ජනාධිපතිවරණයෙන් උණුසුම් වන දේශපාලන පිටියේ පසුගිය සතියේද අපගේ සිහියට ගත යුතු සිදු වීම් කිහිපයක්ම විය. යළි යළි සිතා බැලිය යුතු විශේෂිත සිදු වීම් කිහිපයක් මෙසේ ඔබේ අවධානයට යොමු කරමු.
වෛද්‍ය පාදෙණියගේ “ප්‍රතිපත්ති ගමන”
කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ෂාෆි කාන්තාවන්ගේ පැලෝපීය නාළ කපා බලහත්කාරයෙන් වඳ භාවයට පත් කළ බවට වූ කතාවට පෝෂණය දැම්මේ පොහොට්ටු පක්ෂයට හිතවත් වෛද්‍ය කණ්ඩායමයි. අද පොහොට්ටු වේදිකාවට නඟින රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයකු ඒ විරෝධය අවුළුවන්නට තිරණාත්මක කාර්යක් ඉටු කරද්දි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද එළිපිටම සාෆි විරෝධයට රුකුල් දුන්නේය. ඊට අමතරව නිල නොවන මට්ටමින් පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතුවලට විවිධාකාරයෙන් සම්බන්ධ වුණු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්රබලයෙකු සෞඛ්‍ය ලේකම්වරියට පසුගියදා පවසා තිබුණේ ඊළඟ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති තමන්ද විය හැකි බවය.
ඒ කතා එසේ සමාජගත වෙද්දී පසුගිය දා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදුටු නෙලුම් පොකුණ උත්සවයේ ගෝඨාභය රාජපක්ෂ මහතා අසලම රඳී සිටියේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියයි. වෛද්‍ය පාදෙණිය එසේ මුල් පෙළ අසුනක රැඳී සිටීම එම පක්ෂයේ ඇතැම් ප්‍රබලයන් පවා රිස්සුවේ නැත. ඔවුන්ද ඒ ගැන විවිධ මැසිවිලි නඟනු පෙනිණි.
කෙසේ වුවද ඔහු එම උත්සවයට සහභාගී වූ ආකාරය මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලාවල පළ වීමෙන් පසුව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාටද පැමිණිල්ලක් යොමු කළ අතර ඒ අනුව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය ලේකම්වරියට දන්වා ඇත.
ඔහුට එරෙහිව නැඟුණු චෝදනාවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පිළිතුරක් ලැබී නැත. ඔහු සංගමයේ අවසරය මත දේශපාලන පක්ෂවල ආරාධනය මත එම රැස්වීම්වලට ගිය බව වෛද්‍ය සංගමය පවසා තිබිණි.
පසුගියදා මහනුවරදී පැවැති නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිනයේද හීන් සිරුවේ මහනුවර ක්වින්ස් හෝටලයට පැමිණි වෛද්‍ය පාදෙණිය එහි පසු පෙළ සිටි ඇමතිවරුන් දෙදෙනකු අතර ඉඩක අසුන් ගත්තේය. එයද රාජ්‍ය නිලධාරියකු ලෙස මැතිවරණ නීති කැඩීමක් ලෙස දැක්විණි. එම උත්සවයට අනාරාධිතව වෛද්‍ය පාදෙණිය සහභාගී වුණේ ඇයිද යන්න අැතැමකුට ගැටලුවක් විණි. කෙසේ වුවද ඒ ගැන පසුගියදා මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විමසූ කල් හී ඔහු පැවසූයේ ඒකට ගිහින් මේකටත් ගියා කියා එල්ල වී ඇති චෝදනා නිශේධනය නොවන බවය. ඒ සම්බන්ධයෙත් පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් ඒ ගැන ද පරීක්ෂණ පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කිවේය.
අලි සබ්රි
ජනාධිපති නිතිඥ අලි සබ්රි පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීප හිතවතෙකි. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණයේ පවතින නඩු ගණනාවකටම ඔහු පෙනී සිටින අතර මේ දිනවල අලි සබ්රි මහතාද මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ තදින්ම නියැළෙමින් සිටී. විශේෂයෙන් මුස්ලිම් ඡන්ද ආකර්ෂණය කරගැනීම සඳහා ගමින් ගමට යන ඔහු එක් කුඩා මැතිවරණ රැස්වීමකදී මුස්ලිම් ජනතාව අමතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල විය. ඔහු දෙමළ භාෂාවෙන් සිදු කරන ලද එම ප්‍රකාශයේ සිංහල අරුත වී ඇත්තේ මේ වන විටත් ගෝඨාභය මහත්තයා සිංහල ඡන්දවලින් දිනලා ඉවරයි. අපිත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් විය යුතුයි. එහෙම නැති නම් අපට මොකද වෙන්නේ යනුවෙනි.
එතැන සිටි සාමාන්‍ය පුද්ගලයෙකු දමිළ භාෂාවෙන් අසා ඇත්තේ අප්පාඩිල්ලාලි අම්බානෙක්කු කෙඩෙච්චුම් ? යනුවෙනි. එහි අදහස් එහෙම නැති නම් අපට අම්බානක කන්න වෙයිද යන්නය. එයට ප්‍රතිපිළිතුරු දෙන අලි ෂබ්රි මහතා සිනාසෙමින් කියන්නේ ඔව් අම්බානක කන්න වෙයි කියාය. එය බොහෝ අයගේ මතය වූයේ මුදස්ලිම් ජනතාව අනවශ්‍ය ලෙස බිය ගන්වමින් ඡන්දය ලබාගැනීමේ ප්රයත්නයක නියැළීමක් බවය. මීට පෙර ද පාසකු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාව අතර නොසනසුන් බවක් ඇති කරලීම සඳහා පොදුජන පෙරමුණ කටයුතු කළ බව අලි ෂබ්රි මහතා සමාජ ජාල ඔස්සේ වක්‍රව පිළිගෙන තිබිණි.
කාන්තා ඇගයීමට ලක් වූ පෑඩ් මෑන් කතාව
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මෙවර මැතිවරණ ව්‍යාපාරයේ පෙර නොවූ විරූ තරුණ සහ කාන්තා ආකර්ෂණයක් අත් පත් කර දුන් සිදු වීම් දෙකක් පසුගිය සතියේ විය. එයින් එකක් වන්නේ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති තරුණ සමුළුවයි. එහිදී තරුණයන් වෙනුවෙන් සැකසුණු ප්රඥප්තිය ඔවුන් අතට පත් කෙරුණු අතර ඒ කෙරෙහි තරුණ ප්‍රජාව තුළ කතා බහක් නිර්මාණය වෙමින් තිබිණි. ඒ බව සමාජ මාධ්‍ය ජාලා නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි විය. කෙසේ වුවද එයටත් වඩා වැඩි කතා බහක් කාන්තා සහ තරුණ සමාජ තලයේ ඇති වූ මාතෘකාවක් වූයේ ඔහු විසින් වේයන්ගොඩ දී කළ සංවේදි කතාවකිනි.
එහිදී ඔහු පවසා තිබුණේ කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට කටයුතු කරන බවය. ඒ කතාව විපක්ෂයේ දේශපාලන ප්‍රචාරණ යාන්ත්‍රණය ඉතා අපහාසාත්මකව ගෙන ගිය අතර ඉන්දියාවේ ජනප්‍රිය පෑඩ් මෑන් චිත්‍රපටයේ එන පෑඩ් මෑන්ට සජිත් ප්‍රේමදාස මහතා සම කිරීමට කටයුතු කෙරිණි. එයට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ සජිත් ප්‍රේමදසා මහතා අතිශයින් සංවේදී ගැටලුවක් වන මේ සම්බන්ධයෙන් තමා බියකින් තොරව පෙනී සිටින බවත් මේ නාමය භාර ගැනීම අබිමානයක් බවත් ප්‍රකාශ කළේ සුදු වෑන් මෑන් වීමට වඩා පෑඩ් මෑන් වීම ආඩම්බරයක් බව සලකමිනි. ඒ ප්‍රකාශය නොසිතූ විරූ ලෙස තරුණ ප්‍රජාව අතර මෙන්ම කාන්තා ප්‍රජාව අතර ආකර්ෂණයට හේතු විය.
පවුලේ සමඟිය
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂගේ බිරිය තත්යානා පසුගියදා තම කුලුදුල් පිරිමි දරුවා බිහි කළාය. මහින්ද රාජපක්ෂ පවුලේ දෙවැනි පරම්පරාවේ පළමු සාමාජිකයා වන ඔහු දැක බලා මවුපියන්ට සුබපැතීමට රාජපක්ෂ මහතාගේ පවුලේ ඥාතීන් සියලු දෙනා එකට සිටින ඡායාරූප ඔහුට සමීප පුද්ගලයන් වෙතින් මුදා හැර තිබිණි. කාර්යබහුල මැතිවරණ රාජකාරී අතරේ පවා පවුලක් ලෙස රාජපක්ෂවරුන් එවැනි කටයුතුවලදී එකතු වීම පිළිබඳ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අගයා තිබිණි.
බිමල්ගේ කණස්සල්ල
ජනාධිපති සටනේ විවිධ ස්වරූප උණුසුම් වන විට වැඩිම පීඩනයක් එල්ල වන්නේ මැතිවරණ කොමිසමටය. ඔවුන් වෙත එන පැමිණිලි අතර පසුගිය කාලයේ වැඩි අවධානයක් යොමු වූයේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය තම ප්‍රවෘත්ති විකාශ ඇතුළු වැඩසටහන්වලදී සමබර නොවන ආකාරයෙන් විවිධ ප්‍රචාර සිදු කිරීමය. ඒ තත්ත්වය තුළ විවිධ පාර්ශ්ව මැතිවරණ කොමිසම හමුවේ පැමිණිලි කළද මැතිවරණ කොමිසට එය පාලනය කළ හැක්කේ එක්තරා දුරකට පමණි. රාජ්‍ය මාධ්‍ය සඳහා දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමේ බලය එම කොමිසමට හිමි වුවද පෞද්ගලික මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් පවතින බාධක පිළිබඳ විවිධ මට්ටමේ සාකච්ඡා පවතී. මේ අතරේ පසුගියදා මැතිවරණ කොමිසමේ සාකච්ඡාවකට ගිය ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබුණේ මැතිවරණ කොමිසම විසින් ගනු ලබන පියවර පිළිබඳ තමන් සතුටට පත් නොවන බවයි. මැතිවරණ කොමිසම එම පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් ගෙන්වා ඒ බව දැඩි සේ ප්‍රකාශ කරන බව පවස තිබුණද එය ක්‍රියාත්මක වී නැති තත්ත්වය බිමල් රත්නායක මහතා උපමා කර තිබුණේ විනිසුරන් තරග විනිශ්චය අත්හැර අැති ස්වභාවයක් පවතින බවය.
සජිත්ගේ නුවර ගමන
මහනුවර දී පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මහනුවරදී පැවැතීමද විශේෂත්වයක් විය. එය මුල් වරට ත්‍රෛනිකායික මහ සඟරුවන වෙත ප්රදානය කෙරුණු අතර පසුව අග්‍රාමාත්‍යවරයා වෙත ප්රදානය කෙරිණි. එම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට මුල පිරූ එක් චරිතයක් වන අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ඒ පිළිබඳ හැඳින්වීමක් කළ අතර වඩාත් අවධානයට ලක් වූයේ රාවය පුවත් පතේ හිටපු කර්තෘ සහ දේශපාලන විශ්ලේශකයකු වන වික්ටර් අයිවන් මහතා එම උත්සවයේ කතාවක් පැවත්වීමය.
ඔහු එහිදී කීවේ සජිත් ප්‍රේමදාස මහතා සමාජ විප්ලවයක් ගැන හීන දකින්නකු ලෙසය. ඔහුට ඒ සඳහා දැක්මක් ඇති බව තමන්ට පෙනෙන බවත් සඳහන් කරමින් වික්ටර් අයිවන් මහතා කළ දේශනය පැමිණ සිටි පිරිසගේ වඩාත් අවධානයට ලක් විය. ඒ උත්සවයෙන් පසුව තවත් මැතිවරණ ප්‍රචාරණ රැස්විම් ගණනාවකට සහභාගි වන්නට ප්‍රේමදාස මහතාට සිදු විය. එබැවින් ඔහු මහා මාර්ගයේ තදබදය මඟ හැර තම බිරිය සමඟ කොළඹට එන්නට පිටත් වූයේ දුම්රියෙනි.
වැරැද්ද දෙවරක්
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයේදී වරක් චෝදනා එල්ල වුණේ යුද හමුදාපතිවරයා කළ ප්‍රකාශයක් ඔහුගේ ඡායාරූපයද සමඟ භාවිත වීමය. මෙවර යාපනයේ කළ සංචාරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු සමඟ සිටින ඡායාරූපයක් මේ වන විට ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතුවලට යොදා ගැනෙමින් තිබිණි. ඒ පිළිබඳ සොයා බැලීමේදී හෙළිදරව් වී ඇත්තේ ඒ මොහොතේ රාජකාරී කළ එම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ අනුමැතියකින් දැනුවත් බවකින් හෝ තොරව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට ඔවුන්ගේ රුව භාවිත කර අැති බවය. ඒ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාද නිල වශයෙන් නිවේදනය කර තිබිණි.