තහනම් ජවිපෙ යළි ගොඩනැඟූ පියදාස රණසිංහ | සිළුමිණ

තහනම් ජවිපෙ යළි ගොඩනැඟූ පියදාස රණසිංහ

දේව බණ්ඩාරගේ පියදාස හෙවත් පියදාස රණසිංහ

ඉකුත් දශක පහක් ඇතුළත ජවිපෙ කැරලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් දියත් වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය.

ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් විය. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.

06 කොටස

හු උපන්නේ 1948 අප්‍රේල් 4 වැනිදාය. ඒ වලස්මුල්ල වරාපිටිය ග්‍රාමයේ පහළ වත්තේය. පියා දේවබන්ධුය. වෘත්තියෙන් ගොවියෙකි. මව විජේසිරි ය. ඒ දෙපළගේ දූ දරුවන් හත් දෙනාගෙන් තෙවැන්නා වූයේ ඔහුය. නමින් ඔහු දේවබන්ධනගේ පියදාස හෙවත් පියදාස රණසිංහය. ඩිබ්බා, සුදු මාමා සහ දුණුවිල ලෙසද පියදාස රණසිංහ හැඳින්විණි.

පියදාස රණසිංහ වසර 1983 සිට 1989 මිය යන තෙක්ම ජවිපෙ සංවිධායක ලේකම් ලෙස කටයුතු කළේය. එමෙන්ම ජවිපෙ 2වැනි කැරැල්ලේදී මධ්‍යම පළාතේ දේශපාලන නායකයා වශයෙන්ද සුමිත් අතුකෝරල ඝාතනයෙන් පසු මූල්‍ය ලේකම් වශයෙන්ද පත් විය.

ජවිපෙ 1983 ජූලි තහනමින් අනතුරුව විජේවීර ගෙන් පසු ජවිපෙ තුළ නිල නොවන පළමු නායකයා ලෙස ගමනායක ද, දෙවන නායකයා ලෙස සුමිත් අතුකෝරල ද, තෙවන නායකයා ලෙස පියදාස රණසිංහ ද සැලකේ. ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය තුළ විජේවීර ගෙන් පසු පළමු නායකයා ලෙස ගමනායක ද 2 වැනි නායකයා ලෙස සමන් පියසිරි ප්‍රනාන්දු ද තෙවැනි නායකයා ලෙස ඩී. එම්. ආනන්ද ද පිළිගැනේ.

ඔහු හම්බන්තොට එගොඩබැද්ද මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා කිරඹ ධම්මානන්ද මහා විද්‍යාලයෙන් 8 ශ්‍රේණිය දක්වාද උසස් අධ්‍යාපනය වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයෙන්ද ලැබීය. පාසැලේ නේවාසිකාගාර ශිෂ්‍යයකු වූ පියදාස වරක් නේවාසිකාගාරයේ ශිෂ්‍ය නායකයාද විය. පාසැලේ ඔහුගේ සමකාලීනයන් අතර පසුව ජවිපෙ නායකයන් සහ ක්‍රියාකාරීන් බවට පත්වූ විජේදාස ලියනාරච්චි, දයා වන්නිආරච්ච්, ඩබ්ලිව් එම්. සිරිපාල ඇතුළු කිහිපදෙනකු විය.

අ.පො.ස උසස් පෙළ ශිෂ්‍යයකු වශයෙන් සිටියදී ජවිපෙට එක්වූ පියදාස රණසිංහ අප්‍රේල් කැරැල්ලට සම්බන්ධවී 1971 අත්අඩංගුවට පත්ව කැලණිය විද්‍යාලංකාර සරසවි කඳවුරේ සහ රිදියගම එළිමහන් කඳවුරේ රැඳවියකු ලෙස සිට අනුරාධපුරයට මාරු කරන ලදී.

පසුව නන්දන මාරසිංහ ඇතුළු ජවිපෙ ක්‍රියාකාරීන් පිරිසක් විසින් අනුරාධපුර සිරගෙට 1972 ජුනි 13 ප්‍රහාරයක් එල්ල කර එහි සිටි පියදාස රණසිංහ, හීන්බණ්ඩා වනසිංහ, අකුරැස්සේ ෆ්‍රැන්සිස් ඇතුළු ජවිපෙ සාමාජිකයින් 32 මුදවා ගන්නා ලදී. එම ප්‍රහාරයට මුවාවී මරුසිරා ඇතුළු නමගිය අපරාධකරුවන් 04 දෙනෙක්ද පළා ගියහ.

යළිත් නන්දන මාරසිංහ ගේ මෙහෙය වීමෙන් ජවිපෙ සාමාජිකයන් පිරිසක් අනුරාධපුර බන්ධනාගාරයට 1972 සැප්තැම්බර් 29 රාත්‍රී 12ට තාප්පයට වැල් ඉනිමන් ගැට ගසා ඇතුළට පැන බෝම්බ ගසමින් එහි සිටි ජවිපෙ 71 කැරැල්ලට සම්බන්ධ සැකකරුවන් සියකට ආසන්න පිරිසක් නිදහස් කරගෙන පලා ගියහ. වලස්මුල්ල පොලිසියට 71 අප්‍රේල් පහර දුන් බවට පියදාසට චෝදනා ගොනු වූවද නඩු විභාගයේදී නිදොස් වී 1976දි නිදහස ලැබීය. පියදාස රණසිංහ අධ්‍යාපන කඳවුරු සඳහා කැඳවූ දක්ෂ දේශකයෙකි.

නිදහසින් පසු කිරඹ ධම්මානන්ද විදුහලේ විද්‍යා සහ ගණිත ගුරුවරයකු වශයෙන් කටයුතු කළ පියදාස රණසිංහ පසුව එගොඩබැද්ද මහා විද්‍යාලයේද සේවය කළේය. අගුණකොළ පැලැස්සේදී ඔහුගේ ප්‍රධානත්වයෙන් 1978 අගෝස්තු 11 පැවති රැස්වීමටද පොලිසිය මගින් තහංචි පනවන ලදී. හම්බන්තොට කිරම පදිංචිව සිටි ඔහු ජවිපෙ මධ්‍යම කාරක සභාවට 1979දීද පසුව දේශපාලන මණ්ඩලයටද පත්විය. හෙතෙම පක්ෂයේ නිල නොවන අභ්‍යන්තර ලේකම් ලෙසද ඇතැමුන් හඳුන්වනු ලැබූවද රජයේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ තුළ එවැනි නිල තනතුරක් නොවීය. ජවිපෙ 1983 ජූලි තහනමත් සමඟම පක්ෂය මුහුණ දුන් අභියෝග රැසකි. ඒ ප්‍රසිද්ධ දේශපාලනයේ යෙදුණු නායකයන් ඇතුළු ක්‍රියාකාරීන් ආරක්ෂා කරගැනීම සහ ඔවුන් අත්අඩංගුවට පත්වීමට ඇති අවස්ථාව බැහැර කිරීමය. අනෙක් ප්‍රධාන අභියෝගය වූයේ බිඳ වැටුණු පක්ෂ යාන්ත්‍රණය යළි ස්ථාපිත කිරීමය. මේ සඳහා දේශපාලන මණ්ඩලය වෙනුවෙන් තෝරා ගැනුණේ ප්‍රසිද්ධ දේශපාලනයේ නිරත නොවූ පියදාස රණසිංහ සහ සුමිත් අතුකෝරලය.

රට වටා යමින් දිසා කමිටුවල හෙළිදරව් නොවූ ක්‍රියාකාරිකයන් පෞද්ගලිකව හමුවෙමින් මනා සංවිධාන ජාලයක් වසරක් ඇතුළත ගොඩනඟා ගැනීමට ජවිපෙට හැකිවූයේ පියදාස සහ සුමිත් ගේ කැපවීමෙනි.

ඒ සඳහා ඔවුනට ආරක්ෂක අංශවලට විවෘත නොවූ ක්‍රියාකාරින් රැසක්ද එක්විය. පක්ෂ තහනමට ගැළපෙනසේ සංවිධාන ක්‍රමවේදයක් ජනතා විමුක්ති පෙරමුණේ ගොඩනැඟුණේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

ජවිපෙ සහ ඇමති රොනී ද මෙල් අතර සබඳතා සම්බන්ධීකරණය කළේද පියදාස රණසිංහය. එය රෝහණ විජේවීර වෙනුවෙන් කරන ලද නිල නොවන සම්බන්ධයකි. ජවිපෙ ඇතුළු වාමාංශික පක්ෂ 3ක් 1983 ජූලි 31 ගැසට් මගින් තහනම් කිරීම පිළිබඳව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන කැබිනට් මණ්ඩලය හමුවේ දැනුම් දුන්නේ 1983 ජූලි 28 දා රාත්‍රියේදීය.

පසුදින උදෑසන එවකට මුදල් ඇමතිව සිටි රොනී ද මෙල් විසින් මේ පිළිබඳව පණිවිඩය ජවිපෙ නායක රෝහණ විජේවිරට ලබා දුන්නේ පියදාස රණසිංහ හරහාය. ඒ අනුව පියදාස රණසිංහ විසින් ජවිපෙ ඉහළ පෙළේ නායකයින් වන විජේවිර, ගමනායක සහ සුමිත් අතුකෝරලට පණිවිඩකරුවන් මගින් වහාම දැනුම් දෙනු ලැබීය. එවකට ජවිපෙ නිල ලේකම් වූ ලයනල් බෝපගේ සමඟ මතභේදයක් තිබූ බැවින් බෝපගේට ඒ පිළිබඳව දැනුම් දීමක් නොකෙරිණි.

මොරටු නිවසේ සිටි විජේවීර එම පණිවිඩය සැළවූ වහාම 1983 ජූලි 29 දහවල් අසල්වැසි නිවසක සිටි දිමුතු අත පණිවිඩයක් යවා ජවිපෙට අයත් කැබ් රථයකින් චිත්‍රාංගනී සහ දරු දෙදෙනා සමඟින් තංගල්ල බලා පිටවිය. නිවසේ කිසිවකු නොසිටි බැවින් විජේවීර විසින් සියල්ල වසා යතුරු දමන ලදී.

මොරටුවේ පදිංචිව සිටි චිත්‍රාංගනී ගේ පුංචි අම්මා ගේ නිවසටද ගිය විජේවීර නිවස බලා කියා ගන්නා ලෙස ඉල්ලා සිටියේ පුංචි අම්මා ගේ බෑණා වන ජවිපෙ සාමාජිකයකු වූ ටී. කේ. පීරිස් ගෙනි. සෝමවංශ අමරසිංහද ගමනට එක්වූ අතර කළුතරදී ඔහු බැස ගියේය.

ජවිපෙ තහනමින් පසුද එක්වරක් රෝහණ විජේවීර සහ මුදල් ඇමති රොනී ද මෙල් අතර නිල නොවන සාකච්ඡාවක් තිබිණි. ඒ 1984 පෙබරවාරි 2වැනි සතියේදීය. සාකච්ඡා පැවැත්වූ ස්ථානය වූයේ රොනී ද මෙල් ගේ බෑනාවූ මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ ආචාර්ය අයල් ජයතිලක පදිංචිව සිටි කොළඹ 07 නිවසේදීය. එය රාත්‍රී 7ට ආරම්භ වූ අතර පැයක් පමණ පැවතිණි.

විජේවීර, ඔහු ගේ සොහොයුරා වන ආනන්ද සහ වාහනයේ පැමිණි එක් අයකු ද සාකච්ඡාවට සහභාගී විය. ඔවුහු ගෙන යන්නේ සාක්ෂිකරුවන් ලෙස බවට විජේවීර එහිදී ඔවුනට කියා සිටියේය. සුමිත් අතුකෝරල සහ දයා වන්නිආරච්චි වෙනත් ස්ථානයක නවතා තිබූ වාහනය තුළම සිටියහ. මෙහිදී රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව දෙදෙනාම අදහස් හුවමාරු කරගත්හ. සාකච්ඡාව අවසානයේදී රොනී ද මෙල් විසින් රුපියල් සීයේ කොළවලින් යුත් රුපියල් 6,000ක මුදලක් විජේවීරට ලබා දුන් අතර විජේවීර එය ලබාගැනීම ප්‍රතික්ෂේප කළේය. වාහනයේ ඉන්ධන සඳහා හෝ එම මුදල ලබා ගන්නා ලෙස රොනී ද මෙල් ඉල්ලා සිටියද විජේවීර සිනාසෙමින් කියා සිටියේ පක්ෂයේ සාමාජිකයන් විසින් පක්ෂයේ පූර්ණකාලීන් නඩත්තු කරන බවකි.

ජවිපෙ තහනමට පෙර දයා වන්නිආරච්චි පක්ෂයෙන් මුදල් සහ සදාචාරාත්මක චෝදනාවන් මත ඉවතට විසිවුණද දයා සමඟ ඇති ඇසුර සහ ඔහු කෙරෙහි වූ විශ්වාසය විජේවීර ගෙන් ගිලිහුණේ නැත. එබැවින් ජවිපෙ 2වැනි කැරැල්ලේදී ද ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නායකයා වූ සමන් පියසිරි ඝාතනය වනතෙක්ම සමන් ගේ යුද න්‍යායාචාරවරයා වූයේ දයා වන්නිආරච්චිය. එපමණක් නොව සමන් පියසිරි විවාහ ගිවිස ගැනීමට යෝජිතව සිටියේද දයාගේ නැගණිය ඉන්ද්‍රාණි සමඟය. මේ සියල්ලටම රෝහණ විජේවීර ගේ එකඟතාවක් තිබිණි.

එහෙත් ජවිපෙ සහ රොනී ද මෙල් අතර පැවති සබැඳියාව 1986 ජවිපෙ 2වැනි කැරැල්ල ඇරඹීමත් සමඟ බිඳ වැටිණි. ඒ 1987 ජූලි මස බලහත්කාරයෙන් අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂපාතීත්වය දැක්වූ ප්‍රබල ඇමතිවරුන් දෙදෙනා ගෙන් එක් අයකු ලෙස රොනී ද මෙල් ඉදිරියට පැමිණීමත් සමඟය. පසුව 1988 අගෝස්තු 14 ඉරිදා දිවයින පුවත්පතට ලසන්ත වික්‍රමතුංග ලියා තිබූ ප්‍රවෘත්ති වාර්තාවකට අනුව එජාප ආණ්ඩුව සහ ජවිපෙ අතර 1977 ගිවිසුමක් පැවතුණු බවට රොනී ද මෙල් ප්‍රකාශයක් කර තිබිණි.

එයට 1988 අගෝස්තු 20 රොනී ද මෙල්ට ලිපියක් යොමුකරමින් ජවිපෙ නායක රෝහණ විජේවීර කියා සිටියේ කිසිදු ආණ්ඩුවක් සමඟ ජවිපෙ කිසිදා ගිවිසුමකට පැමිණ තිබුණේ නැති බවය. ‘ඔබ එසේ නොකිව්වේ නම්, වහාම එය නිවැරදි කරන ලෙසද’ එම ලිපිය මගින් රෝහණ විජේවීර විසින් රොනී ද මෙල්ට අවධාරණය කර තිබිණි.

රොනී ද මෙල් ගෙන් එයට නිවැරදි කිරීමක් යොමු නොවීය. විජේවීර 1971 අප්‍රේල් කැරැල්ලට සිරගතව සිටියදී රොනී ද මෙල් ඔහු බැලීමට 1972 බන්ධනාගාරයට ප්‍රථමවරට පැමිණ තිබිණි.

ජවිපෙ පක්ෂ ක්‍රියාපටිපාටියට බාහිරව ඒකපාර්ශ්වික දේශපාලන තීන්දු ගැනීම ජවිපෙ නායක රෝහණ විජේවීර ගේ අසාමාන්‍ය ක්‍රියාවක් නොවන බව ජවිපෙ 1983 ජූලි තහනමට පෙර එහි ප්‍රධාන ලේකම්ව සිටි ලයනල් බෝපගේ වරක් ප්‍රකාශ කර තිබිණි. ආචාර්ය ලයනල් බෝපගේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අන්දමට එක් නිදසුනක් වූයේ නීතිඥ ප්‍රින්ස් ගුණසේකර සමඟින් රෝහණ විජේවීර ශ්‍රිලනිප මන්ත්‍රී (මෛත්‍රී-අනුර පිල) මෛත්‍රීපාල සේනානායක ගේ නිවසට ගොස් ශ්‍රිලනිප (සිරිමා පිළ) රැස්වීම් කඩාකප්පල් කරන්නට තීරණයක් ගත් බවය.

පියදාස රණසිංහ අවසාන කාලයේ පදිංචිව සිටියේ මඩවල හරහා මාතලේට යන පාරේ ගුන්නෑපාන ප්‍රදේශයේ නාපානේ නිවසකය. එම නිවසේ සිට 1989 නොවැම්බර් 12 ගලහ බලා සෝමවංශ අමරසිංහ සමඟ ආපසු පැමිණි අතර සෝමවංශ ට්‍රිනිටි කන්දෙන් බැස ගියේය.

ඉන්පසුව ක්ෂණික විහිදුම් බලකායේ අණදෙන නිලධාරියා වූ ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමක් විසින් පියදාස රණසිංහ ගලහදී අත්අඩංගුවට ගන්නා ලදී. වද බන්ධන වලට ලක්වීමෙන් පසු මත්තේගොඩ කඳවුරේ පියදාස රණසිංහ රඳවා තබාගත් අතර 1989 නොවැම්බර් 15 ඝාතනයට ලක්විය. පියදාස රණසිංහ ගේ බිරිඳ සීලවතී සේනසිංහ හෙවත් ශීලා හෙවත් සුජාතාය. එකම දරුවා වූ පුතු උවිඳුය. එම දෙදෙනාම 2020 වනවිට මාතර තිහගොඩ උඩුදමන පදිංචිය.

Comments