අලව්වේ අනෝමදස්සි හිමි මාතලේ, ඕවිලිකන්ද රෑනකෙටුවගල ආරණ්‍ය හා අනුරාධපුර ධම්ම පාරමී ආරණ්‍ය සේනාසනාධිපති
සසර ගමන දුකකි. ඒ ගමනේදී යම් උපතක් ලබන සත්ත්වයාට ලෙඩ වීම, වයසට යෑම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන් වීම, අප්‍රියයන් හා එකතු වීම ආදී වූ නොයෙක් දුක්ක දෝමනස්සයන්ට මුහුණ දීමට සිදු වේ. එය පොදු ධර්මතාවකි. ජාති - ජරා - මරණ යන කරුණු ලෝකයේ විද්‍යාමාන වන නිසා තථාගතයන් වහන්සේ නමක් ලොව පහළ වීමත් තථාගත ධර්මය ලොව බැබළීමත් සිදු වන බව තයෝධම්ම සුත්‍රයේ දැක්වේ.
පුද්ගලයාට මුහුණ දීමට සිදුවන ජාති ජරා මරණ ආදී ජීවිත සත්තාවන් අභිමුව අද ජීවත්වන මිනිස්සු නොයෙකුත් ඇදහිලි ක්‍රම මගින්, විවිධ වූ ප්‍රාර්ථනා ඔස්සේ නොපෙනෙන, අදෘශ්‍යමාන බලවේග පසුපස යමින් ඉන් පලා යන්නට උත්සාහ කරති. මේ පිළිබිඹු වන්නේ මිනිසාගේ ප්‍රඥාව මදකමය. ප්රාර්ථනාවකින් හෝ පුද පුජා විධිවලින් දුකින් නිදහස් වීමක් ලැබේ නම් මේ ලොවේ දුක් විඳින කිසිවෙකු නොසිටිනු ඇත. මෙහිදී නිවැරදි කරගතයුතු කරුණක් ඇත. එනම් ‘පාරමිතා’ යනු ප්‍රාර්ථනා කිරීමක් නොව ශීල, දානාදී ගුණධර්ම වැඩීමකි, යන්නය.
මින් වසර 2600 ට පමණ පෙර අප මහා බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැක ලද ජීවිතාවබෝධය සහිතව විමුක්තිය සෙවීම උදෙසා නොයෙකුත් ක්‍රම උපායන් සොයා ගියහ. විවිධ ගුරුවරු සොයා ගියහ. ඒ ගමනේදී උන්වහන්සේ සිය නුවණින් අවබෝධ කරගත්තේ එම වැඩපිළිවෙළ සියල්ල ලෝකය තුළ, ලෝකයට අයිති ඒවා බවය. ඒ අවබෝධය සහිතව උන්වහන්සේ එම ක්රමෝපියන් අත්හළ සේක.
උන්වහන්සේ බුද්ධත්වයට පත්වන්නේ කාමසුඛල්ලිකානුයෝගය, අත්තකිලමතානුයෝගය ආදී වූ සියලු අන්තයන් අතහැර ප්රාර්ථනාවකින් හෝ ඇදහීමකින් තොරව තමා තුළ පුරුදු කළ යුතු ප්‍රතිපදාවක් මඟින් චතුරාර්ය සත්‍ය ධර්මය මැදුම් පිළිවෙත ඔස්සේ සාක්ෂාත් කොටගෙනය. ඉන්පසු පළමු ධර්ම දේශනය වන දම්සක් පැවතුම් දේශනයෙන් කොණ්ඩඤ්ඤ වැනි උතුමන් දුකින් නිදහස් වූයේ බුද්ධ ඇදහිල්ලකින් හෝ ප්‍රාර්ථනයකින් නොවේ. තමා තුළින් මේ ධර්මය දැක සංසිඳීමෙනි.
බුද්ධ ශ්‍රාවකයෝ “භවවන් ජානාමි අහංනජානාමි” භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක මම කිසිවක් නොදනිමි, ඔබ වහන්සේ ශාස්තෘන් වහන්සේ වන සේක මම ශ්රාවකයා වෙමි (කීටාගිරි සූත්‍රය), යන උතුම් බුදු වදන තුළ පිහිටමින් ධර්මය විමසා බලමු.
බුද්ධකාලීන භාරතීය සමාජය තුළ පැවැති හිරු සඳු තාරකා ආදියෙන් පලාඵල කීම, රජවරුන්ගේ පරාජය, ශරීර අංග ලක්ෂණ බැලීම, විවිධ ධාන්‍යවලින් කරන පුද පූජා, විවිධ අනාවැකි කීම ආදී තිරස්චීන විද්‍යාවෙන් යුතු මිත්‍ය ආජීවයෙන් යුතුව කල් ගෙවන ශ්‍රමණ බමුණා ගැන බුදුන් වහන්සේ දීඝ නිකායේ බ්‍රහ්මජාල සුත්‍රයේ සඳහන් කළහ.
“ඉති වා හි භික්ඛවේ පුථුජ්ජනෝ” “තථාගතස්ස වණ්ණං වද මානෝ වදෙය්‍ය“ පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ මේ ආකාරයට යැයි ප්‍රකාශ කරමින් බුදුන් වහන්සේ ශාස්වත උච්ජේද මතවාද බැහැර කළහ. ජරා - මරණ දුකින් නිදහස් වීම පිණිස පවතින ප්‍රතිපදාව වන නවාංග ශාස්තෘ සාසනයේ මෙම ව්‍යාකරණ හඳුන්වා දුන් සේක. මෙම දෙකම “අනුත්තරසංග්රාම විජය” දෘෂ්ඨි යුද්ධයෙන් ලැබූ ජය ලෙස දරාගන්නා ලෙස දේශනා කළහ.
ශ්‍රද්ධාව
බුදු රජාණන් වහන්සේ කියා දුන් කාරණාව නිවැරදි බව වටහාගෙන අපේ මතය වැරදි බව වටහාගැනීම ශ්රද්ධාවයි. සමාජ සම්මුතියට ගැළපෙන, විද්‍යාවට ගැළපෙන, තමන්ගේ රාමුවට ගැළපෙන දේ ධර්මය ලෙස ගැනීමට උත්සාහ කරන්නේ ශ්‍රද්ධා පදනම නැති නිසාය. “බුදු රජාණන් වහන්සේ ශාස්තෘෘන් වහන්සේය... මම ශ්රාවකයා වෙමි“ යන පදනමෙන් යුතුව ධර්මය ඇසීම ශ්‍රද්ධාවය. ඒ ධර්මය වනාහී මගේ කෝණයට ගැළපෙන දෙයක් නොවිය යුතුය, මගේ කෝණයට ගැළපෙන දේ නම් ජරා මරණ එන විට පිළිසරණක් සොයා ඇදහිලි, ප්‍රාර්ථනා ආදී දෙයට යොමු වීමය යන්න නම් එය ශ්‍රද්ධා පදනමක් නොමැති වීමේ ප්රතිඵලයකි.
ලෙඩ වීම වයසට යෑම ආදී තත්ත්වයන් ඉක්මවා යෑමට හැකි නම් තථාගතයන් වහන්සේ සහ මහ රහතන් වහන්සේ කායික ලෙඩ වීම වයසට යෑම ආදී දුක් දොම්නස්වලට මුහුණ දීම සිදු නොවන්නකි.
නමුත් තථාගතයන් වහන්සේ පවා උපන් සත්වයාට උරුම පොදු දුක්ඛථාවයනට මුහුණ දුන්හ. එසේ නම් ඉපදීම ස්වභාවය කොටගෙන සිටින ලෝ සතුන්ට නැවත නැවත ලෙඩ වීම, වයසට යෑම, මරණය ආදී දුක් උරුම බවත්, කෙටි ක්‍රම ඔස්සේ හෝ මිථ්‍යාදෘෂ්ටිවලින් එය වළකාගැනීමට යෑම ප්‍රඥාවේ හා ශ්‍රද්ධාවේ අඩුවක් නිසා ඇතිවන්නක් බවත් වටහාගත යුතුව ඇත.
අංගුත්තර නිකායේ පත්තකම්ම සූත්‍රයේදී තථාගතයන් වහන්සේ අනාථ පිණ්ඩික ගෘහපතිතුමා හට දුර්ලභ වූ කරුණු හතරක් පෙන්වා දෙති. එනම් සිතට ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ, දුර්ලභ වූ මේ කරුණ සතරය.
01) “මා හට දැහැමි බව රැකගනිමින් භෝග සම්පත් උපදීවා”
02) “දැහැමි බව රැකගෙන භෝග සම්පත් ලැබ, ගුරුවර ඥාති හිතමිත්‍රාදීන් සහිත වූ මාගේ පිරිවර සම්පත් දියුණුවට පත්වේවා”
03) “දැහැමි බව රැකගෙන භෝග සම්පත් ලැබ, ගුරුවර ඥාති හිතමිත්‍රාදීන් සහිත වූ මාගේ පිරිවර සම්පත් දියුණුවට පත්ව, බොහෝ කල් ජීවත් වෙම්මා, දීර්ඝායුෂ ලැබේවා”
04) “දැහැමි බව රැකගෙන භෝග සම්පත් ලැබ, ගුරුවර ඥාති හිතමිත්‍රාදීන් සහිත වූ මාගේ පිරිවර සම්පත් දියුණුවට පත්ව, බොහෝ කල් ජීවත් වෙම්මා, දීර්ඝායුෂ ලබා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගයෙහි ඉපදෙම්වායි”
යන කරුණු හතර පෙන්වා දුන් භාග්‍යවතුන් වහන්සේ මෙය ප්‍රාර්ථනයකින්, ඇදහිල්ලකින් හෝ වෙනත් මිථ්‍යා වැඩපිළිවෙළකින් ඉෂ්ට කරගැනීමට හැකි නම් මේ සූත්‍ර දේශනාව මෙතැනින් අවසන් විය යුතුයැයි කීහ. නමුත් තථාගතයන් වහන්සේ ඉහත කී කාන්ත වූ කරුණු හතර ලැබීමට නම් තවත් කරුණු හතරක් උපකාර පිණිස පවතින පෙන්වා දෙති. ඒ කරුණු හතර මෙසේය.
01) ශ්‍රද්ධා සම්පත්තිය
ආර්ය ශ්රාවකයා තථාගතයන් වහන්සේ අදහා ගන්නේ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි, සත්ථා, දේවා මනුස්සානං, බුද්ධ, භගවා වන සේක යනුවෙන් ශ්‍රද්ධා සම්පත්තිය ඇති කර ගනී.
02) සීල සම්පත්තිය
ආර්ය ශ්රාවකයා සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය ආදියෙන් වැළකුණේ වෙයි. එය සීල සම්පත්තියයි.
03) ත්‍යාග සම්පත්තිය
ආර්ය ශ්රාවකයා මසුරුමල බැහැර කළ සිතින් යුතුව ගිහිගෙයි වාසය කරයි. දෙන්නට සූදානම් වූ සිතින් යුතුව දන් දීමට ඇළුණු කෙනෙක් වෙයි. තමාගෙන් ඉල්ලීමට සුදුසු කෙනෙක් වෙයි. දන්දීමේ බෙදීමේ ඇළුණු කෙනෙක් වෙයි. එය ත්‍යාග සම්පත්තියයි.
04) ප්‍රඥා සම්පත්තිය
විසම ලෝභයෙන් මැඩුණු සිත් ඇති, ද්වේෂයෙන් මැඩුණු සිත් ඇති, නිදිමතෙන් හා අලසබවෙන් මැඩුණු සිත් ඇති, සිතේ විසිරීමෙන් හා පසුතැවීමෙන් මැඩුණු සිත් ඇති, සැකයෙන් මැඩුණු සිත් ඇති තැනැත්තා ගිහිගෙයි වසද්දී නොකළ යුත්ත කරයි. කළ යුතු දේ අත හරියි. ඒ නිසා පිරිවරෙනුත් සැපයෙනුත් පිරිහී යයි.
එනමුත් ආර්ය ශ්රාවකයා ඒවා උපක්ලේශ බව දැන බැහැර කරයි. විසම ලෝභයෙන්, ද්වේෂයෙන්, උද්ධච්ච කුක්කුච්චයෙන්, මීනම්ද්ධයෙන්, විචිකිච්ඡාවෙන් නුවණින් දැන බැහැර වූයේද එය ප්‍රඥා සම්පත්තියයි.
මෙම කරුණු හතර ලෝකයේ ඇති සිතට ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ, අප විසින් මුලින් සඳහන් කරුණු හතර ලැබීමට උපකාරී වන ධර්ම වන්නේය.
එපමණක් නොව ආර්ය ශ්රාවකයා නැඟී සිටි වීරියෙන් යුතුවයි අතපය වෙහෙසමින්, දහදිය වගුරුවමින් ධාර්මිකව ලද භෝග සම්පත්වලින් කටයුතු හතරක් කරන්නේය. ඒ කරුණු හතර මෙසේය.
01) ආර්ය ශ්රාවකයා නැඟී සිටි වීරියෙන් යුතුව අතපය වෙහෙසීමෙන් යුතුව ඩහදිය වැගිරීමෙන් යුතුව ධාර්මිකව භෝග සම්පත් උපදවා ගනී. එම සම්පත්වලින් මවුපියන්, දාස කම්කරුවන්, අඹුදරුවන්, හිත මිතුරන්ගේ සැපය පිණිස, පිනවීම පිණිස යොදවයි. නිසි අයුරින් පරිභෝග කරන ලද්දේ වෙයි.
02) දැහැමින් ලද භෝගසම්පත් ගින්නෙන්, ජලයෙන්,රජයෙන්, සොරුන්ගෙන්, තමා අකමැති පුද්ගලයන්ගෙන් පැහැරගැනීමෙන් වේවා, වෙනත් ආපදාවන් හිදී වේවා, යළි නැඟී සිටීමට යොදවන්නේ වෙයි. තමාගේ ජීවිතය සුවපත් කරන්නේ වෙයි.
03) තවද ආර්ය ශ්රාවකයා දැහැමින් ලද භෝග සම්පත්වලින් සංග්‍රහ පහක් සිදු කරයි. එනම් ඥාතීන්ට, ආගන්තුකයන්ට, මියගිය ඥාතීන්ට , රජුන් උදෙසා (රජයට), දෙවියන් උදෙසා සංග්‍රහ කරයි.
04) දැහැමින් ලද භෝග සම්පත් සහිත යම් ශ්‍රමණ බ්රාහ්මණවරු වෙසෙත්ද, මත්වෙන ප්‍රමාද වෙන කරුණෙන් වෙන් වී, ඉවසීම් කීකරුවීම් ආදී ගුණ ධර්මයන් තුළ පිහිටමින් තමාව දමනය කරගනිමින් තමාව සංසිඳුවා ගනිමින් සිටිති. ඇතැම් අය පිරිණිවීමටද පත්වෙති. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ උසස් විපාක දෙන සුගති සැප ලබාදෙන, සුගති උපත සලසාලන පින් කරති
දැහැමින් ලද භෝග සම්පත්වලින් ඒ කරුණු හතර ඉටු වේ. තථාගතයන් වහන්සේ මේ දෙසුම අවසන් කරන්නේ දැහැමිව ලද භෝග සම්පත්වලින් යමෙක් උක්ත කටයුතු අතහැර දැමීමෙන් භෝග සම්පත් වැනසී යන්නේද, එසේනම් එය භෝගයන් නුසුදුසු තැනට ගිය බවය. නුසුදුසු සේ ලැබූ බවය. අනිසි අයුරින් පරිභෝග කළ බවය.
සැකෙවින් ඉදිරිපත් කරන ලද මේ දහම් පරියාය තුළ ජීවිතයට ගළපාගත යුතු දහම් කරුණු රාශියක් මතු වේ. එනම් ගිහිගෙය වසන ශ්‍රද්ධාවන්තයෙකුට සිතට ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ දේ ලැබීමට නම් විවිධ ඇදහිලි, ප්‍රාර්ථනා හෝ මිථ්‍යා මත ඔස්සේ යෑමෙන් දුකින් මිදීමට තබා සුගතියේ උපත කරා යෑමටවත් නොහැකි බවය. අනෙක නම් සිතට ප්‍රිය වූ දේ ලැබීමට නම් හේතු සකස් කළ යුතු බවය.
දුකින් මිදීමට දුක පිළිබඳ දැනගත යුතුය. දුකට හේතුව දැනගත යුතුය. එසේ නැතිව දුශ්සීලව සිට, විසම ලෝභයෙන්, කෝප සිතින් මිථ්‍යා දෘෂ්ටිකව සිට විශාල ගලක් රැගෙන ජලාශයකට අතහැර මහජනයා රැස් කර එම්බා ගල උඩ ඒවා, එය ජලයෙහි පාවේවා, එම්බා ගල උඩට පැමිණේවා කියූ පමණින් මහජනයාගේ ආයාචනා හේතුවෙන්, ස්තූතිය හේතුවෙන්, ඇඟිලි බැඳ පැදකුණු කිරීම හේතුවෙන් අර විශාල ගල උඩට මතු නොවන්නා සේ (සංයුත්ත නිකාය - ගාමිණි සංයුත්තය) එවැනි ගති සහිත අය කය බිඳී මරණින් මතු නිරයේ උපදින බව තථාගතයන් වහන්සේ වදාළහ.
අප තෙරුවන් සරණ යෑම යනු නිසි පිළිසරණක් සෙවීමය. අප පිළිසරණ හොයන්නේම අපේ ඇති අසරණකම නිසාය. සියලු දෙනාම සැපයට කැමතිය (සුඛ කාමානි භූතානි). ඔවුහු කුඩා කල මවුපියන්ගෙන්, අනතුරුව පාසලෙන්, උපාධියකින්, රැකියාවකින් ආදී ලෙස ජීවිතයට සැප ලබාගැනීමේ අරමුණින් යුතුව රැකවරණයක් සොයති.
අකමැති වුවද පොදුවේ ඒ හැමෝටම හැඬීම්, වැලපීම්, දුක් සුසුම් හෙළීම් ආදිය නම් ඒකාන්තයෙන්ම උරුම වන්නේය. අද ජීවිතය දෙස බලන කෝණ බෙබ් අඩවි, ෆේස්බුක්, ටී.වී. චැනල් වැනි සන්නිවේදන අංශ මඟින් පෙන්වා දෙමින් ඇත. එහෙත් බොහෝ විට ඒ සියල්ලගෙන්ම සිදු වන්නේ මනුස්සයාගේ ඉල්ලුමට සැපයුම ලබා දීම මිස තථාගත වචනය ඔස්සේ ජීවිතය දකිනට පෙළඹවීම නොවේ. අප මේ ලිපිය සම්පාදනය කරන්නේ කයට සැප දී සිතට තිබෙන වටිනාකම නැති කරන සමාජ වටපිටාවක් තුළය.
එවන් යුගයක ශ්‍රද්ධා පදනමේ පිහිටා දුක හැදෙන වැඩපිළිවෙළ සෙවීම බුද්ධ කාලීන භාරතීය සමාජය තුළ සේම වර්තමානයේ අප ජීවත්වන පරිසරයේදීත් සෙවීම ප්‍රඥාව ඇති අයටම උරුම දෙයකි (පඤ්ඤාවතෝ අයං භික්ඛවේ,ධම්මෝ, නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස). මක් නිසාද යත් තථාගත ධර්මය වනාහි ප්රඥාවතුන්ට බැවිනි.
අපට දුකක් එනවිට ඒ දුක බව වටහාගෙන ඒ දුක නැති කර ගැනීම සඳහා විවිධාකාර ක්‍රම සොයමු. නමුත් තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ දුකක් බව තේරුම් ගෙන ඒ දුක ලැබුණේ කෙසේදැයි නුවණින් විමසා බලන ලෙසය. තථාගතයන් වහන්සේ වදාරන ආකාරයට යම් දුකක් නිර්මාණය වන්නේ හේතුඵල දහමක ක්‍රියාකාරිත්වයක් මතය. හේතුවක් මත ගොඩනැඟුණු ඵලයක් ලෙසය. එසේනම් අපේ ජීවිතය තුළත් මේ දුක ඇති වීමට හේතුව සෙවිය යුතුය.
මෙහිදී අපට ලෝකයට අයත්, අපට තේරෙන අපේ ආයතන ගෝචර දුක අපට හමුවේ. එනම් ප්‍රියයන්ගෙන් වෙන් වීම, අප්රියන් හා එකතු වීම, කැමති දෑ නොලැබිම, වයසට යෑම, ලෙඩවීම ආදී දුක නුවණින් යුතුව තථාගත වචනයට අනුව පිරිසිඳ සෙවිය යුතු වේ.
එවිට ජීවත්වනවා යනු උපතේ සිට මරණය දක්වාම ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියන්ගෙන් විවිධ ආශාවන් ඔස්සේ දුක සකස් කරගැනීමය යන්න ජීවිතයෙන්ම වැටහෙනු ඇත. දුකට හේතුව තබාගෙන අප දුකින් නිදහස් වීමක් සොයන බව නුවණට වැටහෙනු ඇත.
තථාගත ධර්මය ශ්‍රවණය කළ සැදහැත්තෝ තමාට ලැබුණු දුක පිළිබඳව ධර්මයට අනුවම විමසති. දුක පිරිසිඳ සොයන විට ලැබුණු දුක, දුකින් පලායෑම ආදී කරුණු ඉක්මවා දුක්ඛ සමුදය (දුකට හේතුව) දකිති. අනතුරුව එය තමාගේ දුකක් නොව “සංඛාර දුකක්” බව නුවණින් වටහා ගනිති.
දම්සක් පැවතුම් සුත්‍රයේදී පස්වග මහණුන්ට එලෙස පුද්ගලයාට ගෝචර දුක පිළිබඳව බුදුහු වදාළහ. ඉන්පසුව තථාගතයන් වහන්සේ වදාළේ “සංඛිත්තේන පංචුපාදානක්ඛන්ධා දුක්ඛා” යනුවෙනි. සංක්ෂේපයෙන් කිවහොත් උපාදානස්කන්ද පහ දුක බවය. එලෙස දුකක් - දුකට හේතුවක් - දුක නැති වීමත්- මාර්ගයන් අවබෝධ නොකළ පුද්ගලයා දුෂ්ප්‍රාඥා ලෙස මහවේදල්ල සුත්‍රයේ සඳහන් වේ.
එසේනම් හේතු ප්‍රත්‍යන් නිසා හටගත් ප්‍රඥා ඇසට ගෝචරවන ධර්මය තමන්ගේ රාමුව ඉක්මවා ප්‍රඥාවෙන් දකින වැඩපිළිවෙළ තුළ ශ්රාවකයා හික්මේ.
ආයතන ඔස්සේ සකස් වන මේ උපාදානක්ඛන්ධ දුක ගොඩ නැගෙන්නේ හේතු ප්රත්යයෙනි. වටහා ගත යුත්තේ දුක ඉබේ පවතින්නක් නොවන බවය. “අනිත්‍ය“ යනු “හේතුප්‍රත්‍යයෙන් ගොඩනැඟුණු“ යන අදහසය. මෙය කල්පනා කර ඇති කරගන්නා දෙයක් නොවේ. අනිත්‍ය යනු “හේතු ප්රත්යයන්ගෙන් හටගත්“ යන්න නම් ප්‍රඥා ඇසට එය ගෝචර වන්නේ එය දුකක් ලෙසය. එලෙස “අනිත්‍ය“ යනු දුක නම් මට මගේ ලෙස ගැනීමට දෙයක් හමු නොවේ.
උදාහරණයක් ලෙස වීණා හඬ තිබෙන දෙයක් නොවේ. වීණාව එහි දණ්ඩෙන් වාදනය කරන විට හටගත් ඵලයකි (වීණෝපම සූත්‍රය). දැල්වෙන තෙල් පහනක තිරය , තෙල් හා දැල්ල නිසා ආලෝකය හටගනී. ආලෝකය තිබෙන දෙයක් නොවේ. එබැවින් දුක ගැන පිරිසිඳ සොයන විට අපට ලැබුණු දුක නොව ප්‍රඥාවෙන් දැක්ක දුක (දුක්ඛාර්ය්‍ය සත්‍ය) හේතු ප්‍රත්‍යන්ගෙන් හටගත් බව නිවැරදිව වටහාගත යුතුය.
එලෙස දුක පිළිබඳ පිරිසිඳ සොයන්නේ නැති තාක්ම ජාති ජරා මරණවලින් අසරණ ලෝක සත්ත්වයා ඒ අසරණකම නිසා සරණ සොයාගෙන, සැපය සොයාගෙන (සුඛ කාමානි භූතානි) විවිධ ඇදහිලි කරති. ගස්ගල් සරණ යති. නැකැත් කේන්දර සරණ යති. අවබෝධයෙන් යුතුව දුකින් එතෙර වීමට නිශ්ඡිත මඟ කියා දුන් තථාගත වචනයට පිටුපාමින්, මේ දහමට සම කළ හැකි කිසිවක් ලොව නැත කියමින් (“න තේන ධම්මේන සමත්ථි කිඤ්චි” ) තථාගතයන් වහන්සේ ඉක්මවා යති.