‘තමා හිසට තම අතමය සෙවණැල්ල’ | සිළුමිණ

‘තමා හිසට තම අතමය සෙවණැල්ල’

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය විසින් දැන් මුළු රටම ගිල ගනිමින් තිබේ. එම තත්ත්වය හමුවේ මුළු රටේම ජනතාව සිටින්නේ දැඩි සේ වික්ෂිප්තවය. ඒ අනුව කළ යුතුතේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යන්න පිළිබඳව නිනවුවක් නොමැතිව පසුවන ජනතාවට නිසි මාර්ගෝපදේශකත්වයක් සැපයීමේ වගකීම පැවරී ඇත්තේ රජයටය.

එහෙත් රජයේ බලධාරින් අද තනිකරම පිස්සු කෙලිමින් සිටින බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

ජනාධිපතිතුමන්ගේත්, එවකට සිටි සෞඛ්‍ය බලධාරීන්ගේත් උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ කොරෝනා පළමු රැල්ලත්, එහි දෙවන රැල්ලත් ඉතා සාර්ථක ලෙස මැඬ පැවැත්වූයේ අපේ හමුදාපතිවරයාය.

අද මුළු රට පුරාම අලුත් අවුරුදු කෝවිඩ් පොකුරක් බිහිවී ඇත්තේ වගකීම් විරහිත බව නිසාය. කෝවිඩ් 19 හෙවත් කොරෝනා දෙවැනි රැල්ල අපේ සුවවිරුවන් සහ රණවිරුවන් විසින් ඉමහත් වැර වෑයමෙන් යටපත් කළද අවුරුදු සමය අවිචාරවත් ලෙස මිනිස්සු වින්දහ.

මුළු රට පුරාම ගිනි සැරේට පැතිරෙමින් පවතින කෝවිඩ් 19 හෙවත් කොරෝනා රැල්ල සාර්ථක ලෙස මැඬපැවැත්වීමට නම් මුළු රටම දෙසතියක් පුරා වසා තැබිය යුතු යැයි මෙරට සෞඛ්‍ය අංශ දිගින් දිගටම කියා සිටින්නේ කට කසනවාට නොවේ. ඔවුන් එසේ කියන්නේ තමන් වසංගත රෝග පිළිබඳ ඉහළම දැනුමක් ඇති විශේෂඥයන් වන බැවිනි.

ඔවුන් එසේ කියද්දි රජයේ සෞඛ්‍ය බලධාරීන් නිහඩව සිටින්නේ වගේ වගක් නැතිවය. වෙනතක් තබා කෝවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ කියා සිටින්නේද කෝවිඩ් වසංගතය මැඬලීමට නම් යම් සීමිත කාලයක් රට වසා තැබිය යුතු බවය.

රට එක්දිනක් වසා තැබුවහොත් රුපියල් කෝටි 19,000ක් පමණ වන මුදල් ප්‍රමාණයක් රටට අහිමි වෙතැයි ඉකුත් සතියේ මෙරට සියලුම ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණේය. රජයේ බලධාරීන් නිසි සෞඛ්‍යාරක්ෂක තීන්දු තීරණ නොගෙන නිරපරාදයේ වංගු ගසමින් කල් දමන්නේ ඒ නිසා විය හැකිය. ඔවුන් විසින් එවනු ලබන චක්‍රලේඛද තනිකරම අණ්ඩර දෙමළය.

රජයේ ඇතැම් දේශපාලන බලධාරීන්ට මනුෂ්‍ය ජීවිත වලට වඩා මුදල් වල වටිනාකම වඩාත් තදින් දැනෙන බව නුවරඑළියේ වසන්ත සැණකෙළිය මෙන්ම ඉකුත් දා පිළියන්දලදී ඇති වී තිබුණු සිද්ධියෙනුත් කදිමට පැහැදිලි වේ.

හතර අතේ පැතිර යමින් පවතින කොරෝනා වසංගතය නිසා ගමේ ගොඩේ පොල් රුප්පාවක පොල් පිත්තෙන් බැට් ගසන කොලු කුරුට්ටන් පවා පලවා හරින මේ කාලයේ අපේ ක්‍රිකට් ක්‍රිඩකයන් බංගලාදේශයට යැවීම යුක්ති යුක්ත දැයි සිතා බැලිය යුතුය.

කෝවිඩ් වසංගතය නිසා මිය ගිය අපේ මිනිස්සු සංඛ්‍යාවද මේ වන විට 1500 කට ආසන්නය. එසේම මේ වන විට ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන ඇති කෝවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිතයන් පිරිස 150,000 ක් පමණ වේ. මෙරට වෙසෙන කොරෝනා ආසාදිතයන්ගේ නිවැරදි සංඛ්‍යාවද ඊට වඩා බොහෝ සෙයින් වැඩිවිය හැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් කිහිපයකින්ම ප්‍රකාශයට පත් කර තිබේ. ඊට හේතුව වී ඇත්තේ තවමත් බොහෝ ප්‍රදේශවල විධිමත් පී.සී.ආර්.පරීක්ෂණ සිදු නොකර ඇති බැවිනි.

මුළු රටේම ජනතාව විධිමත් පී. සී. ආර්. පරීක්ෂණයට පත් කරනු ලැබුවහොත් එමගින් හෙළිවන කොරෝනා ආසාදිතයන් ගේ සංඛ්‍යාව ඊට වඩා බොහෝ සෙයින් ඉහළ අගයක් ගන්නා බව නිසැකය.

ඒ අතරින් අසන්නට ලැබෙන බරපතළම තත්ත්වය වන්නේ ගැබිණි මව්වරුන්ට සහ කුඩා දරුවන්ට කොරෝනා වසංගතය ආසාදනය වීමට ඇති ඉඩ ප්‍රස්තාවයි.

එහෙයින් එවැනි අවදානමක් ඇතිවීම හැකිතාක් දුරට අවම කරගත යුතුය. නැතහොත් අපේ අනාගතය සුනේ සුන් වී යා හැකිය. එහෙයින් මෙරට වෙසෙන සියලුම දෙනා මෙහි ඇති බරපතළකම අවබෝධ කර ගත යුතුය.

නිතර නිතර දෑත් සේදීම අමතක කරන සහ මුඛ ආවරණ නිසි ලෙස නොපැලඳ සෙනග අතරේ ගැවසෙන අපේ තරුණ පිරිසට ද එක් වැදගත් කරුණක් පිළිබඳව මතක් කර දිය යුතුය. එනම්, ඔබ මේ දෑත් වනමින් ගමන් කරන්නේ මරණයේ අඳුරු අගාධය වෙත බවය.

එසේම ඔබ එහි යන්නේ තනියමද නොවේ.ඔබේ ආදරණීය දූ පුතුන්, ඔබේ දයාබර බිරිඳ සහ දෙමාපියන් ඇතුළු මුළුමහත් නෑදෑ පරපුරම ඉතා වේදනාකාරී සහ දුක්බර මරණයක් වෙත යොමු කරනු ලබන්නේ ඔබේම නොසැලකිලිමත් කම නිසාය. එහෙයින් ඔබ ඒ ගැන අතිශය සැලකිලිමත් විය යුතුය. කෙසේ වෙතත් රජයේ බලධාරින් විසින් ද මෙහිදි ඉතා වැදගත් වැඩ කොටසක් කළ යුතුව තිබේ. එනම්, රටේ ජනතාව මෙම කොරෝනා වසංගතයෙන් බේරා ගැනීමයි.

වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමා ඇතුළු එම මැතිනියටද කොරෝනාව ආසාධනය වී ඇතැයි ප්‍රවෘත්තියක් ඉකුත් දා ජනමාධ්‍යයෙන් අසන්නට ලැබුණේය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා සැලකෙන්නේ රටේ ප්‍රමුඛ පුරවැසියකු වශයෙනි. ඒ අනුව ඔහු විශේෂිත පුද්ගලයෙකි.

එතුමා මේ දක්වා කොරෝනා මර්දන එන්නත ලබා ගෙන නැති බව වෙනමම කතාවකි. එහෙත් අප ඉතා හොඳින් දැන සිටින අන්දමට ඔහු සියලු සෞඛ්‍යාරක්ෂක උපාය මාර්ග ඉහළින්ම පිළිපදින්නේ කාලයක සිටය. විපක්ෂ නායකතුමා වැනි V.V.I.P ගනයේ පුද්ගලයකුටත් කොරෝනා ආසාදනය වූවා නම් අපේ ගම් වල සිටින හැරිසන්ලාගේ, පියසේනලාගේ, හේමලතාලාගේ තත්ත්වය කෙබදු විය හැකි දැයි අප විසින්ම වටහා ගත යුතුය. ඒ අනුව හැම දෙයම රජයෙන් සිදු කරනු ඇතැයි සිතීම මුළාවකි.

එහෙයින් අප විසින් සිදු කළ යුතුව ඇත්තේ ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා සඳහන් කළ අයුරින් අපේ

(සෞඛ්‍ය) ආරක්ෂාව අප විසින්ම සපුරා ගැනීමය. නැතහොත් අපටද සිදු වන්නේද නොසිතූ මොහොතක මරණය වැලඳ ගැනීමට බව තරයේ සිතට ගත යුතුය.

 

Comments