සමාජ දේශපාලන ව්‍යපාරයක් වෙනුවෙන් කැපවුණු නොවැහැරුණු විප්ලවවාදියකුගේ අවසානය නන්ද­ති­ලක ගල­ප්පත්ති | සිළුමිණ

සමාජ දේශපාලන ව්‍යපාරයක් වෙනුවෙන් කැපවුණු නොවැහැරුණු විප්ලවවාදියකුගේ අවසානය නන්ද­ති­ලක ගල­ප්පත්ති

දේශපාලන සංසිද්ධීන් පිළිබඳව ධනාත්මක සහ නිශේධනාත්මක බලපෑම් පිළිබඳව විවිධ අර්ථ නිරූපණ ඇතද නන්දතිලක ගලප්පත්ති වැනි මිනිසුන් සමාජ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා කරන ලද කැපකිරීම පිළිබඳව ගෞරවයක් තිබිය යුතුය.

ඉකුත් දශක පහක් ඇතුළත ජවිපෙ කැරලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් දියත් වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් විය. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.

04 කොටස

නන්දතිලක අමදෝරු ගලප්පත්ති උපන්නේ 1949 පෙබරවාරි 02වැනිදාය. ඒ තිස්සමහාරාමයේ උඩුවිල ග්‍රාමයේදීය. ඔහුට වැඩිමහල් සොහොයුරියන් දෙදෙනෙක් සහ කණිටු සොහොයුරියක්ද වැඩිමහල් සොහොයුරෙක්ද සිටියේය. නන්දතිලක ගේ පියා ඔහු කුඩා කාලයේදීම සමුගත්තේය. හම්බන්තොට මැදවැලෑන මහා විද්‍යාලයෙන් (එවකට රබර්වත්ත විද්‍යාලය) අපොස සාමාන්‍ය පෙළ දක්වාද දෙබරවැව ජාතික පාසැලෙන් (එවකට දෙබරවැව මහා විද්‍යාලය) උසස් පෙළ ද හැදෑරීය. රබර්වත්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා සරසවියට ඇතුල්වූ ප්‍රථම ශිෂ්‍යයා ඔහුය.

 

නන්දතිලක සරසවි අධ්‍යාපනය ලබන කාලයේ නේවාසික බෝඩිමට සහ ආහාරපාන සඳහා මාසිකව රුපියල් 30ක් වැයවූ අතර ඔහුගේ මව එම මුදල සොයා ගැනීම සඳහා දුෂ්කර ජීවන සටනක නිරත විණි. පොල් වතුවල කානු කැපීම, හේන්වල දී අලුයම අමුමිරිස් කඩා වෙළෙඳපොළට ගෙන යෑමට සකස්කිරීම වැනි වැඩකටයුතු ඒ අතර විය. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ එවකට ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයට උපාධි අපේක්ෂකයකු වශයෙන් 1967 දී ඇතුළු වූ නන්දතිලක ගෞරව උපාධිධාරියකු වශයෙන් සරසවියෙන් 1970 දී පිට විය. උපාධිය ලබාගැනීමෙන් පසු රජයේ රැකියාවක් සොයා යනවා වෙනුවට ඔහු ජවිපෙ පූර්ණකාලීනයකු විය. ජවිපෙට 1968 දී එක්වී 1971 අප්‍රේල් කැරැල්ලට ක්‍රියාකාරීව එක්විය. අප්‍රේල් කැරැල්ලෙන් පසු තමා ඉගෙනගත් සරසවියේම සිර කඳවුරක කොටුවූ හෙතෙම මැගසින් බන්ධනාගාරයෙන් නිදහස් වන්නේ 1976දීය. නිදහසින් පසු ජවිපෙ සංවිධාන කටයුතුවලට සක්‍රීයව දායකත්වය දැක්වූ නන්දතිලක 1979 මධ්‍යම කාරක සභාවට තේරී පත්විය. ජවිපෙ පක්ෂ තහනමින් පසු හෙතෙම දේශපාලන මණ්ඩලයට එක්විය. නන්දතිලක 1980 ජූලි විවාහ වූයේ අකුරැස්ස විල්පිට දී 1954 දී උපන් තමරා රංජනී ගමගේ බමුණුසිංහ සමඟිනි. ඇය අධ්‍යාපනය ලැබුවේ අකුරැස්ස ගොඩපිටිය මහා විද්‍යාලයෙනි.

ඔහු ජවිපෙ තහනමට පෙර එහි සංස්කෘතික අංශයේ ප්‍රධානියාද වශයෙන් කටයුතු කළ නන්දතිලක නියමුවා ඇතුළු ජවිපෙ පුවත්පත් සහ ප්‍රකාශන බාරව කටයුතු කළ අතර ඒවා මුද්‍රණය කළ ශක්ති මුද්‍රණාලය පවත්වා ගෙන යෑමේ වගකීමද දැරීය. එය පිහිටා තිබුණේ අංගොඩ කොහිලවත්තේ අංක 114 දරන ස්ථානයේදීය. මේ සඳහා පර්චර්ස් 11ක ඉඩමක් 1981 පරිත්‍යාග කරන ලද්දේ පෑලියගොඩ ලී මෝලක් හිමි විලියම් මුදලාලිය. පසුව එයට යාබදව තවත් පර්චර්ස් 10ක්ද ජවිපෙ විසින් මිලට ගන්නා ලදී. ජවිපෙ හිතවතකුවූ විලියම් මුදලාලි ගේ මල්ලී සෝමදාස මුද්‍රණාලය අසල පදිංචිව සිටි අතර 1988 ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරයකටද ලක්විය.

මුද්‍රණාලය ඇරඹීමට පුරෝගාමියෙක් වූයේ එවකට දේශපාලන සභික කෙලී සේනානායකය. මුල් කාලයේ පුවත්පත් ලියාපදිංචි කර තිබුණේ කෙලීගේ නමට වන අතර පසුව එය සෝමවංශ අමරසිංහ නමට හැරවිණි. මුද්‍රණාලය ඇරඹීම සඳහා මුල් කාලයේ දී රුපියල් ලක්ෂයක අරමුදලක්ද ස්ථාපිත වූ අතර ඒ සඳහා කැට ව්‍යාපාරයක්ද රට පුරා දියත් විණි.

කොහිලවත්තේ ශක්ති මුද්‍රණාලයේ ජවිපෙ 1983 ජූලි තහනමට පෙර එහි සේවය කළ ජවිපෙ පූර්ණකාලීනයන් සංඛ්‍යාව 27කි. ඉන් ත්‍රිකුණාමලයේ විල්බට් කමලදාස, සුමනරත්න බමුණුසිංහ සහ විල්සන් පුංචිහේවා හැර අන් සියලු දෙනා මුද්‍රණ කර්මාන්තයට ආධුනිකය. කාර්යාලය සහ ඒ අසල චමරියක නවාතැන් සහ ආහාරපානද ජවිපෙන් ඔවුනට ලබාදුන් අතර කිසිදු වැටුපකින් තොරව ඔවුහු සේවය කළහ. ආහාර පාන පිළියෙල කිරීමට සහාය වූයේ රාගම සෝමේගේ මව සහ නැඟණියයි.

වැටුප් ගෙව්වේ එක් අයකුට පමණි. පක්ෂ හිතවතකු පමණක් වූ ඔහු දිනපතා ආමර්වීදියේ සිට පැමිණි අතර ඔහුගේ දෛනික වැටුප රුපියල් 150ක් විය. ද්‍රවිඩ ජාතිකයකු වූ ඇන්ටන් නැමති ඔහු කලක් ජාතික දෙමළ පුවත්පතක සේවය කළ අයෙකි. දෙමළ පුවත්පත සහ ප්‍රකාශන සකස්කිරීම ඔහුට බාර විය.

ජවිපෙ 1983 ජූලි 31 තහනම් කළ වහාම එදිනම අලුයම ශක්ති මුද්‍රණාලයට පොලීසිය මගින් සීල් තබන ලදී. ඒ වන විට එහි 21ක් සේවය කළ අතර නන්දතිලක විසින් කමලදාස හරහා එක් අයකුට රුපියල් 150 බැගින් ලබා දී නිවෙස්වලට හෝ ආරක්ෂක ස්ථානයන්ට යන ලෙස සේවකයන් වන පක්ෂ සාමාජිකයන්ට උපදෙස් ලබා දුන්හ.

ඒ වන විට ජවිපෙ නිල පුවත්පත වූ නියමුවා සතිපතා ප්‍රකාශ වූ අතර මුද්‍රණය කරන ලද පිටපත් සංඛ්‍යාව 20, 000කි. සීනුව දිනපතා පුවත්පතක් ලෙස 1983 ජුනි 11 සිට දිනපතා ප්‍රකාශයට පත්වූ අතර දිනකට පිටපත් 4, 000ක් මුද්‍රණය විය. දෙමළ පුවත්පත වූ සෙන් ශක්ති මාසිකව පිටපත් 5, 000ක් මුද්‍රණය විය.

ඉංග්‍රීසි මාසික පුවත්පතවූ රෙඩ් පවර් මුද්‍රණය වූ පිටපත් ගණන 7, 000කි. සමාජවාදී කම්කරු සංගමයේ පුවත්පත රතු ලංකා, ජනතා විමුක්ති ඇතුළු තවත් පුවත්පත් කිහිපයක්ද එහි මුද්‍රණය විය. පක්ෂ තහනමින් පසු වනගත වූ විජේවීර විසින් නන්දතිලක ගලප්පත්ති ගෙන් ඉල්ලා සිටියේ රෝනියෝ කළ ප්‍රකාශන මගින් හෝ පක්ෂයේ පුවත්පත් යළි ජනතාව අතරට ගෙන යන ලෙසය. ඔහු එයට කඩිනමින් ක්‍රියාවෙන්ම ප්‍රතිචාර දැක්විය. ජවිපෙ ඉහළ පෙළේ නායකයන් බොහෝ දෙනෙකුට වඩා සෑම දෙයක් පිළිබඳව සාධාරණව විවේචනාත්මකව බැලූ අයෙක් ලෙස නන්දතිලක ප්‍රකටය.

විප්ලවවාදී දේශපාලන දැනුම පමණක් නොව සිංහල භාෂාව සහ සාහිත්‍ය පිළිබඳව ඔහු තුළ තිබූ දැනුමද සුවිශේෂි විය. විමුක්ති ගී ප්‍රසංගයට පවා ඔහු රචනා කළ ‘සති පූජා දරසෑයේ හිරවී මොට්ටැක්කිලියේ’ යන ගීතයද ඇතුළත් විය. තහනමින් පසු ජවිපෙ සංස්කෘතික සහ කලා අංශය කලාකාමීන් සහ කලාකරුවන් එක්කර ගොඩනැඟීමට මහත් වෙහෙසක් ගත්තෙකි. ජනතා කලා කේන්ද්‍රය වෙනුවට නිර්මාණ සංවාද කුලකය බිහිවූයේද ඔහුගේ අදිසි නායකත්වයෙනි. ‘පත්ඉරුව’ එහි ප්‍රකාශනයකි.

ජවිපෙ 2වැනි කැරලි සමයේ දී අධ්‍යාපන ලේකම්වරයා වූ නන්දතිලක 1985 දී කළුතර, 1987 දී බදුල්ල සහ 1989 අත්අඩංගුවට ගන්නා විට කෑගල්ල දිස්ත්‍රික්කයන්හි දේශපාලන ලේකම්වරයාය. බදුල්ල දිසා ලේකම්ව සිටිය දී නුවරඑළිය පොලිසිය මගින් 1987 නන්දතිලක අත්අඩංගුවට ගෙන බදුල්ල බන්ධනාගාරයේ රඳවා සිටි අතර නඩුව සඳහා නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර රථයකින් ගෙනයමින් සිටිය දී නුවරඑළිය හග්ගල දී ජවිපෙ විසින් ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කර ඔහු මුදවාගන්නා ලදී. ඔහු පෙරේරා, ලියනගේ සහ ආරි වශයෙන්ද හැඳින්විණි.

කෑගල්ල දිසා කමිටුව රඹුක්කන පින්නවල වාගොල්ලේ දී 1989 අගෝස්තු 31 බ්‍රහස්පතින්දා රැස්වූ අවස්ථාවක දී ආරක්ෂක අංශ විසින් එය වටලා එහි සිටි නන්දතිලක ඇතුළු දිසා කමිටු සාමාජිකයන් 7 දෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. පසුව කෑගල්ල වික්‍රමසිංහ බංගලාවට සහ මත්තේගොඩ හමුදා කඳවුරට නන්දතිලක රැගෙන ආවේය. නන්දතිලක දේශපාලන සභිකයකු බැවින් විජේවීර සිටින ස්ථානය දැනගැනීමට ආරක්ෂක අංශවලට අවශ්‍ය විය.

සියලු වධබන්ධනවලට ලක්වූවද කිසිදු තොරතුරක් නන්දතිලක හෙළි නොකළේය. පසුව 1989 සැප්තැම්බර් 10දා නන්දතිලක ඝාතනයට පත්වූයේ නොවැහැරුණු විප්ලවාදී නායකයකු ලෙසිනි.

ඒ වනවිට එකම දරුවා වන 1986 ජනවාරි උපන් පුතුට වසර 3කට ආසන්නය. නන්දතිලක මියගිය පසු ජවිපෙ විසින් වැන්දඹු බිරිය සහ දරුවා රැකබලාගැනීම සඳහා ගලහ නිවසේ පහසුකම් සැලසීය. දන්දෙණිය ආරච්චිගේ කරුණාවතීද ඒ වනවිට පදිංචිව සිටියේ එහිය. ගලහ නිවස 1989 නොවැම්බර් 12 ආරක්ෂක අංශ වැටලීමෙන් පසු ඉන් පිටවූ රංජනී සහ පුත්‍රයා ආරක්ෂිත ස්ථානයක් කරා ගොස් පසුව නුවර සිය සොහොයුරිය ගේ රැකවරණය ලැබුවාය.

රංජනීගේ සොහොයුරිය විසින් පුතු අකලංක මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කර අධ්‍යාපනය ලබා දුන්නේය. රංජනීද කොළඹට පැමිණ ටොරින්ටන් උප තැපැල් කාර්යාලය, පිළියන්දල, කඩවත ඇතුළු ස්ථාන ගණනක රැකියාව කරමින් පුතු සමඟ ජීවිතයේ සියලු අභියෝගවලට උපේක්ෂා සහගතව මුහුණ දුන්නාය.

නන්දතිලක සහ රංජනී ගලප්පත්ති යුවලගේ එකම දරුවා වන ඉසුරු අකලංක සබරගමු සරසවියෙන් උපාධිය සමත්ව ආචාර්ය උපාධියේ අධ්‍යාපන කටයුතු සඳහා 2020 වනවිට සිටින්නේ කැනඩාවේය.

හැත්තෑව දශකයේ මුල් භාගයේ සහ අසූව දශකයේ අවසාන භාගයේ දී ඇතිවූ ජවිපේ දේශපාලන සංසිද්ධීන් පිළිබඳව ධනාත්මක සහ නිශේධනාත්මක බලපෑම් පිළිබඳව විවිධ අර්ථ නිරූපණ ඇතද නන්දතිලක ගලප්පත්ති වැනි මිනිසුන් සමාජ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා කරන ලද කැපකිරීම පිළිබඳව ගෞරවයක් තිබිය යුතුය.

 
 

Comments