පාස්කු කොමිසමේ දුර්වල තැන් එමටය; ඒත් සමහර නිර්දේශ ධනාත්මකයි | සිළුමිණ

පාස්කු කොමිසමේ දුර්වල තැන් එමටය; ඒත් සමහර නිර්දේශ ධනාත්මකයි

ඉකුත් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා යහපාලන ආණ්ඩුව මඟින් පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් මේ වන විට මෙරට පාර්ලිමේන්තුවේ කතානායකතුමන් වෙත පිළිගන්වා තිබේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට එය දැන් ඇත්තේ පාර්ලිමේන්තු පුස්තකාලයෙහිය. ඒ අනුව එම පාස්කු ප්‍රහාරය පිළිබඳව පත් කර තිබූ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පරිශිලනය කිරීමට කැමැත්තක් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අවස්ථාව සැලසී තිබේ.

එම කොමිෂන් සභා වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු කාරණා පිළිබඳව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මහජන නියෝජිතයන් අතර විවාදාත්මක තත්ත්වයක් හට ගෙන ඇති බව ප්‍රකට කරුණකි. එසේ වුවුද එහි සඳහන් ඇතැම් නිර්දේශ අතර ධනාත්මක කරුණු කාරණා කිහිපයක් ද ඇතුළත්ව ඇතැයි මෙරට විද්‍යුත් සහ මුද්‍රිත සන්නිවේදන මාර්ග මඟින් මේ වන විටත් හෙළි වී ඇත. එවැනි එක් ධනාත්මක නිර්දේශයක් වන්නේ රාජ්‍ය සේවයේ නියැළී ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට එක් තනතුරකට වඩා ප්‍රදානය කිරීමේ ඇති අනුචිත භාවයයි.

එම පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මඟින් එලෙස නිර්දේශ කර ඇත්තේ ඉකුත් යහපාලන ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කර තිබූ හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම් ධූරයට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ තනතුරු හතරක් සඳහා පත් කර තිබිමේ අනුචිතභාවය පෙන්වා දෙමිනි.

ඉතින් මක් වෙනවයැ........... ? ජනාධිපතිතුමාට පුළුවන් තමන්ට විශ්වාසවන්ත කෙනකුට ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු ඕනෑම ගණනක් ලබා දෙන්න ....... ˜ යි කියමින් යම් කෙනකුට එම සිද්ධිය ඉතා සුළු කොට තැකීමට ද පුළුවන. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ඒ සඳහා අවශ්‍ය බලතල තිබෙන බව සත්‍යයකි. එහෙත් එවැනි තත්ත්වයක් යටතේ මතුවන බරපතළ ප්‍රශ්නයක් වන්නේ එක් පුද්ගලයකු ගේ කර මත එවැනි වගකීම් රැසක්ම පැටවූ විට ඔහුට තම සේවා කටයුතු මැනවින් ඉටු කිරීමට තරම් චෛතසික නිදහසක් හෝ සන්සුන්බවක් තිබිය හැකිද යන්න පිළිබඳව යම් අවිනිශ්චිත බවක් පැන නැගීමයි.

උදාහරණයක් වශයෙන් ඉකුත් 2019 වසරේ අප්‍රේල් මස 21 වැනි දින පමණ වන විට මෙරට ආරක්ෂක ලේකම් ධූරය උසුලන ලද්දේ හේමසිරි ප්‍රනාන්දු විසිනි.

ඊට අමතරව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති , පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සහ ජාතික දුම්රිය කෞතුකාගාරයේ සභාපති වැනි ආයතන කීපයකම ඉහළ තනතුරු සඳහා ද හෙතෙම පත්කර තිබුණේ ය. එකම පුද්ගලයකු ආයතන කිහිපයකම ප්‍රධාන තනතුරු සඳහා පත් කර තිබෙන තත්ත්වයක් තුළ ඔහුට ඒ එකදු ආයතනයකවත් තම කාර්ය භාරය නිවැරදිව සහ අනලස්ව ඉටු කිරීම සඳහා ඉස්පාසුවක් තිබුණා දැයි යන්න මෙහිදී පැන නැ‍ෙඟන බරපතළ ප්‍රශ්නයකි. එම ප්‍රශ්නය තවත් තීව්‍ර වන්නේ ආරක්ෂක ලේකම් ධූරය ඉතා වගකීම් සහිත තනතුරක් වන බැවිනි.

විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දුන් ඇතැම් පුද්ගලයන් විසින් කරන ලද ප්‍රකාශ අනුව ජනතාව තුළ එම සැකය පහළ වීම නිරායාසයෙන්ම සිදුවන්නකි.

කෙසේ වෙතත් එවැනි දෑ සිදු කර ඇති එකම රාජ්‍ය නායකයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පමණකැයි සිතීම ද මුළාවකි. අප එසේ කියන්නේ ඊට පෙර මෙරට රාජ්‍ය නායකත්වය ඉසිලු චන්ද්‍රිකා බණ්ඩාරනායක, ඩී.බී.විජේතුංග, රණසිංහ ප්‍රේමදාස, ජේ. ආර්. ජයවර්ධන සහ සිරිමාවෝ බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් අතින්ද එම වැරැද්ද එලෙසම සිදු වී ඇති බැවිනි. එවැනි රාජ්‍ය නායකයන් එකම පුද්ගලයා රජයේ වැදගත් තනතුරු කිහිපයක ප්‍රධානියා වශයෙන් පත් කර තිබීමට මුළාවූ හේතුව කුමක් දැයි තරමක් අපහැදිලිය. ඇතැම් විට ඔවුන් එසේ කරන්නට ඇත්තේ එම පුද්ගලයන් කෙරෙහි තිබූ විශ්වාසවන්ත භාවය විය හැකිය. අදාළ තනතුරට වෙනත් පුද්ගලයකු පත්කරනු ලැබුව හොත් ඔහු තමන් බලාපොරොත්තු වන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් සිදු කර යම් අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කරනු ඇතැයි එම රාජ්‍ය නායකයන් සිතුවා වීමට ද ඉඩ තිබේ.

එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ එය නොවේ. රාජ්‍ය නායකයාගේ විශ්වාසවන්ත භාවය මත එකම පුද්ගලයා වැදගත් තනතුරු කිපයක් සඳහා පත්කළ විට ඇතිවන කාර්ය බහුලත්වය මත එම පුද්ගලයා ගෙන් ප්‍රශස්ත සේවයක් ඉටුවේදැයි යන්න පිළිබඳවය. 2019 මස අප්‍රේල් මස 21 වැනි දා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවට එවකට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට හා තවත් වගකිවයුතු අය රැසකට ලැබුණු බව කියන බුද්ධි තොරතුරු පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහුට නොහැකි වී ඇතැයි කියන සිද්ධියෙන්ම එහි ඇති බරපතළකම පැහැදිලි වේ. ඇතැම් විට ඊට අදාළ නිසි ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වූයේ ආරක්ෂක ලේකම්වරයා මුහුණ පා සිටි කාර්ය බහුලත්වය නිසා විය හැකිය. කෙසේ වෙතත් අන්තිමේදී සිදු වූයේ නිරායුධ ගැහැනු , පිරිමි සහ ළමුන් දෙසිය විසි ගණනක් මරු තුරුලට ගොස් තවත් පන්සිය ගණනක ට සදාකාලික අබ්බගාත තත්ත්වයකට පත්වීමයි.

ඉහතින් සඳහන් කරන ලද්දේ දෙනෝදාහක් මැද්දේ සිදුවූ මාරාන්තික බෝම්බ ප්‍රහාරයක අවසාන ප්‍රතිඵලයයි. එක් පුද්ගලයකුට දැරිය නොහැකි තරම් තනතුරු සංඛ්‍යාවක් පැවරීමෙන් සිදුවී ඇතැයි කියන අනපේක්ෂිත සිද්ධියක බරපතළකම එමඟින් පැහැදිලි වේ. කෙසේ වෙතත් 2019 වසරේ අප්‍රේල් මාසයේ 21 වැනි දා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව මඟින් සිදු කරන ලද නිර්දේශ අතර රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක් තනතුරකට පමණක් සීමා කළ යුතු බවට සඳහන් කර තිබීම අතිශය වැදගත් අදහසකි.

එසේ වන්නේ මින් ඉදිරියට හෝ එවන් අනුචිත පත්විම් සිදු නොකර සිටීමට අපේ රාජ්‍ය නායකයන්ට එමඟින් යම් අනුබලයක් ලැබෙන බැවිනි. කෙසේ වෙතත් පාස්කු කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ සඳහන් ඇතැම් නිර්දේශයන් පිළිබඳව අපට එකඟ වීමට නොහැකි වීම වෙනම කතාවකි. එහි දුර්වල තැන් බොහෝය. එසේ වුවද ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් විවිධ රාජ්‍ය ආයතන වල මුඳුන් මට්ටමේ තනතුරු වලට පත්කිරීමේදී ඔවුන්ට එක් තනතුරකට වඩා ලබා නොදිය යුතු යැයි කොමිසම මඟින් කර තිබෙන නිර්දේශය සාධනීය පියවරකි.

Comments