
විජේවීරගේ 'ඊළාම් අරගලයට විසඳුම කුමක්ද' කෘතිය ප්‍රකාශයට පත් කිරීමේ වගකීම දැරුවේද ගුණරත්න වනසිංහයි
විමලා වනසිංහට ස්විට්සර්ලන්තයට ඒමට අනුග්‍රහය දක්වන ලද්දේ කලක් ජවිපෙ ක්‍රියාකාරිකයකුව සිටි මහින්ද කුරුකුලසූරිය ය. පසුව විමලා සහ දරුවා ස්විට්සර්ලන්තයේ වාසය කිරීමට ‘බී පර්මිට්’ නැතිකමින් මාස 6කින් ප්‍රංශයට සංක්‍රමණය විය. අනතුරුව විමලා ජවිපෙ නායක සෝමරත්න අමරසිංහ විසින් නිල නොවන මට්ටමින් ප්‍රංශයේ පවත්වා ගෙන ගිය ආපන ශාලාවේ සේවයට එක්වූවාය. වසර 2020 වනවිටද විමලා සහ වනසිංහගේ පුතු ජීවත්වූයේ ප්‍රංශයේය.
ඉකුත් දශක පහක් ඇතුළත ජවිපෙ කැරලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් ක්‍රියාත්මක වූහ. අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් වූහ. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.
12 කොටස
කාර්මික විද්‍යාලයීය ඩිප්ලෝමා පාඨමාලාව හදාරමින් සිටිය දී ජවිපෙට පූර්ණකාලීනව එක්වෙමින්, 1971 අප්‍රේල් කැරලි සමයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සංවිධායකවරයෙක් වූ වනසිංහ ආරච්චිලාගේ දොන් ගුණරත්න හෙවත් ගුණරත්න වනසිංහ, 1948 දී මධ්‍යම පාන්තික පවුලක උපන්නෙකි. හෙතෙම පස් දෙනකු ගෙන් යුත් පවුලක බාලයාය. පියා විදුහල්පතිවරයෙක් වූ අතර මව ගුරුවරියෙකි. අධ්‍යාපනය හැදැරුවේ අඹේපුස්ස කීනදෙණිය මහා විද්‍යාලයෙනි. ඔහුගේ මහගෙදර පිහිටියේ අඹේපුස්ස දුම්රියපොළ අසල පැරණි තැපැල් කාර්යාලයට යාබද පාරේ කන්ද උඩය.
දැදුරුඔය ඉවුරේ කැලෑ රොදවල 1971 අප්‍රේල් කැරැල්ලට පෙර පැවැති ජවිපෙ පන්ති පවත්වන ලද්දේ වනසිංහ විසිනි. එම පන්ති සම්බන්ධීකරණය කළේ හලාවත පස්කුල්ලහැන්දි කමලරත්න ද සිල්වා හෙවත් ටොපි කමල්ය. වනසිංහ ගේ නායකත්වයෙන් සේනාරත්න සිල්වා ඇතුළු 25ක පමණ කණ්ඩායමක් 1971 අප්‍රේල් 5 හලාවත පොලිසියටද පහර දුන්නේය. කැරැල්ලේ සැකකරුවකුව සිට නිදහස් වීමෙන් පසු ගුරු වෘත්තියට යොමු වූ වනසිංහ පසුව කුඩා පාසැලක විදුහල්පතිවරයා විය.
ජවිපෙ ප්‍රචාරක අංශයේ ප්‍රධානියා වශයෙන්ද දීර්ඝ කාලයක් කටයුතු කළ අතර 2වැනි කැරැල්ල අවසාන කාලයේ දී මූලස්ථානයේ සම්බන්ධීකරණ කටයුතු බාරව සිටියේය. මීරිගම ජවිපෙ සංවිධායක වශයෙන් සංවර්ධන සභා ඡන්දයට 1981 ජුනි 4 ඉදිරිපත්වී ගම්පහ දිස්ත්‍රික් ජවිපෙ සංවර්ධන සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්විය. ජවිපෙ දේශපාලන මණ්ඩලයට 1984 එක්වූ ඔහු සේන, වනේ, ගුණේ අයියා, ගුණදාස ලෙසින්ද හැඳින්විණි. අධ්‍යාපන කමිටුවේ ලේකම් ලෙස කටයුතු කළේය. අංගොඩ කොහිලවත්තේ අංක 114 තැන පිහිටි ශක්ති මුද්‍රණාලයේද, 1978 සිට කොළඹ 13 කේ. සිරිල් සී පෙරේරා මාවතේ අංක 14 දරන ස්ථානයේ පිහිටි ජවිපෙ මූලස්ථානයේදීද, පසුව 1980 සිට දෙමටගොඩ, ශ්‍රී ධර්මාරාම පාරේ අංක 73 දරන ස්ථානයේ පිහිටි කාර්යාලයේද ජවිපෙ තහනම තෙක් ඔහු දැකගන්නට ලැබිණි.
පිටු 315කින් යුත් විජේවීරගේ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද ග්‍රන්ථය 1985 සැප්තැම්බර් ප්‍රකාශයට පත්කිරීමේ වගකීම දැරුවේ ඔහුය. හෝකන්දර නිවසක රහසිගතව පවත්වාගෙන ගිය කුඩා මුද්‍රණාලයක ග්‍රන්ථය මුද්‍රණය කරමින් සිටිය දී 1985 මාර්තු අග මුද්‍රණාලයේ තිබූ පොතේ මුද්‍රිත පිටු සහ අත් පිටපතේ කොටස් කිහිපයක් පොලිස් අත්අඩංගුවට පත්විය. එම මුද්‍රණාලයේ දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ ප්‍රකාශන කිහිපයක් මුද්‍රණය කරන බවට ලද තොරතුරක් මත මෙම පොලිස් වැටලීම සිදුවිය. එහි දී ගුණරත්න වනසිංහ සහ ජයතුංග ඇතුළු කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලදී. රහසිගතව මුද්‍රණය කර තිබූ මෙම ග්‍රන්ථය 1986 මැයි 1දා සමස්ත ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ මෙහෙයවීමෙන් කොළඹ නගර ශාලාවේ දී පැවැති මැයි දින රැස්වීමේ දී නිතිඥ විජේදාස ලියනාරච්චි විසින් රැස්ව සිටි පිරිසට හඳුන්වා දෙන ලදී.
වනසිංහ අවසාන කාලයේ පදිංචිව සිටියේ අතුරුගිරිය පොළ හන්දිය පසුකළ විට පිහිටි කොට්ටාව නිවසේය. 1989 නොවැම්බර් 05 දෙමටගොඩ දී උප පොලිස් පරික්ෂකයකු විසින් අත්අඩංගුවට ගන්නා ලදී. කැලණි සරසවියේ පිහිටි රැඳවුම් කඳවුරක වනසිංහ තබාගෙන සිටිය දී නියම නමින් හඳුනාගැනීමට ආරක්ෂක අංශ සමත් විය. පසුව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය සහ කොළඹ නීති පීඨ වධකාගාරයට ගෙන ආ අතර වධබන්ධනවලට ලක්විය. වසර 1989 නොවැම්බර් 15 ඝාතනයට ලක්විය. මියයන විට 40 හැවිරිදිය.
ජවිපෙ මාතර දිස්ත්‍රික් කලක් පූර්ණකාලීන සමාජිකාවක් වූ විමලා හෙවත් ශ්‍රියානි සමඟ ආවාහ වූ ගුණරත්න වනසිංහ මිය යන විට එක්දරු පියෙකි. බෙලිඅත්තේ උපන් විමලාගේ පියා කරෝලිස්ය. මව සොපිහාමිය. ඔවුනට දූ දරුවන් 9ක් සිටි අතර විමලා දෙවැන්නාය. ගුණරත්න වනසිංහ කලක් සිය බිරිය හා දරුවා සමඟ පදිංචිව සිටියේ ගම්පහ ඉඹුල්ගොඩය.
ජවිපෙ 2වැනි කැරැල්ලේ පරාජයෙන් පසු ගුණරත්න වනසිංහ ගේ බිරිය විමලා සහ පුත්‍රයා ස්විට්සර්ලන්තයට ගොස් එහි දී දේශපාලන රැකවරණය ලබාගත්හ. විමලා වනසිංහට ස්විට්සර්ලන්තයට ඒමට අනුග්‍රහය දක්වන ලද්දේ කලක් ජවිපෙ ක්‍රියාකාරිකයකුව සිටි මහින්ද කුරුකුලසූරිය ය. පසුව ස්විට්සර්ලන්තයේ වාසය කිරීමට ‘බී පර්මිට්‘ නැතිකමින් මාස 6කින් ප්‍රංශයට සංක්‍රමණය විය.
අනතුරුව විමලා ජවිපෙ නායක සෝමරත්න අමරසිංහ විසින් නිල නොවන මට්ටමින් ප්‍රංශයේ පවත්වා ගෙන ගිය ආපන ශාලාවේ සේවයට එක්වූවාය. වසර 2020 වනවිටද විමලා සහ වනසිංහගේ පුතු ජීවත්වූයේ ප්‍රංශයේය.