කොළඹ නෙළුම් කුලුන ජනතා අයිතියට පවරා දෙනු ලබන්නේ මතභේදාත්මක ගිවිසුමකින් ශ්‍රී ලංකාවට අහිමිවීමට ගිය විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරි කර දෙමින් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ පසුගිය 16 දා නෙළුම් කුලුන විවෘත කළ අවස්ථාවේදීය. ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශයෙන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ප්‍රකාශයට පත් කර තිබුණි.
නෙළුම් කුළුණ කාගේවත් ප්‍රධානයක් නොවේ. මේ රටේ ජනතාව විසින් ගෙවනු ලබන ණය මුදලක් මත ඉදිවූවකි.
ඒ නෙළුම් කුලුන ව්‍යපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුදලක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබාදීමට චීනයේ EXIM බැංකුව එකඟ වී තිබුණු බවය. එම එකඟත්වයට අදාළ ව මෙම ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව 2012 -01-03 වන දින චීනයේ CEIEC සහ ALITයන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ලෙස ඇතිකර ගැනිණි.
ඒ අනුව නෙළුම් කුලුන බහුකාර්ය රූපවාහිනී හා විදුලි සංදේහ කුලුනක් ලෙස ඉදිකිරීම සඳහා විටින් විට සංශෝධනය කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල සංදේශ මඟින් මීටර් 350ක් උසැති ගොඩනැඟිලි සංකීර්ණයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3ක මුදලකට මේ සමාගම් දෙකට අනුමැතිය දෙනු ලැබිණි. කෙසේ නමුත් නියාමන කොමිසම විසින් EXIM බැංකුවෙන් ණය ලබාගෙන ඇත්තේ ඩොලර් මිලියන 76 කි. ඒ නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා වන පිරිවැයයි. විදුලි සංදේශ නියාමන කොමිසම සහ චීන EXIMබැංකුව අතර පවතින නෛතික බැඳීම එසේ පවතින කළ ඉදිකිරීමේ ගිවිසුම්වලට අදාළව පැන නැඟී ඇති මූලික ප්‍රශ්නය වන්නේ කොමිසම විසින් කොන්ත්‍රාන්තුව ලබා දී ඇත්තේ සමාගම් දෙකක එකතුවකට ද, නැතිනම් ස්වාධීන කොන්ත්‍රාත් කරුවන් දෙදෙනකුටද වෙන්වෙන්ව ද, ඒසේ නැතිනම් CEIEC සමාගමට පමණක්ද යන්නය.
පසුව 2015 දී සිදුකරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එයින් එක් පාර්ශ්වයක් වන ALIT නමින් වන සමාගමක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බවය. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මේ පිළිබඳව බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා චීන රජයට ද දැනුම් දී තිබේ. ඒ අනුව ALIT සමාගම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහයක් ගනු ලැබූ නමුත් ඒ නමින් කිසිදු සමාගමක් චීනය තුළ හෝ ඉන් බැහැර රටකින් සොයා ගැනීමට නොහැකි විය. එකී සමාගමට අදාළව ගිවිසුමේ අන්තර්ගත ලිපිනය ද ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි විය.
ඒ අනුව 2017 නොවැම්බර් මාසයේදී ගිවිසුම්ගත ත්‍රෛපාර්ශ්වීය එකඟත්වයෙන් එක් පාර්ශ්වයක් වූ ALIT නමින් සඳහන්ව තිබූ සමාගම බැහැර කරන ලද අතර එම සිදුවීමෙන් පසු චීනයේ EXIM බැංකුව ලබාදෙමින් පැවති ණය මුදල අත්හිටුවන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමා විය. එහෙත් ඒ වන විටත් ලබාගෙන තිබූ එකී ණය මුදල සඳහා සෑම වර්ෂයකම ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2400 ක මුදලක් හෙවත් රුපියල් කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයට ම වාර්ෂිකව ගෙවීමට සිදුව ඇත. එමෙන්ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල් කෝටි 120 ක මුදලක් මේ වන විටත් ගෙවා තිබේ.
ඒ අතර ALIT සමාගම නියාමන කොමිසම සමඟ ගිවිසුම් ගතවීමේ දී ලබා දී ඇති තොරතුරු මඟින් තහවුරු වන්නේ එම සමාගම ව්‍යාපෘති නියෝජිත ආයතනයක්, ආයෝජන කොන්ත්‍රාත් සමාගමක් සහ ලංසු තබන ආයතනයක් බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ ඔවුන්ගේ ව්‍යාපාර ස්වරූපය අනුව නෙළුම් කුලුන ව්‍යාපෘතිය ලංසු තබා ලබාගෙන එහි උප කොන්ත්‍රාත්තුව CEIEC සමාගමට ලබා දී තමන්ගේ ප්‍රතිශ්ඨාව ලෙස ඩොලර් මිලියන 15.6 ක් ලබාගෙන ඇති බවයි. එය තවදුරටත් ව්‍යාපෘති අත්තිකාරම් මුදලක් ලෙස
EXIM බැංකුව නොසලකන නිසා ඒ සඳහා වන පිරිවැය නියාමන කොමිසමට බරක් වී තිබේ. ඒ අනුව එකී මුදල ව්‍යාපෘති පිරිවැයට අමතරව දරන්නට සිදු වුවකි. එසේනම් එය අලාභයකි. එසේම නියාමන කොමිසමට ව්‍යාපෘතිය නිමකරන්නට වි ඇත්තේ වෙන උප කොන්ත්රාත්කරුවෙකුගෙනි. ගිවිසුම් ගත වූ ප්‍රධාන සේවාදායක ALIT සමාගම ව්‍යාපෘතියේ කිසිදු වගවීමකින් තොරව පලා ගොස් තිබේ.
මෙවන් පසුබිමක නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රුපියල් බිලියන 04ක දායකත්වයක් දරමින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගැනීමට දායකත්වයක් ලබා දී තිබේ.