
වසර 1986 සිට 1990 දක්වා 60,000 ක් ඝාතනය වූ ජවිපෙ 2 වැනි කැරලි සමය අළලා දශක 3 කට පසු හෙළිකරන අතිශය සංවේදී සත කතාව
ජවිපෙ 2 වැනි කැරැල්ලේදී කැරැලිකරුවන් විසින් පුපුරවන ලද බිම් බෝම්බ සංඛාව 300 කට ආසන්නයි.
බන්ධනාගාර/ රැඳවුම් කඳවුරු සහ පොලිස් ස්ථානවලින් 1987 සිට 1992 දක්වා පලාගිය ජවිපෙ කැරලිකරුවන් සංඛාව 568 යි.
ජවිපෙ 2 වැනි කැරැල්ල 1989 දෙසැම්බර් මස පරාජයෙන් පසු කැලෑබද දේශයට පසු බැස ගිය කැරලිකරුවන් 450 ක් පමණ රටපුරා වසරකට අධික කාලයක් පවත්වාගෙන ගිය වනගත කඳවුරු සංඛාව 21කි.
ජවිපෙ 2 වැනි කැරලි සමය පිළිබඳව මෙතෙක් බොහෝ දෙනා ඇසූ සහ කියවූ උපකල්පන, විකෘති කිරීම්, වැරදි වැටහීම් සහ වැරදි මත වෙනුවට සත ඉතිහාසය මෙම ලිපි මාලාව මඟින් විවර කරනු ඇත.
ජවිපෙ 2 වැනි කැරැල්ලේදී රජය මඟින් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනයට යොමු කරන ලද ජවිපෙ කැරැලිකරුවන් සංඛාව 11,658 යි.
ජවිපෙ, ඉකුත් දශක පහක් ඇතුළත කැරලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් ක්‍රියාත්මක වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් වූහ. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.
ජවිපෙ 1984 අප්‍රේල් මස යළි ප්‍රතිසංවිධානය වූ අතර එහි 1983 තහනමට පෙර සිටි දේශපාලන මණ්ඩලයේ සභිකයන් වූයේ විජේවීර, ගමනායක, සුමිත් අතුකෝරල, පියදාස රණසිංහ, සහ වනසිංහය. එම වසරේ ම ජවිපෙ දේශපාලන මණ්ඩලයට ගලප්පත්ති, ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි, සෝමවංශ අමරසිංහ, ඩී. එම්. ආනන්ද ඇතුළත් විය. පසුව දෙවැනි කැරලි සමයේ දී එච්. බී. හේරත්, පී. ආර්. බී. විමලරත්න සහ ලලිත් විජේරත්න ද එක්විය.
ඒ අනුව ජවිපෙ 2වැනි කැරැල්ලේ ප්‍රධාන නායකයන් 13 ගෙන් 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ ව සිටි ගණන 8කි. එමෙන්ම සරසවි උපාධිධාරින් සංඛ්‍යාව 4කි.
සරසවිවල උපාධිය හදාරමින් සිටිය දී ඉන් ඉවත්ව ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට යොමුවූ උපාධි අපේක්ෂකයන් සංඛ්‍යාව 5කි. ගුරු සහ කාර්මික නිලධාරි වැනි වෘත්තීය පුහුණුව ලබා රැකියා කරමින් සිටිය දී ජවිපෙ දේශපාලනයට පූර්ණකාලීනව එක්වූ සංඛ්‍යාව 4කි.
දේශපාලන මණ්ඩල සාමාජිකයන් 13 දෙනා අතර වයස 40ත් 45ත් අතර වූ සංඛ්‍යාව 06කි. වයස 35 සිට 39 අතර වූ සංඛ්‍යාව 03කි. වයස 31 සිට 34 අතර වූ සංඛ්‍යාව 04කි. මෙම සියලු වයස් සීමා සලකා බැලුවේ 1989 දෙසැම්බර් පදනම් කරගෙනය. නමුත් ප්‍රථම දේශපාලන මණ්ඩල සභිකයා ඝාතනයට ලක්වූයේ 1989 මැයි මසය.
දේශපාලන මණ්ඩලය පිළිබඳව වඩාත් සවිස්තරාත්මක සංඛ්‍යා සටහන් කිහිපයක් පහත දැක්වේ. එමෙන්ම ජවිපෙ 1983 පක්ෂ තහනමින් පසු 1989 දක්වා ලංකාවේ තිබූ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක තොරතුරු ද වේ.
විජේවීරගේ වෘත්තීය ලෙස සඳහන් කර ඇත්තේ විවාහ සහතිකය සඳහා ඔහු යොදා තිබූ සටහනය. වයස දැක්වීමේ දී 1989 දෙසැම්බර් දක්වා වයස පොදුවේ සඳහන් කර ඇත. සුමිත් අතුකෝරළ පමණක් 1988 මැයි 03 ඝාතනයට පත්විය. (උපන් දිනයක් නිමවී මාස 6ක් පසුකර ඇත්නම් සම්මත ක්‍රමය අනුව වසරකට එක්ව ඇත.)