මරණින් පසු බොහෝ දෙනෙකු අප මතකයෙන් ගිලිහී යන නමුත් සදා අමරණීයව අප හදවත් වල ජීවත් වන්නෝද සිටිති. රාෆික් හාජියාර්ද එවැන්නෙකි.මහනුවර ප්‍රකට ව්‍යාපාරික පවුලක සාමජිකයෙකු වන ඔහු පසුගියදා මෙළොව හැර ගියේය.ජීවත්ව සිටියදී රාෆික් හාජියාර් ගැන කතා බහ කළ පිරිසට වඩා අති විශාල පිරිසක් මරණින් පසු ඔහු ගැන කතා කළහ. මරණින් පසු සමාජ මාධ්‍යය වල පළවු රාෆික් හාජියාර්ගේ ඡයාරූප වලට අදහස් එක් කළ බොහෝ පිරිස් පවසා තිබුණේ ජාතික සමඟිය කුමක්ද යන්න වටහා ගැනීමට ඇති හොඳම උදාහරණය රාෆික් හාජියාර් බවයි.
මහනුවර මහ රෝහල ජාතික රෝහලක් බවට පත් වූයේ පසුගිය 30 දිනය. එදිනට පෙර රාෆික් මිය ගියේ නම් මෙතරම් ඔහු ගැන කිසිවෙකුත් කතා නොකරනු ඇත. වැඩි ප්‍රසිද්ධියකින් තොරව සමාජ සේවා කටයුතුවල නිතරව සිටි රාෆික් හාජියාර් නම එක්වරම ජනතාව කතා කරන්නට වූයේ පසුගිය 02 දින නොඑසේ නම් මහනුවර මහ රෝහල ජාතික රෝහලක් බවට පත් කර දින තුනකට පසු ඔහු මියගිය නිසාය.
රෝහල හා රාෆික් හාජියාර් පවුල අතර සම්බන්ධතාව අද ඊයේක ඇති වූවක් නොවේ. මහනුවර රෝහල ඉදි කිරීම සඳහා ඉඩම් පවරා ගැනීම් සිදු කළ පනහේ දශකයේ අගභාගය දක්වාවූ දීර්ඝ ඉතිහාසයක් එම සබඳතාවට තිබේ. රාෆික් හාජියාර්ගේ සීයා මීරා සයිබුය. රාෆික් හාජියාර් පවුල අද භුක්ති විඳින බොහෝ දේපොළ වල ඉපැයුම්කරු ඔහුය.
රාෆික් හාජියාර් |
මහනුවර ජාතික රෝහලේ රථගාල ආසන්නයේ පිහිටි අක්කරයකුත් පර්චස් 43ක ඉඩම ඔහු සතුව තිබී පිය උරුමය ඔස්සේ රාෆික් හාජියාර්ට ලැබී තිබේ. මීරා සයිබු සතු එම ඉඩම දශක ගණනාවක් මුළුල්ලේ රෝහලේ වැඩකටයුතු වෙනුවෙන් භාවිත කරනු ලැබුවේ සයිබු පවුලේ පූර්ණ ආශිර්වාදය ඇතිවය. ජාතික රෝහලක් බවට පත් කිරීමෙන් පසු සිදු කෙරෙන සංවර්ධන කටයුතු වෙනුවෙන් එම ඉඩම රෝහල නමට තිබීම අත්‍යවශ්‍ය කාරණයක් වූ අතර රාෆික් හාජියාර්ගේ මැදිහත් වීම සිදු වන්නේ එම අවුල විසඳා ගැනීමේදීය. මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා කළ ඉල්ලීමක් අනුව අදාළ ඉඩම ඔප්පුවකින්ම රෝහලට පරිත්‍යාග කිරීමට රාෆික් හාජියාර් දෙවරක් නොසිතා තීන්දු කළේය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතට අදාළ ඔප්පුව පරිත්‍යාග කිරීමෙන් පසු රාෆික් හාජියාර් ගැන රටම කතා කරන්නට ගත්තේය. කිසිවකුත් නොසිතූ පරිදි ඊට දින තුනකට පසු ඔහු මිය ගියේද මහනුවර රෝහලේදීය. මරණින් පසු ඔහු ගැන ලොවක් කතා කරන්නට පටන් ගත්තේ බිම් අඟලකට ගහ මරා ගන්නා සමාජයේ රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් රෝහලට පරිත්‍යාග කිරීමට තරම් රාෆික් පරිත්‍යාගශීලියෙකු වූ නිසාය.
මහනුවර ජාතික රෝහල මේ රට මධ්‍යයේ පිහිටා තිබෙන නිසා මධ්‍යම, ඌව, උතුර, නැගෙනහිර, වයඹ, උතුරු මැද, සබරගමුව ආදි පළාත්වලින් රෝගීන් විශාල පිරිසක් ප්‍රතිකාර සඳහා පැමිණෙනවා. වසරකට ලක්ෂ හතරක පමණ පිරිසක් රෝහලින් නේවාසිකව ප්‍රතිකාර ගන්නවා. තවත් විශාල පිරිසක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නවා. ජනගහනය වැඩිවීමත් සමඟ රෝහලට පැමිණෙන රෝගි සංඛ්‍යාව ඉහළ යෑමත් නිසා අපට පවතින ඉඩකඩ ප්‍රමාණවත් වුණේ නැහැ. රෝහල සතුව අක්කර 58කුත් පර්චස් 04ක ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා. මින් අක්කර 25ක රෝහල් ගොඩනැගිලි ඉදිකොට තිබෙනවා. රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමේදී අපිට සේවා පුළුල් කිරීම පිණිස තවත් ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වුණා. රෝහලේ රථගාල පිහිටි ස්ථානය රාෆික් හාජියාර්ගේ සීයා වන මීරා සයිබු මහතා නමට තිබූ එකක්.
රෝහල සතු ඇතැම් ඉඩම් කොටස් යම් යම් පිරිස් දේශපාලන සබඳතා මත අත්පත් කරගෙන භුක්ති විඳීම නිසා ඒවා යළි රෝහල වෙත ලබා ගැනීමට මම නීති මගින් කටයුතු කරන අවස්ථාවක තමයි රාෆික් හාජියාර් මහතා එතුමාගේ සීයාගේ නමට තිබී ඔහුට හිමි වූ අක්කරයකුත් පරිචස් 43 ක ඉඩම ඔප්පුවකින් රෝහලට ලියා දීමට කටයුතු කළේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්,මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා රාෆික් හාජියාර්ගේ සත් ක්‍රියාව ගැන විස්තර කළේ එසේය.
මොහොමඩ් රාෆික් උපන්දා සිට මහනුවර ජීවත් වෙන්නෙකි. සීයා මෙන්ම ඔහුගේ පියා වන ෂේක් ඩාවුඩ් ප්‍රකට ව්‍යාපාරිකයෙකි. මහනුවර මුස්ලිම් හෝටලය ඔවුන්ගේ පවුලේ එක් ව්‍යාපාරයකි. හසන් ෆාතිමා සහ ෂේක් ඩාවුඩ් යුවළගේ පුත්‍රයා වන මොහොමඩ් රාෆික්ට සහෝදර සහෝදරියන් හය දෙනකි. රාෆික් මහනුවර ත්‍රිත්ව විදුහලෙන් අධ්‍යාපනය ලබා පරම්පරා උරුමයෙන් ලද ව්‍යාපාරික කටයුතු සඳහා කැප වී සිටියෙකි. ඔහුගේ බිරිද ෆසීනාය. ඔවුන් දෙපළගේ එකම පුතු වයස අවුරුදු විස්සක් වන විට මෙලොව හැර ගියේ කුඩා කළ සිට පීඩා විඳි රෝග තත්ත්වයක් හේතුවෙනි. රෆීක් දැනට අවුරුදු අටක පමණ සිට වකුගඩු රෝගයෙන් පෙළෙයි. මහනුවර රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාගත් ඔහු රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය ලබාගැනීම පිණිස පසුගිය කාලය පුරා රෝහලට නිතර පැමිණියේය.
ජීවිතයේ අනිත්‍යතාව පිළිබඳ වකුගඩු ඒකකයට පැමිණෙන වාරයක් පාසා රාෆික් අත් වින්දේය. සියල්ල පොදි බැඳ ගන්නවාට වඩා සියල්ල අත් හැරීම ජීවිතයට ඇති එකම සුවය බව රාෆික්ට දැනී තිබුණේ බුදුන්ගේ දේශනා ඇසීමෙන් නොව පසුගිය කාලය පුරා ලත් ජීවිත අත්දැකීම්වලිනි. පුතුගේ අකල් මරණය ඔහුගේ ජීවිතයට එක්කර තිබුණේ ප්‍රබල කම්පනයකි.
“එයා මිනිසුන්ගේ වේදනාව ගැන උවමනාවට වඩා කල්පනා කරනවා. සමහර වේලාවට අතේ තියෙන සල්ලි ලෙඩ්ඩුන්ට බෙහෙත් ගන්න දීලා තමයි එයා ගෙදර එන්නේ. වසර ගානක් එක දිගට රෝහලට ගිය නිසා එයා ලෙඩ්ඩු විඳින දුක් නිතර දැක්කා. මිනිස්සුන්ගේ ජීවිත මොන තරම් අස්ථිරද කියලා අයියා නිතරම කියනවා. සමහර තරුණ ළමයි ලෙඩ වෙලා අසරණව ඉද්දී එයා ගොඩක් දුක් වුණා.
ඒ අයට මොන විදිහට උදව් කළාද කියලා අපි දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම උදව් කර කියලා විතරක් අපි දන්නවා. එයා දැන් හුඟක් කාලෙකට ඉස්සර නුවර ලේවැල්ල පාරේ ඉඩමක් අරගෙන ඒ පැත්තේ මිනිසුන්ට වතුර නැහැ කියලා ළිඳක් කපලා දුන්නා. අදටත් ඒ පැත්තේ මිනිස්සු ඒ ළිදෙන් වතුර පාවිච්චි කරනවා.
ඒ අය පින් දෙනවා අපේ මල්ලිට“ රාෆික්ගේ වැඩිමහල් සොහොයුරු මොහොමඩ් හාෆිස් කියා සිටියේය.
මහනුවර වකුගඩු ඒකකයේ අවයව බද්ධ කිරිමේ ඒකකයේ වෛද්‍ය අරුණ අබේසිංහ මහතා රාෆික් පිළිබඳ මතකය අවදි කරමින් මෙසේ පැවසුවේය.
“දැන් අපේ ඒකකයේ බර කරට අරන් කරන්න කෙනෙක් නැති ගානයි. රාෆික් කියන්නේ අමුතුවෙන් උදව් ඉල්ලන්න අවශ්‍ය කෙනෙක් නෙවෙයි. කාගේ හරි අඩුපාඩුවක් නැතිබැරි කමක් දැක්ක ගමන් උදව් කරන පුද්ගලයෙක්. එතුමා ඉස්පිරිතාලේ තියෙන හැම උත්සවයකටම කෑම බීම ගෙනැත් දීලා අඩුපාඩු සොයාබලන කෙනෙක්.
මොනයම් හෝ ඒකකයක උපකරණයක් බෙහෙතක් අත්‍යවශ්‍යය දෙයක් හිඟ වුණොත් නැති බව දැනගත්තොත් කොහොම හරි ඒ අඩුපාඩුව සපුරන්න කටයුතු කරන කෙනෙක් තමයි රාෆික් හාජියාර්. අපේ වකුගඩු ඒකකයේ එක කොටසක ටයිල් අතුරන්න තීන්ත ගාන්න අපි කවුරුවත් ඉල්ලීමක්වත් නොකරද්දී ඔහු ඇවිත් අඩුපාඩු බලලා ඉෂ්ට කරලා දුන්නා.
මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස නම් කළ උත්සවයේදී තමන් සතු රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම රෝහලට පරිත්‍යාග කරමින් ජාති,ආගම් බේදයෙන් තොරව සැමගේ ආදරයට පාත්‍රවූ රාෆික් හාජියාර් ඉන් තෙදිනකට පසු මෙලොව හැර ගියේ ජීවිතයේ අනියත යළිත් අප සැමට පසක් කරමිනි.
ජීවිතයේ ස්වභාවය එයයි. තණ අග පිනි බිඳක් සේ අස්ථිර මේ ජීවිතයේ රැස්කොට තබාගත හැකි කිසිවක්ම නැත. මරණය සමඟ අප භෞතික සම්පත් කිසිවක් රැගෙන යන්නේ නැත. ගෙන යන එකම දේ සමාජයට අපි ලබාදුන් දෙයින් පෙරළා ලබාගත් ගුණාගුණ පමණි. මිය ගියත් රාෆික් නාමය කිසිදා මිය යන්නේ නැත. එය මහනුවර ජාතික රෝහල පවතින තුරු අප මතකයේ රැඳී තිබෙනු ඇත.
ඡායාරූප -සුනිල් ගුණවර්ධන කුණ්ඩසාලේ සමූහ