මිල පාලන රෙගුලාසි! | සිළුමිණ

මිල පාලන රෙගුලාසි!

මෙරටට සුද්දන්ගෙන් නිදහස ලැබුණාට පසු බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම මහ මැතිවරණයකට පෙර ජනතාවට නොයෙකුත් පොරොන්දු දී තිබුණේය. ඒ අතරින් ප්‍රධාන වූයේ තමන් බලයට පත්වූ පසු රටේ ජීවන වියදම අඩු කරන බවට වූ පොරොන්දුවයි. එය සිදුකරන ක්‍රමවේදය ගැන ද ඔවුහු අකුරක් නෑර කියා සිටියහ.

"මීට පෙර බලයට පත්ව සිටි ආණ්ඩුවේ සෝබන වැඩ නිසයි ජනතාවගේ ජීවන බර මේ තරමට වැඩිවී තිබෙන්නේ. ඒත් අපි බලයට පත්වූදාට පසුවදාම අපි මේ තත්ත්වය වෙනස් කරනවා. අපි ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හරිනවා. ජාතික ආදායම දෙගුණයකින් වැඩි කරනවා! " යි කියමින් මැතිවරණ වේදිකා දෙවනත් කළ ඇතැම් දේශපාලනඥයන් එකල කැට කඩමින් කියා සිටියේ තමන්ගේ ආණ්ඩුවක් යටතේ හ‍ෙඳන් හෝ හාල් ගෙනැවිත් අඩු මිලට ජනතාවට ලබාදෙන බවය. ඒ අතර ජනතාවට සතියකට ධාන්‍ය රාත්තල් අටක් සහන මිලට ලබාදෙන බවට ද තවත් පිරිසක් ප්‍රතිඥා දී තිබුණහ. තවත් එක් දේශපාලන නායිකාවක පැවසුවේ තමන් බලයට පත්වූ විගස පාන් ගෙඩියක් රුපියල් තුනයි පනහකට ලබා දෙන බවය.

ඔවුන් මහ මැතිවරණයට පෙර එසේ කීව ද බලයට පත්වීමෙන් පසු ඒ සියලු ඡන්ද පොරොන්දු සුළඟට පාවී ගොස් තිබුණේය. කෙසේ වෙතත් රුපියල් තුනයි ශත පනහකට පාන්ගෙඩියක් ලබාදෙන බවට ඡන්ද පොරොන්දුවක් දුන් එක්තරා පක්ෂ නායිකාවක් බලයට පත්වීමෙන් පසු ඉතා සුළු කාලයකට පමණක් සීමාවන පරිදි තමන්ගේ ඡන්ද පොරොන්දුව ඉටු කරන ලද බව ද අපට මතකය. එහෙත් මාස කීපයකට පසු ඇය ද තමන්ගේ ඡන්ද පොරොන්දුව නිකන්ම අමතක කර දැමුවාය.

ඇතැම් විට එම දේශපාලන පක්ෂ නායකයන්ට තමන් විසින් දෙන ලද ඡන්ද පොරොන්දු එලෙස ඉබේටම අමතක වී යන්නේ ඒවා ප්‍රායෝගික වශයෙන් ඉටුකළ නොහැකි වීම නිසා විය හැකිය. නැතහොත් ආණ්ඩුවේ සෝබන වැඩ නතර කර එලෙස ඉතිරි වන මුදල් ප්‍රමාණය තමන් විසින් දෙන ලද ඡන්ද පොරොන්දු ඉටු කිරීම සඳහා යෙදවීමට ඔවුන් තුළ ඇති නොකැමැත්ත නිසා එසේ කරනවා ද විය හැකිය.

හේතුව කුමක් වුවද එම දේශපාලන නායකයන් විසින් සිදු කර ඇත්තේ ජනතාව මුළා කිරීමකි. එහෙත් ප්‍රශ්නය වන්නේ දේශපාලනඥයන් විසින් දෙනු ලබන හැම ඡන්ද පොරොන්දුවක් ගැනම විශ්වාසය තබන ඡන්දදායකයන් හැමදාකමත් රැවටීමය. අපට නම් පෙනෙන අන්දමට එය පූරුවේ කරුමයකි!

ඉකුත් යහපාලන ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට පලු පැ‍ෙළන්නට බැණ වැදී පහර පිට පහර ගැසූ පොදුජන පෙරමුණ සන්ධානයේ නායකයන් ද ඉකුත් මහ මැතිවරණ සමයේ මෙරට ජනතාවට පොරොන්දු බුසල් ගණනින් ලබාදුන් බවද අපට මතකය. එවකට පැවැති යහපාලන ආණ්ඩුවේ අගතිකාමී පාලනයෙන් හෙම්බත්ව සිටි මෙරට බහුතර ඡන්දදායකයන් පිරිස පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ 5/6 කටත් වැඩි බලයක් ලබා දුන්නේ ඒ ගැන ඇතිවූ දැඩි විශ්වාසයකිනි. එහෙත් ජනතාව විසින් දැඩි විශ්වාසයකින් යුතුව පත්කර ගත් ආණ්ඩුව ද ඊට ප්‍රතිඋපකාර දක්වා තිබෙන්නේ හිස් මල්ලක් ජනතාවගේ අතට දීමෙනි. එය කිසිසේත්ම සිදු නොවිය යුතු ක්‍රියාවකි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී ටික කාලයක් ඇතුළත කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය මෙරට ජනතාවගේ හිසමතට කඩා වැටුණ බව සැබෑය. එම නිසා රට බොහෝ සෙයින් පසුපසට තල්ලුවී ගියේය. ඒ කතා සියල්ල සත්‍ය වුවද අද මෙරට සමස්ත ජනතාවටම මුහුණ දීමට සිදුවී ඇති බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ අහස උසට ඉහළ නැඟ තිබෙන ජීවන බර කිසිසේත්ම දරා ගැනීමට නොහැකි වීමයි.

කොරෝනා වසංගතය නිසා රටේ ජනාකීර්ණ ප්‍රදේශ කීපයක්ම හුදෙකලා කර තිබේ. ඒ අනුව එම ප්‍රදේශවාසී ගෘහ මූලිකයන් වැඩිදෙනෙකු පසුවන්නේ නිවෙස් තුළය. රජයේ සහ පෞද්ගලික අංශයේ ස්ථිර රැකියාවන්හි නියැළි ඉතා සුළු පිරිසක් හැරෙන්නට වැඩි දෙනෙකුගේ ආදායම් මාර්ග ඇහිරී තිබේ.

ඒ අතර සහල්, පොල්, අල, පරිප්පු ඇතුළු සියලුම පාර්භෝගික ද්‍රව්‍ය වල මිල අහස උසට නැග ඇත. ඒ අනුව කළුකඩ මුදලාලිලාට රජ මඟුල්ය. කළු කඩ මුදලාලිලා මෙල්ල කර පාරිභෝගික ද්‍රව්‍යයන්හි මිල පාලනය කිරීම සඳහා වෙළෙඳ ඇමැතිවරයා ගැසට් පිට ගැසට් නිකුත් කළ ද ඒ සියලු දෑ අතීසාරයට අමුඩ ගැසීමක් බවට පත්වී තිබේ. ඒ අනුව එතුමා පුවත්පත් කාටුන් ශිල්පීන්ගේ රසවත් ගොදුරක් බවට පත්වී ඇත්තේ නොසිතූ පරිදිය.

ආණ්ඩුවේ මිල පාලන රෙගුලාසි ද තනිකරම විහිළුවක් බවට පත්වී තිබේ. එසේ වී ඇත්තේ එකී මිල ගණන්වලට ගත හැකි පාරිභෝගික ද්‍රව්‍ය ස.තො.ස හෝ සමූපකාරයේවත් නොමැති බැවිනි.

Comments