ප්‍රංශයේ විශිෂ්ටතම පාන් නිෂ්පාදකයා ලෙස කිරුළු පැලඳූ දර්ශන් සෙල්වරාජ් | සිළුමිණ

ප්‍රංශයේ විශිෂ්ටතම පාන් නිෂ්පාදකයා ලෙස කිරුළු පැලඳූ දර්ශන් සෙල්වරාජ්

2023 වසරේ ප්‍රංශයේ අති විශිෂ්ටම "බැගට්" (Baguette) පාන් නිෂ්පාදකවරයා ලෙස තේරී පත්ව, ඉදිරි වසර පුරාවට ම ප්‍රංශ ජනාධිපති මන්දිරයට බැගට් පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමි කර ගත් දර්ශන් සෙල්වරාජ්, පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

ඒ, සිය දරු දෙදෙනා සහ බිරිය සමඟ සති තුනක නිවාඩුවකට ය.

යාපනයේ තෙලිප්පලෙයි සිය ගම බලා යන්නට පෙර, බේරේ වැව අසබඩ 'තරු විලා' හෝටලයේ ගිමන් හරින්නට නැවතුණු පැය කිහිපයේ අපි ඔහු මුණ ගැසුනෙමු.

ඔහු ජයග්‍රහණය කළ තරගය, "Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris" නමින් හැඳින්වේ.

සෑම වසරකම විනිසුරු මඬුල්ලක් විසින් ජයග්‍රාහකයා තෝරා ගනු ලබන්නේ සංකීර්ණ ලකුණු ක්‍රමයක් භාවිත කරමිනි.

තරග ජයග්‍රාහකයා ලෙස තේරී පත් වීම, පැරීසියේ බේකරිකරුවන් හට විශාල ගෞරවයක් වන අතර, එය මූල්‍ය ප්‍රතිලාභයට වඩා වැඩි ඉහළ පිළිගැනීමක් සහිත තත්ත්වයක් ළඟා කර දෙන්නකි.

ජයග්‍රාහකයා සඳහා ත්‍යාග මුදල වසරින් වසර වෙනස් වන නමුත් අවම ත්‍යාග මුදල දැනට යූරෝ 4000කි.

ජයග්‍රාහකයාට ප්‍රංශයේ වත්මන් ජනාධිපතිවරයාට සහ එලිසීස් මාලිගයට වසරක් සඳහා සෑම දිනක ම නැවුම් බැගට් සැපයීමේ කොන්ත්‍රාත්තුව ද ලැබේ. එමෙන්ම, ජයග්‍රාහකයාට තම බේකරිය ඉදිරිපස කවුළුවේ 'හොඳම බැගට් තරගයේ ජයග්‍රාහකයා' යනුවෙන් විශාල ස්ටිකරයක් ඇලවීමට ද අවස්ථාව ලැබෙන අතර, එය එම ආයතනයේ අලෙවිය සහ කීර්තිනාමය වර්ධනය කිරීමට ප්‍රබල හේතුවක් වේ.

තරගයේ විනිශ්චය මණ්ඩලය විශේෂඥයන්, විශ්‍රාමික බේකරිකරුවන්, බ්ලොගර්වරුන්, මාධ්‍යවේදීන් සහ සාමාන්‍ය පුරවැසියන් කිහිප දෙනකුගෙන් සමන්විත ය. එසේම, දැඩි තරගකාරී නීති රීති සහ කොන්දේසි සහිත ය.

තරගය පැවැත්වෙන දින උදෑසන, බේකරිකරුවන් සිය ගණනක් ඔවුන්ගේ හොඳම සම්ප්‍රදායික බැගට් දෙකක් තරගයට ඇතුළත් කිරීමට පෙළ ගැසී සිටිති. තරගයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබීමට ප්‍රධාන නිර්ණායක දෙකක් සපුරාලිය යුතුය. එනම්, බැගට් දෙකම සෙන්ටිමීටර 55 සිට 65 දක්වා දිගු විය යුතු අතර, බර ග්‍රෑම් 250 සිට ග්‍රෑම් 300 අතර විය යුතු ය.

මේ සුදුසුකම් සැපිරූ පැරිස් නගරයේ පළපුරුදුකාර බැගට් තරගකරුවන් 1,300 ගණනක් පරදවා යාපනයේ තෙලිප්පලෙයි ගමෙන් ප්‍රංශයට ගිය දර්ශන් සෙල්වරාජ්, යූරෝ 4,000 තෑගි මුදල ඇතුළු සියලු ජයග්‍රහණ හිමි කර ගත්තේ ය.

මේ ඔහුගේ කතාවයි.

"මම ඉගෙන ගත්තේ වවුනියාව දෙමළ මහා විද්‍යාලයේ. උසස් පෙළට කළේ වාණිජ විෂයන්. උසස්පෙළින් පස්සේ මට ඕනෙ වුණේ නීතිය හදාරන්න. මම උත්සාහ කළා නාවල විවෘත විශ්වවිද්‍යාලයට බැඳෙන්න. ඒත් ඒ වෙනකොට පොලිස් නිලධාරියකු ලෙස වැඩ කළ මගේ තාත්තා හිටියේ අසනීපයෙන්. අම්මා වවුනියාව සතොසෙ වැඩ කළා. පවුලේ ළමයි තුන්දෙනෙක්. උපාධියක් ගන්න වියදම් කරන්න තරම් අම්මට පුළුවන්කමක් තිබුණේ නැහැ. මගේ මාමා තමයි මට කිව්වේ යුරෝපයට යන්න, උදව් කරන්නම් කියලා. මම refugee visa යටතේ ප්‍රංශයට ගියා. එහෙම ගියාම ඉගෙන ගන්නවත්, හොඳ රස්සාවල් හොයන්නවත් බැහැ. රෙස්ටුරන්ට්වල තමයි වැඩිපුර වැඩ කරන්න වෙන්නේ. මං ලැබුණු පළමුවැනි අවස්ථාව භාර ගත්තා. ඒ, ඉතාලි රෙස්ටුරන්ට් එකක පොඩි ස්ටුවර්ඩ් ජොබ් එකක්. අවුරුද්දක් හමාරක් විතර වැඩ කරද්දී ඒ අයිතිකරු ආපණශාලාව විකුණන්න තීරණය කළා.

හැම සිකුරාදා ම අපේ රෙස්ටුරන්ට් එකට ආපු කස්ටමර් කෙනෙක් හිටියා. එයා ප්‍රංශ මහත්තයෙක්. නම ක්ෂේවියර්. එයා මට කිව්වා එයාගේ ළඟ වැඩට එන්න කියලා. මම කළේ ස්ටුවර්ඩ් ජොබ් එකක් නිසා බේකරි වැඩ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒත් වැඩ කරමින් හිටි තැන වැහුවට පස්සේ වෙන ජොබ් එකක් හොයා ගත යුතු වුණා. මම ක්ෂේවියර් මහත්තයා ගේ " Au Levain Des Pyrenees" බේකරියේ වැඩට ගියා. ඔහු මට මාස තුනක් ඇතුළත බේකරි කර්මාන්තයේ අවශ්‍ය දේවල් ටික ඉගැන්වුවා. ඉතිරි ටික මගේ උනන්දුවෙන් ඉගෙන ගත්තා. ටික කලක් එතැන හොඳින් වැඩ කරන කොට, ඔහු මාව මේ බේකරියේ ඉන්චාර්ජ් කළා. ඔහු තවත් බේකරියක් පටන් ගත්තා.

ඊළඟට, ක්ෂේවියර් මහත්තයා බේකරිය කුලියට දෙන්න ගියාම මම ඉල්ලුවා. එයා මට විකුණන්න කැමැති වුණා. මම මිලදී ගත්තා. මම ඉන්න මේ පළාතේ විතරක් බේකරි 40කට වැඩිය තියෙනවා. නමුත් මේ බේකරිය අවුරුදු 40ක් පරණ, Original French Style බේකරියක්. මේ බේකරියේ හදන බැගට්වල අවුරුදු හතළිහක් රැකගෙන ආ සාම්ප්‍රදායික සහ ඊටම ආවේණික රසයක් තිබෙනවා. ඇත්තටම මේ බේකරිය මේ පළාතේ අනන්‍යතාවක්. ඒ නිසාම, මේ පළාතේ මොනතරම් බේකරි තිබුණත් අපේ මේ බේකරියම හොයාගෙන එන පිරිසක් ඉන්නවා.

ඒ කාලෙ මං වැඩ පටන් ගත්තේ පාන්දර හතරට පහට. අයිතිකාරයා වුණා කියලා නැහැ, අදටත් මම හැමදාම පාන්දර පහට බේකරියට යනවා. මගේ ළඟ නව දෙනෙක් රස්සාව කළත් මමත් වැඩ කරනවා.

අපේ බේකරියේ බැගට් ඇතුළු බේකරි නිෂ්පාදන 35ක් විතර හැම දවසක නිෂ්පාදනය කරනවා. දවල්ට සැන්ඩ්විච් සලාද සහ සුප් හදනවා. හවසට ඩෙසර්ට් වර්ග කිහිපයක් ම හදනවා.

ප්‍රංශ ජනාධිපතිතුමාට බැගට් සැපයීමේ කොන්ත්‍රාත්තුව වසරකට ලබා ගන්න මේ පළාතේ පුදුම තරගයක් තිබෙන්නේ. හැමෝම උත්සාහ කරන්නේ කොහොම හරි ඒ කොන්ත්‍රාත්තුව ලබා ගන්න. ඒ නිසා හැමෝම තමන්ගේ බේකරිවල නිෂ්පාදනය කරන බැගට් ඉතා ඉහළ තත්ත්වයකින් යුතුව නිෂ්පාදනය කරන්න වග බලා ගන්නවා. මොකද වාර්ෂිකව මේ තරගයට ඉදිරිපත් වෙන්න ඒ හැමෝම උනන්දු වන නිසා. ඒ වගේම, ඒ ලැබෙන ජයග්‍රහණය ඉහළ පිළිගැනීමක් ලැබෙන අවස්ථාවක් නිසා.

පැරිස් නුවර විතරක්, රජයේ ලියාපදිංචි බේකරි නිෂ්පාදකයන් 1,300ක් සිටිනවා. ඔවුන් සමග තරග කර 2023 වසරේ අති විශිෂ්ටතම ප්‍රංශ "බැගට්" පාන් නිෂ්පාදකවරයා ලෙස ජයග්‍රහණය කරන්න මට පුළුවන් වුණා කියන්නේ, ශ්‍රී ලාංකිකයෙක් විදියට විශාල සතුටක්. අාඩම්බරයක්.

ඇත්තටම, ලැබුණු රස්සාව භාර ගත්තා මිස, මම මේ ආහාරපාන අංශයේ රැකියාවක් ගැන හිතලාවත් තිබුණේ නැහැ. මට ඕනේ වුණේ නීතිඥයෙක් වෙන්න. නමුත් තාත්තගේ අසනීපය එක්ක ආර්ථික හැකියාවක් නැති තැන ගත්තු තීරණය තමයි මගේ ජීවිතයේ Turning point එක වුණේ.

මට ඉන්නේ අයියා කෙනෙක් සහ මල්ලි කෙනෙක්. අයියා ධනුජන් පදිංචි පැරිස් නුවර. මල්ලි නාගදීපන් අම්මා එක්ක තවමත් යාපනයේ පදිංචි වෙලා ඉන්නවා. මං මේ පාර ආවේ එයාලව බලන්න. තාත්තා නම් නැති වුණා. මං එක සැරයක් අම්මව ප්‍රංශයට ගෙන්වා ගත්තා. ප්‍රංශයේ බේකරියක අයිතිකාරයෙක් වෙලා, ඉන්න හැටි අම්මා දැක්කා. හුඟක් සතුටු වුණා.

වයස 19 දී කිසිම දෙයක් නොදැන ප්‍රංශයට ගිහින්, කර්මාන්තයක් ඉගෙන ගෙන, මේ වගේ තැනකට එන්න ලැබීම ගැන මටත් සතුටුයි. මට මගේ බිරිය මුණ ගැහෙන්නෙත් ප්‍රංශයේ දී. එයා ශ්‍රී ලාංකික දෙමළ පවුලක. පුංචි කාලෙ ම ප්‍රංශයේ පදිංචියට ඇවිත්. ඒ වෙනකොට එයා ප්‍රංශ විශ්වවිද්‍යාලයක ඉගෙන ගනිමින් හිටියේ. ඊළඟට Accounting Company එකක වැඩ කළා. මම එතකොට මාසේ පඩියට රස්සාව කරන කෙනෙක්. අපි යාළු වුණා. විවාහ වුණා. විවාහයත් එක්ක එයා රස්සාවෙන් අයින් වුණා. දරුවන්ගේ වැඩ කටයුතු වගේම, දැන් අපේ ආයතනයේ ගිණුම් අංශයේ සියලු කටයුතු බලන්නේ එයා.

අනෙක් අතට මොකුත්ම නැතිව ප්‍රංශයට ගිය මට, අද ප්‍රංශ සම්ප්‍රදායේ බේකරියක් තිබෙනවා. හොඳ ගෙයක්, වාහනයක් තිබෙනවා. ඒ සේරටම වඩා ලස්සන පවුලක් තිබෙනවා. දැන් මට වයස 37යි. මේ දේවල් ලබා ගන්න මම හුඟක් කැප කිරීම් කළා. ඒ විඳපු දුක් දැන් මට සතුටක්.

මං තව සති දෙකක් ලංකාවේ ඉන්නවා. ලංකාවට ආවම මට මතක් වෙන්නේ ඒ අතීතය..."

දර්ශන්ගේ ජයග්‍රහණය පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ, සංචාරක කටයුතු පිළිබඳ සිය වෘත්තීය රාජකාරියකට ප්‍රංශයට ගොස් සිටි ඩෘවි ගුණසේකර, ඔහුගේ බේකරිය සොයා ගියේ, ශ්‍රී ලාංකිකයකු සේ ඔහුට සුබ පතන්නට ය. ඇය ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය සංචාරක මණ්ඩලයට දැනුම් දුන්නා ය. සංචාරක මණ්ඩලය, ඔහු වෙනුවෙන් පුංචි පහේ පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කළේ ය. ඔහු තරු විලා හෝටලයට පැමිණියේ ඒ සියලු පිළිගැනීම්වලින් අනතුරුව හවස් යාමයේ ය.

ඉදින්, එළැඹෙන සති දෙක තුළ ඔහු සිය මතක සමඟ යාපනයේ තෙලිප්පලෙයි ගමේ සිය නෑසියන් සමඟ වසනු ඇත. කලෙකින් ඇවිදින්නට බැරි වූ තම මවු රටේ බොහෝ තැන්වල සංචාරය කරනු ඇත.

 

ජායාරූප-

දුෂ්මන්ත මායාදුන්නේ

ටී. කේ. ජී. කපිල

Comments