උපන් රටට නුඹ වැඩිවා මිසක පුතේ... | සිළුමිණ

උපන් රටට නුඹ වැඩිවා මිසක පුතේ...

කීර්තිමත් විශ්ව විද්‍යාඥ ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මිය යනතුරුම ලංකාවේ ජීවත් වූයේ කිසි කලෙකත් මේ රට අත්හැර යාමට නොකැමැති වූ බැවිනි. එයට හේතු කිහිපයක් විය. ඉන් පළමුවැන්න නම් ලංකාවේ ක්‍රමෝපායීය පිහිටීමයි. පිටසක්වල ජීවීන් සමඟ ගනුදෙනු කිරීම සඳහා මේ භූමිය යොදාගත හැකි බව ඔහු විශ්වාස කළේය. ඊට අමතරව ශ්‍රී ලංකාව වටා පිහිටි සාගරයට ද ඔහු මහත් සේ ඇලුම් කළේය. ඔහුට ලංකාව අත්හැරීමට බැරි තෙවැනි කාරණය වූයේ රේ විජේවර්ධන ය. විජේවර්ධන වූ කලී ආතර් සී ක්ලාක්ගේ කිට්ටුම ශාස්ත්‍රාලයීය මිතුරාය. ඔලිම්පික් ක්‍රීඩකයකු වූ විජේවර්ධන ගුවන් නියමුවකු වූ අතර තනිවම කුඩා ගුවන් යානයක් තනා ආතර් සී ක්ලාක් ද එහි නංවා ගෙන නුවර සිට කොළඹට ගුවනින් පැමිණ ඒ ගමන් මඟ දිගේම ආපසු නුවරට ගියේය. රේ විජේවර්ධන වැනි මිනිස්සු එදත් මේ රටේ සිටියහ. එවැන්නෝ අදත් මෙහි සිටිති. හෙටත් සිටින්නාහ.

ශ්‍රී ලංකාව යනු ලෝක ඉතිහාසයේ තිබූ පුරෝගාමී රටකි. ආසියා මහාද්වීපයේ හොඳම වාරි තාක්ෂණය තිබුණේ ලංකාවේය. ලෝකයේ පළමුවැනි වේල්ල, වාන් දොරටුව, බිසෝ කොටුව යනාදිය නිර්මාණය කළෝ මෙයට වසර දහස් ගණනකට පෙර මේ රටේ සිටි ඉංජිනේරුවෝය. මෙයට ශත වර්ෂ බොහෝ ගණනකට පෙර අවුකන බුද්ධ ප්‍රතිමාව ගලෙන් නෙළු බරණ නමැති ශිල්පියා ඒ සඳහා යොදාගත් ජ්‍යාමිතික ගණන් සෑදීම සඳහා අද ඉතා දියුණු පරිගනක අවශ්‍යය.

ලංකාව යනු 1970 සිටම දේශපාලන වියවුල් තිබූ රටකි. ඊට පෙර, එනම් ඉංග්‍රීසි ජාතිකයන් ලංකාව අත්පත් කරගැනීමෙන් පසු බරණ වැනි ශිල්පියෙක් බිහි වුණේම නැත. මේ රට සූරා කෑම සඳහා සිංහලයන්, විය ගහට තබා බැඳ හරකුන්ගෙන් වැඩ ගන්නාක් මෙන් වැඩ ගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා ලංකාව දුටුවේ තේ වත්තක් හෝ රබර් වත්තක් ලෙස පමණී. මෙයට අවුරුදු දහසකට පෙර මේ රටේ සිටි ජනගහනය මිලියන 7 කි. 1818 කැරැල්ල සිදුවන අවස්ථාවේදී එම ගණන මිලියන 4 දක්වා අඩුවී තිබුණේ විටින් විට මෙහි පැමිණි චෝල ආක්‍රමණිකයන් විසින් සමූහ සංහාර කරන ලද බැවිනි. 18 කැරැල්ලේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා තවත් සිංහලයන් දස ලක්ෂයක් පමණ සංහාරය කළේය. එබැවින් මේ රට ක්‍රමයෙන් වල් වැදුණු වනාන්තරගත රාජ්‍යයක් බවට පත් විය. බරණ වැනි ශිල්පීන් එතැන් සිට තවදුරටත් බිහි වුණේ නැත. විශාල වේලි හැදූ වාරි කාර්මිකයෝ ද බිසෝ කොටු සහ වාන් දොරටු හැදූ ගල් වඩුවෝ ද අතුරුදන් වූහ. මේ රට කොතරම් උසස් වාරි තාක්ෂණික රාජ්‍යයක් ද යන්න පැහැදිලි කර ගැනීම සඳහා ආර්. එල්. බ්‍රෝහියර් පසුගිය ශත වර්ෂයේදී ලියූ Ancient Irrigation works in Ceylon නමැති කෘතිය කියැවිය යුතුය.

එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අග භාගයේ බුද්ධි ගලනය නමැති ව්‍යාධිගත තත්ත්වයක් ලංකාවට වැලඳුණේය. මේ ව්‍යාධිගත තත්ත්වය තුළ මේ රටේ සිටි බුද්ධිමතුන්ගෙන් වැඩිදෙනා පිටරට රැකියාවලට යාමට පටන් ගත්හ. ඒ නිසා ඒ රටවල තාක්ෂණය සහ ආර්ථිකය දියුණු විය. එහෙත් ලංකාව තවදුරටත් අගාධයට ගිය බව මෙහිදී සඳහන් කළ යුතුමය. එහෙත් වර්ෂ 2010 න් පසු මේ රටේ නව සොයා ගැනීම් කරන්නන් අතර කිසියම් ප්‍රබෝධයක් ඇති විය. එයට ප්‍රධානම හේතුව විය හැක්කේ අන්තර්ජාලය සහ එමඟින් බෙදා හරින ලද දැනුමය. අන්තර්ජාලයත් සමඟම ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්විය. වැඩි ප්‍රසිද්ධියක් නොලැබුණාට වහ වහා නැඟී සිටි මේ රටේ තරුණ පරම්පරාව නව නිෂ්පාදන කරන්නට පටන් ගත්හ. ස්වයංක්‍රිය අලි වැටේ සිට ස්වයංක්‍රිය රේල් ගේට්ටුව දක්වා පුළුල් පරාසයක එම නව නිෂ්පාදන පැතිරී තිබිණ.

ඒ අතර ලංකාවේ වෛද්‍ය විද්‍යාව ද වඩාත් පුළුල් විය. මෙසේ පුළුල් වීම පිළිබඳ Land Mark සිද්ධියක් පසුගියදා වාර්තා විය. එය වූකලී ශ්‍රී ලංකා යුද හමුදාවේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් ලෝකයේ විශාලතම වකුගඩු ගල සැත්කමකින් ඉවත් කිරීමය. මේ ගලේ දිග සෙන්ටි මීටර් 13 කි. මෙහි බර ග්රෑම් 801 කි. ඉතා කුඩා ඉන්ද්‍රියක් වන වකුගඩුව තුළ මේ තරම් විශාල ලොකු ගලක් තිබුණේ කෙසේද යන්න ප්‍රහේලිකාවකි. මේ යෝධ වකුගඩු ගල් මේ වන විටත් ගිනස් වාර්තාවට ඇතුළත් කර තිබේ. මීට පෙර ඉවත් කරන ලද ලෝකයේ දිගම වකුගඩු ගල ඉන්දියාවෙන් ද බරම වකුගඩු ගල පාකිස්තානයෙන් ද වාර්තා විය. එහෙත් යුද හමුදාවෙන් ඉවත් කළ ගල ඒ සියල්ලම පරදවා ඇත. වකුගඩු ගල ඉවත් කළ කොළඹ යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශයේ වෛද්‍ය කණ්ඩායමට නායකත්වය දෙන ලද්දේ ලුතිනන් කර්නල් වෛද්‍ය කේ සුදර්ශන් ය. ඔහුට දැනටමත් නිල වශයෙන් ගෞරව පුද කරනු ලැබ ඇත.

වකුගඩු ගල් කුමක්ද යන්න ගැන මෙහිදී අපගේ පාඨකයන් දැනුම්වත් කිරීම වැදගත්ය. මේවා වකුගඩුව තුළ සෑදෙන්නේ එහි තැන්පත් වන ඛනිජ වර්ග නිසාය. මෙවැනි ඛනිජ වර්ග වකුගඩුවක් තුළ තැන්පත් වීම සඳහා හේතු ගණනාවක් තිබේ. ආහාර වර්ග අධික ස්ථුලභාවය ඇතැම් රෝග තත්ත්වයන් විශේෂ බෙහෙත් වර්ග යනාදියෙන් වකුගඩු ගල් ඇති වීමට පුළුවන. මේ ගල් කෙනකුගේ මෞත්‍ර ලිංගික පද්ධතියේ වකුගඩුවල සිට මුත්‍රා බොක්ක දක්වා වූ ඕනෑම තැනක හටගැනීමට පුළුවන. වකුගඩු ගල් එකක හෝ කිහිපයක පැවැත්ම ශරීරයට අතිශය වේදනාකාරී වන්නේය. කෙසේ වුවත් මනුෂ්‍ය වර්ගයා සෑම කල්හිම වකුගඩු ගල් සමඟ හැප්පුණු බවට සාක්ෂි තිබේ. ලොව පළමු වරට වකුගඩු ගලක් ඉවත් කිරීමේ සැත්කමක් ක්‍රිස්තු පූර්ව 600 දී සිදු කෙරී ඇත. සාමාන්‍යයෙන් ලෝක වාසීන්ගෙන් 17,000 ක් පමණ වකුගඩු ගල් හා බැඳුණු මරණවලට වාර්ෂිකව ලක්වෙති.

අපට තිබෙන අතීත අත්දැකීම් වලට අනුව ලෝකයේ විශාලම වකුගඩු ගල ඉවත් කළ ලංකාවේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම පිළිබඳ මතකය තව සති දෙකක් තුළ නිමාවට පත්වනවා ඇත. ඔවුන් දිගටම යුද හමුදා රෝහලේ රෝහලේ කාර්ය මණ්ඩලයට අනුයුක්තව වැඩ කරනවා ද ඇත. ඔවුන් පිළිබඳ මතකය සදහටම මැකී ගොස් වසර බොහෝ ගණනකට පසු ශල්‍ය වෛද්‍ය සුදර්ශන් නැවත හමුවීමේ අවස්ථාවක් අපට ලැබෙන්නේය. ඒ ලෝකයේ කිසියම් දියුණු රටක අති නවීන රෝහලක ශල්‍යාගාරය භාර ප්‍රධාන දොස්තර ලෙස ඔහු රැකියාව කරන අතරතුරය.

Comments