GSP+ සහනය ශ්‍රී ලකාවේ අපනයන ආර්ථිකයට සහනයක් | සිළුමිණ

GSP+ සහනය ශ්‍රී ලකාවේ අපනයන ආර්ථිකයට සහනයක්

ටේ අර්බුදයක් පවතින මෙවැනි අවස්ථාවක 2027 දෙසැම්බර් 31 දක්වා තවත් වසර 4ක් GSP+ තීරු බදු සහනය දීර්ඝ කිරීම අපට වැදගත් වෙයි. GSP+ සහනය හිමි වී තිබූ දෙයක් වන අතර මෙහිදී සිදු වී ඇත්තේ තවත් වසර කිහිපයක් සඳහා දීර්ඝ කිරීමකි. මේ වසරේ අවසානයේදී මෙය අවසන් වීමට නියමිත ව තිබුණි. ඉන් අනතුරුව මේ බදු සහනය නැවත අයඳුම් කළ යුතු ව තිබුණි. GSP+ සහනය මෙරටට පමණක් නොවෙයි, යම් යම් කොන්දේසිවලට අනුව දියුණු වෙමින් පවතින වෙනත් රටවලට ද මේ බදු සහනය හිමි වෙයි. යුරෝපා සංගමය විසින් වසර හතරකට දීර්ඝ කිරීම සිදු කර ඇත. එසේ ම මෙය ආරම්භයේ සිටම ලබාදීම සිදුවී ඇත්තේ යම් කොන්දේසි අනුවයි. උදාහරණක් ලෙස ළමා ශ්‍රමිකයන් යොදවා නොගැනීම, කම්කරු නීති උල්ලංඝනය නොකිරීම, පරිසරය දුෂණය සම්බන්ධයෙන් කාබන්ඩයොක්සයිඩ් පාලනය කිරීම වැනි කොන්දේසි මත ලබාදීම සිදුවිය. ඒ නිසා මෙය හිමි කර ගැනීමට නම් අප වැනි රටවල්වල විශාල කැප කිරීමක් අවශ්‍යයි. මේ කොන්දේසිවලට අනිවාර්යෙන්ම ක්‍රියා කිරීම වැදගත් වෙයි.

එසේ ම මේ GSP+ සහනය ලබාදීමේදී යුරෝපා සංගමයේ යම් යම් අරමුණු විය. ඒ අය බලාපොරොත්තු වූ කරුණු රැසක් වෙයි. අඩු ආදායම්ලාභී මෙවැනි රටවලට උපකාර කිරීමේ අරමුණින් මෙය ආරම්භ විය. මේ රටවල් සංවර්ධනය කරා ගමන් කරවීම මෙමඟින් අපෙක්ෂා කරන අතරතුර ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, නීතිය හා සාමය ආරක්ෂා කිරීම, වැනි කරුණු කෙරෙහි වඩා අවධානය යොමු කරමින් එවැනි යහපත් වාතාවරණයක් මෙවැනි රටවල ඇති කිරීමට මේ කැප කිරීම යුරෝපා සංගමය විසින් සිදු කර ඇත. මේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපිට මේ GSP+ සහනය පමණක් අපේක්ෂාවෙන් සිටීමට නොහැකියි. මෙය නැවත දීර්ඝ කිරීම ඉතා වැදගත් වන නමුත් GSP+ සහනය මතම රටක් ගොඩ නැඟිමට නොහැකියි. මේ බදු සහනය ලැබුණ ද ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇත්ත වශයෙන්ම පවතින්නේ ඍණාත්මක වර්ධනයකි. එයට බලපානු ලබන හේතුව මෙරට අපනයනිකයන් සඳහා පවතින වෙළෙඳපොළයි. එනම් අපේ ඇඟලුම්වලට වටිනාකමක් ලැබෙන්නේ යුරෝපය සහ ඇමෙරිකාව කේන්ද්‍ර කර ගනිමිනුයි. මේ රටවල්වල අපේ රටේ ප්‍රධාන වෙළෙඳාම පවති. මේ වනවිට යුරෝපයේ සහ ඇමෙරිකාව වැනි රටවල ආර්ථික අර්බුද පවතී. ඒ ආර්ථික අර්බුදයත් සමඟ විශාල ලෙස ඉල්ලුම අඩුවී ඇත. ඒ නිසා මේ රටවලට ඉල්ලුම පහතට වැටී ඇත. විශේෂයෙන්ම ඇමෙරිකාව වැනි රටවලට ආනයනය කරන භාණ්ඩ විශාල ලෙස අඩුවී ඇත.

ඒ අනුව 15%ක් වැනි ප්‍රමාණයකින් ඇමෙරිකාව මේ වසරේ මුල් කාර්තුවේදී ආනයනය කරනු ලබන භාණ්ඩ අඩු වී ඇත. මක්නිසාදයත් ඒ රටවල විශාල භාණ්ඩ අතිරික්තයක් පවතියි. එයට හේතුව එම රටවල පාරිභෝජනය අඩුවීමයි. එනම් පාරිභෝගිකයන් බඩු මිලදී ගැනීම අඩු වීමයි. ඒ නිසා අමතර සැපැයුම් ඒ රටවල පවතී. එමෙන්ම යුරෝපයේ වුවත් සමහර රටවල ගැටලුකාරී තත්ත්වයන් පවතී. ඇමෙරිකාවට සාපේක්ෂව යුරෝපයේ ගැටලුකාරී තත්ත්වය අඩුවෙයි. එනමුත් යුරෝපයේ තවම පවතින රුසියානු යුක්රේන යුද්ධයත් සමඟ ඇඟලුම්වලට එම රටවල වියදම අඩු වී ඇත. බ්‍රිතාන්‍යයටත් මෙවැනි ගැටලු පවතී. GSP+ සහනය මතම ඩොලර් සෙවීමට ගියහොත් විශාල ගැටලුවක් මතු වන්නේ එහෙයිනි.

GSP+ සහනය ශ්‍රී ලකාවේ අපනයන ආර්ථිකය යථාවත් කිරීමට යම් සහනයකි. මේ අර්බුදයත් සමඟ සිදුවීමට තිබුණ යම් අලාභය අවම වීමක් මෙමඟින් සිදුවෙයි. එය අස්වැසීමකි. රටක ස්ථාවර භාවයට දේශපාලන ආර්ථීක ස්ථාවරත්වය නීතිය හා සාමය ආරක්ෂා කිරීම ව්‍යාපාරයක් කිරීමට කෙතරම් පහසුකම් මෙරට තුළ පවතින්නේ ද ආයෝජකයන්ට ව්‍යවසායකයන්ට කෙතරම් ස්ථාවරත්වයක් පවතී ද යන්න පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුයි. රට ගැන වැරදි ආරංචි පැතිර වීම නතර කර රටේ ස්ථාවරත්වයක් පවතින බවට හොඳ ප්‍රතිරූපයක් ලෝකයට පෙන්වීම වැදගත් වෙයි. ඒ සඳහා අප උත්සාහ කළ යුතුයි. මෙය අපිට හිමි වීම අපේ රටේ යම් වාසනාවකි. මේ අර්බුදයක සිටින අවස්ථාවක GSP+ සහනය නොලැබී ගියොත් එය කබලෙන් ලිපට වැටීමක් වෙයි. තාවකාලිකව යම් සහනයක් මෙයින් අත්වෙයි. රටේ කොවිඩ් අර්බුදය සහ ගිය වසරේ පැවැති ආර්ථීක අර්බුදය වැනි අර්බුදවලට පත් නොවුණා නම් මෙරට ලෝක බැංකුවේ ආර්ථීක දර්ශකයේ ඒක පුද්ගල ආදායම ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට ආසන්නව පැවැතිණි. ඒ තත්ත්වයේ අපි අඛණ්ඩව වසර තුනක් පවත්වාගෙන ගියේ නම් ඉන් අනතුරුව මෙරටට ලැබෙන GSP+ සහනය අහිමි වෙයි. GSP+ සහනය ලබා දෙන්නේ පහත මධ්‍යම පන්තික රටවලටයි. ඒක පුද්ගල ආදායම ඉහළ මධ්‍යම පන්තිය දක්වා අඛණ්ඩව පැවැතුණේ නම් එය අහිමි වන්නේ ඒ අනුවයි, නමුත් අපි අපේක්ෂා කළයුතු වන්නේ එවැනි තැනකට රට ඔසවා තැබීමටය. කෙසේ වුවත් චීනය ඉන්දියාව වියට්නාමය වැනි රටවල් අපේක්ෂා කරන කරුණක් GSP+ සහනය වැනි පොදු වෙළෙඳ සහනයක් මත යැපෙනවාට වඩා ද්විපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම් ගතවීම යි. විදෙස් ප්‍රතිපත්තිවල යම් යම් අඩුපාඩු සකසාගෙන අපි ඉදිරියට යා යුතුයි. ඒනිසා ඉදිරියට යෑමට අපට හැකියාවක් තිබිය යුතුයි. 2030 චීනය ඉන්දියා වැනි රටවල් ඇඟලුම් කර්මාන්තයේ ආනයනයේ පරිභෝජනයේ ඉහළටම යන රටවල් වෙයි. තීරු බදු නොගෙවා එම වෙළෙඳපොළට ඇතුළත්වීම යම් සහනයක් වෙයි. ඇමෙරිකාව එංගලන්තය ජපානය කොරියාව ඔස්ට්‍රේලියාව වැනි රටවලට ද්විපාර්ශ්වීය ගිවිසුම් අනුව ඒ වෙළඳපොළට යා හැකි නම් එය ඉතා වැදගත් වෙයි.

වියට්නාමය වැනි රටවල් කලාපීය ද්විපාර්ශ්වීය ගිවිසුම් 13කට පමණ පැමිණ ඇත. අපටත් කලාපීය වශයෙන් වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් විය හැකි නම් වඩාත් වාසි දායක වෙයි. ඒ සඳහා අපි වඩාත් කැපවීමෙන් කටයුතු කිරීමට විදෙස් කටයුතු අමාත්‍යාංශය මැදිහත් විය යුතුයි. ඇමැතිවරුන් පමණක් නොවෙ. නිලධාරීන් ද ඒ සඳහා කටයුතු කළ යුතුයි. වෙළෙඳ ගිවිසුම් පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා වෙනම කමිටුවක් පත් කර තිබුණි. ඵලදායිතාව පිළිබඳව හොඳ සහසම්බන්ධිකරණයක් ඒ සඳහා තිබිය යුතුයි. මෙවැනි රටවල් සමඟ ඉන්දියාව වැනි රටවල් ද්විපාර්ශ්විය ගිවිසුම් ඇති කර ගැනීමට උත්සාහ කරන අතර එය අපේ රටවලට ලොකු පහරක් විය හැකියි. යුරෝපා සංගමයේ රටකට අපනයනය කරන විට සාපේක්ෂව භාණ්ඩය වෙළෙඳ පොළට රැගෙන යාමට දේශීය අපනයනකරුවන්ට යම් සහනයක් හිමිවෙයි. අපි සමඟ තරග කරන බංගලාදේශය, වියට්නාම්, කාම්බෝජය, කෙන්යාව දකුණු අප්‍රිකානු රටවල, වැනි රටවල් මේ අතර වෙයි. එහිදී දකුණු අප්‍රිකානු රටවල්වලට ලොකු වාසියක් අත්වෙයි. එයට හේතුව අවම සංවර්ධිත රටවල් නිසා තීරුබදු නැතුව භාණ්ඩ අපනයනය කිරිමේ පහසුකම් වෙයි. මේ රටවල නිෂ්පාදිත ඇතැම් භාණ්ඩ ඇමෙරිකාව වැනි රටවලට පවා අපනයනය කළ හැකියි. බංග්ලාදේශය තවම අවම සංවර්ධිත රටක් හැටියට ගණන් ගැනෙන නිසා ඒ රටටත් කිසිදු කොන්දේසියක් රහිතව යුරෝපයට භාණ්ඩ යැවීමට හැකියාව ඇත. අපිට GSP+ තියෙන නිසා භාණ්ඩ මිලේ ලොකු වෙනසක් නොතිබිණි. ලංකාවේ ඇඟලුම් සඳහා වන ඉහළ ඉල්ලුම් තත්ත්ව නිසා ද අපිට යුරෝපා වෙළෙඳපොළේ ඉල්ලුම ලොකු අර්බුදයක් නොවෙයි.

නමුත් GSP+ සහනය අහිමි වුවහොත් ලංකාවෙන් භාණ්ඩයක් ආනයනය කිරීමේදී යුරෝපීය අනයනකරුවාට විශාල වෙනසක් පවතී. ඇත්ත වශයෙන්ම 10%ක් හෝ 12%ක් පමණ වැඩියෙන් ආනයනය කිරීමට කිසිදු ආනයන කරුවෙකු අපේක්ෂා නොකරයි. වෙ‍ෙළඳපොළ ආරක්ෂා කර ගැනීමට අපේ නිෂ්පාදකයට එමඟින් යම් කාලයක් හිමි වෙයි.

මේ GSP+ බදුසහන මඟින් දැනට ඇඟලුම් අපනයනවලින් මෙරට පාවිච්ච් කරන්නෙ 50%ක් පමණයි. එයට හේතුවක් නම් අපට භාණ්ඩ අපනයනය කිරීමේදී ඉපැයීමේ අගය එකතු කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතී. භාණ්ඩ අපනයනය කිරීමේදී අගය එකතු කිරීමට ලංකාවේ අමු ද්‍රව්‍ය එකතු විය යුතුයි. එසේ නොවේ නම් සාක් කලාපයේ හෝ යුරෝපා අපනයන විය යුතුයි. ලංකාවේ රෙදිපිළි නිෂ්පාදනය අඩුයි. බොහෝ විට අපි ඒ මිලත් සමඟ බැලීමේදී මෙරටේ අමුද්‍රව්‍ය අපනයනය සිදුවන්නේ චීනෙන් ඉන්දුනීසියාවෙන් හෝ තායිලන්තයෙනි.

ඒ නිසා යුරෝපයට අපි රටක් ලෙස ඩොලර් බිලියනයක් අපනයනය කරන්නේ නම් එයින් GSP+ ප්‍රතිලාභය දැනට හිමිවන්නේ 51%කට පමණයි. අපිට එය වැඩිකර ගැනීමට අවශ්‍යයි. අපි රජයන් ගණනාවක් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. රෙදි නිෂ්පාදනය වැඩි කර ගැනීමට වසර ගාණක් තිස්සෙම සටන් කර ඇත. ඒ අනුව එරාවුර් නමින් රෙදිපිළි නිෂ්පාදනය කිරීමට හැකි වෙළෙඳ නිෂ්පාදන කලාපයක් ඇරඹීමට සැලසුම් කර ඇත. නමුත් එයත් රජයේ ප්‍රාග්ධන වියදම් අඩු නිසා සම්පුර්ණ කිරීමට හැකිවී නැත. එහි කර්මාන්ත ශාලා පහක් හයක් පමණ ඉදිකිරීමට හැකි නම් දැන් මේ පවතින 50%ක් පමණවූ ප්‍රමාණය 70%ක් දක්වා ඉහළට ගෙන ඒමට හැකි වෙයි. එය අපේ අපනයන වැඩිවීමට විශාල ලෙස බලපායි. චීනෙන් හෝ වෙනත් රටවල්වලින් ආනයනය අඩුවී අපිට ලංකාවේම රෙදිපිළි නිෂ්පාදනය වැඩි කර ගැනීමට හැකි නම් වඩා වැදගත් වෙයි.

එංගලන්තය හෝ වෙනත් රටවල් සමඟ සාකච්ඡා කර තාවකාලිකව හෝ මේ සඳහා විසඳුම් සොයා ගත යුතුයි. අවම මට්ටමින් අපිට හැකියාවක් වේනම් තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවල්වලින් ආනයනය කරන භාණ්ඩවලට අපිට තීරුබදු සහනයක් ලබාගැනීමට එය වඩා වැදගත් වෙයි. යුරෝපයෙන් GSP+ සහනයක් හිමි වන්නේ ද මෙරට නිෂ්පාදිත රෙදිපිළිවලට පමණයි. චීනයෙන් ගෙන එන රෙදිපිළි අධෛර්යවත් කර තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවල්වලින් ආනයනය කරන කරන භාණ්ඩවලට තීරු බදු සහනයක් ලබා ගැනීමට හැකියාව ඇත්නම් නම් විශාල සහනයකි.

එය අසීරු කාර්යක් නෙවෙයි. ඇඟලුම් ක්ෂේත්‍රය, මත්ස්‍ය, කෘෂි ක්ෂේත්‍රය, ධීවර කේෂ්ත්‍ර, විසිතුරු නිෂ්පාදන වැනි අංශවල මේ බදු සහනය වඩා පාවිච්චි වුවත් ක්ෂේත්‍ර ගණනාවකට මේ සහනය හිමි වී ඇත. අනෙක් අංශ බදු නොගෙවා අපනයනය කිරීමට නිෂ්පාදිත වැඩි කළ යුතුයි. ඒ සඳහා ලංකාවේ ආර්ථිකය වෙළෙඳ සහ සේවා ආර්ථික අංශය මත පමණක් නොව නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙන යෑම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි.

Comments