ජපන් රටේ මහ ⁣පොළොවෙන් මගේ රටේ දියුණුව දුටිමි | සිළුමිණ

ජපන් රටේ මහ ⁣පොළොවෙන් මගේ රටේ දියුණුව දුටිමි

- ඩෝනට්ස්; කේක් සහ සකේ බීමත් හදලා 
-  බතලවලින් අයිස්ක්‍රීම්

ශ්‍රී ලංකාවට දියුණු වනවා නම් මේ මහ පොළොවත් ප්‍රමාණවත්ය කියා මට සිතුණේ සතියකට ජපාපනයට ගොස් එන්නට ලැබුණු පසුය. ‘දරුවන්ගේ ගැටලු සහ ඒවාට විසඳුම්’ යන මැයෙන් ජපන් - ශ්‍රී ලංකා අධ්‍යාපන උපකාරක සංගමය හමුවේ දෙසුමක් කිරීමට ඒ සංගමයෙන් ආරාධනාවක් ලැබ එහි ගිය පසු, මට රොබට් නොක්ස්ද සිහි විය. ඒ ඔහු අපේ පොළොව ගැනත්, අප ගැනත් ලියා ඇති සටහනක් නිසාය. ඔහු ඒ සටහනෙන් අදහස් කර තිබුණේ මෙවැන්නකි.

“ශ්‍රී ලංකා පොළොවේ වැටෙන වැ⁣ටෙන තැන බීජ පැළ වෙයි. එබැවින් මේ රටේ මිනිස්සු බඩගින්නේ නොසි⁣ටිති.ලෝකයේ කොහෙන්වත් කිසිවක් නොගෙන්වා ස්වයංපෝෂිත වෙන්නට ඔවුන්ට පුළුවන.”

මේ කතාව සත්‍යයක් යැයි සිතුණ වාර අනන්තය. එහෙත් රොබට් නොක්ස් දැන් සිටියා නම්, ⁣රටේ නොදියුණුවට තවත් හේතු කියනු ඇත. රොබට් නොක්ස් ගැන ලිවීම පසුවට තබා ජපානය ගැන ලියන්න පටන් ගන්නෙමි.

මීට වසර ගණනාවකට පෙර එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා කියවා සිහිනයෙන් මෙන් ජපානයට ගිය මම හැබැහින් එහි ගිය පසු ඔහු ලියූ දේවල් තිබේදැයි විමසිලිමත් වුණෙමි. තප්පරයකුදු අපතේ නොයවා, මගේ රටට ගෙන එන්නට පුළුවන් මොනවාදැයි සොයාගැනීම මගේ ප්‍රධාන අරමුණ විය.

ඔකිනවා ගුවන් තොටුපොළින් නික්ම නවාතැනට එන තෙක් වාහන කිසිවක නළා හඬක් මට නෑසිණි. වාහනවලින් දුම් පොදක් හෝ පිට නොවුණි. අප නිවෙස පිහිටි වීදියේ වවා තිබූ තුරු බඳ වට කර බදා සිටියෝ ඕකිඩ් ලලනාවෝය. එකී දර්ශනයෙන් වශීකෘත වූ මට ඊළඟට මතු වූ ගැ⁣ටලුව යොමු කළේ අප කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරිනිය මෙන්ම පරිවර්තන කාර්යය ඉටු කළ තිලකා පියසීලි මහත්මිය වෙතය.

“මිනිස්සු මේ මල් පැළ හොරෙන් ගලවාගෙන යන්නේ නැද්ද?”

“අපෝ නෑ! කවදාවත් කවුරුත් මේ පැළ ගලවාගෙන යන්නෙ නෑ. මොකද, ජපන් වැසියන් බොහොම කාර්යබහුලයි. ඒ අය කඩිසරව හුඟක් වැඩ කරනවා. මේ මල් වවලා තියෙන්නේ එයාලගේ මනස සතුටු කරන්න. ⁣පාරේ යන කොට දන්නෙම නැතිව එයාලගේ මනස හැදෙනවා. ඉතිං කවුරුත් මේ මල් ගලවන්නේ නෑ.”

අප සිටියේ නිවාස සංකීර්ණයකය. තට්ටු ගණනාවකින් යුතු ඒ සංකීර්ණයේ විවිධ රටවලින් පැමිණි සංචාරකයෝද ජපන් ජාතිකයෝද නැවතී සිටියහ. කිසිදිනෙක දැක නැති වුවද උදේ-හවා මුණගැසෙන විට ඔවුහු අපට සුබ පැතූහ. මා එහිදී සැලකිලිමත් වූයේ කසළ ප්‍රශ්නයට ඔවුන් දෙන විසඳුම පිළිබඳය. අපේ රටේ මෙන්ම ඔවුහුද වෙන වෙනම කසළ එකතු කළ අතර, මට මතක් වුණේ මා සැමදා දුම්රියට ගොඩ වන දුම්රිය ස්ථානයයි. එහිද කසළ එකතු කිරීමට වෙන වෙනම භාජන තුනක් ඇත. එහෙත් සැමදා උදෑසන වේදිකාව අසලම තණකොළ ගොල්ලේ මා දකින්නේ දවස පුරා එක්රැස් වූ කසළ එකම ගොඩකට වැටී ඇති බවය. එහි කඩදාසි, පොලිතින්, ප්ලාස්ටික්, ඉඳුල් මෙන්ම බියර් ටින් හා අරක්කු බෝතල්ද ඇත. සියලු වර්ගයේ අපද්‍රව්‍ය එකම ගොඩකට වැටී ගිනි ගෙන ඇති අතර දහනය වීමට නොහැකි වීදුරු බෝතල් පුපුරා ගොස්, වීදුරු කටු බවට පත්ව තිබේ. යම් හෙයකින් වැරදීමකින් හෝ මඟියකු ඒ මතට වැටුණොත් වඩා අනතුරු වන්නේ බෝතල් කටු ඇනීමෙන්ය. දුම්රිය ස්ථාන බලධාරීන් මේ බෝතල් බෝතල්-පත්තර වෙළෙන්දකුට හෝ නොදෙන්නේ ඇයිද යන්න ගැන මට දැනෙන්නේ මහත් විමතියකි.

කුණු කඳුවලට යට වී මිනිසුන්ද මියගිය මගේ රටට ජපානයේ කසළ කළමනාකරණයෙන් ගත හැකි ආදර්ශ මොනවාදැයි මම සැලකිලිමත් වුණෙමි.

“පොලිතින්, ප්ලාස්ටික් කසළවලින් ජපානය බලශක්තිය නිෂ්පාදනය කරනවා. ඒ නිසා කොයි වෙලාවකවත් කසළ රටට ගැටලුවක් කරගන්නේ නැහැ.”

මා සමඟ එලෙස පැවසුවේ ජපානයේදී අපේ කණ්ඩායමට එකතු වූ ජනනි දියණයයි. ඇය තෝක්යෝහි විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුවියකි.

වරක් අප දුම්රියේ ගමන් ගන්නා විට අප සමඟ මිත්‍ර වූ ජපන් සීයා කෙනකු තමා කමින් සිටි ආහාරයක් අප සමඟ බෙදාගත්තේය. ඒ ආහාරය සාදා තිබුණේ අපේ රටේ ගොවියන්ට විකුණාගැනීමට අසීරු, ඇතැම් විටෙක කැලයට වීසි කර දමන වට්ටක්කාවලිනි. ජපානයේ කිසිවකු කිසිවක් විසි කරන්නේ නැත; නාස්ති කරන්නේද නැත. රටේ වැවෙන හැම දෙයක්ම ඔවුන්ට අගනා සම්පතකි.

සැබැවින්ම මා විස්මයට පත් ක⁣රනු ලැබුවේ වට්ටක්කාවලින් නොව; රාජල, දන්දිල වැනි අල-බතල වර්ග විසිනි. අපට දියුණු වනවා නම්, මේ මහ පොළොවත් ඇතැයි මට සිතුණේ බතලවලින් නිෂ්පාදනය කරන ආහාර වර්ග දුටු පසුය. අප ජපානයේ ගත කළ සතියෙන් දින හයක් වෙන්ව තිබුණේ අධ්‍යාපනය සම්බන්ධ වැඩක⁣ටයුතුවලටය. එක් දිනක් විවිධ ස්ථාන නැරඹීමට වෙන්ව තිබිණි. ඉන් ස්ථානයක් වූයේ බිස්කට් සමාගමකි. බිස්කට් හදන සමාගමක් බැලීමට යන බව කියවුණද එහි වි⁣ශේෂත්වයක් කියවුණේ නැත. එහෙත් එය කොතරම් විශේෂද යන්න වැටහුණේ එය නරඹන අත⁣⁣රේය. සැබවින්ම ජපන් සංචාරයේදී මා වඩාත් විමතියට පත් වූයේ මෙහිදීය. එහි බිස්කට් තැනීමට යොදාගත්තේ තිරිඟු පිටි වෙනුවට බතල පිටිය. එය තවත් විස්තරාත්මකව කියනවා නම් කහ බතල, දම් බතල, දන්දිල වැනි අල-බතල වර්ගය. ඒවායින් සාදා තිබුණේ මොනවාදැයි මගෙන් නොඅසන්න. ඒවායින් සාදා නොතිබුණේ මොනවාදැයි අසන්න. අල-බතලවලින් සැදූ විවිධ රසැති කුකීස් වර්ග, ටොෆී හා කේක් වර්ග එහි තිබිණි. ඒවා විවිධ හැඩයෙන් නෙත්, සිත් පිනවන අයුරින් අසුරා තිබිණි. කෑම වර්ග නම් මැදෑ... බීම වර්ගද එහි තිබිණි. ඒවා නම් ජපන් ජාතිකයන්ගේ ලෝක ප්‍රසිද්ධ සකේ පානයය. පාන් පිටි වෙනුවට, බතල, දන්දිල පිටි මිල දී ගැනීමටත් එහි තිබිණි.

අප රැගත් බස් රිය සංචාරකයන්ට යම් යම් දේ මිලයට ගැනීමට ඇති වෙළෙඳපොළක නතර කළේ විශේෂයෙන්ම අපට අයිස්ක්‍රීම් කෑමටය. දෙනෙත් යළිත් විස්මයට පත් වූයේ එහි වූ අයිස්ක්‍රීම් දැන්වීම් පුවරුව දුටු විටය. කහ බතල, දම් බතල, දන්දිලවලින්ද තවත් දේවල්වලින්ද තැනූ අයිස්ක්‍රීම් වර්ග එහි විය. මගේ රටේද තිබෙන අල-බතලවලින් ජපානය අයිස්ක්‍රීම් සාදා තිබෙන අයුරු දුටු මගේ සතුට ඉහවහා ගියේය. මේ ආරංචිය මගේ රටේ දේශීය ආහාර නිෂ්පාදකයන්ට දැන්වීමේ හදිසියක් මගේ සිතේ නළියන්නට විය. අප ගිය තවත් අවන්හලක තිබූ දෑ නිසා මා නැවත විමතියට පත් විය. එහි වූයේ දන්දිල ⁣ඩෝනට්ස් සහ ජූස් වර්ගය. එතැනින් නොනැවතී රාජල හැලපද විය. මේ අල-බතලවලින් මා ‘දුටු’ ආහාර පමණි. තව ඕනෑ තරම් ආහාර මේ අල-බතලවලින් තනාගැනීමට ජපන්නු හපන්නු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අපේ රටේද කොස්වලින් විවිධ නිෂ්පාදන කර ඇති බව අපි දනිමු. ඒවා තව දුරටත් අප අතරට සීමා නොවී ලෝකයටද යා යුතුය. කොස්-දෙල්වලින් මෙන්ම අල-බතලවලින්ද අපට කළ හැකි දෑ බොහෝය.

ජපන් රටෙන් අපට උගත හැකි දෑ බොහෝය. රටට ආදරයක් ඇති පාලකයන්ට මෙන්ම ජනතාවටද ඒ ආදර්ශවලින් අපේ රටේ දියුණුවට මඟ පාදාගත හැකිය. ඕනෑම රටකින් හොඳ දේ උකහාගැනීම වරදක් නොවේ. එය අපේ දියුණුවට හේතුවකි. ශ්‍රී ලංකාව දෙස බලා දියුණු විය යුතු යැයි සිංගප්පූරුවේ ලී ක්වාන් යූ පැවසුවේ ඇයිද යන්න පිළිබඳ අප වහ වහා සිතිය යුතුය. එසේ කියූ සිංගප්පූරුව දියුණු විය. ඒ වෙනුවට අප කාලයක් තිස්සේ පවසන්නේ සිංගප්පූරුව මෙන් දියුණු විය යුතු බවය! එහෙත් අප නම් පවසන්නේ ලංකාවට ‘ලංකාව ලෙසම’ දියුණු විය හැකි බවයි. ඊට අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් පමණි.

සුමේධා නවරත්න

Comments