නළුවෙක් වුණත් තාත්තාට ගීත ගැයීමේ හොඳ හැකියාවක් තිබුණා | සිළුමිණ

නළුවෙක් වුණත් තාත්තාට ගීත ගැයීමේ හොඳ හැකියාවක් තිබුණා

අවුරුදු ගණනාවක් ගෙවි ගිය ද බාල වියේ මතකයන් තාමත් සිතේ ඇත. සෑම නිවෙසකම රූපවාහිනි නොතිබූ කාලයක අප රූපවාහිනිය බැලුවේ නිවෙසින් මදක් ඈත නිවෙසකට ගොස්ය.

"අද තියෙනවා රුක්මණි දේවි ඩොමි ජයවර්ධන ඉන්න චිත්‍රපටයක්.”අම්මාගේ යෙහෙළිය දිවා කාලයේ නිවෙසට පැමිණ පවසන්නේ අහළ පහළ කාටත් ඇසෙන්නටය. කාර් බැට්රියෙන් වැඩ කරන කළු සුදු රූපවාහිනියේ චිත්‍රපට ය දිගැහැරේ. අපි චිත්‍රපටය දෙස බලා සිටින්නේ ඇස් ඉවතට නොගෙනය. ඒ යම් සිතුවමක් මඟහැරේ යැයි කියා සැකයෙන් මෙනි.

"කවුද අර නළුවා.?

රුක්මණි දේවිය සමඟ රඟන අනිත් නළුවා ගැන පෙන්වා කවුදෝ අසයි. ඒ උස මහත කඩවසම් නළුවෙකි.

ඒ තමයි අශෝක පොන්නම්පෙරුම. අම්මාගේ යෙහෙළිය පවසන්නේ උජාරුවෙනි. ඇය සැබෑම චිත්‍රපට රසිකාවියකි. ඇය නාඳුනන නළු නිළියන් නැති තරම්ය. කාලය ගෙවිනි .. පොඩි කාලේ දුටු නළු නිළියන්ගේ මතකය අදටත් ඇත. බාලවියේ මේ මතකය අලුත් වූයේ ඉකුත් දිනෙක මා මිතුරෙකු කාර්යාලයට පැමිණි මොහොතේය. ඔහු පැමිණියේ තනිවම නොව තවත් සඟයකු ද සමඟය.

"මේ තමයි අනුරුද්ධ පොන්නම්පෙරුම. මා මිතුරා ඔහු සමඟ සිටි අනෙකා හඳුන්වා දුන්නේය. ඔවුන් පැමිණ තිබුණේ අනුරුද්ධ විසින් ගායනා කරන ලද නවතම ගීතය පිළිබඳ තොරතුරු කියන්නටය.

තොරතුරු කතා කරන අතරේ ඔහු තම පියා පිළිබඳ පැවැසුවේය.

"මගේ තාත්තා තමයි අශෝක පොන්නම්පෙරුම.”

ඔහු එසේ කියා මොහොතක් නිහඬව සිටියේය. මෑත භාගයේ හැට හැත්තෑව දශකයේ ජනප්‍රිය නළුවකු වු අශෝක පොන්නම්පෙරුම පිළිබඳ ලියැවුණ බවට මතකයක් නැති තරම්ය. එනිසා අනුරුද්ධ ගැන ලිවීම පසෙක තබා ඔහුගෙන් සිය පියා පිළිබඳ අතීත තොරතුරු විමසන්නට සිතිමි. “තාත්තා රඟපාන්න පටන් අරගෙන තියෙන්නේ 1956 දී . ඔහු චිත්‍රපට අසූවක පමණ රඟපාලා තියෙනවා. සුනීතා, සුන්දර බිරිඳ, සුවිනීත ලාලනි, සුහද සොහොයුරෝ , සැමියා බිරිඳගේ දෙවියා ආදි චිත්‍රපට ඒ අතර විශේෂයි. තාත්තා සැමියා බිරිඳ ගේ දෙවියා චිත්‍රපටයයේ රඟපෑවේ වෛද්‍යවරයාගේ චරිතය. ඒ වගේම මගේ තාත්තා චිත්‍රපට කිහිපයකම ගී ගයා තිබෙනවා. මට මතකයි තාත්තා චිත්‍රපට වල රඟපාන්න යනවා. ඒ කාලේ තාත්තා මාව සමහර දවස්වලට ෂූටින් බලන්න එක්කගෙන යනවා. දීපශිඛා, සිනාවයි ඉනාවයි, සුදු පරෙවියෝ වගේ චිත්‍රපටවල තාත්තා රඟපාන් යනවා මතකයි. තාත්තා සමඟ ෂූටින් ගියාම ඔහු කරන්නේ මට මවුත් ඕගන් එකක් හොයලා දෙනවා. ඔහු රඟපාන තුරු මට ඒක පිඹිමින් ඉන්න් කියලා. මගේ තාත්තාට ගීත ගායනා කරන්න පුළුවන්. ඔහු චිත්‍රපට කිහිපයකම ගී ගයා තිබෙනවා. ඒ හැරුණ විට තාත්තා 'මල්මද බිසව්', හා 'ඇයි මට මෙහෙම වුණේ' කියන නවකතා දෙක ලියා තිබෙනවා. 'ඇයි මට මෙහෙම වුණේ' කියන නවකතාව තමයි ඔහු චිත්‍රපටයකට ගත්තේ. ඒ චිත්‍රපටයේ නම ප්‍රදීපා. තාත්තා එක දවසක් අපි හතර දෙනාව අරගෙන මහරගම සිනමා ශාලාවකට එක්කගෙන ගියා. ඔහු රඟපෑ චිත්‍රපටයක් බලන්න. ඒ චිත්‍රපටයේ තාත්තා දුෂ්ටයාගේ චරිතය රඟපෑවේ. තාත්තාට හොඳටම ගහන දර්ශනයක් තිබුණා. අපි හතර දෙනාම කෑ ගහලා අඩන්න ගත්තා. මට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. නංගි ටික කාලයක් රඟපෑවා. මල්ලිලා දෙන්නා නම් රඟපෑමට යොමු වුණේ නෑ.

තාත්තාගේ ගායනා ගැන ඔබට මතකද?

ලන්ඩන් හාමු චිත්‍රපටයේ තමයි තාත්තා ගීත ගායනා කළේ. ඒ සුජාතා අත්තනායක මහත්මිය සමඟ. අපේ තාත්තා ආර්. ඒ . චන්ද්‍රසේන මහත්මයා යටතේ සංගීතය ඉගෙන ගෙන තිබෙනවා. ඒ වගේම තමයි ඒකාලේ සිනමාවේදි තාත්තාව හඳුන්වලා තියෙන්නේ ලංකාවේ 'සිවාජී ගනේෂන්' කියලා. ඒ 1969 දී මගේ තාත්තාට ඉඳුනිල චිත්‍රපටයේ හොඳම සහාය නළුවාට හිමි සරසවි සම්මානය ලැබිලා තියෙනවා. තාත්තා සටන් නළුවෙක් වගේම විකට නළුවෙක් ලෙසත් රඟපා තිබෙනවා.

ඔබේ මවත් නිළියක් නේද?

ඔව් මගේ අම්මා නිළියක්. ඇය මානෙල් පෙරේරා. 'ඇය දෙහදක දුක' , 'රුහුණු කුමාරි' ආදි චිත්‍රපටවල රඟපා තිබෙනවා. නමුත් අපට රඟපාන්න යන්න කියලා තාත්තා කවදාවත් බලපෑම් කළේ නැහැ. මට මතකයි තාත්තා කියනවා "චිත්‍රපට කර්මාන්තය වැටුණාම උඹලාට හිඟා කන්න වෙන්නේ ඒ නිසා වෙන රස්සාවක් හොයා ගන්න” කියලා. තාත්තා එහෙම කිව්වේ 1980 ගණන් වල . චිත්‍රපට සංස්ථාව සංස්ථාවක් කරන්නත් පෙරමුණ ගත්ත අය අතර මගෙ තාත්තා ඉන්නවා.”

අනුරුද්ධ පවසන්නේ ආඩම්බරයෙනි.

ගායකයෙක් නළුවෙක් වූ තම පියාගේ අඩිපාරේ නොගිය අනුරුද්ධ සිය පියාගේ අභාවයෙන් අවුරුදු විසි හයකට පසු ගායන ලොවට පිවිසෙන්නේය. එය ඔහුගේ ජීවිතයේ නව හැරවුම් ලක්ෂයකි.

" මගේ තාත්තා මේ රටේ ජනතාව පිළිගත්ත නළුවෙක් කියන ආඩම්බරය මට හැමදාම තිබුණා. ඒත් තාත්තා වගේ් රගපාන්න ඕන, ගායකයෙක් වෙන්න ඕන කියන අදහස මට තිබුණේ නැහැ. එහෙම වුණත් මම මංගල අවස්ථාවල එහෙම ගී ගයා තිබෙනවා. මට ගායන හැකියාවක් තියෙනවා කියලා හඳුනා ගත්තේ මගේආදරණිය මිතුරා මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි. මංජුල ප්‍රභාත් හෙට්ටි ආරච්චි හා ගායන ශිල්පි වර්නන් පෙරේරා යන මිතුරෝ් මා උනන්දු කළේ. මගේ පළමු ගීතය ලිව්වේ මංජුල. ඒ ගීතය තමයි 'සිහින බිඳි රන් දේදුනු ඕවිල්ලේ' කියන ගීතය.

මීට අමතරව මම තවත් ගීතයක් ගායනා කර තිබෙනවා. ඒ ගීතය ලියූවේ වර්නන් පෙරේරා මහතා. ඒ ගීතය 'තරු දිලිසුණා'. මෙම ගී දෙකම සංගීතවත් කළේ රංජිත් ඩයස් සංගීතවේදියා. ප්‍රමාද වී හෝ ගායකයෙක් විදිහට ඉදිරි ගමනක් යන්නයි මගේ අරමුණ. තවත් ගීත කිහිපයක්ම ඉදිරියේදි පටිගත කිරීමට සුදානම් කර තිබෙනවා. මගේ ගමනට දිරි දෙන හැමෝටම මා ස්තුතිවන්ත වෙනවා. ඔහු පවසන්නේ කෘතඥපුර්වකය.

අනුරුද්ධ පොන්නම්පෙරුම ගයන ගීත යුටියුබයෙන් රසවිදිය හැකිය.

Comments