
ඉකුත් දශක පහක් ඇතුළත ජවිපෙ කැරලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් දියත් වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය.
ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් විය. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.
07 කොටස
වසර 1948 ඔක්තෝබර් 17 පාදුක්කේ මාහිංගලදී උපන් දොන් උපතිස්ස ගමනායක ජවිපෙ ප්‍රධාන ලේකම් සහ ජවිපෙ 2වැනි කැරැල්ලේ දෙවැනියා විය. 9 දෙනෙකු ගෙන් යුත් පවුලක 7වැනියා ඔහුය. අකුරැස්සේ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැලිහේන ග්‍රාමයේ උපන් ගමනායක ගේ පියා දොන් උපේනිස් වූ අතර මව පාදුක්කේ උපන් වෙත්තසිංහ ආරච්චිගේ මැගිනෝනාය.
කලක් හේන් ගොවියෙකු වූ උපේනිස් පාදුක්කට පැමිණ රබර් වතුයායක සේවය කළ අතර එහිදී ඔහුට සිය ජීවන සහකාරිය හමුවිය. දරුවන් 9 දෙනෙකු ගේ මවක වූ මැගිනෝනා සර්පයෙකු දෂ්ට කිරීමෙන් පසුව 1956දී මිය ගියාය.
ගමනායකගේ පියා වූ උපේනිස් ගමනායක දරුවන් 7 දෙනෙකු සමඟ ගොවි ජනපදවල නව ජනපදිකයන් පදිංචි කිරීමේ වැඩසටහන යටතේ කන්තලේ ගොවි ජනපදයට යන්නේ 1958දීය. ගමනායක අධ්‍යාපනය ලැබුවේ වෙන්රාසන්පුර දෙමළ පාසලේ සහ ගන්තලාව මහා විද්‍යාලයේය.
පාසැල් වියේදීම කොමියුනිස්ට් පක්ෂයේ කන්තලේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයෙන් දේශපාලනය ඇරඹූ ඔහු කන්තලේ මහා විදුහලේ රහසිගතව ආරම්භ කළ කොමියුනිස්ට් ශිෂ්‍ය සංගමයේ සභාපති විය. ලේකම් වූයේ පියසේන නැමැත්තෙකි. ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාඛාව පිහිටුවනු ලැබුවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයෙන් පැමිණි ශිෂ්‍ය නායකයින් වූ පාලිත ශාම්දාස් සොලමන්ස් සහ පාලිත ගුරුසිංහ විසිනි.
ජවිපෙ දේශපාලනය පසුව ගමනායක ඇරඹුවේද 1968 නොවැම්බර් පාසැල් අවධියේමය. ඒ ත්‍රිකුණාමලයේ චීන වරායේ 4 කණුවේ පදිංචි පුල්මුඩේ මහා විදුහලේ ගුරුවරයෙකු වූ අංගම්පොඩි සිරිල් ජයරත්න හරහාය. ඒ සඳහා ගමනායකට මඟපෙන්වූයේ යටියන්තොට කරුණාරත්න සහ විමල්ය. ඔහුට ජවිපෙ පන්ති පැවැත්වූයේ ත්‍රිකුණාමලය දුම්රිය ලිපිකරු අම්බලන්ගොඩ උපන් පියසිරි ගුණරත්නය. කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨයට ගමනායක සුදුසුකම් ලැබුවේ 1969 දීය.
ත්‍රිකුණාමලයේ පොලිසිවලට ප්‍රහාරයක්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජවිපෙ ක්‍රියාකාරකම් වලදී 1968 නොවැම්බර් සිට 1971 අප්‍රේල් දක්වා සිටි බොහෝ දෙනෙකු සමඟ එක්ව ගමනායක කටයුතු කළේය. ඒ අතර කින්නියාවේ රංජිත් හේමසිරි සහ දයාසිරි, වෝල්ටර් සෙනෙවිරත්න, අනුරාධපුර හන්දියේ සරත් සහ තිලකරත්න, හතර කණුවේ සෝමදාස පුංචිහේවා, චීන වරායේ සිරිල් ජයරත්න, ඥාණසිරි සහ ගාමිණීද, ත්‍රි’මලේ සිංහල මහා විද්‍යාලයේ ගුරු සෝමපාල ගරුසිංහ, අභයපුර විමලරත්න සහ ආරියරත්න, ඕවර්හිල්හි තිලකදාස ජයවීර ඇතුළු කිහිපදෙනෙකු විය.
වසර 1971 අප්‍රේල් කැරැල්ලේදී ත්‍රි’මලේ, උප්පුවේලි සහ කන්තලේ පොලිස් ස්ථානවලට කැරලිකරුවන් ප්‍රහාරයක් එල්ල කළද එය මුළුමනින් අසාර්ථක විය. කන්තලේ පොලිස් ප්‍රහාරයට ගමනායකද එක්ව තිබිණි.
1971 අප්‍රේල් කැරැල්ලේදී අත්අඩංගුවට පත් නොවූ ඔහු එකිනෙකා එකතුකොට රහසිගතව පක්ෂය ගොඩනැගීමේ ක්‍රියාවලියට සහාය විය. වසර 1973දී ගමනායකද අත්අඩංගුවට පත්වූයේ ජවිපෙ අරමුදල් තරකිරීමට කළ මංකොල්ලකෑමකදීය. විජේවීරගේ මග පෙන්වීම අනුව යමින් තාවකාලික ජවිපෙ මධ්‍යම කමිටුවක් සිරගෙදරදී පිහිටුවීමට ගමනායක සමත් විය. ඒ 1975 වසරේ මාර්තු 18 දිනයි.
ජවිපෙ ප්‍රථම මැයි රැලිය
එවිට ජවිපෙ නිල අයිතිය හිමිකර ගනිමින් ජවිපෙ මුල්ම පුවත්පත් සාකච්ඡාව වැඩබලන ප්‍රධාන ලේකම් වශයෙන් නීතිඥ එම්. බී රත්නායක ගේ නිවසේ 1977 පෙබරවාරි 19 පවත්වනු ලැබුවේ ගමනායකගේ මෙහෙයවීමෙනි. ඓතිහාසික හයිඩ්පිටියේ රැලිය 1977 මාර්තු 10 පවත්වමින් තම පක්ෂයේ ශක්තිය පෙන්වන්නට ඔහු කටයුතු කළේය. ජවිපෙ ප්‍රථම මැයි දින රැලිය 1977 මැයි 1 ගමනායකගේ මෙහෙයවීමෙන් දෙමටගොඩ උද්‍යානයේදී පැවැත්විණි.
ගමනායක 1978දී විවාහ වූයේ 71 කැරැල්ලට අසුව පොලිස් තාඩන පීඩන වලට ලක්වූ ජවිපෙ ක්‍රියාකාරිනියක්වූ රඹුක්කන පරපේ ඉහළගම උපන් අරඹේ දේවලාගේ එස්. කරුණාවතී හෙවත් කරුණා සමඟය. මාවතගම මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලත් කරුණා ජවිපෙට සම්බන්ධ වන්නේ 1969 පාසැල් සිසුවියක වශයෙනි. ඇයගේ පවුලේ ඥානා ඇතුළු කිහිපදෙනෙක්ම ජවිපෙ ක්‍රියාකාරිකයන් වශයෙන් 1971දී අත්අඩංගුවට ගනු ලැබීය. 1971 කැරැල්ලේදී අත්අඩංගුවට ගත් කරුණා අත්හිටවූ සිරදඬුවමක් ලැබ පුනරුත්ථාපනය වී 1976 නිදහස් වූවෙකි. ගමනායක ගේ වැඩිමහල් දරුවා වූ ජනිතා 1980 උපන් අතර දෙවැන්නා වූ පුත්‍රයා උපන්නේ 1982දීය.
ජවිපෙ නව මධ්‍යම කාරක සභාව 1978 කුරුණෑගල දිස්ත්‍රික්කයේදි ඕමාරගොල්ලේ කොස් කැලේදී තෙදිනක් පුරා පැවැත්වීමෙන් පසු පත්කරගත් අතර ඒ යටතේ ජවිපෙ සියලු අනුබද්ධ සංවිධාන, ප්‍රතිසංවිධානයට ලක්වූ අතර සමාජවාදී කම්කරු සංගමයේ පසුකලෙක ප්‍රධාන ලේකම් තනතුරට පත්වූයේ උපතිස්ස ගමනායකය.
කොළඹ නගර සභා මැතිවරණය 1978 පැවැත්වෙන අතර ගමනායකගේ නායකත්වයෙන් ජවිපෙ කණ්ඩායමක් ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ඒ සඳහා තරග කරන ලදී. කිසිවෙකු පත් නොවූවද සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂවලට වඩා ඔවුන්ට ඡන්ද ලැබිණි. අතුරු මැතිවරණ පහක් 1977 සිට 1981 දක්වා පැවති අතර ඉන් 1979 දෙසැම්බර් ගාල්ල අතුරු මැතිවරණයේදී ජවිපෙ තෙවන තැනට පත්වී ලයනල් බෝපගේ ඡන්ද 3,366ක් ලබාගත් අතර සමසමාජ පක්ෂයෙන් තරග කළ වික්ටර් අයිවන්ට ලැබුණේ ඡන්ද 634කි. ආණමඩුව අතුරු මැතිවරණය 1980 මැයි මස පැවති අතර එයට තරග කළ උපතිස්ස ගමනායකට ඡන්ද 857ක් ලැබිණි.
බෝපගේ ‘වාෂ්පකිරීම’
වසර 1965 සිට ජවිපෙ කළල අවස්ථාවේ සිට නිල නොවන ප්‍රධාන ලේකම් ලෙස විජේවීර කටයුතු කළ අතර 1976 සිට එය සිදුකළේ උපතිස්ස ගමනායකය. දයා වන්නිආරච්චි ප්‍රධාන ලේකම් ලෙස 1978දී පත්වූ අතර 1980 සිට 1983 ජුලි පක්ෂ තහනම වනවිට ප්‍රධාන ලේකම් වූයේ ලයනල් බෝපගේය. ජවිපෙ තහනමත් සමඟ බෝපගේ වගකීම්වලින් ‘වාෂ්පකළ’ අතර 1984 පසු පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුර භාරගත්තේ ගමනායකය.
ගමනායක එළුවන්කුළමේ
ජවිපෙ 1983 ජූලි තහනම් කරන විට ගමනායක පදිංචිව සිටියේ නාරාහේන්පිට බෝලමේස වත්තේ ඩී කොටසේය. ජූලි කලබල ඇතිවූ විට පහළ නිවසක සිටි ද්‍රවිඩ ජාතික පාකිනන්දන් ආරක්ෂාව සඳහා රැඳී සිටියේ ගමනායක ගේ නිවසේය. ගමනායකගේ නිවසේ දුරකථනයක් නොතිබූ අතර පාකිනන්දන් ගේ නිවසේ ඇති දුරකථනය පණිවිඩ සඳහා පරිහරණය කළේය. එම නිවසට දුරකථනයෙන් කථාකරන ගමනායක එමගින් උඩගෙදර ආනන්දගේ මව වන ප්‍රනාන්දුට පණිවිඩයක් යවා බිරිඳ කරුණා සහ දරුවන් දෙදෙනාද නෑනා සීලිද පිළියන්දල නිවසකට ගෙනයන ලෙසට උපදෙස් දුන්නේය. සතියකට පසු කරුණා ඇතුළු දරුවන් පිළියන්දලින් වෙනත් නිවසකට යොමු කිරීමට ගමනායක කටයුතු කළේය. රත්නපුර පනගමට පසුබැස ගිය ගමනායක දෙසතියක් එහි නැවතී සිටියේ මේජර් ඥාණතිලක මාරසිංහගේ නිවසේ බව කියති. පසුව ගමනායක පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම ප්‍රදේශයේ ස්ථානගතව විජේවීර ඇතුළු පක්ෂයේ නායකයන් සමඟ ක්‍රියාකාරී විය. තහනමින් පසු ගමනායක රැකගැනීමේ කාර්යය ඉටුකළේ අනුරාධපුර හිටපු දිස්ත්‍රික් ලේකම් සිසිර රන්දෙනියය.
එමෙන්ම ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් වන උපාලි රන්දෙනිය 1982දී, රත්නායක හෙවත් පොඩි රත්නේ 1983 ජූලි පක්ෂ තහනමට පෙරද, පක්ෂ තහනමින් පසු ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ සෝමරත්න කළුආරච්චි 1983 අවසාන භාගයේද ජවිපෙන් ඉවත් විය. මේ සියලු වගකීම් කරමතට ගෙන පක්ෂ තහනම අතරතුරදී ජවිපෙ යළි සක්‍රීය කිරීමට නව ප්‍රධාන ලේකම් වශයෙන් පත්වූ උපතිස්ස ගමනායක සමත් විය. පසු කලෙක විල්බට්, කළු මහත්තයා, කුරුප්පුගේ ගුණසිරි ඩයස්, ඩයස් මුදලාලි යනුවෙන්ද ගමනායක හැඳින්විණි.
ඇඳුම් මැසීමේ වෘත්තිය
ගමනායක සහ පවුලේ අය කලක් පදිංචිව සිටියේ හොරණ රත්නපුර පාරේ ලෙනගල රජමහ විහාරය අසල කජුගස්වත්ත නැමති ග්‍රාමයේය. එය පිහිටා තිබුණේ රයිගම් හන්දියේ සිට කිලෝමීටර් 3ක් එන විටය.
එම ගමේ නිවාසයක වසර 3ක් ගමනායක සහ දූ දරුවන් නැවතී සිටි අතර ඇඳුම් මැසීම නිවසේ ව්‍යාපාරයක් ලෙස කරගෙන ගියේය. ගමනායක වෑබඩදී පොලිසියට හසුවූවද වෙනත් නමකින් සිටි නිසා දිනකින් නිදහස් විය. පසුව පදිංචි ස්ථානය වෙනස් කරන ලදී.
ගමනායක අවසාන කාලයේ පදිංචිව සිටියේ පානදුර හොරණ පාරේ සැතපුම් කිහිපයක් ගිය විට බණ්ඩාරගම මහවිල හන්දියෙන් දකුණට වැටී ඇති ආදර්ශ පටුමගේ මිටර් 100ක් පමණ ගියවිට පිහිටි නිවසේය. එයට පෙර පදිංචිව සිටියේ පාදුක්කේ මීගොඩ නිවසකය. එහිදී ගමනායක ගේ නම වූයේ කුරුප්පුගේ ගුණසිරි ඩයස්ය. පර්චස් 40කින් යුත් මහවිල නිවස ඇතුළත් ඉඩමට ඔහු රුපියල් 135,000ක මුදලක් එහි අයිතිකරු වන යාබද නිවසේ පදිංචි විශ්‍රාමික ගුරුවරයෙකු වූ බානගලගේ නෑනාට ගෙවා තිබිණි. නිසංසලා නමින් හැඳින්වූ එම නිවසේ සිල්ලර බඩු කඩයක්ද, කුඩා ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගිය බැවින් ඔහු ඩයස් මුදලාලි ලෙස ප්‍රකට විය. ඔහුට 12 ශ්‍රී ටොයෝටා කොරොල්ලා මෝටර් රථයක්ද විය.
ගමනායක ගේ දියණිය ජනිතා හෙවත් අනුෂ්කා රසාදරී හොරණ තක්ෂිලා කණිටු විදුහලේ 4වන වසරේ ඉගෙනගත් අතර පුතු මහවිල විදුහලේ දෙවන වසරේ අධ්‍යාපනය ලැබීය. ජවිපෙ වෙනුවෙන් ගමනායකට අයත් බව කියන අක්කර තුනහමාරක පොල් සහ රබර් වගාව ඇති ඉඩමක පිහිටි නිවසක්ද, හොරණ ගෝනපල තවත් නිවසක්ද, ආරක්ෂක අංශ මගින් සොයා ගන්නා ලදී.
ගමනායක ගේ නිවසේ සේවය කළ එක් අයෙකු වූයේ පුෂ්පිකා නොහොත් සිරියලතාය. ඇය අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබීය. ඇගේ මව හෙට්ටිගේ සෝමලතාය. ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ උරුබොක්ක දම්පහලේ උපන් ඈපාගේ සෝමපාල හෙවත් පියසේන ජයතිලක හෙවත් කොටපොළ අයියා තාත්තා වූ අතර ඔවුහු හක්මන මුලටියන පදිංචිකරුවෝය.
සත්දරු පියෙකු වූ සෝමපාල 1971 ජවිපෙට සම්බන්ධ වූ අතර 1978 සිට එහි පූර්ණකාලීනයෙකු විය. දකුණේ ප්‍රචණ්ඩත්වය ආරම්භවීමෙන් පසු සෝමපාල ගේ නිවස ගිනි තැබූ අතර පසුව ඔහු දරු පවුල සමඟ නිවසින් පිටවී දෙනියාය වත්තක ලයින් කාමරයක ජීවත් විය. ගමනායක නිවසේ දරුවන් බලා ගැනීමට පුෂ්පිකා පැමිණියේ 1986දීය.
විජේවීර ගේ අවසාන දේශපාලන රැස්වීම
රෝහණ විජේවීර ගේ නායකත්වයෙන් ජවිපෙ අවසාන දේශපාලන මණ්ඩල රැස්වීම තිබුණේ 1989 නොවැම්බර් 11,12 සහ 13 යන දිනයන්හීදී ගලහ නිවසේදීය. අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඩී. එම්. ආනන්ද සහ ගුණරත්න වනසිංහට එයට සහභාගිවීමට නොහැකි විය. රජය මගින් 1989 නොවැම්බර් 12 රාත්‍රී ඇඳිරිනීතිය පැනවූ හෙයින් ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම 1989 නොවැම්බර් 12 දවල් වන විට නිමාකරනු ලැබීය.
සමන් පියසිරි ප්‍රනාන්දු, ලලිත් විජේරත්න, උපතිස්ස ගමනායක සහ රෝහණ විජේවීර මෝටර් රථයකින් පිටත් විය. ශාන්ත බණ්ඩාර වෙනමම ගියේය. පියදාස රණසිංහ සහ සෝමවංශ අමරසිංහ වෙනමම රථයකින් මඩවල ප්‍රදේශය බලා පිටත් වන්නේ ආරක්ෂාවට තබා තිබූ මුදල් වගයක් ලබා ගැනීමටය. ආපසු එන අතර මගදී සෝමවංශ අමරසිංහ ට්‍රිනිටි කන්දෙන් බැස ගියේය. පියදාස රණසිංහ අත්අඩංගුවට පත්විය. එච්. බී. හේරත්ද එදිනම ගලහ නිවසේදී අත්අඩංගුවට පත්විය.
අනතුරුව පැය ගණනාවකින් පසු විජේවීරද, පසුදින උදෑසන ගමනායකද අත්අඩංගුවට පත්වේ. රෝහණ විජේවීර, එච්.බී. හේරත්, පියදාස රණසිංහ 1989 නොවැම්බර් 12 රාත්‍රී වනවිට කොළඹට රැගෙන එන ලදී.
විජේවීර සහ හේරත් පසුදා අලුයම ඝාතනයට ලක්විය. ප්‍රධාන නායකයන් අත්අංගුවට පත්වීම ආරක්ෂක අංශයේ සුවිශේෂ දක්ෂතාවයකට වඩා ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීමට ඔවුන් දැක්වූ නොසැලකිල්ල හේතුවෙන් සිදුවූවකි.
විජේවීර ගේ නායකත්වයෙන් නොවැම්බර් 11 සහ 12 පැවති දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගිවන ගමනායක බණ්ඩාරගම නිවස බලා 12 රාත්‍රියේදී පැමිණේ. පසුදා උදෑසන එනම් නොවැම්බර් 13 මීරිගම සාකච්ඡාවක් සඳහා ඔහු ගියද එය වෙනස්වී තිබීම හේතුවෙන් සිය නිවසට යළි පැමිණේ.
එදින හිමිදිරි අලුයම විජේවිර සහ හේරත් කොළඹ කනන්තේදී ඝාතනය වුවද කිසිවෙකුට එය ප්‍රචාරය වී නොතිබුණි. එය එදින ප්‍රථමවරට අනාවරණය වූයේ සවස නිකුත් වූ ජනතා පුවත්පතේ ප්‍රධාන ශීර්ෂයෙන් සහ අමාත්‍ය රංජන් විජේරත්න පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුවය.
දර මඬුවේ ජීවිතය
උපතිස්ස ගමනායක අත්අඩංගුවට ගන්නේ බණ්ඩාරගම නිවසේදී 1989 නොවැම්බර් 13 සුදුපාට මෝටර් රථ දෙකකින් පැමිණි සිවිල් ඇඳුම් හැඳගත් පිරිසකි. ජීප් රථවලින් පැමිණි භටයන් පිරිසක්ද නිවස ඉදිරිපිට විය. නිවසේ සිටියේ ගමනායක, බිරිඳ කරුණා සහ දරුවන් බලාගැනීමට සහායවීමට සිටි මුලටියනේ උපන් මොරවක පරගල කණිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් ඈපාගේ සිරියාවතී හෙවත් පුෂ්පිකාය. දරු දෙදෙනා අමතර පන්ති ගොසිනි. අත්අඩංගුවට ගත් ගමනායක ප්‍රශ්න කිරීම සඳහා රැගෙන යන ලදී. ආරක්ෂක හමුදා නිවස වටලන විට නිවසින් පැනගිය කරුණා ජිවිතාරක්ෂාව සඳහා කැළේ සැඟව සිට පසුව ලෙනගල පන්සල අසල සෝමාවතී සූරිආරච්චි ගේ නිවසේ දින 5ක් ගත කළාය. සෝමාවතීට පුතුන් තිදෙනෙකු සහ දූවරුන් 5 දෙනෙකු සිටි අතර පුතුන් වූ සුනිල් බමුණුසිංහ ඇතුළු කිහිපදෙනෙක් ජවිපෙ ක්‍රියාකාරින් විය. ඉතා දුගී පැලක් වූ සෝමවතී ගේ නිවසේ ඉඩකඩ නොමැති හෙයින් කරුණා සිටියේ දර මඬුවේය. සිය දරුවන් ගේ ආරක්ෂාව තකා සෝමාවතී විසින් කරුණා වෙනත් ස්ථානයකට යොමුකළ අතර එම නිවසේ හිමිකරු වූයේ ජවිපෙ සාමාජිකයෙකු වූ එලිෆන්ට් හවුස් ආයතනයේ සේවකයෙකි.
නිවස වටලා ගමනායක අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පුෂ්පිකා නිවසේ පසුපසින් පලාගොස් දරුවන් දෙදෙනා ගේ පන්තිවලට ගොස් ඔවුන් රැගෙන මොරටුවේ පරත්තේ නීලා ගේ නිවසට ගියාය. එය ජවිපෙට හිතවත් නිවසකි. දෙවන දිනයේදී රත්මලානේ ශීලා ගේ නිවසට දරුවන් සමඟ ඇය ගියාය. එදින ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවද ප්‍රශ්න කිරීමෙන් පසු නැවත ගෙනවිත් දමා තිබිණි. පසුව සබඳකම් මත ජවිපෙ ක්‍රියාකාරිනියක් සමඟින් වෑන් රථයකින් ගොස් වෙනත් නිවසක නතර වූහ. එදිනද නැවත අත්අඩංගුවට පත්වී නිදහස් වුවද ඇය එහිදී සියලු අමිහිරි අත්දැකීම්වලට මුහුණ දී තිබිණි.
දරුවන් රැගෙන රත්මලාන දුම්රිය නිවාස අසල පිහිටි ජවිපෙ සාමාජිකයෙකු වන විශ්‍රාමික හමුදා නිලධාරි දසනායක ගේ නිවසේද පුෂ්පිකා සති කිහිපයක් නැවතී සිටියාය. අනතුරුව හමුවූ ගමනායක ගේ බිරිඳ කරුණාට දරුවන් දෙදෙනා භාරදීමට පුෂ්පිකා සමත් විය.
පසුදින පුෂ්පිකා ගමට එනවිට සියලු පරිසරය වෙනස් වී තිබිණි. සිය පවුලේ අය සමඟ ජිවිතය රැකගැනීමට වාසය කිරීමට ඇයට සිදුවූයේ පරගහකැළේ ගල්ගුහාවකය. වසර 22කට පසු ඇයට ගමනායක ගේ දරුවන් සහ බිරිඳ ශ්‍රී ලංකාවට පැමිණි සිටියදී රඹුක්කනට ගොස් හමුවීමට හැකිවිය. ඒ මාකඳුරේ ගාමිණී හේවාපතිරණ ගේ සම්බන්ධීකරණයෙනි.
පසුව කරුණා සහ දරුවන් විසින් පුෂ්පිකාට නිවසක් තැනිම සඳහා සහාය ලබාදුන් බව කියති. මාවරල රොටුඹ දෙල්කදවිල නව නිවසක පදිංචියට සිය සැමියා චන්ද්‍රසිරි සහ දියණියන් දෙදෙනා සමඟ ගිය පුෂ්පිකා වසර 2018 වනවිට මිත්තණියකි.
ගමනායක ජීවත් වූ නිවස තිබූ භූමිය පසුව රජයට පවරාගෙන බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගොඩනැගිල්ලක් පසුව ඉදිකරන ලදී. දැනට එහි පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි.
අත්අඩංගුවට ගත් ගමනායක ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයට ගෙන ආ අතර එහිදී ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලදී. යුද හමුදා බුද්ධි අංශයේ විශේෂ බුද්ධි නිලධාරි දයා රත්නායක (පසුව ජනරාල්) විසින් ඔහුගෙන් ප්‍රශ්න කළද කිසිදු වැදගත් තොරතුරක් ලබාගැනීමට නොහැකි විය. යුද හමුදා බුද්ධි අංශය අසූව දශකය අවසාන භාගයේදී ආරම්භ කළ අතර එයට බඳවාගත් ඉහළ නිලධාරින් 5දෙනා අතර මේජර් ජනරාල් දයා රත්නායකද විය. සෙසු අය වූයේ මේජර් ජනරාල් ජගත් අල්විස්, මේජර් ජනරාල් අබ්දුල් සහීෆ්, කර්නල් පරාක්‍රම දිසානායක සහ කර්නල් රිස්වි සැකීය. ජවිපෙ ප්‍රධාන ලේකම් 1984 පෙබරවාරි සිට කටයුතු කරමින් සිටි උපතිස්ස ගමනායක 1989 නොවැම්බර් 13 අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයට(ඔප්ස් කම්බයින්) ගෙනවිත් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලදී.
ගමනායකගේ අවසන් මොහොත
ආරක්ෂක රාජ්‍ය ඇමති රංජන් විජේරත්නද එහි පැමිණ තිබිණි. පසුව ගමනායක මත්තේගොඩ කඳවුරට ගෙන ගොස් වධ බන්ධන වලට ලක්වූවද කිසිදු තොරතුරක් අනාවරණය කළේ නැත. එදිනම රාත්‍රී ඔහු බොරලැස්ගමුවේදී ඝාතනයට ලක්විය. ඒ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය ඇමති රංජන් විජේරත්න පසුදින ප්‍රකාශ කළේ ලයිට් නැති වේලේ බොරලැස්ගමුවේදී ගමනායක හමුදා රියෙන් පැනයෑමට තැත්කළ අතර එහිදී වෙඩිවැදී මියගිය බවකි. ගමනායක ගේ දේහය හදිසි අවස්ථා නියෝග යටතේ කොහුවල සුසාන භූමියේදී ආදාහනය කළ අතර සටන නිමාවූ බවද ඇමතිවරයා කියා සිටියේය.
ගමනායක ඝාතනයෙන් අනතුරුව 1991දී නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ඉතාලියට පැමිණ දේශපාලන රැකවරණ ගත් ඔහුගේ බිරිඳ කරුණා පසුව නීතිඥ රංජිත් මෙන්ඩිස් ඇතුළ බ්‍රිතාන්‍යයේ ජවිපෙ ලන්ඩන් කමිටුවේ දිරි ගැන්වීමෙන් 1993දී බ්‍රිතාන්‍යයට සංක්‍රමණය විය. අනතුරුව දරු දෙදෙනාද ගෙන්වා ගන්නා ලදී. බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණය ලබා සිටි ජවිපෙ භික්ෂු අංශයේ නායකයෙකුව සිටි තඹරළුවේ ජිනානන්ද හිමි හෙවත් පසුව උපැවිදි වූ අරවින්දද එයට සහාය විය.
ඉතාලියට පැමිණි කරුණාට බ්‍රිතාන්‍යයට යනතෙක් පහසුකම් සලසන ලද්දේ ඉතාලියේ පදිංචි විතානගේ ධර්මසේන හෙවත් ධර්මසේන කටුගම්පල හෙවත් ඉතාලි ධර්මේය. වසර 1971 කැරැල්ලේද ක්‍රියාකාරිකයෙකු වූ කොට්ටාවේ මාලපල්ල සිටි ධර්මසේන කලක් අවිස්සාවේල්ල සාලාව කම්හලේ සේවකයෙකි. යටියන්තොට මලල්පොළ පාරේ වතුයායක වැටුප් සඳහා රැගෙන ආ රුපියල් 40,000ක මුදලක් 1973 ජවිපෙ අරමුදල් රැස්කර ගැනීම සඳහා මංකොල්ලකෑමේදී උපතිස්ස ගමනායක සමඟ විතාන ගේ ධර්මසේනද අත්අඩංගුවට පත්විය. විතානගේ ධර්මසේන 2002 ජනවාරි 28 මිය ගියේය.
කරුණා සහ දරු දෙදෙනා යළි ශ්‍රී ලංකාවට ප්‍රථමවරට පැමිණියේ වසර 17කට පසුවය. වසර 2018දී බ්‍රිතාන්‍යයේ ජීවත්වන පුතා සුචිර චාමික තාක්ෂණික ශිල්පියෙකි. වෛද්‍යවරියක වන ගමනායක ගේ දුව ජනිතා ගේ ප්‍රථම විවාහය 2009දී සිදුවිය. ජනිතා දෙවනවර 2016 විවාහ වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සමඟය.