ඉදිකටු තුඩක දෙවිවරු දස දෙනෙක්! | සිළුමිණ

ඉදිකටු තුඩක දෙවිවරු දස දෙනෙක්!

අද අප සාකච්ඡා කරන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දුක නිපාතයේ සමචිත්ත කියන කොටසට අයත් 'සමචිත්ත පරියාය' සූත්‍රයයි. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කළ අවස්ථාවේ සුමන සාමණේරයන් වහන්සේට කියනවා ධර්ම ශ්‍රවණය පිණිස දේවියන්ට ආරාධනා කරන්න කියලා. ඒ වේලාවේ සුමන සාමණේරයන් වහන්සේ ඍද්ධි බලයෙන් මිහින්තලයේ එක්තරා ගලක් උඩට වැඩම කළා (ඒ ගලට තමයි දැන් 'ආරාධනා ගල' යැයි කියන්නේ). මේ ගලට වැඩම කරලා බද්ධපර්යංකයෙන් සිටගෙන මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ඇහුවා උඩ ඉන්න දෙවියන්ට ඇසෙන්න ධර්මඝෝෂා පවත්වන්නද කියලා. එවිට මිහිඳු මහ රහතන් වහන්සේ කියනවා 'සුමන සාමණේරය, ලංකාවේ සියලු ගංගා ඇළ දොළ වැව් අමුණු ආදියට අධිගෘහිත භූමාටු දෙවිවරුන්ට ආරාධනා කළාම ඇති' කියලා. ඒ වේලාවේ සුමන සාරණේරයන් වහන්සේ 'සමන්තා චක්කවාලේසු' ගාථාව දේශනා කළා. අන්න ඒ අවස්ථාවේ එතැනට රැස් වූ දෙවියන්ට මිහිඳු මාහිමියන් දේශනා කළේත් මේ 'සමචිත්ත පරියාය' සූත්‍ර දේශනාවයි. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේදී දේශනා කළ දෙවැනි සූත්‍ර දේශනාව ලෙසයි මෙය සාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. පළමු වැන්න: චූළහත්ථිපදෝපම සූත්‍රයයි.

බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාම විහාරස්ථානයේ වැඩ සිටි කාලයේ මේ දේශනාව පළමුවන වරට සිදු කළේ සාරිපුත්ත තෙරුන් වහන්සේ විසිනුයි. ඒ සාරිපුත්ත තෙරුන් වහන්සේ පූර්වාරාමයේ වැඩ සිටි කාලයේදීයි. සාරිපුත්ත තෙරුන් 'ඇවැත්නි!' කියලා භික්ෂූන්ට කතා කරලා කිව්වා "අද මම පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ ඔබට සඳහන් කරනවා. පළමු වැන්නා: අජ්ජත්ත සංයෝජන (තමා තුළ කෙලෙස් බැඳීම් ඇති පුද්ගලයන් කියන තේරුමයි) දෙවැන්නා 'බහිද්ධා සංයෝජන' (බාහිරට බැඳුණු පුද්ගලයන්).

සමාදන් වූ පලියට සිල් රකින්න බෑ

මේ බුද්ධ සාසනයේ ගිහි හෝ පැවිදි ශ්‍රාවකයෙක් ඉන්නවා කියමු. ඒ පුද්ගලයා තුළ මේ ලක්ෂණ ටික තියෙනවා කියමු. එනම් 'සීලවා හෝතී': සීලවන්ත ජීවිතයක් ගෙවනවා. 'සීලවන්න භාවය' බුදුන් වහන්සේ තවදුරටත් විග්‍රහ කර තිබෙනවා. 'පාතිමොක්ඛ සංයුත්තෝ විහරති' එනම්: පනවලා තියන සික්ඛා පද පිළිපදිනවා කියන කාරණාවයි. එයින් කියවෙන්නේ පංච දුශ්චරිතවලින් වැළකී ඉන්නවා කියන දේ. අප කර්මය පිළිබඳත් එහි විපාක පිළිබඳත් අවබෝධ කරගෙන නැහැ. සීලයක් රකිනවා කියන දේ සමාදන් වුණ පලියට බැහැ. සීලයක් රකිනවා නම් ගිහි කෙනෙක් වුණත්, පැවිදි කෙනෙක් වුවත් තමන් රකින සීලයට ජීවිතය කැප කරන්නට ඕනෑ. සීලය වෙනුවෙන් ජීවිතය කැප කළොත් ඒ පුද්ගලයාට ජීවිත කාලයම සීලය රකින එක පහසු වනවා. ඒ වගේම අප සිහි තබාගන්න ඕනෑ සීලය කියන දෙය රකින්න අමාරුයි. මේ සීලය රකින්න ඕනෑ වීර්යය මුල් කරගෙනයි. දුරාචාරයට කැමැති කෙනා කැමැති වැළකෙන්න නොවෙයි; ඒ වරද කරන්නයි. ඒ වේලාවෙදී තමයි අපට අවශ්‍ය වන්නේ වීර්යය. ජීවිත පරිත්‍යාගයෙන් සීලය ආරක්ෂා කරන්න ඕනෑ.

සික්ඛා පද හොඳට ආරක්ෂා කරන අයගේ තව ලක්ෂණයක් තමයි 'ආචාර ගෝචර සම්පන්නෝ' ඒ කියන්නේ වත්පිළිවෙත් පිරීමටයි. වත්පිළිවෙත් පුරන්නේ නැති අයගේ සීලය සම්පූර්ණ වන්නේ නැහැ. වත්පිළිවෙත් කියන්නේ ගිහියෙක් නම් බුදු රජාණන් වහන්සේට දන්පැන් පූජා කිරීම, මවුපියන්ට ඇප-උපස්ථානය, ගුරුවරුන්ට ගරුබුහුමන් දැක්වීම ආදිය පිරිය යුතුයි. කොතරම් සිල්වත් වුවත් වත්පිළිවෙත් කරන්නේ නැති නම් ඒ තැනැත්තගේ සීලය සම්පූර්ණ වන්නේ නෑ. තමන් සමාදන් වූ සික්ඛා පදවල මනා කොට හික්මිය යුතුයි. මේ විදිහට සිල් ආරක්ෂා කරන කෙනා මරණින් මතු දෙවියන් අතර ඉපදෙනවා. ඒ අයගෙන් බොහෝ දෙනෙක් නැවත මනුස්ස ලෝකයට පැමිණෙනවා. මෙයයි පළමුවන පුද්ගලයා වන 'අජ්ජත්ත සංයෝජන' පිළිබඳ බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ ඇති කරුණු.

අනෙක් පුද්ගලයා 'බහිද්ධා සංයෝජන' නමින් හැදින්වෙනවා. මේ ආකාරයට සිල් ආරක්ෂා කරනවා, වත්පිළිවෙත්වල යෙදෙනවා, කුඩා වරදටත් බය උපදවාගන්නවා, සික්ෂා පද ආරක්ෂා කරනවා. ඊළඟට සමත භවනාව පුරුදු කරනවා, සමාධියත් ලබාගන්නවා, මරණින් මතු දෙව්ලොව උපත ලබනවා, දෙව්ලොව ඉපදිලා බණ භාවනා කටයුතුවල බහුලව යෙදෙනවා. ඒ තැනැත්තා දෙව්ලොවදී අනාගාමි ‍ඵලය අවබෝධ කරගන්නවා. ඒ ඵලය අවබෝධ කරගෙන, ඉන් පසු දෙව්ලොවින් චුත වෙලා අනාගාමි පුද්ගලයන් උපදින බ්‍රහ්මලෝක පහෙන් එකක උපදිනවා. මේ පුද්ගලයා බහිද්ධා සංයෝජන පුද්ගලයා ලෙස හඳුන්වනවා.

මෙහිම තව කොටසක් ඉන්නවා. මේ අයත් සීලවන්ත ජීවිතයක් ගත කරනවා, කාමයන්හි කලකිරීමට පත් වෙලයි ජීවත් වන්නේ. ඒ කියන්නේ ජීවිතය එපා වෙලා කියන අදහස නොවෙයි; සැම කාමයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අවබෝධ කරගෙනයි ඉන්නේ. කාමයන් කෙරෙහි විරාගි වීම නිසා කාම වස්තු කෙරෙහි විරෝධයට පත් වනවා; එනම්: තණ්හාව නැති කරගන්නවා. ඒ වගේම නැවත ඉපදීම කෙරෙහිද තණ්හාව දුරු කරනවා. ඔහු තණ්හාව, දුක නැති කරන්නම පිළිවෙත් පුරනවා. ඉන් පසු මරණින් මතු දෙව්ලොව උපත ලබනවා. දෙව්ලොව ඉපදිලා ඉන් චුත වෙලා අනාගාමී ඵලයට පත් වනවා. ඉන් අනතුරුව ඒ පුද්ගලයා අනාගාමි පලයට පත් වෙලා මරණින් මතු දෙව්ලොව උපත ලබනවා.

දියුණු කළ සිතෙහි බලය

මේ දේශනාව අසා සිටි සමාන සිත් ඇති දෙවිවරුන් බුදු රජුන් වෙත පැමිණ එකත් පස්ව ඉඳගත්තා. ඉන් අනතුරුව 'භාග්‍යවතුන් වහන්ස! සාරිපුත්තයන් වහන්සේ මිගාරමාතු ප්‍රාසාදයේදී පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ දේශනා කරනවා. බණ අසන පිරිසත් දේශනාව හොඳින් අසනවා. සාරිපුත්ත තෙරුන් වහන්සේ ඒ පිරිස කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරනවා' කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ ඍද්ධි බලයෙන් පූර්වාරාමයට වැඩම කරලා, පනවන ලද ආසනයේ වැඩ සිටියා. ඒ අවස්ථාවේ සාරිපුත්ත තෙරුන් වහන්සේ බුදු රජාණන් වහන්සේ දැකලා බුදුන් වහන්සේට වන්දනා කරලා එකත්පසව සිටියා. එකත්පස්ව සිටි සාරිපුත්ත මහ තෙරුන්ට බුදු රජාණන් වහන්සේ මේ ආකාරයට දේශානා කර වදාළා:

''සාරිපුත්ත, බොහෝ දෙවිවරුන් මගේ සමීපයට ඇවිත් මට ප්‍රකාශ කළා 'සාරිපුත්ත තෙරුන් වහන්සේ පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ ධර්මය දේශනා කරනවා. ඒ විතරක් නොවෙයි, සාරිපුත්ත තෙරුන් අනුකම්පාව උපදවා මේ ධර්මය දේශනා කරනවා' කියලා. සාරිපුත්ත, ධර්ම දේශනාව අහන්න දෙවිවරුන් ඇවිත් ඉන්නවා. සමහර දෙවිවරුන් එකට එකතු වෙලා බණ අහනවා, පනස් දෙනා හැට දෙනා බැගින් බණ අහනවා. තමන්ගේ ශරීර ඉතා සියුම් බවට පත් කරගනිමින් ඉදිකටු තුඩක තරම් පොඩි ප්‍රමාණයක දහදෙනකු ඉන්නවා. ඒ වගේ දෙවිවරුන් විශාල ලෙස සිටියත් කිසිම කෙනකුට කිසිම බාධාවක් වන්නේ නැහැ. මේ අය මේ වගේ සියුම් විදිහට වැඩ වසන්නේ තමන්ගේ සිත හොඳින් දියුණු කරපු නිසායි.''

''සාරිපුත්ත, ඔබත් ඒ විදිහට හික්මෙන්න. ඒ විදිහට හික්මීමක් ඇත්තේ නම්, සාන්ත මනසක් ඇත්තේ නම් කයින් කරන දේවල් සාන්ත වනවා, මනසින් වචනයෙන් සාන්ත වනවා'' කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා.

Comments