නීතිය, අව­නී­තිය හා රිය අන­තුරු | සිළුමිණ

නීතිය, අව­නී­තිය හා රිය අන­තුරු

ලෝකයේ සෑම තත්පර 25කට වරක් එක් අයකු රිය අනතුරු හේතුවෙන් මියයන බවත්, ලංකාවේ සෑම පැය 2යි, විනාඩි 49 කට වරක් රිය අනතුරු හේතුවෙන් කිසියම් පුද්ගලයකු මියයන බවත් වරක් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ය. ඒ කියමන සනාථ කරමින් අවුරුදු දා පමණක් රිය අනතුරුවලින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය. දිනකට 8ක් මහමඟ මිය යන රටේ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද දවසේ පමණක් 14 දෙනකු මරණයට පත්වීම ඛේදනීය ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ, සිංහල හා දමිළ අලුත් අවුරුදු දවසේ රිය අනතුරු 121ක් සිදු වී ඇති බව ය. එයින් අනතුරු 12ක් අධිවේගි මාර්ගවල සිදු වී තිබුණු අතර යතුරුපැදි අනතුරු 53ක් ද ත්‍රිරෝද රථ අනතුරු 30ක් ද සිදු වී ඇති බව ඔහු දැනුම් දුන්නේ ය. අප්‍රේල් 14 වැනිදා සිදු වූ රිය අනතුරුවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 74කි. අප්‍රේල් 14 සහ 15 යන දෙදින ඇතුළත සිදු වූ රිය අනතුරුවලින් පැය 48ක් ඇතුළත මරණයට පත් වූ සංඛ්‍යාව 30කි; තුවාල ලැබූ සංඛ්‍යාව 150කි. 2021 වසරේ ජනවාරි 01 දා සිට අප්‍රේල් 12 දක්වා කාලය ඇතුළත රිය අනතුරුවලින් පමණක් ජීවිතක්ෂයට පත්වූ ගණන 580කි.

දශක තුනක් පුරා පැවති යුද සමයේ යුද බිමට ගිය සෙබළුන් නැවත ගෙදර පැමිණේදැයි තිබුණේ විචිකිච්ඡාවකි. අද මහමඟට බසින රියදුරන්, පදිකයන් හා මඟීන් නිවෙසින් පිටතට යද්දී යළිත් නිවෙසට පැමිණේ දැයි විශ්වාසයක් නැති තරමට මහමඟ අනතුරු බහුල වී තිබේ.

අප රටට පළමු වාහනය ගෙන්වා ඇත්තේ වසර 1904 දී ය. 1910 දී කොළඹ පළමු රිය අනතුර සිදු ව ඇත. 2009 වසරේ සිට 2018 වසර දක්වා සංඛ්‍යා ලේඛන ගෙන බැලීමේදී සෑම වසරක ම අප රටෙහි රිය අනතුරු හේතුවෙන් 3000ක් පමණ මිය යයි. 15,000 ක් පමණ සදා ආබාධිත තත්ත්වයට පත්වන අතර 10,000ක් පමණ තුවාල ලබයි.

පසුගිය අප්‍රේල් 12 වැනිදා අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වෙන මෝටර් රථයක ශරීර පිටතට දමාගෙන ගමන් කළ තරුණයන් හතර දෙනකු අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව 22 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි. ඒ අතර අලුත් අවුරුදු දිනයදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ පිවිසුම් අතර වූ අනතුරකින් රථවාහන අටකට බරපතළ හානි සිදු වී තිබිණි. මේ සියල්ල නොහික්මුණු අවිනීත ක්‍රියා නිසා සිදු වූ අනතුරු ය. සුක්කානමට වැඳ වාහනය පැදවීමට පටන් ගන්නා රියැදුරන්ගේ සංස්කෘතිය වෙනුවට, දැන් අපට හමු වෙන්නේ සුක්කානමට පය තබා වීදුරුවලින් එබී මහමඟ යන්නන්ට අසභ්‍ය විහිළු කරමින් නොමනා ලෙස හැසිරෙන පරපුරකි.

පසුගිය කාලය පුරා අපට අසන්නට ලැබුණේ නොහික්මුණු රියදුරන්ගේ ක්‍රියාකලාප නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට වූ අසරණ මිනිසුන් ගැන ය. පාරට බසින කල අපට දක්නට ලැබෙන ප්‍රසන්න පෙනුමැති, වැදගත් බව සංකේතවත් කරන බොහෝ දෙනෙක් සිය වාහනයට නැඟ එය ධාවනය කරද්දී පෙන්නුම් කරන්නේ ඊට හාත්පසින් විරුද්ධ ඒ බාහිර පෙනුමට කිසිසේත්ම නොගැළපෙන ක්‍රියාවලියකි. බොහෝ වාහනවල පැති කණ්ණාඩි තිබුණ ද ඒවා ඇත්තේ අලංකාරයට පමණකි. යතුරුපැදි නම් බොහොමයක පැති කණ්ණාඩි ඇත්තේ ද නැත. පොලිසිය ද පැති කණ්ණාඩි නැති යතුරුපැදි ගැන සැලකිලිමත් නොවන්නේ ඇයිද යන්න කාලයක සිට ඇති ගැටලුවකි. මෙරට වැඩියෙන් ම අනතුරට ලක්වන්නේ ද යතුරුපැදි කරුවන් ය. විනයක් නැති රියදුරන් හා පදිකයන් නිසා පසුගිය කාලයේ ජීවිත බොහොමයක් අනතුරට ලක් විය.

මාර්ග අනතුරු යනු සංකීර්ණ සාධක රැසක් ඒකරාශි වීමේ ප්‍රතිඵලයක් මිස ඒක පුද්ගල දුර්වලතාවක් නොවේ. රිය අනතුරු රථවාහන, මාර්ගය සහ පදිකයා යන තුනෙහි සංකලනයකි. එයට වාහනවල තත්ත්වය, රියදුරන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය, මහාමාර්ගවල තත්ත්වය මෙන් ම පදිකයන්ගේ හැසිරීම ද බලපෑම් කරයි. අනතුරුවලදී බොහෝ විට පදිකයන් හා පාපැදිකරුවන් වැඩි හානියට පත් වූවත් ඔවුන් මුළුමනින් ම නිර්දෝෂී නොවන බව සත්‍යයකි.

එමෙන්ම නවීන ලෝකයත් සමඟ තරග කිරීමට තාක්ෂණය දියුණු වූ රටවල මාර්ග පද්ධති දෙස සංසන්දනාත්මක ව බැලීමේදී ශ්‍රී ලංකාව බොහෝ පහත් මට්ටමක පවතී. මාර්ග සකස් කළ ද ඒවා නිසි පරිදි නඩත්තු නොකිරීම, පුළුල් කිරීමට පවතින ප්‍රායෝගික ගැටලු නිසා තවමත් යටත් විජිත යුගයේ නිර්මාණය වූ මංමාවත් බොහොමයක් එලෙස ම පවතී. ඒවා සුළු වශයෙන් නඩත්තු කළ ද දැනට පවතින වාහන තදබදයට ඒ මාර්ග ප්‍රමාණවත් නැත. ධාවනයට එක්වන වාහන තරමට මාර්ග පුළුල් නොකිරීමත්, ප්‍රමිතියෙන් තොර මාර්ග ඉදි කිරීමත් බොහෝ අනතුරුවලට වක්‍රාකාර ව හේතුකාරක වෙයි.

මහජනතාවට නිදහසේ අවුරුදු සමරන්නට හැකි වූයේ වසර දෙකකට පසුව ය. 2019 වසරේදී පාස්කු ප්‍රහාරය නිසා බිඳුණු සිතැති සිංහල දමිළ ජනතාව අවුරුදු සැමරුවේ නැති තරම් ය. 2020 වසරේ කොරෝනා විසින් ජනතාව බිත්ති හතරට කොටු කර; අවුරුදු සිරි අසිරි සිය සමීපතමයන් පවා මීටරේ දුරෙන් තබා ගෙන සමරන්නට බල කළේ ය. අද ද මීටරේ ගැන නොකියනවා නොවේ; එහෙත් එදා තරම් ජනතාව ඒ ගැන බය පක්ෂපාත හෝ සවිඥානික නැත. හැමදාමත් මුව ආවරණ දමාගෙන මීටරේ දුරෙන් සිටිමින් ජීවිතය ගෙන යෑමට ද නොහැකිය. එහෙත් වසංගතයක විඳවීම අබියස උදා වූ අවුරුදු සැමරුම මහත් ආහ්ලාදයක් බොහෝ දෙනකුගේ සිතට කාන්දු කළ බව සත්‍යයකි. එහෙත් ඒ අවුරුදු සිරි අසිරි නොහික්මුණු රියැදුරන් කිහිපදෙනෙක් නිසා දියවී ගිය බව නම් නොකියාම බැරි ය. කොරෝනා නිසා බියවූ අප ඊට වඩා ජීවිත හානිකරන අනතුරු ගැන නොසිතීම ඛේදවාචකයකි.

අනතුරක් සිදු වූ තැන ලේ හා කඳුළු පෙරමින් කරන මතුපිට ක්‍රියාවලියෙන් ඔබ්බට ගිය විනයවත් හා සදාචාරාත්මක ප්‍රවේශයක් රියදුරු පදික දෙපාර්ශ්වය ම රකින්නේ නම් මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය පාලනය කරගත හැකි වනු ඇත. මේ අනුව රියදුරන් පමණක් නොව සමස්ත ජනතාව ම රිය අනතුරු සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබා සිටීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ.

Comments