තනි අලියාගේ තනි ගේම | සිළුමිණ

තනි අලියාගේ තනි ගේම

රිණාමවාදය ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් 1871 දී ලියූ The Descent of man නමැති පර්යේෂණ ග්‍රන්ථයේ එන පරිදි මනුෂ්‍යය වර්ගයා මුල් වරට පහළ වන්නේ අප්‍රිකා මහාද්වීපයේ ය. එනම් අප්‍රිකාවේ පිහිටි සෝමාලියාව සහ ඉතියෝපියාව යන භූමි ප්‍රදේශය තුළදීය. මනුෂ්‍යයාට නෑකම් කියන වානරයන්ගේ හිස් කබල් සහ අස්ථි කොටස් චාල්ස් ඩාවින්ට මේ භූමියේදී හමු විය. අවසාන විග්‍රහයේදී මනුෂ්‍ය වර්ගයාගේ තොටිල්ල ලෙස සෝමාලියාව හඳුන්වනු ලැබේ. ඉන්පසු මේ මිනිස්සු පා ගමනින් වෙනත් මහාද්වීප කරා ගමන් කළහ. මේ කියන කාලයේදී මහාද්වීප බොහොමයක් පාගමනින් තරණය කළ හැකි මුහුදු තීරවලින් වෙන්වී තිබිණ. මිනිස්සු ආසියාවට ද, යුරෝපයට ද, ඇමරිකාවට ද මේ ආකාරයෙන් ව්‍යාප්ත වූ බවට මතයක් තිබේ. හැබැයි වැඩිදෙනාගේ පිළිගැනීමට අනුව ලෝකයේ අන්තිමටම ජනාවාස වූ මහාද්වීපය ඔස්ට්‍රේලියාවය. ඕස්ට්‍රේලියාවේ සිටින ආදිවාසි ජනයා ලංකාවේ ආදිවාසි ජනයාගෙන් පැවත එන බවත් ඔවුන් කිසියම් ආකාරයක මුහුදු යාත්‍රාවල නැඟී එම මහාද්වීපයට ගිය බවත් උපකල්පනය කෙරේ. මේ ගැන මෙපමණ කිව යුතු නැහැ. අපි කතාවට බසිමු.

ජනතා විමුක්ති පෙරමුණේ කේඩරයෙන් වැඩි හරිය බුද්ධිමත් තරුණයෝය. කිසිදු කුහකකමක් නැතිව අපි ඒ බව පිළිගනිමු. එසේම දේශපාලන කුහකකම් තිබුණත් මෙහි නායකත්ව මණ්ඩලය ද බුද්ධිමතුන් සහ වෘත්තීයවේදීන්ගෙන් සමන්විතය. අනුර දිසානායක ඉංජිනේරුවෙකි. බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති යනාදීහු උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති ප්‍රාමාණිකයෝය. කේ. ඩී. ලාල් කාන්තගේ ජාතික දැක්ම සහ විප්ලවීය ප්‍රවේශය සමඟ හැරෙන්නටවත් බොහෝ පක්ෂවල සිටින අයට බැරිය. අපගේ වැටහීමට අනුව ජනතා විමුක්ති පෙරමුණේ කේන්ද්‍රීය සමාජ දැක්ම සහ ටිල්වින් සිල්වාගේ වියළි විහිළු අතර කිසිදු ගැළපීමක් නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවා ඇත්තේ ජනතාව වෙනුවෙන් නොව හොරා කන ආණ්ඩු වෙනුවෙන් බව ටිල්වින් සිල්වා පසුගියදා සඳහන් කළේය. මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණ ණය මෙරටට ගෙනා සැණින් සෝමාලියාවට පාන් දැම්මා සේ හොරුන් වටවී එය සොරා කනු ඇතැයි ඔහු කියයි. මේ කියමනින් ටිල්වින් සිල්වා දුප්පතුන්ගේ රටක් මෙන්ම මනුෂ්‍ය වර්ගයාගේ තොටිල්ල ලෙස සැලකෙන සෝමාලියාවට බරපතළ අපහාසයක් කරයි.

සෝමාලියාවේ එක පැත්තක ඇත්තේ මුහුදු කොල්ලකරුවන් පාලනය කරන කුඩා රාජ්‍යයකි. අනෙක් පැත්තේ නීත්‍යානුකූල සෝමාලියාව තිබේ. දුප්පත්කම නිසා මේ රට බඩගිනිකාරයන්ගෙන් පිරී ඉතිරී ඇත. සෝමාලියාවට පාන් දැම්මා යන කියමනෙන් ටිල්වින් සිල්වා බඩගින්න සහ බඩගිනිකාරයාත් අපහාසයට ලක් කරයි. තමන් සාමාජිකත්වය දරන දේශපාලන පක්ෂය කොතරම් යහපත් වුව ද තමන් අවුල් නම් මෙබඳු කතා කටින් පිට වෙයි. එබැවින් අපි ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ නටවන්නට පොළට ගෙනියන රිලවාගේ ඉන ලණුවකින් බැඳ එහි ඉතිරි කොණ රිළවා නටවන්නා අතේ තබා ගත යුතු බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය පැකේජයක් මුදා හරිනු ඇතැයි මේ රටේ විපක්ෂය කිසිසේත්ම විශ්වාස කළේ නැත. රට, ජනතාව සහ ජන දුක නැරඹීම සඳහා රාත්‍රී කාලයේදී ගෙවල් ගානේ රිංගන බව කියමින් කාලය කා දැමූ සජිත් ප්‍රේමදාස මෙවැනි ණයක් ලංකාවට ලැබෙන බව දැනගත් සැණින් සංත්‍රාසයට පත්වන්නට ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ ලෝක බැංකුවෙන් හෝ ඒ කිසිවක් නොවේ නම් අපායෙන් හෝ ණය මුදලක් ලබාගෙන මේ රට නැවත වතාවක් හුස්ම ගත යුතු බව විපක්ෂය කිසිවිටකත් කල්පනා කළේ නැත. හැබැයි IMF ණය මුදල අනිවාර්යයෙන්ම ලැබෙන බව එක්කෙ­‍ෙනක් පමණක් අනිවාර්යයෙන්ම දැන සිටියේය. ඒ සජබේ ලක්ෂ්මන් කිරිඇල්ලය. තමා ඒ බව දැන සිටියේ යැයි කිරිඇල්ල කියන්නේ ණය මුදලේ පළමුවන වාරිකය ලැබීමත් සමඟය. එනම් ණය මුදල ලැබෙන බව දැනගෙන නින්දට ගිය කිරිඇල්ල අවදිවන විට ණය මුදල රට තුළට පැමිණ තිබිණි. ඔහු ප්‍රකාශය කරන ලද්දේ ඇහැරුණු පසුය.

මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායකයා වන උදය ගම්මන්පිල කියා සිටින්නේ රනිල් වික්‍රමසිංහ යහපාලන කාලයේදී ගත් ණය බෝම්බය ගෝඨාභයගේ අතේ පත්තු වූ බවයි. රනිල් මෙවර ගන්නා ණය බෝම්බය ඊළඟ ජනාධිපතිගේ අතේ පත්තු වනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා ඇත. මේ අනතුරින් සදාකාලිකව බේරී සිටීමට ගම්මන්පිලට වාසනාව තිබේ. ඔහුගේ මතවාදය මෑතකාලීන දේශපාලන හැසිරීම තුළ ක්‍රමයෙන් දිරාපත් වෙමින් පවතින අතර, මතු යම් දවසක ජනාධිපති රේස් එකකදී ජයග්‍රහණය හිමි වනු ඇත්තේ වෙනත් අයකුටය.

දේශපාලනය තුළ පෞද්ගලික ජයග්‍රහණ නැත. විශේෂයෙන්ම පක්ෂ දේශපාලනය තුළදී පෞද්ගලික ජයග්‍රහණ ඇත්තේම නැත. එවැනි සන්දර්භ තුළ ඇත්තේ පෞද්ගලික පරාජ පමණි. ජයග්‍රහණය සැමවිටම පොදුවේ බෙදාගත් කෙසෙල් ඇවරියක් හෝ වරකා ගෙඩියක්ම විය. එහෙත් අපගේ විශ්වාසය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පැකේජය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ තනි ගේමක ප්‍රතිඵලයක් බවයි. හැබැයි ඒ සඳහා පොහොට්ටුවේ නොමඳ ආශීර්වාදය ඔහුට ලැබිණ. යම් විදියකින් මේ මුදල නොලැබුණා නම් රටක් වශයෙන් අපට යාමට ඉතිරිව තිබුණේ අපායටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සත 50 ණයක් ලැබුණත් එය මහත් සේ වටී. එම අරමුදල කිසියම් රටකට ණයක් නිකුත් කරන විට සංකේතවත් වන්නේ අදාළ ණය ගැතියා හෙවත් රට ණයක් දීමට තරම් විශ්වාසවන්ත සහ එම ණය ආපසු ගෙවීමට තරම් ක්ෂමතාවක් ඇති රටක් ලෙසය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණයක් දෙන විට කොන්දේසි ද පනවයි. කොයි බැංකුවෙන් කවුරු ණයක් ගත්තත් තත්ත්වේ එයයි. ඔබ උගස් හා ආයෝජන බැංකුවෙන් ණයක් ගන්නා විට ඔබේ දේපළ බැංකුවට උගස් කළ යුතුය. බැංකුවේ අනුමැතිය නැතිව දේපළෙහි වෙනත් ඉදිකිරීම් කළ නොහැකිය. ණය වාරික පොලිය ද සමඟ නිසි කලට ආපසු ගෙවිය යුතු අතර, එසේ නොකොළොත් නැවත වතාවක් ණය දෙනු නොලැබේ. එපමණක් නොව බැංකු නිලධාරීන් පැමිණ අදාළ දේපළෙහි තිබෙන සියලු බඩු මුට්ටු මහ පාරේ තබා ගේ වෙන්දේසි කරනු ලැබේ. IMF එකෙන් ණය ගෙන නොගෙවා සිටියොත් කිසියම් ආකාරයක තර්ජනයක් ඇතත් උන්හිටි තැන් නැති වෙන්නේ නැත. මේ අතර IMF එක පිහිටුවා ඇත්තේ ජනතාව වෙනුවෙන් නොව හොරා කන ආණ්ඩු වෙනුවෙන් බවට ටිල්වින් සිල්වා කියූ කතාවට ලංකාවේ IMF කාර්යාලය පිළිතුරක් දිය යුතුය. එසේ නොදෙනවා නම් එයට එකම හේතුව විය හැක්කේ ටිල්වින් සිල්වා යන නම කිසිදු ආකාරයකින් ඔවුන් නොදැන සිටීමය.

Comments