන්ට ලැබුණ මහජන අභිලාශයන් සහිත ජනවරම ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුවට දේශපාලන ශක්තියක් නැත. එනිසා ජාතික ආරක්ෂාව, ජාතික ප්‍රශ්නය, දුප්පත්කම දුරලීම හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වැනි කරුණු කාරණා වලට ලැබුණේ අඩු ලංසුවකි. ඒ නිසා ඉස්ලාම් අන්තවාදය විසින් ශ්‍රී ලංකාව තම කෙළි බිමක් බවට පෙරළා ගත්තේ ය.

2015 දී මහජනතාව විසින් ආණ්ඩුවට ලබාදුන් ජනවරම සක්‍රීය නොකිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ආණ්ඩුව මිස අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් නොවේ. ඒ නිසා අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් පවා නීතිය කඩ කරන වරදක් කර ඇත්නම් වගකිව යුත්තේ ආණ්ඩුවයි. නමුත් රාජපක්ෂවාදී මන්ත්‍රීවරු විශ්වාස භංගයක් ගෙන එමින් අභියෝගයට ලක් කළේ ආණ්ඩුවේ වැරදි දේශපාලන ප්‍රතිපත්ති නොව අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ අමාත්‍ය ධූරයයි. නමුත් ප්‍රශ්නයට වගකිව යුතු ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් එක රැයකින් රාජපක්ෂවාදී දේශපාලනය අතාර්කික කිරීම ඉතා වැදගත් දේශපාලන හැසිරීමකි. පවතින දේශපාලන ව්‍යාකූලතාව බදූර්දීන්ගේ පිට පටවා දෘෂ්ටියක් රහිතව කටයුතු කරන්නට ගිය රාජපක්ෂවාදී දේශපාලනය මේ නිසා මතවාදී ලෙස බරපතල කඩා වැටීමකට ලක් විය.

සමාජයේ දේශපාලනික පන්ති බෙදීම තවමත් පවතින්නේ ශක්තිමත් මට්ටමක ය. එහෙත් සමාජයේ පන්ති දේශපාලනය මේ මොහොත තුළ පවතින්නේ අක්‍රියව ය. ඒ නිසා වඩා සාර්ථක වන්නේ සමාජය තුළ අධිපතිවාදී උපක්‍රමයකින් දේශපාලනය කිරීම ය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වා ඇත්තේ එයයි. ජනතා විමුක්ති පෙරමුණට සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනෙකි. අතලොස්සක් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ද අතේ ඇගිලි ගණනටත් අඩු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ද ඔවුන්ට සිටී. එහෙත් මේ දේශපාලන මොහොත තුළ තීරණාත්මක තීන්දුව ගනිමින් සමාජය තුළ අධිපතිවාදී ශක්තියක් පෙන්නුම් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. ඊට හේතුව ඔවුන්ගේ තෝරා ගැනීම තුළ ශක්තිමත් මතවාදීමය හා දෘෂ්ටිවාදීමය ඉලක්කයක් තිබීමයි.

මෙවැනි දේශපාලන සන්දර්භයක අති වාමාංශික තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නට යෑම අතිශයෙන් ම අප්‍රායෝගික ය. කළ යුත්තේ තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා බලවත් අසීරුතාවට ලක් කරන උපක්‍රමික දේශපාලනයකි. මේ නිසා භූම රංගයක් නිසා අවකාශයේ ඇතිවන දේශපාලන වෙනසක් හා යළි සැකසීමක් සමාජය තුළ ඇති වේ. එය වඩා ප්‍රායෝගික මෙන්ම පවතින අභියෝගයන්ට ශක්තිමත් ව මුහුණ දීමේ ප්‍රවේශයක් ද වන්නේ ය.

රාජපක්ෂවාදී මන්ත්‍රීවරුන් විසින් බාර දුන් විශ්වාස භංගය නිසා ඉලක්ක ගතව අභියෝගයට ලක් වන්නේ මුස්ලිම් ජාතිකත්වය හා ඉස්ලාම් ලබ්ධිකත්වයයි.

ඒ නිසා අර්බූදයකට ගොස් ඇති ලාංකික දේශපාලනයට කිසියම් හෝ සහනයක් අත් නොවන අතර පවතින තත්ත්වය තව තවත් විනාශයට තල්ලු කරයි. එහෙත් සමස්ත දේශපාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව අභියෝගයට ලක් කිරීම තුළ සමාජයේ දේශපාලන සවිඥානිකත්වය ශක්තිමත් කරයි. එනිසා නිවැරැදි දේශපාලන තීන්දු ගැනීමට සමාජය පොලඹවයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් එල්ල කර ඇති දේශපාලන අභියෝගය හමුවේ ඊට මුහුණ දීම සඳහා ආණ්ඩුවේ සූදානම වන්නේ තම ගමන් මඟ සම්බන්ධයෙන් බරපතලව සිතා බැලීමට ආණ්ඩුව තල්ලු වීමෙනි. විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජය වුවහොත් අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමට අවස්ථාව ලැබේ. එවැනි වෙනසක් ආණ්ඩු පාක්ෂිකයන්ට අභියෝග එල්ල කළත් පුර්වැසියන්ට අත්කර දෙන්නේ මහඟු වාසියකි. ඒ නිසා විශ්වාස භංග යෝජනාවේ ප්‍රතිඵලය කුමක් වුවද එය සමාජයට ඉතා වැදගත් ප්‍රතිඵල ලබාදෙන දේශපාලන පියවරක් බව කිව යුතුය.

Comments