රටට විරු­ද්ධව වැඩ කළොත් අපි ඒකට විරුද්ධ වෙනවා | සිළුමිණ

රටට විරු­ද්ධව වැඩ කළොත් අපි ඒකට විරුද්ධ වෙනවා

දේශපාලන පක්ෂ රැසක්ම ප්‍රකාශ කරන්නේ අද රට අස්ථාවර වී ඇති බවයි. ඇත්තටම රට අස්ථාවරද?

ඇත්තටම අද ශ්‍රී ලංකාව පමණක් නොවෙයි මුළු ලෝකයම අස්ථාවර වෙලා තිබෙන්නේ. බුදු දහමට අනුවත් මේ ලෝකේ ස්ථාවර කිසිවක් කිසිම දෙයක් නැහැ.

හැබැයි දැන් තියෙන කාරණය තමයි අපගේ මේ ශ්‍රී ලංකාවට ලෝකයේ අංක එකේ රටක් වන්නට පුළුවන් හොඳම අවස්ථාව මේක තමයි කියන කාරණය මම නොබියව ප්‍රකාශ කරනවා. ලෝකය තුළ තිබෙන මේ අස්ථාවර තත්ත්වය මෙන් ම ශ්‍රී ලංකාවට ද කෙළින්ම බලපා ඇති මේ කොරෝනා තත්ත්වයට මුහුණදී ඉතා පහසුවෙන් ම ලෝකයේ ප්‍රබලම රටක් වන්නට අපට පුළුවන්කමක් තිබෙනවා.

මොකද අපගේ රට තුළ සිටින ජනතාවගේ දැනුම්වත් කම බුද්ධිමත් කම මෙන් ම සංස්කෘතිය මේ කොරෝනා ‍රෝගය ජයගැනීමට ඉතා පහසු කාරණයක්.

ලෝකයේ පහළ ආදායම් රටවල්වල සිටින ජනතාව අතර අපි වෙනත්ම ආකාරයේ රටක් ඒ වගේම ලෝකයේ අපගේ මට්ටමේ සිටින රටවල් අතර අපි ගතහොත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ අකුරු ලිවීමේ කියවීමේ මට්ටම ඉතා හොඳ මට්ටමක තිබෙනවා. ඒ වගේම ඕනෑම කරුණක් ඉතා ඉක්මනින් අවබෝධ කර ගත හැකි ජනතාවක් සිටිනවා. අනෙකුත් රටවලට සාපේක්ෂව සෞඛ්‍ය තත්ත්වය ඉතා ඉහළ මට්ටමක පවතිනවා‍. ජීවිත අපේක්ෂා කාලය හොඳ මට්ටමක තිබෙනවා. ලෝකයේ දියුණුම කියා ගන්නා රටවල මට්ටමටම තිබෙනවා.

අනෙක් කාරණය තමයි අපේ රට තාම විනාශ වෙලා නැහැ. අපිට හොඳ පරිසර පද්ධතීන් තිබෙනවා. අපිටම ආවේණික වූ ගස් කොළන් තිබෙනවා. අතිශය වටිනා සරු පසක් මේ රට තුළ තිබෙනවා. අනික අපිට වගා කළ හැකි බිම් අදටත් ලක්ෂ හැටක් තිබෙනවා. ලංකාවේ හැම හතර දෙනෙකුටම අක්කරයකට වඩා තිබෙනවා. අපිට දැනට කෝටි දෙකයි ඉන්නේ මේ රටේ ජනතාව‍. නමුත් ඉතා හොඳින් අපි කළමනාකරණය කළහොත් වසර තුනක් ඇතුළතදී කෝටි දහයකට ආහාර අපිට නිෂ්පාදනය කළ හැකියි. මෙන්න මේ කාරණා ටික තේරුම් ගෙන රාජ්‍ය මට්ටමේ මැදිහත්වීමක් තුළින් මේ රට ඉදිරියට ගෙන යාමට අපිට හැකියාව තිබෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි.

ඔබ වහන්සේ මේ රට සංවර්ධනය සඳහා කුමක් යෝජනා කරනවාද?

මුලින් ම ‍රජය සිදු කළ යුත්තේ සියයට සියයක් පොහොර නිෂ්පාදනය මේ රට තුළම සිදු කිරීමයි. මෙරටට ගෙන එනු ලබන වල් නාශක කෘමි නාශක සම්පූර්ණයෙන් ම නතර කරන්න ඕන‍. අවුරුදු ‍තුනක් ඇතුළත රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය‍ දැක්ම කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ කාරණය තිබෙන්නේ අවුරුදු දහයක් කියලා. නමුත් මේක අවුරුදු තුනකින් සිදු කළ හැකියි. අපි දරන උත්සාහය අවුරුදු පහකට යයි. නමුත් තුනක් වෙද්දී ඉලක්ක කරා පහසුවෙන් යා හැකියි.

දැන් ජනාධිපතිවරයාගේ කාලය අවුරුද්දක් ගිහිල්ලා තව අවුරුදු හතරක් තිබෙනවා. ජනාධිපතිවරයාට කෘෂිකර්මාන්තය සම්බන්ධව තව අවුරුදු තුනක හොඳ සැලස්මකට ගියහොත් ලංකාවේ ලොකු වෙනසක් සිදු කළ හැකියි. රසායනික පොහොරවලින් තොරව, වල් නාශක, කෘමි නාශකවලින් තොරව මේ කටයුත්ත සිදු කළහොත් අපිට ඉතා හොඳ කෘෂි කාර්මික රටක් බිහි කළ හැකියි. පොහොර නිෂ්පාදිත කර්මාන්ත බිහිවෙනවා. අපිට රැකියා නිෂ්පාදනය කළ හැකියි. මේ විදියට හිතන්නේ නැහැ. අන්න එහෙම හිතලා ක්‍රියා කරනවා නම් අපිට රටක් හැටියට ලෝකයේ ප්‍රබල තැනකට පැමිණිය හැකියි.

අපේ ජනබල පක්ෂය පාර්ලිමේන්තුව තුළ ආසනයක් නියෝජනය කරනවා. ඉදිරියේදී ආණ්ඩුවට ද විපක්ෂයට ද සහය ලබා දෙන්නේ?

ඇත්තටම දැනට මම ආණ්ඩු පක්ෂය තමයි නියෝජනය කරන්නේ‍. එසේත් නැත්නම් මගේ සහයෝගය ලබාදීලා තිබෙන්නේ රජයට‍. ජාතික හැඟීමක් තිබෙන රට ගැන කතා කරන කණ්ඩායම සිටින්නේ ආණ්ඩුව තුළ. අපගේ ප්‍රතිපත්ති රාශියක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට සංවර්ධනය කරන ප්‍රතිපත්තිය තුළ තිබෙනවා. නමුත් ආණ්ඩුවේ හිටියට ඕනෑම මොහොතක ආණ්ඩුවේ වැරැද්දට අනිවාර්යයෙන්ම කතා කරනවා. පෙනී සිටිනවා. මගේ දේශපාලන ගමන තුළ මේ රටට විරුද්ධව කුමන ක්‍රියාව සිදු වූවත් ඊට විරුද්ධව නැඟී සිටිනවා. රට හදන්න පුළුවන් ප්‍රතිපත්තියට ඕනෑම අවස්ථාවක රජයට සහය ලබාදෙනවා.

ඒ වගේම ආණ්ඩුව වැරදි ක්‍රියාමාර්ග තීන්දු තීරණ ගන්නවා නම් ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළ ගස්සවනවා. ඔබලා දකින්න ඇති වරායේ නැ‍ඟෙනහිර ජැටිය ඉන්දියාවට කොටසක් දෙන්න හදන අවස්ථාවේ එය හකුලා ගන්න තුරු අපි රජයට විරුද්ධව ක්‍රියා කළා.

නැ‍ඟෙනහිර ජැටිය සම්බන්ධව සිද්ධියේදී රජය නියෝජනය කරන මැති ඇමැතිවරුන් ප්‍රමුඛ කණ්ඩායමක් රජයටම විරුද්ධව නැඟී සිටියා. ඔබ වහන්සේත් මෙම පිරිස නියෝජනය කළා. කොහොමද මේ පිරිස එකතු වුණේ?

දේශපාලනික වශයෙන් ඉතාමත් ම වැදගත් කණ්ඩායමක් තමයි එදා එකමුතු වූයේ. පක්ෂ දහයක නියෝජිතයන් මේ සඳහා එකමුතු වුණා. එය ඉතා සාර්ථක වුණා. අපි සමඟ සිටින ඒ කණ්ඩායම මේ රටට ආදරය කරන රටට හිතැති කණ්ඩායමක්. රටේ දේපළ පිටරටකට අලෙවි වෙන්න ගිය අවස්ථාවක අපි කණ්ඩායම එකමුතු වී රජයට බල කරමින් කියා සිටියා මේ තීරණය වෙනස් කරන්න කියලා. අවසානයේ නැ‍ඟෙනහිර ජැටියේ අයිතිය සියයට සියයක් ම වරායට හිමි වුණා.

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇමැතිවරු නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන් ම අප සමඟ එකමුතු වූ අනෙක් පක්ෂ නායකයන් මින් ඉදිරියේදී ද නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් මේ රට නිසි මඟට ගෙන ලෝකයේ ප්‍රබල රටක් බවට පත් කරන ක්‍රියාදාමයට සම්බන්ධ වෙනවා. ඒ වගේ ම මේ රටට විරුද්ධව‍ මේ රජය හෝ වෙනත් ඕනෑම කණ්ඩායමක් සිදු කරන අයහපත් ක්‍රියා විනාශකාරී ක්‍රියා වලට විරුද්ධව අපි නොබියව දේශපාලන භේදයකින් තොරව එකට පෙළ ගැසෙනවා.

කොරෝනා වසංගතය පැතිරී යාමේදී ශ්‍රී ලංකාව පළමු රැල්ල හොඳින් පාලනය කරනවා. එහෙත් දෙවන රැල්ල පාලනයෙන් ගිලිහී යනවා. ඔබ ‍වහන්සේ එය දකින්නේ කෙසේද?

ඇත්තටම මුල් ම කො‍රෝනා රැල්ල අපි රටක් හැටියට ඉතාමත්ම හොඳින් පාලනය කරනු ලැබුවා.

අපට ආපු දෙවන රැල්ල අවාසනාවන්ත ලෙස අපිට නිසි ආකාරයට පාලනය කර ගැනීමට නොහැකිව අපෙන් ගිලිහී ගියා. ජනතාව අතර සමහර පිරිස් මේක ගණන් ගන්නේ නැති තත්ත්වයකට පත් වුණා. ජනතාවගෙන් වැඩි පිරිසක් මේ සඳහා දැනටමත් සහය ලබාදෙනවා.

මෙය අපි ලොකු ප්‍රශ්නයක් කරගත යුතු නැහැ කියන එකයි මම කියන්නේ‍. මොකද අපි මේ රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා හැසිරිය යුතු ආකාරය දන්නවා. අපි අපගේ ක්‍රමයන් සියල්ල වෙනස් කළ යුතුයි. අධ්‍යාපන ක්‍රමය, ආර්ථිකය, සමාජය වෙනස් කරලා අපි හදන්න ඕන කොරෝනා ආර්ථිකයක්.

වැඩිය ඇවිදින්නේ නැතිව එම සීමාව තුළම තමන්ගේ සම්පත් උපයෝගි කරගෙන නිෂ්පාදනයන් ඇති කිරීම, කොරෝනා ආර්ථිකයක් කියන තැනට අපි අනුවර්තනය විය යුතුයි. උදාහරණයක් ලෙස ගතහොත් සෙනසුරාදා, ඉරිදා සහ පෝය දවස අපිට පුළුවන් පාපැදි උපයෝගි කරගෙන කිලෝමීටර් දහයක් පහළොවක් ගමන් කරන්න.

 

● ඔබ වහන්සේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදෙමින් මැතිවරණ වේදිකාවේ කටයුතු කළා. මේ වනවිට විපක්ෂය ‘ගෝඨා ෆේල්’, ‘සර් ෆේල්’ යැයි මතයක් නිර්මාණය කරනවා?

ජනාධිපතිවරයාගේ ඔය කියන ආකාරයේ වැරැද්දක් මා දකින්නේ නැහැ. නමුත් දැනට සිදුවිය යුතු ප්‍රධානම කරුණක් මට පෙන්වා දිය හැකියි.

මේ ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාවලිය තුළ මා දකින ලොකුම අඩුව තමයි සාමූහික ප්‍රයත්නයක් නැතිකම. ඒ කියන්නේ කණ්ඩා‍යමක් හැටියට නිතර එකතු වෙමින් සාකච්ඡා කරමින් සාමූහිකව තීරණ ගත යුතුයි. වර්තමානයේ එය සිදු නොවන බව තමයි මගේ හැඟීම. ජනාධිපතිතුමා අන්න ඒක කළා නම් ඉතා වටිනවා.

රටේ සිටින ප්‍රබුද්ධ පිරිස් මේ සඳහා සම්බන්ධ කර ගනිමින් දේශපාලන කණ්ඩායම් සහභාගි කරගනිමින් අත්දැකීම් ඇති කණ්ඩායම් සමඟ සාකච්ඡා කරමින් මේ ගමන ගියා නම් රටක් හැටියට අපිට ඉතා ඉක්මනින් ඉදිරියට යා හැකියි. එතකොට ක්‍රියාවෙන් ම ඔප්පු වෙයි ගෝඨා ෆේල් ද පාස් ද කියන කාරණය. මොකද ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකුට මෙය තනියම කරන්න බැහැ කියන කාරණය අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි. කණ්ඩායම් ප්‍රයත්නයක් තිබිය යුතුයි. මේ ආණ්ඩුවේ තිබෙන ලොකුම අඩුපාඩුව තමයි කණ්ඩායම් ප්‍රයත්නය නැතිකම.

 

● අපේ ජනබල පක්ෂයේ ඉදිරි ගමන කෙසේද?

අනෙකුත් දේශපාලන පක්ෂ වගේ ම අපි ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. දේශයට ආදරය කරන මේ රට ආරක්ෂා කරන්නට කැපවීම් කරන පුද්ගලයන් කණ්ඩායම් ඉදිරියේදී තවත් අප සමඟ සම්බන්ධ වේවි. අපි මේ රට තුළ හොඳ අනාගතයක් බිහි කිරීමේ ක්‍රියාමාර්ග සමඟ සම්බන්ධ වී කටයුතු කරනවා.

Comments