බටහිර පදේට වඩා හොඳ අපේ පදේ | සිළුමිණ

බටහිර පදේට වඩා හොඳ අපේ පදේ

 කළු කොඩි දාන්ඩ ගෙහුං සරම කඩං වැටුණයිම් පස්සෙ තිලකෙ කොලුවා වැඩිය දකින්ඩ හිටියෙ නෑ. මගෑර මගෑර ඉඳලං මේං හිටි ගමං අබිලිංගෙ කඩේට ප්‍රාදූර්බූත වෙලා.

“ජීඑස්පී සහ‍ෙන ගත්තම බටහිර පදේට නටන්ඩ වෙනවා” ති‍ලකෙ කියනවා. මයික් විජේගෙ මායියා කට ඇරගෙන බලං ඉන්නවා.

“බටහිර පදේ කියන්නෙ මොකක්ද මලේ?” මං නිමලෙගෙං ඇහුවා.

“නැගෙනහිර පදේට විරුද්ද පදේ” නිමලෙ අටල්පහුරු උත්තරයක් දුන්නා. ඒකත් ඇත්ත. ඕනෑම එහෙකට විරුද්ද දේකුත් තියනවනෙ.

“නැගෙනහිර පදේ කියන්නෙ මොකක්ද මලේ?”

මම් පෙරළා පුරස්න කොළා.

“දොං ජිං ජිං තකට දොදොං”

අබිලිං උත්තර දුන්නා.

මයික් විජේ හිනාවෙන්ඩ පටන් ගත්තා.

“හෙනං උඹැහෙම කියහංකො බටහිර පදේ මොකද්ද කියලා” මං අබිලිංට කීවා.

“දොංස් ජින්තාස් තක දොදොංනාංස්” අබිලිං කීවා.

‍‍ඔයිම්මෙයිං අබිලිංගෙ මායියත් හිනාවෙන්ඩ පටන් ගත්තා. ති‍ලකෙට හොඳටම කේන්ති ගියා.

“රට ජාතිය ගැන හැඟීමක් නැති එවුං”

තිලකෙ දත්මිටි කෑවා‍.

“හා හා කේන්ති ගන්ඩ ඕන් නෑ. දැං ඔය ජී.එස්.පී. සහනෙං මොකද්ද වෙන්නෙ කියමුකො” මං කීවා.

“ඒරොප්පෙට අපි යවන බඩුඔලට බදු ගහන් නෑ. ඒ රටවල ඇත්තන්ට ලාබෙට ගන්ඩ පුළුහං. ඒකෙං අපේ රටේ බඩුවලට ඉල්ලුම වැඩි වෙනවා. කර්මාන්ත දියුණු වෙනවා. රස්සා ලැබෙනවා.”

නිමලෙ කියාගෙන කියාගෙන ගියා. යකඩො අපේ නිමලෙ රූපවාහිනියට ඇරියා නං ඔය වාගෙ කාරණා ගැන දැං ඉන්න ඇත්තන්ට වඩා අගේට.

කාරණා වටහලා දෙයි නෙවැ‍‍

“ඒ අයගෙ කොන්දේසිවලට යට වුණොත් විතරයි සහන දෙන්නෙ. ඒවා රටට හානි කරයි” තිලකෙ කීවා.

“මොනව ද මලේ කොන්දේසි?”

මං ඇහුවා.

“කම්කරු අයිතිවාසිකම් ලබාදීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, නිදහස, සාමය සහජීවනේ ආරක්ෂා කිරීම” නිමලෙ කීවා.‍

“ඉතිං කම්කරු අයිතිවාසිකම් රකින එක නරක ද? මං ඇහුවා.

“කම්කරුවන්ට හොඳයි. හාම්පුතුන්ට හොඳ නෑ” නිමලෙ කීවා.

“මානව හිමිකම් රකින එක නරක ද?” මං ඇහුවා.

“මානව හිමිකම් කියන්නෙ බටහිර අදහසක්. ඒ හින්දා හොඳ නෑ”

තිලකෙ කීවා.

ඊට පස්සේ තිලක තමන්ගෙ නායකයා කියන එව්වා ටික කියන්ඩ පටං ගත්තා.

“මානව හිමිකම් කියන්නෙ බටහිර කුමන්ත්‍රණයක්, ඒවා රකින්ඩ ගියොත් ළමයකුටවත් ගහලා හදා ගන්ඩ හම්බුවෙන්නෑ. ගෑනි වැරැද්දක් කරපුවම පාරක් දෙකක් ගහලා හදා ගන්ඩ මිනිහට හම්බුවෙන් නෑ.”

“ඇති ඇති. ඉතුරු ටික මං කියන්නං” නිමලෙ කීවා.

“ආණ්ඩුවෙ වැරදි විවේචනය කරන පත්තර කාරයන් සුදු වෑන් එකෙං අරං ගිහිං කකුල් කඩල දාන්ඩ හම්බු වෙන් නෑ. ඔළුවට ඇනල මරන්ඩ හම්බු වෙන් නෑ. තමුන්ට‍ ඕනෑ තීන්දුවක් නොදෙන නඩුකාරයො කිඩ කරලා පුටුවෙන් බිමට ඇදල දාන්ඩ හම්බුවෙන් නෑ. තමන්ගෙ ඉඩම් අල්ලන්ඩ ආපු හමුදා කාරයන්ට විරුද්ධ වුණාම ලණුවලින් ගැට ගහලා ඇදගෙන යන්ඩ හම්බුවෙන් නෑ. ඒ හින්දා අපි ගමේ ගොඩේ පුරුද්දෙ හැටියට ගෑනුන්ට ළමයින්ට ගහන බහින එක කරගෙන යමු. ආණ්ඩුව කරන හැම වැඩේ ම හරි කියලා ඔළුව නමාගෙන ඉම්මු. එතකොට අපි අපේ පදේට ම නටන නියම දේශප්‍රේමියො වෙනවා. සාමය, සහජීවනේ අගේ කරන්ඩ ගියොත් බුද්ධාගමට තැන නැති වෙනවා”

නිමලෙ එහෙම කියද්දි තිලකෙ දත් මිටි කකා මිදුලට බැස්සා.

“දොං ජිං ජිං තකට දොදොං”

අබිලිං අපට නටන්ඩ ඕනෑ පදේ මතක් කෙරුවා.

ඕක තමයි ආයිබොවන්ඩ බටහිර පදේට නොනටා නටන අපේ ම පදේ.

Comments