ඇපකාරයෝත් ණයකාරයෝත් බේරා ගත් ලක්ෂ 78ට යට නොවූ මිනිසත්කම | සිළුමිණ

ඇපකාරයෝත් ණයකාරයෝත් බේරා ගත් ලක්ෂ 78ට යට නොවූ මිනිසත්කම

- තමන්ම විකිණූ යන්ත්‍ර නිසා ණය උගුලට වැටුණු ගොවීන් බේරාගත් අපූරු ව්‍යාපාරිකයා 
- උපකරණ කැඩෙන්න ගත් පසුයි, චින සමගම කිව්වේ ඒවා ලංකාවේ පරිසරයට සුදුසු නැහැ කියලා 
- මට වගකීමක් නොවුණත් ගොවීන් අමාරුවේ වැටෙද්දී අත පිහදාගෙන පැත්තකට වෙලා ඉන්න මගේ හෘද සාක්ෂිය ඉඩ දුන්නේ නෑ.  
- යන්ත්‍රත් යකඩවලට හරි විකුණලා සල්ලි ගන්න කියලා ගොවීන්ටම දුන්නා. 
- ඉතිරි යන්ත්‍ර දෙක ඉගෙනගන්න දරුවන්ට දෙනවා

ඔහු මිනිසත්බව ඉක්මවා ගිය අපූරු පුද්ගලයෙකි. සිය ව්‍යාපාරික ලෝකයේ මුදල් සෙවීම වෙනුවට ඔහු කළේ මිනිසත්බව එකතු කිරීමකි. මිල මුදල අගයන සමාජයේ ඔහු මුදල තුට්ටුවකටවත් මායිම් කළේ නැත. රුපියල් ලක්ෂ 78 ක් පමණක් නොව රුපියල් 78 ක් වැනි සොච්චම් මුදලත් මහ මෙරක් ලෙස තකන සමාජයේ ඔහු අහිංසක ජීවිත රැසක් ගොඩ දැම්මේ රුපියල් ලක්ෂ 78 තුට්ටුවකටවත් මායිම් නොකරය. ජීවත් වන කෙටි කාලය තුළ හෝ ගුණදම් වපුරන මෙවැනි අපූරු පුද්ගලයින්ගේ මෙවැනි සත්ක්‍රියා හෙළිදරවු කළ යුත්තේ අද මිනිසත්කම මුදලින් වසා ගෙන ඇති නිසාවෙනි.

මාස් කන්නයේ අස්වනු නෙළීමෙන් ජීවිකාව රැක ගන්නා ස්වර්ණලතාත්, ඇය සමඟ තවත් ගොවි ගෙවිලියන් තිදෙනෙකුත් චීනයෙන් ආනයනය කළ නව මාදිලයේ සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍ර (සුනාමි යන්ත්‍ර) මිලට ගත්තේ මීට තෙවසරකට පෙර ය. ඒ අතේ සතේ නැතිව රටට ණයකාරයින් වෙමිණි. බොහෝ අපේක්ෂාවන් පොඳි බැඳ ගෙන මිලට ගත් මේ යන්ත්‍ර නිසා නොසිතු පරිදි ඔවුන්ගේ ජීවිත ප්‍රශ්න වැලකට ඇඳ දැම්මේ දෛවයේ අකාරුණික සරදමකටය.

මේ සිවු දෙනාටම මූහුණ දෙන්නට සිදුවූයේ එකම ආකාරයේ ප්‍රශ්න වැලකට ය. එනම් එම යන්ත්‍ර දෝෂ සහගතවීමෙන් සිදුවූ අවහිරතාවයට ය. මෙම ගොවීන්ගෙන් නිතර ලැබුණු පැමිණිලි ඔස්සේ සිය ගණුදෙනු කරුවන්ගේ විශ්වාසය රැකගැනීම සඳහා භාණ්ඩ මිලට ගත් වීල්මාස්ටර් සමාගමේ අධිපති අමල් පියතිලක මහතා අවස්ථා ගණනාවකදිම ඒවා නිවැරදි කිරීමට වෙහෙසුණත් ඔහුගේ ඒ උත්සාහයද සාර්ථක නොවීය.

ණය කන්දක හිරවුණා

‘‘හිතාගන්න බැරි විදියට මහා ණය ගොඩකයි අපි හිරවෙලා හිටියේ. අස්වැනු නෙළන යන්ත්‍රය ණය වෙලා ගත්තේ ඒකෙන් හරි ජීවිතේ ගොඩදාගන්න පුළුවන්වෙයි කියලා. අපේ කරුමෙට ඒ මැෂිම ගත්තදා ඉඳන් කැඩෙන්න වුණා.

ඒ යන්ත්‍ර ගෙන්වාපු ‘වීල් මාස්ටර්‘ සමාගමේ අයිතිකාර මහත්තයාට කීවාම එයාත් ඇවිත් කීප වරක්ම ඒක හදලා දුන්නා. ඒත් නිතර නිතර කැඩෙන නිසා අපිට ඒකෙන් ගාණක් හම්බකරන්න නෙවෙයි සිදුවුනේ, තවත් ණය වෙවී ඒක හදන්නයි. උපකරණයේ වගකීම් කාලය ඉවර වුණාට පස්සේ අපිට කර කියාගන්න දෙයක් තිබුණේ නෑ. අන්තිමේ රත්‍රන් බඩු පවා උගස් කරලා ණය ගෙවන්න සිදුවුණා. අන්තිමේ අපි හැම පැත්තෙන්ම ණය කන්දකට හිරවුණා.

ජීවිතෙත් එපා වෙන්න ගත්තා. අපේ ඇපකාරයන්ටත් කතා කරලා බැංකුව නඩු මාර්ගයට යන්න ලෑස්ති වුණා. මේ වෙලාවේ භාණ්ඩ මිලට ගත් වීල්මාස්ටර් සමාගමේ අධිපති අමල් පියතිලක මහත්තයා ඇවිත් අපිට පොරොන්දු වුණා, එයාගේ අතින් මුදල් ගෙවලා අපිව නිදහස් කරගන්නවා කියලා. අද ඒක ඉෂ්ට වුණා. දැන් පුදුම සහනයක් දැනේනේ.‘‘ යනුවෙන් කී ඇය මහබුලන්කුලම තිබ්බටුවාගම පදිංචි ආර්.එම්. ස්වර්ණලතා සමත්මියයි.

අවසානයේ තම සමාගමෙන් ආනයනය කළ යන්ත්‍ර දෝෂ සහගත වීමෙන් ගේ දොර ඉඩකඩම් බැංකුවට සින්නවීමට ගිය මෙම ගොවී පිරිස වෙනුවෙන් සිය පොකැට්ටුවෙන් රුපියල් ලක්ෂ 78ක්ම ඔහු ගෙවා මේ ගොවි පිරිස ණයෙන් බේරා ගත්තේය. අමල් පියතිලක නම් වූ මේ අපූරු මිනිසාගේ කතාව අසන්නට ලැබුණේ අනුරාධපුරයෙනි.

යන්ත්‍ර චීනයෙන්

අනුරාධපුර වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති අමල් පියතිලක මහතා සම්මානනීය ව්‍යාපාරිකයෙකි. වාහන සේවා සැපයීම් ඇතුළු ව්‍යාපාර කිහිපයක නියැළි ඒ මහතා මීට වසර කිහිපයකට පෙර සිය සමාගම් ජාලයට අලුත් කළේය.

ඒ කෘෂි උපකරණ හා යන්ත්‍ර සූත්‍ර ආනයනය කිරීමේ අංශය මඟින් සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍ර හයක් චීනයෙන් ආනයනයකිරීමෙනි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ණය ලබාගත් ගොවීන් හතර දෙනෙකු නව මාදිලියේ එම ගොයම් නෙළන යන්ත්‍ර මිලදීගත් අතර ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා එවන ලද එම යන්ත්‍රවල නිසි ප්‍රමිතියක් නොවී ය. අවසානයේ නොසිතූ විරූ ආකාරයෙන් ඇන හිටීම් හා උපාංග බිඳවැටීම් සිදුවූ අතර බලාපොරොත්තු වූ කාර්යයත් ආදායමත් එමඟින් නොලැබුණි. අවසානයේ ණය වු ගොවීන්ගේ ව්‍යාපාර කඩාවැටී බරපතල පාඩුවකට මුහුණ දෙන්නට සිදුවූ අතර බැංකු ණය ගෙවාගත නොහැකිව ඇපයට තැබූ දේපල ද සින්නවීමට ආසන්න විය.

මේ සම්බන්ධයෙන් ගොවින් විවිධ අංශවලට පැමිණිලි කළත් එම යන්ත්‍ර විකුණා අවසන් වූ නිසා ආනයනය කළ සමාගමට ද බැංකුවටද වගකීමක් නොවීය. එහෙත් ගොවීහූ පත්ව සිටි අසීරුව ගැන මානූෂීයව කල්පනා කළ අමල් පියතිලක මහතා මෙම ගොවීන් හතර දෙනාම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට ගෙවිය යුතු එකතුව වන රුපියල් ලක්ෂ 78ක් ඉක්ම වූ මුදල තනියෙන් ගෙවාදමා ගොවීන් ණයෙන් නිදහස් කිරීමට කටයුතු කළේ ය.

ලංකාවට ගැලපෙන්නේ නැහැ

‘‘මම මීට වසර තුනකට පෙර අධිෂ්ඨානයක් කරගෙන තිබුණා අලුතින් ව්‍යාපාර තුනක් එකවර පටන් ගන්නවා කියලා. ඒ අනුව කෘෂි අංශයක් පටන්ගත්තා.

ඒ යටතේ මම චීනයෙන් සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍ර හයක් ආනයනය කළා. ඒවා අලුතින්ම හඳුන්වාදුන් අලුත්ම වර්ග. මේවා මිළදී ගත්තු ගොවීන් වැඩකරගෙන යද්දී කෙටි කලකින්ම දෝෂ ඇතිවෙන්නට පටන් ගත්තා. චීන සමාගමත් එක්ක මේ ගැන කතාකරද්දී ඒ අය කිව්වේ චීනයේ පරිසරයට ගැලපෙන පරිද සකස් කළ නිසා ඒවා ලංකාවට යෝග්‍ය නොවන බව.

මේ අඩුව නිසා ගොවීන් අමාරුවේ වැටුණා. ඔවුන්ට බැංකු ණය නිසි පරිදි ගෙවා ගන්න බැරුව ඉතාම අසරණ වුණා. පස්සේ මම බැංකුවත් එක්ක කතා කරලා ඒ ණය මම ගෙවන්න ඉදිරිපත් වුණා.

ඇත්තටම කීවොත් මේ ගැන මගේ නීත්‍යානුකූලව කිසිම බැඳීමක් නෑ. මම ඒවා විකුණලා අවසන්. නමුත් ගොවීන් අමාරුවේ වැටිලා ඉද්දී මට අත පිහදාගෙන පැත්තකට වෙලා ඉන්න මගේ හෘද සාක්ෂිය ඉඩ දෙන්නේ නෑ. ඒත් මටත් එකවර මේ තරම් මුදලක් ගෙවා ගන්න අමාරුයි. කොහොම වුණත් මට ලැබෙන්න තිබුණු ලොකු ණය මුදලක් ළඟදි ලැබුණා. ඒ මුදල මම එකවර බැංකුවට ගෙවලා ගොවීන් නිදහස් කරා. මෙහෙම දෙයක් කිසිම ව්‍යාපාරිකයෙක් ඉතිහාසයේ කරලා නෑ. මට දරාගන්න බැරි විශාල පාඩුවක්. ඒත් මට මේකෙන් විශාල ආත්ම තෘප්තියක් ලැබුණා. කොච්චර ද කීවොත් මම මේ අයට කීවා මේ යන්ත්‍රයත් මට එපා. ඒකත් යකඩවලට හරි විකුණන්න තියාගන්න කියලා.

මේ අය ව්‍යාපාර අසාර්ථක වෙලා දුක්විඳිද්දී මට මගේ ව්‍යාපාරයෙන් සතුටුවෙන්න හිතක් නෑ. ඔවුන් ගැන මට කණගාටුයි. සමාව ඉල්ලනවා. ඒත් සමාව ගැනීම විතරක් ප්‍රමාණවත් මදි. ඒකයි මෙහෙම කැපවීමක් කළේ.‘‘ එසේ පැවැසුවේ අමල් මහතාය.

සත් ක්‍රියාව

මෙම ණය මුදලේ පොලියෙන් සියයට පනහක් බැංකුව මඟින් දරා ව්‍යාපාරිකයා හා එක්ව ගොවීන් වෙනුවෙන් නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කළ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ උතුරු හා උතුරු මැද ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී ගාමිණි අබේරත්න මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙම සත්ක්‍රියාවත් සමඟ මෙම ගොවින් බැංකු ණය පැහැරහැරිය අය වශයෙන් කිසිසේත් නොසැලකීමට තම ආයතනය කටයුතු කරන බවය.

‘‘මේක කවුරුත් බලාපොරොත්තු නොවුණ තත්ත්වයක්. අපි මේ ණය දුන්නේ සරල කොන්දේසී මත. එත් කාරණා සිද්ධ වුණේ වෙනත් දිශාවකට. අපි නීතිය හරියට ක්‍රියාත්මක කළොත් මෙම ජනතාවට ඉන්න හිටින්න තැනක්වත් නැතුව දේපල හින්න වෙනවා. ඇපකරුවන්ට නඩු පැවරෙනවා. වෙන්න ගිය ලොකු විනාශයක් වළක්වා ගත්තේ මෙම ව්‍යාපාරික මහතා. ඔහුට වගකීමක් නෑ කියා මගහරින්න තිබුණා.

ගොවීන් උසාවි ගියත් නඩුවට පෙනී හිටලා ඔහුට තමන්ගේ පාඩුව බේරාගන්න තිබුණා. මෙහෙම සිද්ධියක් ණය ඉතිහාසයේ අපට කවදාවත් අසන්නට ලැබිලා නෑ. මේ අසීරුවෙන් ගොවීනුත් බැංකුවත් දෙපාර්ශවයම බේරුණේ අමල් මහත්මා කළ කැපකිරීමෙන්. බැංකුවක් හැටියට අපටත් සහන දෙන්න පුළුවන් සීමාවක් තිබෙනවා.

ඒ ව්‍යාපාරික මහත්මයත් එක්ක සාකච්ඡා කරලා ගොවීන් මේ අමාරුවෙන් බේරාගන්න අපිත් රාජ්‍ය බැංකුවක් හැටියට උපකාර ගොඩක් කළා. මේ අයගේ මුළු පොලියෙන් සියයට පනහක් අපි අඩු කළා. බැංකුවත් ලක්ෂ 28කට වඩා පාඩුවක් දරාගත්තා. ඒ සඳහා අපේ ප්‍රධාන කාර්යාලයේ අවසරය ගන්න මම වෙහෙසුණා. නඩු මගට ගියානම් වෙන්න තිබුණු හානි විශාලයි.‘‘යනුවෙන් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ ය.

වැලිඔය නිකවැව පදිංචි ආර්.එම්.තිසර මධුමාල්, මහබුලන්කුලම තිබ්බටුවාව පදිංචි ආර්.එම්.ස්වර්ණලතා, කළුවිල හිදෝගම පදිංචි කාන්ති කුසුමලතා හා ගලෙන්බිදුණුවැව පදිංචි එස්.එස්.ඩබ්ලිව්. වීරසිංහ යන ගොවීන් කියා සිටියේ මෙම ව්‍යාපාරිකයාගේ මානුෂීය මැදිහත්වීම නිසා තමන් මහත් සහනයක් ලැබූ බවයි.

‘‘අපි හිටියට වඩා අගාදයකට වැටුණා. ණය හිරවුණාම රන් බඩුත් උගස් කරන්න වුණා. ආදායමක් නැතුව මෙච්චර ලොකු ණයක් අපට ගෙවාගන්න බැරිවුණා. අපේ ඉඩම් කඩම් බැංකුවට හින්නවෙන්න ගියා. කොහොම වුණත් මේ සමාගමේ අයිතිකාර මහත්තයා අපිට පිහිට වුණා. ඒක එයාගේ වරදක් නෙවෙයි. චින සමාගමේ වරද. ඒත් එයා වන්දි ගෙවලා අපිව නිදහස් කළා. මමත් ඒ වන විට පොළිය හා ණයෙන් කොටසක් ගෙවලා තිබ්බා. දැන් තිබිච්ච ලොකුම බර ඉවරයි‘‘ එසේ පැවැසූවේ වීරසිංහ ගොවි මහතාය.

චීන සමාගමත් වහලා

මේ අතර ව්‍යාපාරික අමල් පියතිලක මහතා මේ පිළිබඳව ගන්නා පියවර පිළිබඳව චීන සමාගමෙන් විමසීමේදි දැන ගන්නට ලැබී ඇත්තේ මෙම යන්ත්‍ර නිෂ්පාදනය කළ සමාගම වසා දමා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම අසීරු කටයුත්තක් බවයි.

‘‘මෙතන පැහැදිලිවයම තාක්ෂණික දෝෂයක් තිබෙනවා. නමුත් ඒ අදාළ සමාගම දැන් නැහැ. වහලා ගිහින්. ඒ ගැන සොයා යාම නිෂ්ඵලයි. මා ගෙනා යන්ත්‍ර හයෙන් ඉතිරි දෙකින් එකක් කාර්මික මහතෙකුට පරිහරණය කරන්න දුන්නා. ගොවීන්ට විකුණු යන්ත්‍ර හතර වැඩ කරද්දී දෝෂ ආව හැම වෙලාවකම ඒවා අලුත්වැඩියාවට ලක් කළා. චැසිය වෙනස් කළා. අලුත් කෑලි සවි කළා. මගේ අංගනයේ ඉතිරිව තිබූ යන්ත්‍රයේ කෑලි මේවාට මාරු කර දුන්නා. දැන් ඉතිරි යන්ත්‍ර ටික මෝටර් කාර්මික ශිල්පය ඉගෙන ගන්නා සිසුන් සිටින අධ්‍යාපන ආයතනයකට පරිත්‍යාග කිරීමට මා බලාපොරොත්තුයි. මේ යන්ත්‍රයේ දෝෂ හැදෑරීමම හොඳ අධ්‍යාපනයක්. ‘‘ යැයි අමල් මහතා පැවසී ය.

ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ආදිය හරහා ඉවක් බවක් නැතිව රටට ඇතුළු වන බාල ප්‍රමිතියේ භාණ්ඩ වලට වැට බැඳිමට අමල් මහතාගේ නිමිත්ත මුල්කරගැනීම පාලකයින්ගේද වගකීමකි.

සරත් මනුල වික්‍රම 
අනුරාධපුර විශේෂ

Comments