වස විසෙන් තොර ආහාර වේලක් වෙනුවෙන් කොළඹට ආ උමංදාව | සිළුමිණ

වස විසෙන් තොර ආහාර වේලක් වෙනුවෙන් කොළඹට ආ උමංදාව

ලෝකයේ වස විස සහිත ආහාර අනුභව කරන රටවල් අතර ශ්‍රී ලංකාව 3 වන ස්ථානයේ සිටින බව 2022 වාර්තාවකින් හෙළිව තිබුණි. තත්ත්වය එතරම්ම බරපතළ නම් වස වි‍ෙසන් තොර ආහාර අනුභව කිරීමට අප කුමක් කළ යුතුද? අප ආහාරයට ගන්නා එළවළු පලතුරු බහුතරයක් සමඟ කෘමිනාශක හා වල්නාශක යම් ප්‍රමාණයක් ද අප නොදැනුවත්වම ආහාරයට එක් කර ගනී. එමෙන්ම ආහාර කල් තබා ගැනීමට අනුමත නොවන අතිභයානක වස විස යොදා ගැනීම දැන් සුලබ වී ඇත. කෘත්‍රිම රසකාරක භාවිතය නිසා හට ගන්නා බරපතළ රෝගාබාධ ද මේ වන විට බහුල තත්ත්වයකට පත්ව තිබේ.

එයින් ලාංකික ජනතාව මුදාගෙන වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දීමට විවිධ අංශ කලින් කලට විවිධ ව්‍යාපෘති ගෙන එන ලදී. එහෙත් එයින් බහුතරයක් ද ලත් තැනම ලොප් විය.

එහෙත් අද දක්වාම ඒ සංකල්පය ක්‍රමයෙන් දියුණු කරගෙන යන්නට එක් හිමිනමක් සමත් විය. උමංදාවෙන් ඇරැඹුණු ඒ ආහාර විප්ලවය ගමින් ගමට ගොස් අද වන විට නගරය කරා එන්නට සමත්ව ඇත.

එහි ප්‍රධාන පියවර ලෙස උමංදාවේ වස විසෙන් තොර ආහාර අලෙවි සලක් පසුගිය අඟහරුවාදා කොළඹ ආර්.ඒ. ද මෙල් මාවතේ වෙළෙඳ අමාත්‍යාංශයේ බිම් මහලේ ස්ථාපිත කෙරිණි.

ඒ සමන්තභද්‍ර හිමියන්ගේ මූලිකත්වයෙනි. එම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු හා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ඇතුළු ප්‍රභූ පිරිසක් සහභාගී වූහ.

Umandawa Green Hut නමින් ස්ථාපිත මෙහි එදින විශේෂත්වයක් වූයේ එම කාර්යයට දිරි දීම පිණිස විදේශ තානාපතිවරුන් රැසක් ද සහභාගී වීමය. විශේෂයෙන්ම එම කාර්යය මහත් ලෙස අගය කරමින් ඉන්දුනීසියානු තානාපතිනි ඩේවි ගුස්ටිනා ටොබින්ග්, වියට්නාම තානාපතිනි ට්රූක් හෝ ති තාන්හ් , තායිලත්න තානාපති පොජ් හම්පොල් හා පලස්තීන තානාපති හිෂාහ් එම්. එස්. අබ් ටහා යන අයද පැමිණියහ. එමෙන්ම ITI ආයතනයේ සභාපති ආචාර්ය සිරිල් පෙරේරා, පොල් සංවර්ධන අධිකාරිය සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා, ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් ද ඊට එක් විය.

සමන්තභද්‍ර හිමියන් පවසන්නේ අද වන විට ජනතාව ආහාරයට ගන්නා බහුතර ආහාර වස විස සහිත බවත් ඒ තත්ත්වය මත දිනකට පිළිකා රෝගීන් 1000කට වැඩි ප්‍රමාණයක් අලුතෙන් වාර්තා වන බවයි.

ඒ තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම පිණිස ආරම්භ කළ උමංදා විශ්ව ගම්මාන බෞද්ධ සංකල්පයේ තවත් එක් අවස්ථාවක් විය.

කොළඹ ආර්. ඒ. ද මැල් මාවතේ (ඩුප්ලිකේෂන් මාවතේ ) ස්ථාපිත Umandawa Green Hut හි ඇති සියලු එළවළු පලතුරු කාබනික පොහොර යෙදූ ඒවා සහ ස්වභාවික එළවළු හා පලතුරුය. එසේ නොමැතිව කෘත්‍රිම රස කාරක යෙදු කිසිවක් එහි අලෙවිය පිණිස තබා නැත.

සමන්තභද්‍ර හිමියන් පවසන්නේ මේ වන විට වයස අවුරුදු 35ත් 45ත් අතර අය පවා හෘදයාබාධවලට ගොදුරුව මරණයට පත්වන තත්ත්වයක් ඇති වී තිබෙන බවයි. කුඩා දරුවන්ට පවා දියවැඩියාව වැනි බෝ නොවන රෝග වැළඳීම දැන් සාමාන්‍යකරණය වෙමින් පවතින බව ද උන් වහන්සේ පෙන්වා දුන්හ.

රටේ ආර්ථික අවපාතයක් ඇති මේ අවස්ථාවේ එසේ තරුණ පරපුර අඩු වයසින් මිය යෑම වැනි කරුණු ද රටක සංවර්ධනයට දැඩිව බලපාන බවයි.

එම නිසා අපට ඇති සම්පත්වලින් හැකි උපරිම ඵල නෙළා ගත යුතු බවත් එය අපට කළ හැකි බවත් අප සම්පත් ගොඩක් මත හිටගෙන ලෝකයට ණය වෙමින් සිටින ජාතියක් බවට පත්ව ඇති බවත් ඒ තත්ත්වයට විසඳුමක් ලෙස උමංදාව නගර කරා යන බව ද උන් වහන්සේ පෙන්වා දෙති.

කොළඹ ස්ථාපිත උමංදා අලෙවි සලේ උමංදාවට සම්බන්ධ දේශීය වස විස රහිත ආහාර එළවළු පලතුරු නිෂ්පාදකයන් 30 දෙනකු සම්බන්ධ වී ඇත. එම නිසා අඩු ආදායම්ලාභීන්ට තම නිෂ්පාදන උමංදාව හරහා නගර කරා යොමු කළ හැකි වන බව සමන්තභද්‍ර හිමියෝ පෙන්වා දෙති.

ඉදිරියේදී වස විස නොමැති නිෂ්පාදන ගම්මාන ස්ථාපිත කෙරෙන බවත් දැනටමත් දකුණේ තෙලිජ්ජවිල ඒ සඳහා තෝරාගෙන කටයුතු ආරම්භ කර ඇත. කොළඹ ඇතුළු නගරවල විවිධ අමාත්‍යාංශ හා ආයතනවලට අයත් ගොඩනැඟිලි රැසක් වසා දමා ඇති බව පෙන්වා දෙන සමන්තභද්‍ර හිමියෝ ඒවා උපයෝගී කරගෙන අඩු ආදායම්ලාභීන්ගේ නිෂ්පාදන නගරවල අලෙවියට කටයුතු කළ හැකි බවද උන් වහන්සේ පෙන්වා දෙති.

අද වන විට ගොවියා වගාවෙන් දුරස්ව ඇති බව ද මෙහිදී ඇමැති නලින් ප්‍රනාන්ද හෙළි කළේය. ඔහු උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේ රටේ වාර්ෂික බී ලූනු අවශ්‍යතාවය වන ටොන් ලක්ෂ 3න් පසුගිය වසරේ නිෂ්පාදනය කර ඇත්තේ ටොන් 5,000ක් පමණක් බවයි. මීට පෙර ගොවීන් වසරකට ටොන් 80,000ක පමණ ලූනු ඵලදාවක් ලබා ගත් බවද ඔහු පෙන්වා දුන්නේය. සමන්තභද්‍ර හිමියන් පවසන්නේ රාවණා රජුගේ සංකල්පය වන ‘ඖෂධ වෙනුවට ආහාර‘ සංකල්පය යළිත් ජනතාවට හඳුන්වා දිය යුතු බවයි.

‘‘අද හුඟක් තරුණ පරපුර නොදන්න කීකිරිඳිය වැනි පලා වර්ග ඉතා සරුවට උමංදාව හරහා වගා කෙරෙනවා, ඒ වගේම ජනතාවට සකසන ලද ආහාර කිසිදු කෘත්‍රිම රසකාරක නොයොදා මෙහිදී සකස් කර දෙනවා, නැති වී ගිය අපගේ දේශීය උරුමය නැවත ඇති කිරීමයි උමංදාවේ අරමුණ වන්නේ. අපේ ප්‍රධාන අරමුණු හා සංකල්පයන් 4ක් ඔස්සේ කටයුතු කිරීමයි මෙහිදී වැදගත් වෙන්නේ. ඒ අතර උත්සාහය හා අසීමිත කැප කිරීම, වස විසෙන් තොර ආහාර, ස්වභාව දහමෙන් ඈත් නොවී ජීවත්වීම හා සාමූහිකත්වය, මානව දයාව හා පරාර්ථ චර්යාව වෙනවා. ඒ ඔස්සේ කටයුතු කළහොත් අපට හොඳ අනාගතයක් තියෙනවා. උමංදාවේ සියල්ල නිෂ්පාදනය වෙන්නේ නිෂ්පාදන එකතු වෙන්නේ ඒ සංකල්ප යටතේයි.

අපි ළඟ සම්පත් තියෙනවා. අපට නැත්තේ අලුත් අදහස් විතරයි. ඒ අදහස් නැතිවීම නිසා තමයි අපට අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. පොඩි මිනිහගේ නිෂ්පාදන කොළඹට ගෙන ඒමේ සංකල්පයක් මේ හරහා ක්‍රියාත්මක කෙරෙනවා.

අද වන විට කොස් නූඩ්ල්ස් ඉතාම ජනප්‍රිය ආහාර වර්ගයක් බවට පත් වෙලා තියෙන්නෙ. අපි මේ ලෙසින් ඉදිරි මාස දෙකකින් පමණ අන්තර්ජාතික වෙළෙඳ පොළට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒක රටටම ලොකු ජයග්‍රහණයක්‘‘

Umandawa Green Hut හි උදෑසන පූර්ණ සෞඛ්‍යාරක්ෂිත කොළකැඳ, මෙන්ම දේශීය උදෑසන ආහාර වේලක් ලබා ගත හැකිය. එමෙන්ම දිවා ආහාර ද ඒ ලෙසින්ම කිසිදු ආකාරයක කෘත්‍රිම රසකාරකවලින් තොරව ලබාගත හැකිය.

මෙහි විශේෂිතම ආහාර වර්ගය වන්නේ අයිස්ක්‍රීම්ය. ඒ අයිස්ක්‍රීම් අතර සූදුරු අයිස්ක්‍රීම්, දූරියන් අයිස්ක්‍රීම්, ඩ්‍රැගන් ෆුට් අයිස්ක්‍රීම්, මීකිරි අයිස්ක්‍රීම් ඇතුළු අයිස්ක්‍රීම් වර්ග 9ක් මිල දී ගත හැකිය. ඒ සියල්ල ස්වභාවික රසයෙන් යුක්තය.

එසේම ප්‍රනීත රසැති චොක්ලට් වර්ග රැසක්ද එහි අඩංගුය. ඒ අතර දෙහි, කොට්ටංබ, මුරුංගා චොක්ලට් මෙන්ම නිල් කටරොලු චොක්ලට් ද විශේෂිතය.

ජනතාවට ලබා ගත හැකි අනෙක් වස විස රහිත ආහාර අතර දේශීය සහල් වර්ග රැසක්ද එහි අන්තර්ගතය. අප දුටු විශේෂිත ආහාර අතර ටින් කළ කිරිකොස් ද විය. ගමේ ගස් යට වැටී යන කොස් ගෙඩියට එසේ වටිනාකමක් ලබා දීම විශේෂයෙන්ම අගය කළ යුත්තේ වර්තමානයේ කොස් ඉදවීමෙන් තොරව අලෙවි කිරීමට ඇතැම් වෙළෙඳුන් වැසිකිළි පිරිසිදු කිරීමට යොදන පිරිසිදුකාරක පවා යොදන නිසාය.

එමෙන්ම දේශීය රූපලාවණ්‍ය ද්‍රව්‍ය රැසක් ද මෙහි අලෙවියට ඇත්තේ සියලු දේශීය සම්පත් උපයෝගී කරගෙන සිරුරට කිසිදු ආකාරයක අහිතකර නොවන පරිදි නිෂ්පාදනය කළ ඒවා ලෙසිනි. විශේෂයෙන්ම නිල් කටොරොලු ෂැම්පු සහ ෆේස් වොෂ් ඇතුළු ආයුර්වේද නිෂ්පාදන රැසක් එම අලෙවි සලට ලබා දෙන්නට නිෂ්පාදකයන් කටයුතු කර තිබේ.

කොළඹ Umandawa Green Hut ආරම්භ කළ දිනයේ එහි පැමිණි සියලු තානාපතිවරුන් මලු පිරෙන්නට කාබනික එළවළු පලතුරු මිල දී ගත්හ. එමෙන්ම පළමු දිනයේදීම බොහෝ දෙනෙක් එහි ඇති එළවළු පලතුරු මෙන්ම අනෙක් නිෂ්පාදන සම්බන්ධ විස්තර සොයන්නටත් මිලදී ගන්නටත් විය.

තරුණ ව්‍යවසායකයන් මෙන්ම වැඩිහිටි දිවිසරු නිෂ්පාදන අලෙවිය සඳහා නව ශාඛාවෙන් ලැබෙන්නේ මහත් වූ පිටිවහලකි.

සමන්තභද්‍ර හිමියන් වෙනුවෙන් දෙනිපිටියේ ධම්මඥාන හිමියන් සහ අනුරාධපුරයේ ධම්මනාථ හිමියන් එහි මෙහෙයුම් කටයුතුවල නියැළී සිටිති. මේ දිනවල පෙරවරුවේ Umandawa Green Hut වෙත පැමිණෙන පාරිභෝගියන්ට අයිස්ක්‍රීම් රස බැලීමට අවස්ථාව ලබා දී ඇත. ඒ දේශීය රසය ඔවුන්ට යළි ලබා දීම වෙනුවෙනි.

එමෙන්ම දේශීය අත්කම් නිර්මාණ ද අපට මෙහිදී දැකගත හැකි විය. විශේෂයෙන්ම සේරුවිල සිට එහි ගෙනවිත් තිබූ වටිනා නිර්මාණ රැසක් අපට දැකගත හැකි විය. ඒවාට දැන් මිලක් ලැබී ඇත.

සිරිලක දේ සිරි සැපදේ යන්න මුල් කරගෙන සිදු කරන්නා වූ දේශීය වස විසෙන් තොර ආහාර ප්‍රවර්ධනයට ගන්නා වූ මෙහෙය අප අගය කළ යුතුය. එමෙන්ම එහි ඊළඟ පියවර වන ගම්මාන පිහිටුවීමේදී එම ගම්වල සිටින ජනතාවගේ නිෂ්පාදන අලෙවිය හා ප්‍රවර්ධනය කෙරෙහි සමස්ත පාරිභෝගික අංශවලම අවධානය යොමු විය යුතුය. එසේ නොවුවහොත් මේ කාර්යය දිගින් දිගටම ඉටු කිරීම උගහට වනු ඇත.

සඳුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 7.30 සිට රාත්‍රී 8.30 දක්වා Umandawa Green Hut විවෘතව පවතී. කාබනික පොහොර හා ස්වභාවික ආහාර ඒ හරහා ලබා ගැනීමට පහසුකම් තිබේ.

ඡායාරූප- මාලන් කරුණාරත්න

Comments