සමඟි බලවේගයේ පිරිසක් රනිල්ට කුඩ අල්ලති | සිළුමිණ

සමඟි බලවේගයේ පිරිසක් රනිල්ට කුඩ අල්ලති

නාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට ඉකුත් සතියද කාර්ය බහුල විය. දිනපතා උදේ හවස විවිධ කණ්ඩායම් හමු වී ඔවුන් ගේ ගැටලු සාකච්ඡා කර ඒවාට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය කාගේත් ප්‍රසාදයට ලක්ව ඇත. තම කුසලතාවන්ගෙන් ලෝකයම හිනස්වන රංගන ශිල්පීන් ඇතුළු මෙරට කලාකරුවන් පීඩාවට පත් කරන ගැටලුවලට ඇහුම්කන් දෙන්නට ජනාපතිවරයා ඉකුත් 1වනදා පැය දෙකක් පමණ යොදා ගෙන තිබුණි. කලාකරුවන් තම තමන්ට බලපාන පොදු හා පෞද්ගලික ගැටලු කතා කරන අතරතුර මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කෙළේය. " සර් සෞන්දර්ය විෂය දැනට උගන්වන්නේ ඉහළ පන්තිවලට විතරයි. මේ විෂය පහළම පන්තියේ ඉදලා ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට ඒ ඒ විෂය නිර්දේශයන්ට ඇතුළත් කළොත් හොඳයි."

 

"ආ ඔව් ඒක හොඳ යෝජනාවක්. දැන් අපි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න තොරතුරු රැස් කරමින් ඉන්නේ. ජාතික අධ්‍යාපන ආයතනයටත් මේ යෝජනාව ඉදිරිපත් කරල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදන කමිටුවටත් දෙමු." ජනාධිපතිවරයා කීවේය.

" චිත්‍රපට නරඹන්න එන එකම පවුලේ අයටත් දුරස්ථභාවය රැක ගන්න කියල පවුල් ජිවිතත් කඩා කප්පල වෙන්නත් පුළුවන් " ශ්‍රියන්ත මෙන්ඩිස් කලාකරුවා කියද්දී සැවොම සිනා විය." නෑ එහෙම වෙන්න බෑ; අපේ රජය හැමවිටම උත්සාහ කරන්නේ පවුල් එකතු කරල ඔවුන්ට සතුටින් ඉන්න පහසුකම් සලසන එකයි නේද ඩොක්ටර්" කියමින් ජනාධිපති විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ දෙස බැලුවේය.

ටියුෂන් ගුරුවරුන්ද ඉකුත් සතියේ ජනාධිපතිවරයා හමුවී ඔවුන් මුහුණ දෙන ගැටලු කීපයක්ම සාකච්ඡා කළහ."සර් ටියුෂන් ගුරුවරුන්ට ඔවුන් ගේ ප්‍රශ්න කතා කරන්න රාජ්‍ය නායකයා හමුවෙන්න මීට කලින් අවස්ථාව ලැබිල නෑ.

මේ අවස්ථාව අපිට ලබාදීම ගැන ඔබතුමාට කෘතඥ වෙනවා. ගුරු නියෝජිතයකු කතාව ආරම්භ කළේ එසේය. "සර් අ. පො. ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ළමුන්ගේ විෂය නිර්දේශ ආවරණය කරන්න පෞද්ගලික පන්තිවල ළමුන් සංඛ්‍යාව 500 ක් දක්වා වැඩි කර ගන්න ඉඩ දෙන්න කියලයි අපි ඉල්ලන්නෙ."

එකවර ළමුන් 500 ක් පෞද්ගලික පන්ති වලට ඇතුළු කර ගැනීම අනතුරුදායකයි. එහෙම නම් ළමුන් 250ක පළමු කණ්ඩායම පන්තියට ඇතුළු කරලා ඊට පැය භාගයකට පසුව අනෙක් 250 කණ්ඩායම ඇතුළත් කරගන්න පුළුවන් නම් හොඳයි" ජනාධිපතිවරයා කීවේය."

ඔව් සර් එහෙම හොඳයි; අපි පුර්ණ වශයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඒ ආකාරයට කටයුතු කරන්න එකඟ වෙනවා" ගුරුවරු කීවෝය. සතියේ ඉරිදා දිනවල උසස් පෙළ සිසුන් සදහා පමණක් පෞද්ගලික පන්ති පැවැත්වීමටත් පෝදා පන්ති නොපැවැත්වීමටත් ටියුෂන් ගුරුවරුන් මෙහිදි එකඟ වී තිබේ.

දෙමළ මාධ්‍යවේදීන් අගමැති මහින්ද රාජපක්ෂ හමු වුයේ ජුලි පළවැනිදාය. යාපනයේ සිට පැමිණි දෙමළ මාධ්‍ය සඟයන් අගමැතිවරයාට යාපනය කරතකොලොම්බන් අඹ පාර්සලයක් ද රැගෙනවිත් තිබුණි." යාපනයේ ඉඳල ගෙනල්ලත් අපි අඹ කෑවේ නැත්නම් මෙයාල තරහ වෙයි" කියු අගමැතිවරයා කාර්යාල සේවකයකුට කතා කර "මේකෙන් අඹ ගෙඩි දෙක තුනක් කපා ගෙන අරන් එන්නකො" යැයි කීවේය. යාපනයේ අඹවල රස බලන ගමන් ඔහු මාධ්‍ය සඟයන් සමඟ සුහද පිළිසඳරක යෙදුණේය." දකුණේ මාධ්‍යවේදීන් උතුරේ තොරතුරු ලියනවා; උතුරේ මාධ්‍යවේදීන් දකුණේ තොරතුරු ලියනවා; ඒ වුණත් ඔය දෙගොල්ලො අතරේ සමීප සබඳතාවක් නෑ. ඒක ඇති කර ගන්න ඕනේ අගමැතිවරයා කීවේය.

" සර් මම අවුරුදු පනහක් පත්‍රවලට ලියනවා. අපිට දියුණු තාක්ෂණය භාවිත කරන්න පහසුකම් නෑ. " එක් මාධ්‍යවේදියකු සිය අපහසුතාව අගමැතිවරයාට කීවේය. "බන්ධුල මේ ඉල්ලීම ගැන බලලා මේ අයට උදව් කළොත් හොඳයි" අගමැතිවරයා එහි පැමිණ සිටි ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන දෙසට හැරෙමින් කීවේය.

කොරෝනා හේතුවෙන් සාම්ප්‍රදායිකව ජන රැලි පැවැත්වීම සීමා කිරීමට සිදුව තිබෙන හෙයින් නව තාක්ෂණය හරහා දුරස්ථභාවය රැකගෙන තම මැතිවරණ මෙහෙයුම ජනතාව අතරට ගෙන යාමේ එ.ජා.ප ක්‍රමවේදය පසුගියදා සිරිකොතේදී පැවැත්වූවේ ඩිජිටල් ක්‍රමය හරහාය. රටපුරා රැලි සියයකට ආසන්න සංඛ්‍යාවක් ඒ හරහා ඇමතීමට නායකයාගේ උපදෙස් පරිදි කටයුතු සිදු කෙරිණි. "මෙකේ අඩුපාඩු බලලා ඒවත් හදාගෙන මේ ක්‍රමය ඉදිරියටම ගෙන යනවා. ඒ වගේම සාමාන්‍ය ක්‍රමවේදයටත් අපි අනුගත වෙනවා. එහි දෙවන අදියර ලෙස මැද කොළඹ ඉලක්ක කොට මීළග මෙහෙයුම සුදානම්." එ.ජා.ප නායකයාගේ ස්ථාවරය එය විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට ඉකුත් සතිය පුරාවට ලැබුණු පැමිණිලි අතරින් එක් පැමිණිල්ලක් වූයේ මැතිවරණ වේදිකාවල ඔහුගේ විශාල ප්‍රමාණයේ ඡායාරූප ප්‍රදර්ශනය කරන බවය. ඔහුගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකරන ලෙස ඔහු මීට කලින්ද දැනුම් දී තිබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරට කතා කර උපදෙස් දුන්නේ මැතිවරණ වේදිකාවල හෝ මැතිවරණ කාර්යාලවල ඔහුගේ රුව සහිත කිසිවක් ප්‍රදර්ශනය නොකරන ලෙස අදාළ අංශවලට දැනුම් දෙන ලෙසය. එමෙන්ම ආරක්ෂක අංශවල හා රාජ්‍ය ආයතනවල කිසිදු නිලධාරියකු හෝ සේවකයකු දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවිය යුතු බව දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා සිය ලේකම්වරයාට උපදෙස් දුන්නේ ඉකුත් බදාදාය. ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියටද පිටපත් සහිතව සියලුම ආණ්ඩුකාරවරුන්ට, අමාත්‍යංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍රධානීන්ටද ජනාධිපතිවරයා ගේ උපදෙස් ලිඛිතව දැනුම් දීමට පි. බී. ජයසුන්දර පියවර ගෙන තිබුණි.

සමගි ජන බලවේගයට අයත් ප්‍රබලයන් ඇතුළු කිහිප දෙනෙක් එ.ජා.ප නායකයා සමග රහසේ ගනුදෙනු කිරිම පිළිබඳවද වාර්තා වෙමින් තිබේ. ඉන් එක් අයෙක් රවි කරුණානායක සමඟ සාකච්ඡා කළ බවට ද වාර්තා පළ විණි.

"රවිත් එක්ක කවුරු කතා කළා ද මම දන්නේ නැහැ. හැබැයි මාත් එක්කත් කිහිප දෙනෙක් කතා කරනවා." ඒ ගැන විමසු අයට නායකයා කීවේය.

මෙම ජනපති හා රජය පත් වී මාස කිහිපයක් යන්නට පෙර ශිෂ්‍යයන්, කම්කරුවන්, සෞඛ්‍ය අංශ ඇතුළු විවිධ කණ්ඩායම් විරෝධතා ආරම්භ කිරීම නව පාලකයන් මුහුණ දුන් නොසිතූ අභියෝගයක් වී තිබේ. එහි අලුත්ම විරෝධතාව කොළඹ වරායේ නැගෙනහිර පර්යාන්තයට සවි කිරිමට ගෙනා දොඹකර 3 ක් ගොඩ නොබෑමට ආණ්ඩුව තීන්දු කිරීමට එරෙහිව එහි කම්කරුවන්ගේ නැඟී සිටීමය.

බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා මිත්‍ර ශීලීව සිය මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන ආකාරය ගැන ඉකුත් සතියේ දැඩි කතාබහක් ඇති වී තිබුණේ ඉකුත් සතියේ සිනමා හල්වල ප්‍රදර්ශනයට එක් වු "ද නිව්ස් පේපර්" චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ජනාධිපති අගමැති දෙපලටද ආරාධනා කර තිබීමත් සමඟය. කොළඹ one galleface PVR සිනමා ශාලාවේදී ඉකුත් සඳුදා පස්වරුවේ මේ මංගල ප්‍රදර්ශනය පැවැත්විණ. මේ චිත්‍රපටය කොරෝනා වසංගතය පාලනයට දායක වු ආරක්ෂක අංශවල අයටත්, සෞඛ්‍ය අංශවල අයටත්, මාධ්‍යවේදීන්ටත් ඔවුන්ගේ හැඳුනුම්පත් භාවිත කර එක් වරක් නොමිලේ නැරඹීමටද අවස්ථාව සලසා දී ඇත.

එල්.ටි.ටි.ඊ ය ට උපාය මාර්ගිකව ආර්.ප්‍රේමදාස යුගයේ අවි හා වෙනත් පහසුකම් ලබාදීම පිළිබඳව ජයවික්‍රම පෙරේරා කළ හෙළිදරව්ව දෙඹරයට ගල් ගැසීමක් විය. තම පියා එදා කළ දේ ගැන ඔහු ගේ පුතා අද කියන්නෙ මොනවද කියල ජනතාව ප්‍රශ්න කරන බවද ජයවික්‍රම පෙරේරා කීවේය.

ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ ඉතා කාර්යබහුල වී සිටියේ දිස්ත්‍රික්කයේ සියලු ආසන බල මණ්ඩලවල සාමාජිකයන් කැඳවා තිබුණ නිසාය. ඒ බලමණ්ඩලවලදී ඔහු ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය." මෛත්‍රී ගෑවුණු එක්කෙනෙකුටවත් ඡන්දය දෙන්න එපා " ඔහු කීවේය. මේ ප්‍රකාශය දෙබරයට ගල් ගැසීමක් වුණේ ශ්‍රීලනිප පාර්ශ්වය ඊට උත්තර බඳින්න වීමත් සමඟය. මුලින්ම ඊට උත්තර බැන්දේ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරිය. ඔහු කීවේ ප්‍රසන්න එජාපයේ කොන්ත්‍රාත් එකක් කරන බවය. ගිය තරම් ප්‍රසන්නට මෙවර ගම්පහින් ඡන්දය හම්බවෙන්නේ නැතැයි ද දයාසිරි කීවේය. මහින්ද අමරවීර ද ප්‍රසන්නට උත්තර දුන්නේය. ඔහු කීවේ අපිට දොස් කීමෙන් ජනපතිට තුනෙන් දෙකේ බලයක රජයක් පිහිටුවීමේ අවස්ථාව අහිමි කිරීමට ප්‍රසන්නලා කටයුතු කරන බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායක හමුව පසුගිය අඟහරුවාදා ( 30 ) දහවල් ජී.එල් ගේ නිවසේ රැස්වන්නේ මෙවැනි පසුබිමක් තුළය. මේ පක්ෂ නායක රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද එක්ව සිටියේය. ප්‍රසන්න , උදය, ඩිව්, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර යන මහත්වරු ද ඊට එක්ව සිටියහ. රැස්වීමට පෙර ලොකුගේ ප්‍රසන්නගෙන් ඇසුවේ ප්‍රසන්නගේ මෛත්‍රී විරෝධය ගැනය.

" ඔයා දෙනවා නේද සැරටම.. මම දැක්කා මෛත්‍රීව සැරටම විවේචනය කරනවා. " ලොකුගේ කීවේය.

" ඔව් ඇමතිතුමා. මට නම් මිනිහව පෙන්න බෑ. පුළුවන් තරම් රටට වින කරලා දැන් එනවා සුදනා වෙන්න. " ප්‍රසන්න කීවේය.

" ඇත්තටම මොකද ඔච්චර මෛත්‍රී එක්ක තරහා " ලොකුගේ ඇසුවේය.

" මට ශ්‍රී ලංකා එකත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. මට ප්‍රශ්නය තියෙන්නේ මෛත්‍රී එක්ක. පසුගිය අවුරුදු හතරහමාරේ රනිල්ලා සජිත්ලා එක්ක එකතු වෙලා මේ රට විනාශ කළා. අපෙන් කොච්චර පලිගත්තද ? මගේ පෞද්ගලික මතය තමයි මම කියන්නේ. මම ඒක අදත් කියනවා හෙටත් කියනවා. රට පුරාම ගිහින් කියනවා මෛත්‍රීට ගෑවුණු කාටවත් ඡන්දය දෙන්න එපා කියලා. " ප්‍රසන්න දැඩිව කීවේය.

ඇමති ප්‍රසන්න පසුගිය සතියේ අගමැති මහින්දට දුරකථන ඇමතුමක් දුන්නේය. ඒ සමෘද්ධි ප්‍රතිලාභීන්ට ලබාගත් ණය මුලදලට අදාළව සහන නොලැබීම ගැනය. කොරෝනා වලින් ණය වාරික කිහිපයක් එකවර ගෙවීමට සිදුවීම නිසා මේ ගැටලුව පැන නැගී තිබිණි.

" සර් මේ ගැන බලන්න. සමෘද්ධි අය ලොකු ගැටලුවක ඉන්නේ " ප්‍රසන්න කීවේය.

" ඔව් ප්‍රසන්න මටත් මේ ගැන ආරංචි. මම පවිත්‍රා ඇමතිතුමියටත් කිව්වා මේ ගැන බලන්න කියලා. අපි ඉක්මනින් ඕක විසඳමු. " මහින්ද කීවේය.

පසුගිය බදාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. ජනපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද ඒ මොහොතේම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපති ලේකම්ට කිවේය. ඒ අනුව එදිනම සවස් වනවිට ඒ සම්බන්ධ චක්‍ර ලේඛයද නිකුත් කෙරිණි. පසුගිය සතියේ වත්තල ආසනයේ පැවැති මධ්‍යම සංවිධාන රැස්වීමට ගිය ඇමති ප්‍රසන්න තවත් හෙළිදරව්වක් කළේය. ඒ ඇමති නිමල් ලන්සා පිළිබඳවය.

"ලන්සා යහපාලන ආණ්ඩුවේ හිටිය බව කියමින් සමහරු මඩ ප්‍රචාරයක් ගෙනියනවා. ලන්සාව යහපාලන ආණ්ඩුවට යැව්වේ අපි. ලන්සා එවලේ කළේ අපි කියපු දේ " ප්‍රසන්න කීවේ රැස්ව සිටි පිරිසගේ අත්පොළසන් මැදය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ලංකාවේ සියලුම මැතිවරණ කොට්ඨාශවලට ගොස් මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලට සහභාගී වන්නේ දිවා රෑ නොබලමිනි. රැස්වීම්වලට සහභාගී වන අතරවාරයේදී ජාතික මැතිවරණ ව්‍යාපාරය ගැනත් අවධානය යොමු කරන ඔහුට පසුගිය සතියේදී තවත් විශේෂ කටයුත්තක් යෙදී තිබුණේය. ඒ කාදිනල්තුමන් සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරයා කළ ප්‍රකාශය ගැන කටයුතු කිරීමය. ඔහු කාදිනල්තුමන්ට දුරකතන ඇමතුමක් දුන්නේය. ඒ හරීන් සමඟ ගොස් කාදිනල්තුමන් හමුවීමටය. කවදත් සජිත් සමඟ හොඳ සම්බන්ධයක් තිබුණ නිසාම කාදිනල්තුමා කීවේ පැමිණ හමුවන ලෙසය.

ඉන් පසුව සජිත් හරීන්ට දුරකතන ඇමතුමක් ගත්තේය."මාත් එක්ක ගමනක් යන්න තියෙනවා. කාදිනල්තුමා හමුවෙන්න" සජිත් කී විට හරීන් තරමක් විමතිය පත්විය. උදෑසන හතයි තිහ වන විටම ඔවුන් දෙදෙනා කාදිනල්තුමා හමුවට ගියෝය. කාදිනල්තුමා ඔවුන් පිළිගත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දේවස්ථාන යළි ගොඩ නැංවීමට සජිත් දැක්වූ දායකත්වයත් සිහිපත් කරමින්ය.

"මම තනියම නෙමෙයි ආවේ. තවත් කෙනෙක් එක්කගෙනයි" සජිත්, හරීන් කාදිනල්තුමා අසලට කැඳවාගෙන යමින් කීවේය.

"හරින් කියන්නේ දක්ෂ තරුණ දේශපාලඥයෙක්. දැක්මක් තියෙන අයෙක්. අත්වැරැද්දක් වුණාම කතා කරලා ඒ වරද හදාගන්න අවශ්‍යයි"සජිත් කාදිනල්තුමාට කීවේය.

"ඒ දවස්වල වුණ දේ ගැන අපි කණගාටු වෙනවා. මේවා නැවත නොවීමට වග බලාගත යුතුයි"කාදිනල්තුමා කීවේ සුහදත්වයේ දෑත් දිගුකරමින්ය.

"කාදිනල්තුමනි, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ දරුවන්ට ඉස්කෝලේ යන්නත් බැරි වුණා. මට පුදුම වේදනාවක් අත්වුණේ" හරින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඇතිවූ තත්වයන් ගැන කාදිනල්තුමන් දැනුවත් කළේ සංවේදී වෙමිනි.

"ඔබතුමා පසුගිය දවසේ කියපු දේ මම බැලුවා. මම ඒකට සමාව දෙනවා" කාදිනල්තුමන්, හරීන් කළ ප්‍රකාශයට සමාව දුන්නේ එලෙසය.

සජිත් ඉකුත් සතියේ කොළඹ දිස්ත්‍රික්කයේ සමගිජන බලවේගයේ අපේක්ෂකයින් හමු වුණේ දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගතිය ගැන සාකච්ඡා කරන්නටය.

"මම ලංකාව පුරාම තියෙන මැතිවරණ කොට්ඨාශවලට ගොස් රැස්වීම් පවත්වනවා. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා පුද්ගලිකව මැදිහත්වීමට ලැබෙන ඉඩ අඩුයි. මම වෙනුවෙන් හැමෝම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කරගෙන යන්න. රටෙන්ම සමගි ජන බලවේගය දිනවන මෙහෙයුමට මම දායක වෙන නිසා කොළඹින් මම ජයග්‍රහණය කරවීමේ වගකීම ඔබතුමන්ලා බාරගන්න" සජිත් උපදෙස් දුන්නේය.

"එක්සත් ජාතික පක්ෂයේ අය අපේ අය ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනවා" අපේක්ෂකයෝ කීවේ තමන්ට මුහුණ දීමට සිදුව ඇති අභියෝග ගැනය.

"එක්සත් ජාතික පක්ෂය අපේ සතුරා නෙමෙයි. අපේ සතුරා වෙන්නේ ආණ්ඩුව. අපිට අවශ්‍ය ආණ්ඩුව පරාජය කරලා සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීමටයි" සජිත් පැහැදිලි කරන්න විය.

සජිත් පසුගිය සතියේ සිටියේ උතුරේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන්වලට සහභාගී වෙමිනි. පසුගිය ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණට සහාය ලබාදුන් උතුරේ බොහෝ දෙනා සජිත්ගේ සහායට පැමිණ සිටියහ. ඔහු කොළඹින් පිට සිටියත් සෑම දිනකම රාත්‍රියේ පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, හරින් ප්‍රනාන්දු ඇතුළු මැතිරවණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරමින් ප්‍රගතිය ගැන සෙවීමට අමතක කළේ නැත.

පාඨලී ගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ අවස්ථාවේ ආරාධිතයා වශයෙන් සහභාගී වූයේද සජිත්ය. චම්පික රක්ෂිත බන්ධනාගාරගතව සිටි දිනවලදී සැමදා උදෑසන ගොස් සජිත් ඔහුගේ සුවදුක් විමසූ ආකාරය ගැන චම්පික කීවේ අනෙක් අයද සංවේදී කරවමිනි.

"මම හිරේ හිටපු දවස්වල හැමදාම උදේ ඇවිත් මගේ සුවදුක් විමසලා ගියා. ළඟ ඥාතියෙක්වත් මේ විදියට කරන්නේ නෑ" චම්පික කියන විට රාජිත සිරගතව සිටින විටදීත් සජිත් මේ ආකාරයෙන්ම ඔහු තනි නොකළ ආකාරය සිහිපත් කළේ ළඟ සිටි අයකු සමඟය.

බ්‍රහස්පතින්දා උදෑසන සමගි ජන බලවේයේ මාධ්‍ය කමිටුව රැස්වූ අවස්ථාවේදී කාගේත් අවධානය යොමුවුයේ කුමාර සංගක්කාරගෙන් ප්‍රශ්න කිරීමට ඇති සූදානම ගැනය.

"අපේ ක්‍රීඩකයෝ අපි ආරක්ෂා කරගන්න ඕන. මැතිවරණයෙන් වාසියක් ගන්න බලාගෙන ක්‍රිකට් කණ්ඩායම පාවා දීපු ආණ්ඩුවේ ඇමැතිවරු දැන් ක්‍රීඩකයන්ට හිරිහැර කරන්න පටන් අරගෙන තියෙනවා. ඊයෙත් ක්‍රීඩකයෝ ගෙන්වලා ප්‍රශ්න කරලා. අදත් ගෙන්වනවා" හරීන් කීවේ ක්‍රීඩා ඇමැතිවරයා ලෙස ඔහු කටයුතු කළ කාලයේදී ක්‍රීඩකයන් ආරක්ෂා කළ හැටි ගැන සිහිපත් කරමින්ය. "අපි මේකට වහාම ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. අදම අපි සිවිල් සංවිධාන එකතු කරගෙන විරෝධතාවයක් කරමු" ශිරාල් ලක්තිලක යෝජනා කළේය. ඒ අනුව සිවිල් සංවිධාන එක් කරගෙන බ්‍රහස්පතින්දා සවසම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරියේ විරෝධතාවක් සංවිධානය කළේ සංගා රැකගනිමු සටන් පාඨයට සියලු දෙනාම එක් කරගනිමිනි.

Comments