ආර්ථිකය නැංවීම ගැන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පැසසුම් | Page 2 | සිළුමිණ

ආර්ථිකය නැංවීම ගැන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පැසසුම්

 

පාස්කු ඉරිදා (අප්‍රේල් 21) දා සිදු වූ ඛේදනීය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රටේ ආරක්ෂක තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට හා ඉන් ආර්ථිකයට ඇති වූ කම්පනයන්ගේ බලපෑම අවම කිරීමට ආණ්ඩුවේ බලධාරීන් විසින් ගනු ලැබූ උත්සාහයන් පැසසුමට ලක් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ ප්‍රධානී මැනුඑලා ගොරෙති (Manuela Gorethi) මහත්මිය ප්‍රකාශ කරයි. මේ මාසයේ 10 සිට 25 දක්වා කාලයේ මෙරටට පැමිණ සිටි එම නියෝජිත පිරිස සිය සංචාරයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ කියා සිටියි.

ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ගත යුතු ප්‍රතිසංස්කරණ හා ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු දක්වන ගොරෙති මහත්මිය ජාත්‍යන්තර වෙළෙඳාම හා ආයෝජන අවස්ථා වැඩි දියුණු කර ගැනීමට ප්‍රතිපත්ති ලිහිල්කරණය කළ යුතු යැයි අවධාරණය කර සිටින්නීය.

ඊට අමතරව රාජ්‍ය අංශය සතු ව්‍යවසායන්හි ප්‍රතිසංස්කරණ සහ දූෂණ විරෝධී උත්සාහයන් වේගවත් කිරීම තුළින් මෙරටේ තරගකාරීත්වය සහ මැදිකාලීන වර්ධනය ශක්තිමත් කිරීමට හැකිවනු ඇතැයි ද නියෝජිත පිරිසේ ප්‍රධානී ප්‍රකාශ කරන්නීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අදහස් නොවන මේ කරුණු දැක්වීම හුදු නිලධාරී මට්ටමේ ඒවා වන බව ද ඇය කියා සිටින්නීය.

මේ එහි නියෝජිත පිරිසේ ප්‍රධානියාගේ හඬයි. ආර්ථිකය අඛණ්ඩව යථා තත්ත්වයට පත්වීම සහ සමාජ අරමුණු සඳහා සහායවීමට අවකාශය සලසමින් රාජ්‍ය ණය තිරසාරභාවය පවත්වා ගැනීමට අවශ්‍ය රාජ්‍ය මූල්‍ය විනය සහ ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි ශ්‍රී ලාංකික බලධාරීන්ගේ ඇති කැපවීම අපි අගය කරමු.

ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුවේ නීතිමය රාමුව පාලනය වගවීම සහ විනිවිදභාවය ශක්තිමත් කරමින් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිත නව මහ බැංකු පනත නම්‍යශීලී උද්ධමන ඉලක්කරණය සපුරා ගැනීමේ පෙර දැක්ම තුළ වැදගත් සන්ධිස්ථානයක් බවට පත් වනු ඇත. වෙළෙඳ සහ ආයෝජන ලිහිල්කරණය රාජ්‍ය අංශය සතු ව්‍යවසායන්හි ප්‍රතිසංස්කරණ සහ දූෂණ විරෝධී උත්සාහයන් වේගවත් කිරීම, ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය සහ මැදිකාලීන වර්ධනය ශක්තිමත් කිරීමට වැදගත් වනු ඇත.

සිවු අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලසුම යටතේ ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ හය වැනි සමාලෝචනය පැවැත්වීම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Gorethi) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජා. මු. අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2019 සැප්තැම්බර් 10 - 25 කාලය තුළදී කොළඹට පැමිණි අතර, සිය සංචාරය අවසානයේ ගොරෙති මහත්මිය එසේ සඳහන් කළාය.

Comments