රාසික්ව රකින්නෙ තව සහරාන් කෙනෙක් හදන්නද? | සිළුමිණ

රාසික්ව රකින්නෙ තව සහරාන් කෙනෙක් හදන්නද?

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පසුගියදා සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ (CTJ) මහලේකම් අබ්දුල් රාසික් නමැත්තාද කැඳවීය. එහිදී රාසික් තේරීම් කාරක සභා සාමාජිකයන් මුළාවේ දමමින් සත්‍ය වසන් කරමින් ඇතැම් කරුණු ගැන අදහස් පළ කළ බවට චෝදනා කරන්නෙ මොහොමඩ් රිෂාම් මරූෂ් නමැත්තාය. රාසික් එදා සත්‍ය වසන් කළ හෙයින් ඒ පිළිබඳව මාධ්‍ය මඟින් හෙළි කිරීම නිසා රිෂාම්ට ඇතැම් දෙනාගෙන් මරණ තර්ජනද එල්ල වෙමින් තිබෙන බවද ඔහු කියන්නේය. වසර ගණනක් පුරා සමාජ මාධ්‍යයන්හි සක්‍රීය චරිතයක්වන මහජන සේවා මධ්‍යස්ථානයේ නිර්මාතෘ රිසාම්ට එල්ලවී තිබෙන තර්ජනයන් ගැන පොලිස් මූලස්ථානයට පසුගියදා පැමිණිල්ලක්ද කළ බව සිළුමිණ සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කීවේය. මේ රිෂාම් සමඟ කළ කතාබහය.

මොකද්ද ඔබ කළ හෙළිදරව්ව....?

මෙහෙමයි, පසුගිය 20 වැනිදා අබ්දුල් රාසික් තේරීම් කාරක සභාවට කැඳෙව්වානේ. ඒ අවස්ථාවේ එයාගේ ගැලවීමට යම් යම් ප්‍රකාශ නිකුත් කළා. කියපු ආගමික කරුණු හරි වෙන්න පුළුවන්. ඒත් අයි.එස් කොඩියක් රැගත් පිරිසක් සිටින ඡායාරූපයක් ගැන විමසන විට රාසික්, ඒක ලංකාවේද පිටරටකද කියා අවබෝධයක් නැති බවත් එම කොඩිය අයිඑස් කොඩියක්ද යන්න වැඩිදුරටත් සොයා බැලීමට ඡායාරූපය 'පෙන්' එකකට දමා දෙන ලෙසත්, එසේ දුන්නොත් සොයා බලා කියන බවත් කීවා. එසේම ඡායාරූපයේ සිටින අය කවුරුන්ද යන්න ඔහු හඳුනන්නෙ නැති බවත් පැවසුවා. ඒත් මං දන්නවා ඒ ඡායාරූපයේ සිටින පුද්ගලයන් කවුරුන්ද කියලා රාසික් හොඳටම දන්නා බව. ඔහු තනිකරම එදා බොරු කීවේ.

ඒ වගේම එහි ස්ථිර ලෙසම තිබුණේ අයිඑස් කොඩියක්. මොකද එය පැහැදිලිව පේනවා. ඒ නිසා මං හිතුවා, මෙයා මේ කාරක සභාව මුළාවේ දැමීම ගැන වහා ජනතාවට හෙළිකළ යුතුයි කියා. මාත් අවුරුදු පහක පමණ කලෙක සිටම මුහුණු පොතේ බොහෝ සක්‍රීයව මේවා ගැන කතා කරන කෙනෙක්.

ඒ නිසා රාසික් තේරීම් කාරක සභාවෙන් පිටව ගිය සැණින් මම මුහුණුපොතේ ලයිව් වීඩියෝවක් දැම්මා, 'විමසු ඡායාරූපය පිළිබඳව රාසික්, කමිටුව මුළාවට පත්කොට අසත්‍ය ප්‍රකාශයක් කළා. එම ඡායාරූපයේ සිටින්නෙ කවුරුන්ද, ඔහුගේ වතගොත, රාසික් ඇයි මේ පුද්ගලයා ගැන හෙළි නොකළේ, එසේනම් රාසික් එම පුද්ගලයාට අනුබල දීමක්ද කරන්නෙ කියා හෙළි කරන බව ' සඳහන් කරමින්.

21 වැනිදා දඹුල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවමින්, එම ඡායාරූපයේ අයි.එස් කොඩිය රැගෙන යන පුද්ගලයා හාරුන් සහවි නමැත්තා බවත්, ඔහු තවුහිද් ජමාද් කෙනෙක් බවත් හෙළි කළා. ඒ වගේම මීට වසර කීපයකට පෙර ඊශ්‍රායලයට එරෙහිව අයි.එස් සංවිධානයට සහාය පළ කරමින් වාලච්චේන ප්‍රදේශයේ සිදුක උද්ඝෝෂණයකදීයි සහවි එම කොඩිය රැගෙන යන්නෙ කියාත් සඳහන් කළා. මට තියෙන ප්‍රශ්නය, රාසික් තේරීම් කාරක සභාවේදී පැවැසූ පරිදිම 2001 සිට දේශන පවත්වන කෙනෙක්නම් හාරුන් සහවි දන්නෙ නෑ කියනවානම්, ඒක විහිළුවක්.

මොකද හාරුන් සහවි කියන්නෙත් ලේසි පහසු කෙනෙක් නෙවි. ඔහු වත්මනෙහි එන්.ජී.ඕ එකක් කරගෙන යන මවුලවිවරයෙක් ලෙස පෙනී සිටින අයෙක්. රුපියල් පන්දාහක වගේ පඩියකට පටන් අරන් මේ වන විට සහවි පාවිච්චි කරන වාහනේම කෝටි ගාණක් වටිනවා. හිතාගන්න පුළුවන්නේ මෙයාලාගේ වැඩ.

ඒ වගේම සහවි ගැන තවත් පැවැසුවොත්, පහුගිය කාලේදි සහවිට කල්කුඩාවල ශ්‍රී.ල.නි.ප සංවිධායකකමකුත් දෙනවා. සහවි පිටිපස්සෙ ඉන්නෙ හිස්බුල්ලා. එදා මාධ්‍ය හමුවේදී සහවිගේ සියලු වත්කම් ගැනත් හෙළි කළා. ඒ වගේම සහවිට, සහරාන් සමඟ ළඟ සබඳතාවක් තිබුණා. ඔය දේවල් එදා මාධ්‍ය ඉදිරියේ හෙළි කළා. ඒ වගේම රාසික්ලා, සහරාන්ලා සමඟ පැවැත්වූ සබඳතා ගැන කියන්න පසුගිය 1 වැනිදාත් මාධ්‍ය හමුවක් පැවැත්වූවා.

ඔබ පසුගියදා පොලිසියට පැමිණිලි කළා තර්ජනයන් ගැන කියමින්. එල්ල වූ තර්ජනයන් ගැන කතා පැවැසුවොත්....?

මේ අය කියන්නෙ සහරාන් දැකලත් නැහැ, සහරාන්ගේ කිසිවෙක් ගැන දන්නෙත් නැහැ කියලනේ. ඒ නිසා මම යම් හෙළිදරව්වක් කරන්නයි හිටියේ. ඒ සහරාන්ගේ ළඟින්ම සිටි සගයෙක් වන සයින්දමර්දුවලදී මරාගෙන මැරුණු පිරිසෙන් කෙනෙක් වන නියාස් නමැත්තා සහ රාසික්ගේ උපනායකයා රස්මින් යන දෙදෙනා සිටින ඡායාරූපයක් ගැනයි. එහෙම ඉන්නකොටයි පසුගිය හයවැනිදා ඊර්ෂාඩ් නමැත්තෙක් මට කතා කරන්නෙ මැලේෂියාවේ ඉඳන්. ඔහු යූ.එන් එකේ වැඩ කරන බව වාර්තා වුණා. ඉන්ටර්පෝල් එකේ කියලත් කියනවා. මීට කලිනුත් එයා මං දාපු වීඩියෝ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඒ අවස්ථාවලනම් බොහෝම සුහදවයි කතා කළේ. ඒත් හයවැනිදා තනිකරම අසභ්‍ය වචනයෙන් තර්ජනය කළා. මට කිසිම දෙයක් කියන්න දුන්නෙ නෑ. බැනගෙන බැනගෙන ගියා. ඔහු කීවේ, 'තමුන් අපේ ජාතිය පාවලා දුන්නා... අබ්දුල් රාසික්වත් පාවා දෙන්න හදනවද... උඹ මේ මොනවද කරන්න හදන්නෙ...'කියලා.

මං කීවා, 'ජාතිය පාවා දෙන්නටත් රටක් තියෙන්න ඕනෙනේ. රටක් තිබ්බොත්නේ ජාතියක් තියෙන්නෙ... ඒක නිසා රට නැති කරගන්නා තත්ත්වයකට යන්න බැහැ, මම මේ දේවල් අනිවාර්යයෙන්ම හෙළිදරව් කරලයි නවතින්නෙ. ඒ වගේම තවත් සහරාන් කෙනෙකුට බිහිවෙන්න ඉඩ දෙන්නෙ නැහැ කියලත් කීවා.

ආයෙත් කියනවා, 'ප්‍රසිද්ධිය තකානේ මේ දේවල් කළේ' කියලා... මං කීවා 'නෑ... මට ප්‍රසිද්ධියක් අවශ්‍ය නෑ.' කියා. 'ආ එහෙනම් ඩීඕ එකක් ගහලා දෙන්නම්... අවුරුදු දෙකක් ඇතුළේ ඉඳලා එන්නකෝ කියලා තර්ජනය කළා.'

ඒත් එක්කම එයා, ටී.අයි.ඩී එකේ (ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ) ඒ.එස්.පී මහත්තයා ‍පොඩ්ඩක් එන්නකෝ කියා කෙනෙකුට කතා කොට ෆෝන් එක දුන්නා. එහෙම කියනවා මට ඇහුණා. පස්සෙ ඒ පුද්ගලයා කියනවා, 'තමුන් මේ ඕනෙ නැති වැඩක්නේ කළේ. නිකම් අමාරුවේ වැටෙන්නෙ නැතිව ඉන්නවා.' කියලා.

මං ඇහැව්වා, 'ඔබතුමත් මෙහෙම කතා කරනවද?... මේ හෙළිදරව්ව කිරීමෙන් විනාශයක්ද හොඳක්ද වෙන්නෙ රටට' කියලා. 'නෑ... ඒක අපිට අදාළ නෑ... තමුන් ඕනෙ නැති වැඩක්නේ කරගත්තෙ' කියා නැවතත් කීවා. 'මොකක්ද දැන් මං කරන්න ඕනෙ...' මම එහෙම ඇහැව්වා. 'ඔය නියාස්ගෙයි රස්මින්ගෙයි ඡායාරූපය තියනවා නේද?. එක හෙළි කරන්න එපා... ඔතැනින් මාධ්‍යයට කරන අනාවරණයන් නවත්තලා දානවා' කියලා. මං මෙහෙම කීවා. එතකොට 'ජනතාව ඉදිරියේ මං බොරුකාරයෙක් වෙනවානේ.'

ආයෙත් ඔහු කියනවා, 'නෑ... ඕක නවත්වනවා... නැත්නම් ඩී.ඕ ගහලා ඇතුළට දානවා' කියලා. මොනවා කළාටද ඇතුළට දාන්නෙ කියා ඇහැව්වම, 'ඔය 2016 වගේ කාලේ වීඩියෝවල තමුනුත් ආවේගශීලීව කතා කරලා ඇතිනේ. ඒවා එකතු කරගෙන අපි කියනවා 2016 සහරාන් බිහිවූ කාලේමයි මෙයත් බිහිවුණේ. සහරාන්ට පසුව අයි.එස් එකේ ඉන්න කෙනා මෙයා‍. දැන් අයි.එස් කාරයා මෙයා නිසා මොහු අහුවෙයි කියන බයට අබ්දුල් රාසික්ව පාවලා දෙන්න හදනවා කියලා කේස් එකක් ෆයිල් කරනවා කීවා.

මට ආරංචි වුණ විදිහට ඒ කේස් එක පහුගිය දිනෙක මුස්ලිම් අයෙක්ම ෆයිල් කරලා. හැබැයි මං පසුගිය හත්වැනිදා එම තර්ජනය ගැන පොලිසියට පැමිණිල්ලක් කළා. ඒ වගේම අහමඩ් ෆාරුක් නමැත්තෙක් ඊර්ෂාඩ්ට මං ගැන කියන රෙකෝඩින් එකකුත් තියෙනවා. ඒකෙ තියෙන්නෙ, 'අපේ ගාව මෙයා සම්බන්ධ සාක්ෂි හැමදේම තියෙනවා. එයාව ඇතුළට දාමු. එතකොට වැඩේ ඉවරනේ... කිසිම හෙළිදරව්වක් නෑ' ලෙසයි කියලා. අන්න ඒ විදිහටයි මෙයාලා එකතුවෙලා මං මේ කරන්න යන හෙළිදරව් නතර කරන්න හදන්නෙ. මේ සියලු දේම පොලිසියට මං කියලා තියෙන්නෙ.

මෙයාලට ප්‍රශ්නේ රස්මින්, නියාස් සමඟ සිටින ඡායාරූපේ. ඒකෙන් මේ තවුහිද් ජමාද් එකට ලොකු හානියක් වෙනවා. අබ්දුල් රාසික් තේරීම් කාරක සභාවේදී කියපු බොහෝ කරුණු මගේ හෙළිදරව් නිසා බොරු වෙනවා. ඒ නිසා මට මේ සම්බන්ධව දිගින් දිගටම විවිධාකාරයෙන් තර්ජනය කිරීම් එනවා. ඒ මේවා නතර කරන්නැයි කියමින්. රාසික් පවා මේ දේවල් හෙළි කරන බව දැනගෙන මට කතා කළා. ඔහු කීවේ 'ඔයාට විරුද්ධවත් අපි කේස් එකක් දාන්න යන්නෙ. ඔයා මේවා හෙළි නොකර හිටියොත් අපි දාන්නෙ නෑ' කීවා. 'අනිවාර්යයෙන්ම දාන්න... මං ආපස්සට යන්නෙ නෑ... හෙළිදරව් කරලයි නවතින්නෙ '.. මං එහෙම කීවා.

මේ හෙළිදරව් කිරී‍ම්වලින් ඔබ බලාපොරොත්තු වන්නෙ කුමක් ද?

මේවා නිසා මගේ ජීවිතයට ලොකු තර්ජනයක් දැන් තියෙන්නෙ. ඒත් සියලුම දේවල් හෙළි කරනවා. හෙළි නොකළොත්, මෙයාලා කියන අදේවවාදි වන්දනාමාන කරන සියලුම දෙනා මේ අන්තවාදීන් ඉදිරියේදී මරලා දාවි. පිළිම වන්දනා කරන මුස්ලිම් පල්ලි විනාශ කරලා, පස්සෙ මෙයාලා එන්නෙ අන්‍ය ආගමිකයන්ට විරුද්ධවයි. සහරාන් පමණක් නොවේ, මේ සියලුම තවුහිද් අයගේ මතය එකයි. ඒ නිසා මගේ අභිප්‍රාය මේ රටේ යළිත් සහරාන් කෙනෙක් බිහි නොවීමට වැඩ කිරීමයි. මෙයාලා යන්නෙ සහරාන් ගිය ගමනමයි. අන්න ඒ නිසා මෙහෙම ගියොත් මේ තවුහිද් කාරයෝ අනිවාර්යයෙන්ම සහරාන්ලා එකට දහයක් බිහි කරාවි. මේක නවත්වන්නනම් කරන්න තියෙන එකම දේ සියලුම තවුහිද් ජමාද් සංවිධාන තහනම් කිරීමයි.

මේ තවුහිද් අය කියන්නෙ පල්ලි කඩන්න, අන්‍ය ආගමිකයන් මරා දාන්න කියලනේ. ඉතින් මේ ගොල්ලො කොහොමද ආගමක් ප්‍රචාරය කරන්නෙ. මේ අය ඉන්නෙ තවත් පිරිසකට හිංසනය කරන්නයි. මේ පිරිස කුරානයේ වැකි හයදහස් හයසියහැටහයෙන්, එකසිය විස්සක් එයාලට ඕනෙ විදිහට අර්ථයන් වෙනස් කරගෙනයි තියෙන්නෙ. අරාබි කුරානයේනම් වෙනස්කම් කරලා නැහැ. දෙමළෙන් තිබූ කුරානය සිංහලට පරිවර්තනය කිරීමේදී එයාලාගේ දේශනවලට පහසු වන පරිදි එම එකසිය විස්ස වෙනස් කරලා තියෙන්නෙ. ඒ වැකි 120 තුළයි මේ පිරිස කැරකෙන්නෙ. තවුහිද්ලා වහබ්වාදය පතුරුවන්නෙ එතැනින්.

ඒ නිසා මගේ ජීවිතේ නැතිවුණත් මං මේ දේවල් හෙළිකරලයි නවතින්නෙ. ඒ වගේම මං මෙතෙක් තනිවමයි මේ සෑම දෙයක්ම කළේ. එහෙත් ඉදිරියේදී ත්‍රස්ත විරෝධි සංවිධානය හා එක්ව වැඩ කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

ඔබ කියන්නෙ අබ්දුල් රාසික්ලාට, සහරාන් සමඟ ඍජුවම සබඳතා තිබුණා කියා ද?

ඔව්. සහරාන් 2006දී මද්‍රසා පාසලින් ඉවත්කළාට පසු 2009 දී කාත්තන්කුඩි තවුහිද් ජමාද් කියලා සංවිධානයක් බිහි කරනවා. ඒ කාලේ රාසික්ලා මුලින් හිටිය එස්.එල්.ටී.ජේ (ශ්‍රී ලංකා තවුහිද් ජමාද්) එකේ වැඩසටහන්වලට සහරාන් සහභාගිවෙලා තියෙනවා. එහෙම තියෙද්දි සහරාන් 2010දී තම සංවිධානයේ නම වෙනස් කරගන්නවා, එස්.එල්.ටී.ජේ කාත්තන්කුඩි ශාඛාව ලෙසින්. අන්න එහෙම රාසික්ලා සමඟ එකතුවෙලා සහරාන් අවුරුදු තුනක් පමණ වැඩ කරලා තියෙනවා.

පසුව ඇතිවූ ආගමික මත ගැටුමක් නිසයි සහරාන් දාරුල් අදර් නමැති සංවිධානයට එක්වන්නෙ. ඉන් ඉවත්වී 2013දී යි සහරාන් ජාතික තවුහිද් ජමාද් (NTJ) එක හදන්නෙ. සහරාන් මුල ඉඳන්ම කැමැති වුණේ නැහැ තවත් කෙනෙක් යටතේ සිටින්න. හැබැයි 2010 හා 2011 කාලේ එස්.එල්.ටී.ජේ කාත්තන්කුඩි ශාඛාවක් ලෙස සහරාන්ලා කටයුතු කළ බවට සියලු තොරතුරු මේ වන විට විනාශ කරලයි තියෙන්නෙ. අන්න ඒ වගේ තමයි සහරාන් සමඟ රාසික්ලා සබඳතා පැවැත්වූවේ. එහෙත් ඔහු තේරීම් කාරක සභාවේදී පවසනවා, සහරාන් කිසිම විටෙක හමුවී නැති බව.

ඒ වගේම මරාගෙන මැරුණු සාරාගේ මවගේ හෙළිදරව්වෙනුත් මෙයාලට සහරාන්ගේ පිරිසත් සමඟ තිබූ සබඳතා හෙළි වුණානේ. ඒත් කිසිම පරීක්ෂණයක් සිදු නොවීමයි ගැටලුව.

ඔබත් පසුගිය කාලයේ ආවේගශීලීව, අන්තවාදීව අදහස් ප්‍රකාශ කරලා තියෙනවා නේද?

මෙහෙමයි, 2016 වගේ කාලේ ඇතැම් සිදුවීම්වලදී යම් යම් ආවේගශීලී අදහස් ප්‍රකාශ කළා. නමුත් ඒවා කළේ කිසිම පැහැදීමකින් නොවන බව දැන් මං තේරුම් අරන් ඉන්නෙ. ඒ කාලේ අපි බෞද්ධ බහුතර සමාජයේ ඇතැම් දේවල් දැක්කේ වැරැදි කෝණයකින්.

ඒක මගෙන් වුණ වරදක් කියලා දැන් තේරුම් අරන් ඉන්නෙ. අපි ඒ ආවේගශීලීව කතා කළ බොහෝ සිදුවීම් වෙලා තියෙන්නෙ ජාතිවාදය නිසා නොව දේශපාලනඥයන් නිසා බවත් දැන් මං දන්නවා. විශේෂයෙන් මුස්ලිම් දේශපාලනඥයන් මේ හැම දෙයක් යටම ඉඳලා තියෙන්නෙ. ඒ වගේම මෑත කාලයේ ගැටලුකාරි තත්ත්වයක් මතුකළ හලාල් ප්‍රශ්නයේදී ජමයිතුල් උලමා සංවිධානයට එරෙහිව මං දැඩිව විවේචනයන් එල්ල කළා.

ඇත්තටම මේ හලාල් ප්‍රශ්නය තමයි මේ ‍රටේ ජාතිවාදයට මුල වුණේ. 21 වැනිදා ප්‍රහාරයෙන් පස්සෙ මේ හැම දෙයක්ම ගැනම ගැඹුරට හිතන්න ගත්තා. බෞද්ධයන් කියන දේවල යම්කිසි ඇත්තක් තියෙන බව මං අද පිළිගන්නවා. ඒ නිසා මං නැවතත් කියන්නෙ සියලුම ඉස්ලාම් අන්තවාදී සංවිධාන තහනම් කළ යුතුයි කියායි. ඒ වගේම පහුගිය කාලේ මොනතරම් ආවේගශීලී අදහස් ප්‍රකාශ කළත් නීතියට පිටින් කිසිම දෙයක් මගේ අතින් සිදුවුණේ නෑ.

මං පසුගිය කාලයේ යම් යම් සමාජ සුබසාධන වැඩසටහන් කිරීමට මහජන සේවා සංවිධානය නමින් සංවිධානයක් ගොඩනැඟුවා. ඒකෙන් අපි පසුගිය දිනවල සිංහල ආයතනයකට උදව් කරන්න ගියාමත්, අපේ ඉස්ලාම් අය විරෝධතා දක්වමින් ප්‍රකාශ කරලා තිබුණා. දැන් මට අවශ්‍ය සියලු ජාතින් එක්ව නැඟී සිටිනවා දකින්නයි.

ඡායාරූපය - සරත් පීරිස්

Comments