අවුරුදු පහේ දහයේ ‘ඇක්ටිව් කිඩ්ස්ලා’ගේ වැඩ කිඩ | සිළුමිණ

අවුරුදු පහේ දහයේ ‘ඇක්ටිව් කිඩ්ස්ලා’ගේ වැඩ කිඩ

- ළමා සමාජයට වසරයි. කළ වැඩ බොහෝයි 
- සල්ලි හොයන්නේ ඉවතලන පොල්කටු ටින් බෙලෙක්ක විකුණලා 
- සමාජ සද්කාර්යන්ට අමතරව දරුවන්ගේ කුසලතා එළිදක්වන වැඩසටහන් 
- වගකීම් දැරීමේ සහ සාමූහිකව කටයුතු කිරීමේ පුරුද්ද පුංචි කාලේදීම

ඉවත ලන බෝතල්, ටින් කබල්, පොල්කටු ආදියේ කිසිදු වටිනාකමක් නැති වුවද ඒවායින් ඇති වන හානිය විශාලය. වතුර පිරීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීමෙන් මිනිසාට සිදු වන හානිය සුළුපටු නොවේ. මදුරුවන් මට්ටු කරමින්, පරිසරය පිරිසුදු කරමින් ඉවතලන අපද්‍රව්‍යවලින් මුදල් සොයමින් පලක් ඇති යමක් කරන යොවුන් දරු දැරියන් රෑනක් පිළිබඳය මේ කතා පිංච. උත්සාහයෙන් වීර්යයෙන් පිරි මේ දරුවන් අපට හමුවන්නේ කොළඹට ආසන්න කිරිබත්ගොඩ ප්‍රදේශයෙනි.

මනා පෞරුෂයකින් හෙබි, ඉගෙනුමට හපන්, සමාජයේ බාහිර පාර්ශ්ව සමඟ හොඳින් ගනුදෙනු කළ හැකි දරු පිරිසක් බිහි කිරීමට නම් ඔවුන් කුඩා කළ සිටම යහපත් ක්‍රියාකාරකම් සඳහා යොමු කළ යුතු ය. එවිට ඔවුන් අතින් වඩාත් සුන්දර හෙට දිනක් නිර්මාණය වනු ඇත. ඒ බව සනාථ කරමින් සමාජයට යහපත් ක්‍රියා රැසක් ඉටු කරන්නට කැප වී කටයුතු කරන දරුවන් පිරිසක් 'කිරිබත්ගොඩ ඇක්ටිව් කිඩ්ස් ළමා සමාජයේ දී පසුගිය දා අපට හමු විණි. වසරකට අධික කාලයක් මුළුල්ලේ ඔවුන් සිදු කරන කාර්යභාරය සමාජයට මෙන්ම රටටම කදිම ආදර්ශයකි. වසරකට වැඩි කාලයක් පුරා විවිධ සමාජ සද්කාර්යන්ට දායක වෙමින් සමාජයට අර්ථවත් පණිවිඩයක් ලබාදෙන්නට ඔවුහු කැපවීමෙන් කටයුතු කරති.

ඇක්ටිව් කිඩ්ස් ළමා සමාජය ඔස්සේ සිදු කරන සමාජීය හා දරුවන්ගේ කුසලතා එළිදැක්වීමේ වැඩසටහන් රැසකි.

මේ ළමා සමාජයේ සභාපතිනිය ලෙස කටයුතු කරන ඇය නමින් මොවින්දි වීරආරච්චි ය. පහළොස් හැවිරිදි වියේ පසු වන ඇය කිරිබත්ගොඩ විහාරමහා දේවී විදුහලේ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

“අපේ ළමා සමාජය ආරම්භ කළේ දැනට වසරකට පමණ පෙරයි. මුලින්ම සමාජිකයන් පස් දෙනයි. දැන් පනහක් පමණ ඉන්නවා. පසුගිය කාලය තුළ අප බොහෝ සමාජ සද්කාර්යයන් කළා. අනුන් වෙනුවෙන් දෙයක් කරන්න අපට මුදල් තියෙන්න ඕනෑ. ඒ සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්නේ අපේම වෙහෙස මහන්සියෙන්. ගෙවල්වල එකතු වෙන පොල්කටු ටින් බෙලෙක්ක එකතු කරලා විකුණලා ලැබුණ මුදලින් මුලින්ම අරමුදලක් ඇති කළා. ඒ විදිහට එකතු වන මුදල් තමයි සමාජ සුබ සාධනය සඳහා වැය කළේ. ළමා සමාජයේ සිටින ළමයින් සියලු දෙනාම මේ කාර්ය සඳහා දායක වුණා. වැඩිහිටියන්ගේ මඟ පෙන්වීමත් අපට ලැබුණා. වැඩිහිටියන්ගේ යෝජනාවකට අනුවයි අපි කාර් සෝදා මුදල් සෙවීම කළේ. හැම මාසෙම පවත්වන සමිති වාරයේ දී සුළු මුදලක් ළමා සමාජයට එකතු වෙනවා.'

ළමා සමාජයෙන් සිදු කෙරෙන සත්කාර්යයවලට මුදල් සපයාගන්නා අන්දම ඇය පැවැසුවේ එලෙසයි.

“අපේ ළමා සමාජයේ සිටින්නේ අවුරුදු 5ට වැඩි 16ට අඩු පාසල් යන අය. පොදු කටයුත්තකදී අපි හැමදෙනාම සම්බන්ධ වෙනවා. වසරේ විශේෂ වූ දින තිබෙනවා. පසුගිය දිනෙක යෙදුණු ජල දිනය වෙනුවෙන් අපි කිරිබත්ගොඩ රජයේ රෝහලට රෝගීන් වෙනුවෙන් පින්තාලියක් පරිත්‍යාග කිරිමටයි සූදානම් වුණේ. රෝහල් කාර්ය මණ්ඩලයේ ඉල්ලීම වුණේ ඒ වෙනුවට ඉමර්ජන්සි ලයිට් ලබා දෙන්න කියලා. රෝගීන්ගේ වැඩකටයුතු පහසු කරගැනීම වෙනුවෙන් අපි ඉමර්ජන්සි ලයිට් දහයක් ප්‍රදානය කළා. ඒ වගේම අපේ ළමා සමාජයේ සාමුහිකත්වය, හැකියා, නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ද වැඩකටයුතු රැසක් කළා. “මොවින්දි කියයි.

මේ වසරේ ජනවාරි මාසයේ සිට ළමා සමාජයේ ක්‍රියාකාරකම් අතර ගමට, රටට, ළමාසමාජයට සෙත් පතා පැවැත්වූ ධර්ම දේශනා, බක්මහ උලෙළ, වෙසක් පොසොන් බැති ගී, වෙසක් කුඩූ, පහන් කූඩු නිර්මාණ, නත්තල් කැරොල් ගී වැඩසටහන් ද වේ.

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙනුම ලබන ඉසිරි සවින්දි තම සාමූහිකත්වය පිළිබඳ පවසන්නේ මෙලෙසිනි.

“ජනවාරි මාසයේ අපේ ළමා සමාජයට ගමට වගේම රටටත් ආශිර්වාද ලබාගැනීමට ධර්ම දේශනාවක් පැවැත්වුවා. ඉන්පසුව පෙබරවාරි මාසයේදී අපි පුස්තකාලයක් ආරම්භ කළා. අපිට ඕන වුණේ අපේ නංගිලා මල්ලිලාට අක්කලා අයියලාට කියවීම හුරු කරවන්න. ළමයින්ට කියවීම හුරු කරවීම අපේ අරමුණ වුණා. මාර්තු මාසයේ කිරිබත්ගොඩ රෝහලට ඉමර්ජන්සි ලයිට් දහයක් ප්‍රදානය කළා. අප්‍රේල් මාසයේ අලුත් අවුරුදු උලෙළක් පැවත්වූවා. වෙසක් පොසොන් වෙනුවෙන් වෙසක් කූඩු නිර්මාණ තරගයක් වගේම භක්ති ගීත වැඩසටහන් ද සංවිධානය කළා. දෙසැම්බරයේ කැරොල් ගී වැඩ සටහනක් පවත්වමින් වීදි සංචාරය කළා. ඒ සියලු දේවල් හොඳින්ම සාර්ථක වුණා.' ඇය පවසන්නේ සතුටිනි.

අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට පොත්කට්ටල පරිත්‍යාග කිරීමත් අපේ ළමා සමාජය ඔස්සේ සිදු වුණා. ඒ සඳහාත් අපි මුදල් සම්පාදනය කර ගත්තේ ඉවතලන පොල් ‍කටු, ටින්, බෝතල් ආදිය එකතු කර විකුණා ගත් මුදලින්. මේ දේවල් දෙස බලමින් අපේ වැඩිහිටියන් වගේම සමාජයේ හැම දෙනා අපිව දිරිමත් කරනවා. එයත් අපට ලොකු හයියක්.' ඉසිරි පවසන්නීය.

කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකාවේ ඉගෙනුම ලබන ඉමාෂා සන්දීපනී ළමා සමාජයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරයි. ඇය පවසන අන්දමට මේ ළමා සමාජය ඔස්සේ අද වන විට ළමයින් අතර දැඩි මිතුදමක් සාමුහිකත්වයක් ගොඩනැඟී ඇත.

“අපේ ළමා සමාජය පවත්වාගෙන යන්නේ නගරයක් මැද්දේ. අපේ ගෙවල් එකිනෙකට සමීපව පිහිටා තිබුණත් මේ ළමා සමාජය ආරම්භ කරන්නට පෙර අප කවුරුත් එකිනෙකා දැන හිටියේ නැහැ. නමුත් ළමා සමාජය ආරම්භ කළාට පසුව එකිනෙකා සමඟ සාමුහිකව කටයුතු කරන්නේ කොහොමද කියන දෙය දැනගත්තා. දැන් අපට අලුත් මිතුරු මිතුරියෝ රැසක් ඉන්නවා. දැන් අපට තේරෙනවා අපි ඔක්කෝම එකමුතු වුණාම අපේ ශක්තියෙන් සමාජයට කොතරම් මෙහෙවරක් කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම අපේ දක්ෂතා හැකියා එළිදක්වා ගන්නත් මේ ළමා සමාජය අපට තෝතැන්නක් වුණා.” ඇය පවසයි.

අන්ජුල සංකල්ප ළමා සමාජයේ පුස්තකාලයාධිපතියි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහු පවසා සිටියේ ළමා සමාජයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමෙන් ඔහු ලත් දැනුම ඉමහත් බවයි. 'මම දැනගෙන හිටියේ නැහැ මට නිවේදන කටයුතු පුළුවන් කියලා. නමුත් ළමා සමාජයේ වැඩසටහන් රැසකම නිවේදන කටයුතු කරන්නට මට හැකි වුණා. මම වගේ දක්ෂතා ඔප් නංවාගත් ළමයින් රැසක් අපේ ළමා සමාජයේ සිටිනවා.

'ඇක්ටිව් කිඩ්ස් 'ළමා සමාජයේ උපදේශකවරුන් ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමික රේගු නිලධාරියකු වන පී.ජයවික්‍රම සහ මෙහෙයුම් කළමනාකරුවකු වන සුබෝධ මලවරආරච්චියි. තම ප්‍රදේශයේ ළමා සමාජයක් ආරම්භ කිරීමෙන් සපයන ආදර්ශය වැඩිහිටියන්ට මෙන්ම සමස්ත සමාජයටම වැදගත් වන බවයි ඔවුන්ගේ අදහස.

“අද දරුවන්ට ළමා කාලයක් අපිට වගේ නැහැ කියලා පෙනෙනවා. එනිසා තමයි මේ විදිහට අපේ සුබසාධක සමිතියේ අනුශාඛාවක් ලෙස මේ ළමා සමාජය ආරම්භ කළේ. මේ වගේ ළමා සමාජයන්ගෙන් සිදු කෙරෙන කාර්යය නිසා දරුවන් නොමඟට යන්නේ නැහැ. ඔවුන් ළමා කාලය අර්ථවත්ව ගත කරන්න පෙලඹෙනවා. විවිධ ක්‍රියාකාරකම්වලට යොමු කරමින් දරුවන් ගුණදහමින් හා යහපත්කම්වලින් පිරුණු දරුවන් බවට පත් කිරීමයි අපේ අරමුණ. අද ළමයින් එක්කෝ අන්තර්ජාලයේ, නැති නම් මුහුණු පොත්වල හිරවුණු අය බවට පත් වෙලා. ඔවුන්ට සාමුහිකව කටයුතු කරන්න දන්නේ නැහැ. බාහිර ක්‍රියාකාරකමක් කරන්න දන්නේ නැහැ. නමුත් මෙවැනි ළමා සමාජ නිර්මාණයෙන් දරුවන් හිතන සමාජයට දෙයක් කරන දරුවන් බවට පත් කරන්න පුළුවන්. අද වන විට මේ දරුවන් පිරිස් ලබන ජයග්‍රහණ ගැන අපිට හුඟක් සතුටු වෙන්න පුළුවන්. රටට පරිසරයට මිනිසුන්ට සොබාදහමට ආදරය කරන ළමා පරපුරක් තමයි අප නිර්මාණය කළ යුත්තේ. රටට සමාජයට වටින්නේ එවැනි දරුවෝ. මේ දරුවන්ට අපි හදවතින්ම සුබ පතනවා ඔවුන්ගේ අනාගතය සුන්දර වෙන්න කියලා.”

Comments