මෛත්‍රී විධා­යක අසු­නින් බැස යයි! | සිළුමිණ

මෛත්‍රී විධා­යක අසු­නින් බැස යයි!

මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා සිය ධුර කාලය නිමවා රාජ්‍ය නාය­ක­ත්ව­යෙන් සමු ගෙන සිටියි. ඒ ශ්‍රී ලංකාවේ හය­වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස සිය නාමය ඉති­හා­ස­යට එක් කිරී­මෙන් ඉක්බි­ති­වය. 2015 ජන­වාරි 08 වැනිදා මෙරට රාජ්‍ය නාය­ක­ත්ව­යට පත් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා විසින්ම ඒ පිළි­බඳ කරන ලද ආව­ර්ජ­න­යක මෙසේ සට­හන් වී තිබේ:

“2015 ජන­වාරි 08 වැනිදා මැති­ව­ර­ණ­යේදී මම උඩු­ග­ම්බලා පීනපු කෙනෙක්. එය මොන­ත­රම් අභි­යෝ­ග­යක්ද කියලා එදා දේශ­පා­ලන ව්‍යාපා­රයේ සිටි අය­ටත්, රටේ ජන­තා­ව­ටත්, ඒ අව­ස්ථාවේ පැහැ­දිලි වුණා. ඒ අභි­යෝ­ගය ජය­ග්‍ර­හ­ණය කරලා හදපු ඒ ආණ්ඩුව ජන­තා­වට දුන් පොරොන්දු අද ඇතැම් අයට අම­ත­කයි; එහෙත් බොහෝ දෙනෙක්ට මත­කයි. ඒ ආණ්ඩුව යම් ප්‍රමා­ණ­ය­කට යම් වැඩ කොට­සක් කළා වගේම අනෙක් හවු­ල්කා­රිත්ව පාර්ශ්වය මට කිසි­සේත්ම අනු­මත කළ නොහැකි රටට නොගැ­ළ­පෙන දේ රාශි­යක් කළා. ඒ අන්ත ලිබ­ර­ල්වා­දය අපට ගැළ­පෙන්නේ නෑ. නව ලිබ­ර­ල්වා­දය රටට දේශ­පා­ලන හූනි­ය­මක් කිය­ලයි මම විශ්වාස කරන්නේ. ඒත් මෙහිදී අප විසින් තේරුම් ගත යුතුයි, නිර්ප්‍රභූ ජනා­ධි­ප­ති­ව­ර­යකු වීම නිසා එවැනි සාධ­නීය මැදි­හ­ත්වීම් සඳහා නිසි ඇග­යීම් මෙර­ටට ශාප­යක් වී ඇති ප්‍රභූ දේශ­පා­ලන පන්තිය විසින් වළ­දමා තිබෙ­නවා. අප රට වෙළා­ගෙන පව­තින පසු­ගා­මි­ත්ව­යට පද­නම සප­යන්නේ ජන­තා­වගේ ඇස්ව­ලට වැලි­ගස්වා, ජන ඇස හිරි­ව­ට්ට­මින් සිදු කෙරෙන මේ ප්‍රභූ දේශ­පා­ල­න­යයි. එහි පද­නම ජාවා­ර­ම්කා­රි­ත්ව­යයි.” (-2019.09.03 දා, ශ්‍රීල­නිප 68 වැනි සංව­ත්සර උලෙළ අමතා කළ කථා­වෙනි)

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා විසින් කරන ලද මේ ප්‍රකා­ශය නිසැ­ක­යෙන්ම ශ්‍රී ලංකාවේ නූතන දේශ­පා­ල­නයේ අශ්ලීල ග්‍රාම්‍ය විලා­ශ­යත්, එය නඩත්තු කරන ප්‍රභූ දේශ­පා­ලන පන්තියේ නග්න­ත්ව­යත් අනා­ව­ර­ණය කර­න්නකි. සැබැ­වින්ම එදා මෙරටේ බහු­තර ජන­තාව විසින් අපේක්ෂා කරන ලද අභි­නව සමාජ දේශ­පා­ලන සංස්කෘ­තික විප්ල­වයේ භාර­කා­ර­ත්වය හිමි වූයේද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යා­ටය. අපගේ අව­බෝ­ධය හා දැක්ම අනුව ඒ අභි­යෝ­ගා­ත්මක මෙහෙ­වර සඳහා උචිත හා ප්‍රබ­ල­තම චරි­තය වූයේද මෛත්‍රීය. ශ්‍රී ලංකාව නිද­හ­සින් පසු භුක්ති විඳින ලද සමාජ දේශ­පා­ලන මහා ආර්ථික නිද­හස අංග­ස­ම්පූර්ණ එක­කැයි මම නොකි­යමි. එහෙත් අඩු-ලුහු­ඬු­කම් මැද වුවද අපට යම් සමාජ වටි­නා­කම් හා සාර­ධර්ම පද්ධ­ති­යක් මත පද­නම් වූ රටක ජීවත් වීමට අව­කාශ තිබිණි. එහෙත් 1977දී බල­යට පත් ජේ.ආර්. ජය­ව­ර්ධන මෙරට ඇති කළ අභි­නව සමාජ ක්‍රමය මඟින් ඒ සියලු පෙර­දිග සමාජ සංස්කෘ­තික වටි­නා­කම් බර­ප­තළ අර්බු­ද­ය­කට ඇද­ද­මන ලද බව රහ­සක් නොවේ. විශේ­ෂ­යෙන් ජය­ව­ර්ධන විසින් හඳුන්වා දෙන ලද විධා­යක ජනා­ධි­පති ක්‍රම­යත්, මනාප ඡන්ද ක්‍රමය හා ඒ සමඟ බද්ධ වූ ජාතික ලැයිස්තු ක්‍රම­යත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදි සළු­පිළි හා අභ­රණ පල­ඳ­වන ලද ගර්හිත ක්‍රම­යක් විය. ජය­ව­ර්ධන හඳුන්වා දුන් විධා­ය­කය නීති­යට උඩින් තිබුණි. ඔහු සම්මත කළ ඡන්ද ක්‍රමය මහ­ජන මතයේ විකෘ­ති­යක් මෙන්ම ජන­තා­වට හිමි වූ තම නියෝ­ජි­තයා තෝරා­ගැ­නීමේ බලය ව්‍යව­ස්ථා­නු­කූ­ලව මංකො­ල්ල­කෑ­මක් විය. ජය­ව­ර්ධන මේ සියල්ල සිදු කළේ ‘ධර්මිෂ්ඨ සමා­ජය’ නමැති ව්‍යාජ කඩ­තු­රා­ව­කට මුවා වෙමින්ය.

ජය­ව­ර්ධ­නගේ විධා­යක ක්‍රම­යට ආර­ම්භයේ සිටම දැඩි දේශ­පා­ලන විවේ­චන, ජනතා අප්‍ර­සාද එල්ල වුවත් එය වෙනස් කිරීම සඳහා ක්‍රියා­දා­ම­යක් දියත් නොවීය. විධා­යක ක්‍රම­යෙන් රටට සිදු වූ යහ­ප­තට වඩා අය­හ­පත වැඩි බව පොදු පිළි­ගැ­නී­මය. මෙහිලා අපට ඒ ගැන විම­සු­මක් කිරී­මට අව­කාශ මඳය. එහෙත් අපගේ විවේ­ච­නය වන්නේද ඒ බිහි­සුණු ක්‍රමය ප්‍රජා­ත­න්ත්‍ර­වාදී කති­ර­යෙන් නිර්මා­ණය කෙරෙන ඒකා­ධි­ප­ති­යකු රටට ලබා දුන් බවය. මහ­ජන අභි­ලා­ෂ­යන්ට උඩින් පැන හිතු­ව­ක්කා­රව නැත හොත් අධි­ප­ති­වා­දීව ක්‍රියා කිරීම් පිළි­බඳ අප­කී­ර්ති­මත් වාර්තා ඒ ඒ විධා­යක ජනා­ධි­ප­ති­ව­රුන්ගේ පාලන කාල විමසා බලන කව­ර­එ­කුට වුව සොයා­ගත හැකිය. ඒ සියලු අමි­හිරි මතක සට­හන් සමග පීඩා­කාරි හා දේශ­පා­ලන අඳු­රක ගිලී සිටි සමා­ජ­යත්, ජන­තා­වත් ඉන් මුදා­ගැ­නීමේ යුග­කා­රක මෙහෙ­වර භාර වූයේ මෛත්‍රී­පාල සිරි­සේන නමැති දේශ­පා­ල­න­ඥ­යා­ටය. මෛත්‍රී ඒ කාර්ය­භා­රය සඳහා නිසි පිවි­තුරු චරි­ත­ය­කින් මෙන්ම දේශ­පා­ලන විඥා­න­ය­කින්ද සපිරි නාය­ක­යෙක්ද විය.

‘විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු සාධා­රණ සමා­ජ­යක් උදෙසා පෙළ ගැසෙමු’ යන තේමා­වෙන් යුතුව ජන­තා­වට ආම­න්ත්‍ර­ණය කළ දිවං­ගත මාදු­ළු­වාවේ සෝභිත හිමි­යන්ගේ ආශී­ර්වා­ද­යද සමඟ ඒ අභි­යෝ­ගය මෛත්‍රීට භාර වූයේ කිසි­යම් දෛවෝ­ප­ගත හාස්ක­මක්ද සම­ඟ­යැයි මම අදත් කල්පනා කරමි. ඉහත සඳ­හන් කළ ආකා­ර­ය­ටම එය උඩු­ග­ම්බලා පිහි­නී­මක් වැන්න. එහෙත් ජන­තා­වගේ ඒ අපේ­ක්ෂාව බොඳ වී ගියේ ඉහත සඳ­හන් කළ දේශ­පා­ලන ප්‍රභූ පන්ති­යත්, ඒ සටන් පාඨ අතට ගත් කපටි හා බට­හිර ගැති අනු­කා­රක පිරි­ස­කුත් නිසා බව අද රටම දන්නා රහසකි. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මැදි­හ­ත්වීම් සහ ක්‍රියා­කා­ර­කම් ඵල­දායි වී නම් මෙරට විධා­යක ජනා­ධි­ප­ති­ධු­ර­යද එත­නින් අව­සන් වීමට තිබිණි. එසේ නම් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා විධා­යක අසු­නින් බැස යන්නේ අද මෙන් තවත් විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට සිය අසුන හිමි කර දී නොවේ. මේ ලියන මොහොත වන විට මෛත්‍රී බැස යන ඒ අසු­නට එන්නේ කව­ර­කු­දැයි ප්‍රකා­ශ­යට පත්ව නොති­බිණි.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා විසින් ජන­තාව ඉදි­රියේ තබන ලද ප්‍රති­ඥාව ඉටු කර­ගත නොහැකි වුවද ඔහුගේ දේශ­පා­ලන මැදි­හ­ත්වීම් අපතේ ගිය බව කිව නොහැ­කිය. 19 වැනි සංශෝ­ධ­නය එහි ප්‍රබල හා සාධ­නීය ප්‍රති­ඵ­ල­යයි. 19 වැනි සංශෝ­ධ­නය මඟින් මේ රටට අවශ්‍ය දේශ­පා­ලන ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වෙන­ස්කම් ගණ­නා­වක් අත් කර­ගත හැකි විය. ඒ ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­දා­මය බාර වූයේ වංක, සට­ක­පට හා පටු අර­මුණු සහිත කල්ලි­ය­කට නොවී නම් එම­ඟින්ද මෙයට වඩා දේශ­පා­ලන ප්‍රති­ලාභ රටට හිමි වීමට ඉඩ තිබිණි. එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය සමාජ දේශ­පා­ලන අවුල් සම­නය කිරී­මට වඩා ඒවා උත්සන්න කිරී­මට හේතු වූ බවද කාටත් පැහැ­දිලි වනු ඇත. කුමක් වුවත් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ භූමි­කාව ඔහුට පෙර සිටි කිසිදු ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට වඩා වෙනස් හා වඩාත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදි ස්වරූ­ප­යක් ගත් බවද සඳ­හන් කළ යුතු ය. සවැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­යාගේ භූමි­කාව විම­ර්ශ­නය කිරී­මද වෙනම කළ යුත්තකි. එහෙත් මෙහිලා ඔහු විසින් කරන ලද ප්‍රකා­ශ­යක් මට උපුටා දැක්විය හැකිය:

“මම මේ රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සහ­තික කළා. ජන­තා­වගේ නිද­හස සහ­තික කළා. ආණ්ඩුවේ කිසිම වෙඩි­ල්ලක්, දේශ­පා­ලන හේතු­වක් හෝ පෞද්ග­ලික හේතු­වක් මත රටේ පුර­වැ­සි­ය­කුට පත්තු නොවූ එකම යුගය මගේ යුගය කියලා මම තමු­න්නා­න්සේ­ලාට පැහැ­දි­ලිව කිය­නවා. ගෙවල් ගිනි තිබ්බෙ නැහැ; මාධ්‍ය ආය­තන ගිනි තිබ්බේ නැහැ; ජනා­ධි­පති ආර­ක්ෂක අංශය, හමු­දාව මිනී මරන්න, වැරදි වැඩ­ව­ලට යෙදෙව්වේ නැහැ. ඒ කිසිම චෝද­නා­වක් මගේ කාලයේ නැහැ. මම ඒ ගැන සතුටු වෙනවා. ඒ වාර්තාව පිහි­ටු­වන්න මට පුළු­ව­න්කම ලැබුණා.” (-ශ්‍රීල­නිප 68 වන සංව­ත්ස­ර­යේදී කළ කථා­වෙන්)

මේ ප්‍රකා­ශයේ එකම වැකි­යක් තබා අකු­රක්, ඇල­පි­ල්ලක්, කොමා­වක් හෝ තිත­ක්වත් වැඩි­යැයි වැර­දි­යැයි කිසි­වෙ­කුට කිව නොහැ­කිය. සත්ත­කින්ම මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ හෘද­ය­සා­ක්ෂිය එයයි. මෙරටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය නිද­හස, මනු­ෂ්‍ය­ත්වය උදෙසා විශි­ෂ්ට­තම කැප­වීම කළ දේශ­පා­ලන නාය­ක­ත්ව­යක අභි­මා­නය ඔහුට හිමි විය යුතුය. විධා­යක ක්‍රමය බහු­බූ­ත­ය­කැයි සම­හරු කීහ. එය රටේ සියලු සාර­ධර්ම ගසා­ගෙන යන සැඬ­ප­හ­ර­කැයි තවත් සම­හරු කීහ. එහෙත් එය මුළු­ම­නින්ම අහෝසි කළ නොහැකි වුවද එයට සැබෑ මානු­ෂික හා ප්‍රජා­ත­න්ත්‍ර­වාදි මුහු­ණු­ව­රක් අත කර දීමට මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට හැකි විය.

දේශ­පා­ල­නය යනු බලය කේන්ද්‍ර කර­ගත් මෙහෙ­යු­ම­කට වඩා නිද­හස හා ප්‍රජා­ත­න්ත්‍ර­වාදි අව­කා­ශය පුළුල් කිරී­මක් බව මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා නිවැ­ර­දිව තේරුම් ගෙන සිටි­යෙකි. එහෙත් මෙරටේ කොළඹ කේන්ද්‍රීය ප්‍රභූ දේශ­පා­ලන පන්ති­යට ගම්දො­රින් පැමිණි මේ ගැමි ප්‍රභ­ව­යක් සහිත ජන නාය­කයා හිස­ර­ද­යක් විය. මෛත්‍රී විසින් ශ්‍රීල­නි­පයේ කණ්ඩා­ය­මක්ද සමඟ ගොඩ­න­ඟන ලද යහ­පා­ලන ආණ්ඩු­වට ඉදිරි ගම­නක් නොවූ­යේද ඒ අභ්‍ය­න්තර ගැටුම් නිසා­මය.

ප්‍රංස විප්ල­ව­යෙන් ඇරඹී ඇමෙ­රි­කාව ඇතුළු යුරෝ­පය පුරා පැතිර ගිය ප්‍රජා­ත­න්ත්‍ර­වාදී විප්ල­වයේ මූලික අංග මෙරටේ සංස්කෘ­තිය හා සමාජ සාර­ධර්ම සමග මුසු කළ යුතුය යන ස්වදේ­ශීය චින්ත­න­යක් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා සතු විය. බට­හි­රට ළැදි වටි­නා­කම් ප්‍රති­ක්ෂේප කිරී­මට මෛත්‍රී නාය­ක­ත්වය දුන් ආණ්ඩුව එකඟ නොවීය. බුදු­ද­හම හා සිංහල බෞද්ධ සංස්කෘ­තිය නොරිසි ඇතැම් රාජ්‍ය නොවන සංවි­ධා­නද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා දෙස බැලුවේ වප­රැ­සිනි. මිනිස් අයි­ති­වා­සි­කම්, සමා­න­ත්වය ආදි සංකල්ප මත නීතිය හා අධි­ක­ර­ණය ශක්ති­මත් කිරීම සම­ගම බෞද්ධ සංස්කෘ­තික බැඳීම් ඉවත ලීම ඒ ආණ්ඩුව තුළම සිටි සම­හ­රුන්ගේ අභි­ලා­ෂය විය. අපේ ව්‍යව­ස්ථා­මය අර්බු­දය ළිහා­ගැ­නීම ප්‍රජා­ත­න්ත්‍ර­වාදි සංකල්ප මෙන්ම බෞද්ධ සංස්කෘ­තික වටි­නා­කම්ද ඔස්සේ සිදු විය යුතු බව මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා තේරු­ම්ගෙන සිටි­යේය. මේ රටේ නීතියේ කඩා­වැ­ටීම පාල­ක­යන්ගේ වග­කීම් පැහැ­ර­හැ­රී­මක් ලෙස අර්ථ­ක­ථ­නය කෙරේ. ඉබා­ගාතේ යන පාල­න­යක් ගෙන යෑමට විධා­යක ක්‍රම­යෙන් ලැබුණු අනු­බ­ල­යද බොහෝ විය. මෛත්‍රී සමඟ සිටි එජා­පයේ වූයේ මෙරටේ අනා­දි­මත් කාල­යක් ගෞර­ව­යට පාත්‍ර වූ වටි­නා­කම් ඉවත දැමිය යුතුය යන ආක­ල්ප­යකි. අපගේ ශ්‍රේෂ්ඨ සම්ප්‍ර­දා­යන් ගැන හෝ සිංහල බෞද්ධ සංස්කෘ­තික වටි­නා­කම් ගැන හෝ ආණ්ඩුවේ බොහෝ දෙනෙක් බැරෑ­රුම් ලෙස තැකී­මක් නොක­ළහ.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා හා ආණ්ඩුව අතර වූ බර­ප­තළ ගැටු­මට හේතු වූයේද ඒ ආක­ල්ප­මය වෙන­සය. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා පසු­ගිය දිනක පොලො­න්න­රු­වේදී ප්‍රකාශ කර තිබුණේ පිබි­දෙමු පොලො­න්න­රුව මඟින් සාර්ථක ජය­ග්‍ර­හණ තම ජන­තා­වට අත කර දිය හැකි වූයේ එහිදී තම ක්‍රියා­දා­ම­යට එකා­වන්ව සියලු නිල­ධා­රීන්, ආය­තන මෙන්ම ජන­තා­ව­ගේද සහාය හිමි වීම නිසා බවත්, එබඳු අනු­ග්‍ර­හ­යක් ආණ්ඩු­වෙ­නුත් තමාට හිමි වූයේ නම් අද මේ රටට මීට වඩා වෙනස් හා සංව­ර්ධ­නා­ත්මක ප්‍රති­ලාභ අත් කර දීමට තමාට හැකි වන බවත්ය. තමන් නාය­ක­ත්වය දරන කැබි­නට් මණ්ඩ­ලය සමග එක­ඟ­තා­ව­කින් තොරව ක්‍රියා කිරී­මට සිදු වීමේ අමි­හිරි අත්දැ­කීම් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මුවින්ද බොහෝ විට ප්‍රකාශ වී තිබේ. දසක හතක් මුළුල්ලේ මෙරටේ දිගින් දිග­ටම ක්‍රියා­ත්මක වී ඇත්තේ කොල්ල­කාරි හා වංච­නික වූ ඊනියා සංව­ර්ධන සැල­සුම් බව ඔහු ප්‍රසි­ද්ධි­යේම කියයි. නිවැ­රදි දේශ­පා­ලන දෘෂ්ටි­යක් නැති වල්මත් වූ දේශ­පා­ලන ගම­නක් යන රටක් ලෙස ඔහු මේ රට හඳු­න්වයි. ශ්‍රී ලංකාවේ සමස්ත දේශ­පා­ලන ජාල­යම ව්‍යාකුල බව ඔහුගේ අද­හස විය.

මෛත්‍රී නිර­න්ත­ර­යෙන්ම අව­ධා­ර­ණය කළේ අපට අවශ්‍ය හරිත ආර්ථි­ක­යක් බවයි. තාක්ෂ­ණය හා නවීන විද්‍යාව රටට අව­ශ්‍යය. තිර­සර සංව­ර්ධ­නය සඳහා අපේ ගම හා ග්‍රාමීය ආර්ථි­ක­යද හඳු­නා­ගත යුතු බව ඔහු පිළි­ගනී. මෛත්‍රීගේ දේශ­පා­ලන සම්ප්‍රා­ප්තිය සිදු වන්නේද පොලො­න්න­රුව වැනි රජ­රට ජන­තා­වගේ ප්‍රාර්ථනා සම­ඟය. වැවත්, ගමත්, කුඹු­රත් සමඟ බැඳුණු ආර්ථි­ක­ය­කට උඩින් පැන යෑමට ඔහු කිසි­වි­ටෙක රිසි නොවූ­යේද ඒ පසු­බි­මේය. අපට හැඟෙන පරිදි වාරි තාක්ෂ­ණය සමඟ නවීන සංව­ර්ධ­නය මුසු කිරී­මට කැප වූ නූතන රාජ්‍ය නාය­කයා ලෙස ඔහු ඉදි­රි­යෙන්ම සිටියි. මොර­ග­හ­කන්ද-කළු­ගඟ වැනි විස්මිත ජල නිමැ­වුම් ඒ චින්ත­න­යෙන් දැයට හිමි වූ ජය­ග්‍ර­හණ ලෙස හැඳි­න්විය හැකිය. පිබි­දෙන පොලො­න්න­රු­වට අම­ත­රව ග්‍රාම­ශක්ති වැනි සාධ­නීය සැල­සුම්ද ඔහු රටට ඉදි­රි­පත් කර ඇත. සංව­ර්ධ­නය යනු අහස පීරන ගොඩ­නැ­ඟිලි, සුඛෝ­ප­භෝගි වාහන ඇතුළු සංචා­රක ආක­ර්ෂ­ණය පම­ණක් නොවන බව මෛත්‍රීගේ ආර්ථික දැක්ම වේ. මොර­ග­හ­කන්ද-කළු­ගඟ ජල ව්‍යාපෘති සමග ඉදි වූ ලග්ගල, අඹන වැනි හරිත නගර අද ජන­තා­වට ලැබී තිබෙ­න්නේද එහි ප්‍රති­ඵල වශ­යෙනි. බෞද්ධ හා හින්දු යන ආගම් දෙකම ජලය හා බැඳී පවතී. ජලය සුරැ­කීම ඒ ආග­මික සංස්කෘ­ති­යෙන් ඉගැන්වූ ධර්ම­තා­වකි.

මෛත්‍රී ඒ වාරි සංස්කෘ­ති­යට මෙන්ම ජලය හා පරි­සර සංර­ක්ෂ­ණ­යට ප්‍රමු­ඛ­තාව දෙන නාය­ක­යෙකි. ශ්‍රී ලාංකික ශිෂ්ටා­චා­රය හා සභ්‍ය­ත්වය සමග බැඳුණු වැවත්, නිල් දිය­ව­රත්, අපේ උරු­මය බව රජ­ර­ටින් මතු වූ මේ ගැමි නාය­කයා වට­හා­ගෙන සිටියි. රජ­රට ගොවි ජන­තාව වෙනු­වෙන් සිය දේශ­පා­ලන න්‍යාය පත්‍ර­යේද විශාල අව­කා­ශ­යක් ඔහු වෙන් කර තිබේ. මහා­වං­ශ­යට අනුව මහා වැව් හා දාගැබ් බැඳි ජන­තා­වක් මේ බිමෙහි මුල් උරු­ම­ක්කා­රයෝ වූහ. මෛත්‍රී ඒ උරු­මය සමග රාජ්‍ය නාය­ක­ත්වය වෙත පිය නැඟූ ප්‍රථම පොදු ජන නාය­ක­යාය. පිබි­දෙන පොලො­න්න­රුව, ග්‍රාම­ශක්ති වැනි සාධ­නීය සැල­සුම් තම ජීවි­තයේ කොට­සක් බඳු පොලො­න්න­රු­වත්, රජ­රට ගොවි නෑය­නුත්, ගැමි මිතු­ර­නුත් වෙනු­වෙන් ඔහු විසින් දෙන ලද තිළිණ ලෙස හැඳි­න්වීම වටී. සැබැ­වින්ම ඔහුට අවශ්‍ය වූයේ පොලො­න්න­රු­වට ඒ අතීත සිරි­සර කැඳ­වී­ම­ටය.

මෛත්‍රී සිය ධුර­යෙන් නික්ම යන්නේ මෙරටේ සමාජ, දේශ­පා­ලන, සංස්කෘ­තික මෙන්ම ආග­මික ක්ෂේත්‍ර­ව­ල­ටද අගනා සම්ප්‍ර­දා­න­යන් එක් කර­මිනි. ඒ සියල්ල මෙහිදී විස්තර කිරීම අසී­රුය. එහෙත් ඔහුගේ ප්‍රමුඛ කාර්ය අතර මතින් තොර රටක් බිහි කිරීම, රජ­රට ප්‍රමුඛ ජන ජීවි­ත­යට ශාප­යක් බඳු වූ වකු­ගඩු රකුසා මර්ද­නය, පාසල් දරු­වන් ඉලක්ක කර­ගත් විශේෂ ව්‍යාපෘති මඟින් ඒ දරු­වන්ගේ ජීවිත සුපු­ෂ්පිත කිරීම, වස­වි­සෙන් තොර දේශීය ආහාර ජන­ප්‍රිය කිරීම දැක­ගත හැකිය. පාසල් සිසුන් සඳහා හඳුන්වා දුන් බක්මහ දිවු­රුම මේ වැඩ­පි­ළි­වෙ­ළෙහි විශිෂ්ට පිය­ව­රක් ලෙස දැක්වීම වටී. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­නට මරණ දඬු­වම ක්‍රියා­ත්මක කිරීමේ විවා­දා­ත්මක නිග­ම­න­ය­ටද එළ­ඹිණි. ඒ වෙනු­වෙන් ඔහු ලද අව­මන් ගැර­හුම්ද බොහෝය.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා විසින් ඉටු කරන ලද ආග­මික හා සංස්කෘ­තික මෙහෙ­ව­රද සුළු­පටු නොවේ. මාතලේ අලු­වි­හා­ර­යේදී කරන ලද ධර්ම සංගා­ය­නාවේ සඳ­හන් ත්‍රිපි­ටක ධර්මය සුර­ක්ෂිත කිරීම සඳහා විද්වත් පැවිදි-ගිහි බෞද්ධ විය­තුන්ගේ උප­දෙස් අනුව ඒවා ග්‍රන්ථා­රූඪ කිරී­මත්, ඉක්බිති ත්‍රිපි­ට­කය ලෝක උරු­ම­යක් බවට පත් කිරී­මට ක්‍රියා කිරී­මත් විශේ­ෂ­යෙන් දැක්විය යුතුය. මෙය උතුම් ත්‍රිපි­ටක ධර්මය සමස්ත ලෝකයේ බොදු හා නොබොදු සියලු ජන­තා­ව­ගේම ප්‍රසා­ද­යට බුහු­ම­නට පාත්‍ර වන උතුම් සේවා­වකි. නිර්මල බුදු­ද­හම ආරක්ෂා වීම ද එයින් සිදුවේ. එදා බ්‍රිතාන්‍ය අධි­රා­ජ්‍ය­වා­දීන් විසින් ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා ගැසට් නිවේ­ද­න­යක් මඟින් නම් කරන ලද අපේ ජාතික වීර­ව­ර­යන්ට රාජ්‍ය ගෞර­වය පිරි­නමා ඔවුන්ට වීරා­භි­දා­නය ලබා දීමද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අගනා ජාතික මෙහෙ­ව­රකි.

මෛත්‍රී රාජ්‍ය නාය­කයා ලෙස අන්ත­ර්ජා­තික තලයේ සිදු කළ ප්‍රබල මෙහෙ­වර ලෙස හැඳි­න්විය හැක්කේ ශ්‍රී ලංකාව පිළි­බඳ ජගත් දේශ­පා­ලන සමාජ අව­කා­ශයේ රැඳවූ විකෘති හා අව­ල­ස්සන චිත්‍රය වෙනස් කිරී­මය. යුද අප­රාධ අව­ලාද, මානව හිමි­කම් නොතැ­කීම වැනි චෝදනා අපට එල්ල ව තිබිණි. ඒවා විනි­ශ්චය කිරීම සඳහා විදේ­ශීය යන්ත්‍ර­ණ­යක් අවශ්‍ය බවට තිබුණු මත­වා­දය ප්‍රති­ක්ෂේප කිරී­ම­ටද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා සමත් වීම විශේෂ ජය­ග්‍ර­හ­ණ­යකි. මන්ද යත්: මේ ආණ්ඩු­වේම එක­ඟ­තාව මත අපට මානව හිමි­කම් චෝදනා පිළි­ගැ­නී­මට සිදුව තිබිණි. එහෙත් මෛත්‍රී තිර­ස­ර­වම කියා සිටියේ යුද අප­රාධ, මානව හිමි­කම් කඩ­වීම මේ රට තුළ විනි­සු­රු­වන් විසින්ම විභාග කළ යුතු බවය; අපට විදේශ මැදි­හ­ත්වීම් අන­වශ්‍ය බවය. රාජ්‍ය නාය­ක­යකු ලෙස රටේ ස්වාධී­න­ත්වය පාවා­දී­මට ඔහු කිසි සේත් එකඟ නොවීය. මේ අතර ආණ්ඩුව විසින් සම්මත කිරී­මට අපේක්ෂා කළ විදේශ ගිවි­සුම් සම්බ­න්ධ­යෙන්ද රාජ්‍ය නාය­කයා ලෙස ඔහු විවිධ මැදි­හ­ත්වීම් කළ බවද සඳ­හන් කළ යුතුය. තමන් නාය­ක­ත්වය දරන ආණ්ඩුවේ දූෂිත හා නාස්ති­කාර ක්‍රියා­කා­ර­කම් ඇතුළු මත­භේ­දා­ත්මක සිදු­වීම් විම­ර්ශ­නය කිරීම සඳහා ස්වාධීන කොමි­ෂන් සභා පත් කිරී­මට තරම් ඔහු නිර්භය විය. ඒ වෙනු­වෙන් ආණ්ඩුවේ චෞර කුල­කය ඔහුට සතුරු වී සිටිති.

මෛත්‍රී ජනා­ධි­පති ධුර­යෙන් නික්ම ගියත් සිය සමාජ දේශ­පා­ලන ක්‍රියා­න්වි­තයේ දිග­ටම රැඳී සිටිනු ඇත. ශ්‍රීල­නි­පයේ සභා­පති ලෙස ඔහුට හිමිව තිබෙන වග­කීම් හා දේශ­පා­ලන පැව­රුම්ද බොහෝය. නිවැ­රදි දේශ­පා­ලන දැක්මක් ඔස්සේ මේ රට මෙහෙ­ය­වීමේ අභි­යෝ­ගය ඔහු උර මත දරා සිටියි. ජාතික හා ප්‍රග­ති­ශීලි දේශ­පා­ලන කඳ­වුරේ ඔහුගේ සාධ­නීය මැදි­හත් වීම් හෙට දවසේ සිදු වනු ඇත. අපට, රටට අවශ්‍ය වූ ප්‍රජා­ත­න්ත්‍ර­වාදි ප්‍රති­සං­ස්ක­රණ නිම වී නැත. යහ­පත් උතුම් සාර­ධර්ම මත පද­නම් වූ සමා­ජ­යක් අපට උදා කර­දීම සඳහා මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා විසින් කරන ලද කැප වීම් අප අගය කළ යුතුය. දේශ­පා­ල­නය යනු ගඟක් මෙන් ගලා බසින ගම­නකි. ඒ ගමන අත­ර­මඟ නවා­තැ­න්පො­ළක නතර වන්නක් නොවේ. උත්තර සම­ජ­යක් සඳහා කැප විය හැකි යහ­පත් දේශ­පා­ල­න­ඥ­යන් රටට අව­ශ්‍යය. එය ඒක­පු­ද්ගල හිමි­කා­රි­ත්ව­යක්ද නොවේ. අපට මහාත්ම ගාන්ධි තුමන්, නෙල්සන් මැන්ඩෙලා වැනි විශි­ෂ්ට­යන් මුණ නොගැ­සෙනු ඇත. එහෙත් අපට අපේ කලා­පය තුළ ඒ විශිෂ්ට මිනි­සුන්ගේ ආක­ර්ෂ­ණය ලද මිනි­සුන් ස්වල්ප දෙනෙක් හෝ සිටිති. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාත් ඒ ස්වල්ප දෙනා අතර සිටින බව සඳ­හන් කළ යුතුය.

Comments