සීනි ගැන තිත්ත කතාවක් | සිළුමිණ

සීනි ගැන තිත්ත කතාවක්

 

සීනි පැණි රසය. එසේම සීනි මිශ්‍ර කරන ලද ඕනෑම කෑමක් හෝ බීමක් ඉතාමත් ප්‍රණීතය. එහෙත් අප වැනි දියවැඩියා රෝගීන්ට සීනි අගුණ නිසා සීනි ගැන අප තුළ කිසිදු උනන්දුවක් නැත.

සාමාන්‍ය නිරෝගි අයට සීනි අතිශය ප්‍රණීත වුවද දැන් දැන් සීනි ගැන අසන්නට ලැබෙන්නේ ඉතාමත් තිත්ත කතාවකි. එනම් සීනි මිල ආණ්ඩුවටවත් පාලනය කර ගත නොහැකි බවයි.

කෙසේ වෙතත් මීට මාසයකට හෝ ඊටත් ටික කලකට පෙර අප හිතවත් වෙලද ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන සීනි මිලට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය. එතුමාට අවශ්‍ය වූයේ ඒ වන විට වෙළදසැල් හිමියන් විසින් තමන්ට හිතෙන මිලට අලෙවි කළ සීනිවලට ස්ථාවර මිලක් නියම කිරීමයි. එම නව ගැසට් නිවේදනයට අනුව සීනි කිලෝවක් අලෙවි කළ හැකි උපරිම මිල වූයේ රුපියල් 85 කි. ගැසට් පත්‍රය නිකුත් වූ මුල් දින කිහිපය තුළ ස.තො.ස වෙළද සැල් වල සහ සුපිරි වෙළද සැල් කිහිපය තුළ එම මිල සීමාව යටතේ සීනි අළෙවි කෙරුණද එය ඉතාමත් කෙටි දින කිහිපයකට පමණක් සීමා විය.

මේ අතර සීනි වලට අදාළ තවත් කතාවක් ආණ්ඩුව පැත්තෙන් අසන්නට ලැබුණේය. එම පුවතින් කියැවුණේ සීනි ආනයනය කිරිමේදි අයකරන ලද රුපියල් 50 ක් වූ බදු මුදල ශත 25 දක්වා අඩු කරන ලද බවයි. ආණ්ඩුව එසේ කරන ලද්දේ සීනි නියමිත මිලකට අලෙවි කිරීමේදි වෙළෙදුන්ට සිදු වන පාඩුව අවම කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් බවද අසන්නට ලැබුණේය. ඒ අනුව ආණ්ඩුව එවැනි පියවරක් ගෙන ඇත්තේ යහපත් චේතනාවෙන් විය හැකිය.

එහෙත් අන්තිමේදි සිදු වූයේ එම අඩු කරන ලද බදු මුදලේ වාසිය පාරිභොගිකයන්ට නොලැබී ආනයනකරුවන්ට ගෙඩිය පිටින් ම ලැබීමයි. මේ ප්‍රශ්නය දෙස බලන විට ජනතාව දහ දොළොස් වැනි වතාවටත් බලවත් රැවටීමකට ලක්වී ඇතැයි යන සැක මුසු හැඟීමක් ඇතිවීමද නිරායාසයෙන්ම සිදුවන්නකි. මන්ද අතීතයේ යළි යළිත් සිදු වී ඇත්තේ ඊට සමාන සිදුවිම් වන බැවිනි. එහෙත් මෙරට බහුතර ජනතාව තවමත් සිතන්නේ තමන් බුද්ධිමත් බවය. නැතහොත් තමන් පහසුවෙන් රැවටිය නොහැකි බවය. එසේ වුවද අන්තිමේදි සිදු වී ඇත්තේ මේ රටේ ජනතාව හෙවත් ඡන්ද දායකයන් දිගින් දිගටම රැවටීමයි.

ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වන අදෘශ්‍යමාන බලවේග මෙලෙස කොකා පෙන්වන ලද්දේ සීනි මිලට පමණක් නොවේ. ඔවුන් සහල් මිලටද කොකා පෙන්වා ඇත්තේ කොරෝනා උවදුරින් බැටකන මෙරට දුප්පත් ජනතාවගේ හතර හන්දිවලට පවා පහර පිට පහර ගසමිනි.

ජනමාධ්‍ය වාර්තා වලින් අසන්නට ලැබෙන අන්දමට මහා පරිමාණ මට්ටමේ සහල් මෝල් හිමියන් දණ ගැස්වීමට ආණ්ඩුවට නොහැකි විය. එහෙත් පරාජය පිළිගැනීමට අකමැති වූ ආණ්ඩුව සහල් ටොන් 100 ක් ආනයනය කර එයින් ටොන් 70 ක් ස.තො.ස.ටද ඉතිරි ටොන් 30 මෙරට සුපිරි වෙළදසැල් වලටද බෙදා දුන්නේය. එහිදී ආණ්ඩුවේ අරමුණ වූයේ සහල් තොග සඟවා ගෙන සිටින මහා මොළකාරයන් දණ ගස්වා සහල් මිල අඩු කිරීමය.

 


 

Comments