අපේ දොස්තරලා අතර සිටින කළු බැටළුවෝ | සිළුමිණ

අපේ දොස්තරලා අතර සිටින කළු බැටළුවෝ

ජකම ළඟට වෙදකම යැයි මෙරට ජනවහරේ අපූරු කියමනක් පවතී. අපේ පැරැන්නන් රජකම ළඟට වෙදකම එලෙස ගළපා ඇත්තේ රජතුමා රට කරවද්දී වෛද්‍යවරයා මිනිසුන් මරණයෙන් ගලවා ගන්නා බැවිනි. එසේ වුවද අද එය අතීතයට ගිය කතාවක් වී ඇත.

එසේම අද අපට රජකු නැතිබව වෙනම කතාවකි. අපට සිටි අන්තිම රජතුමා 1815 දී මෙරටින් පලවා හැර තිබුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසිනි. එසේම අද අපට ඉතිරිවී සිටින ඇතැම් වෛද්‍යවරුන් ගැන ද අප තුළ ඇත්තේ බෙහෙවින් අඩු ලන්සුවේ විශ්වාසයකි. ඊට හේතුවී ඇත්තේ මෑත යුගයේ අප අතර සිටින සමහර වෛද්‍යවරුන් ජනතාව ජීවත් කරවීම සඳහා නොව ඔවුන් මරණයට පත්කරවීම සඳහා පාර කැපීමට සූදානමින් සිටින පිරිසක් වන බැවිනි.

ඉකුත් සතියේ තමන්ගේ ගෙවත්තට වැටුණු බෝලයක් අසුලා ගැනීම සඳහා පැමිණි කොලු ගැටයකුට වායු රයිෆලයකින් වෙඩි තබා ඔහුට බරපතළ තුවාල සිදුකර තිබුණේ එවැනි මරුමුස් වෛද්‍යවරයෙකි. ඒ මොහොතේ ඔහු අත තිබුණේ වායු රයිෆලයක් නොව T-56 හෝ වෙනත් ඊට සමාන ගිනි අවියක් වූවා නම් මෙළහකටත් ඒ කොලු ගැටයාට මුහුණපෑමට සිදුවන ඉරණම සිතා ගැනීමටවත් නොහැකි වීමට ඉඩ තිබුණේය. අවාසනාවකට හෝ එවැන්නක් සිදුවූවානම් අර මරුමුස් දොස්තරට සිදුවන්නේ කොළ නැති ගහේ නැගීමටය. එවැන්නක් සිදු නොවීම එකී දොස්තරගේ පෙර වාසනාවකි.

ඇතැම් විට කොලු පිරිස ක්‍රිකට් සෙල්ලම් කරද්දී දොස්තරගේ ගෙවත්තට වැටුණ බෝලය වැදී එම නිවසේ ජනෙල් වීදුරුවක් බිඳුණා විය හැකිය. එසේත් නැත්නම් එම බෝලය වැදී වටිනා ගෘහ භාණ්ඩයක් කැඩී බිඳී ගියා විය හැකිය. කොලු පිරිස අතින් එවැන්නක් සිදුවූවා නම් දොස්තරට තිබුණේ එක්වරම කොලු ගැටයාට වෙඩි නොතබා ඔහු සමඟ සාමදානයෙන් කතාකර ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමටය. නැතහොත් එම කොලු පිරිසගේ වැඩිහිටියන් මුණගැසී අලාබය අයකර ගැනීමටය. එහෙත් එතරම් ඉවසිලිවන්තකමක් නොමැති දොස්තර කර තිබෙන්නේ තමන් අත තිබූ වායු රයිෆලයෙන් අර කොලු ගැටයාට වෙඩි තැබීමය. ශිෂ්ටසම්පන්න මනුෂ්‍යයකු අතින් එවැන්නක් කිසිසේත්ම සිදු නොවිය යුතුය.

මෙහිදී පැන නැගෙන බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ බෝලයක් වත්තට වැටුණු පමණින් එම බෝලය අසුලා ගැනීමට දිව ආ කොලු ගැටයාට වෙඩි තැබීමට එකී දොස්තරට ඇති අයිතිය කුමක්දැයි යන්න පිළිබඳවය.

අප දන්නා හැටියට දොස්තරවරයකු බවට පත්වීමට නම් ඉතා හොඳ බුද්ධිමත් බවක් අවශ්‍ය වේ. එසේම මනුෂ්‍යයන්ගේ පමණක් නොව සතුන්ගේ පවා කැත කුණු අත ගා දොස්තරවරයකු බවට පත්වීම සඳහා කරුණාවන්ත බවක් ද අවශ්‍යය. එහෙත් මෙම සිද්ධියට සම්බන්ධ යැයි කියන දොස්තරවරයා කටයුතු කර ඇත්තේ බුද්ධියක් මෙන්ම කරුණාවන්ත බවක්ද නැති මැටි මෝලකු ලෙසිනි.

මෙවැනි බහුබූත දොස්තරලා කීපදෙනකු ගැනම ඉකුත් කාලය තුළ අසන්නට ලැබී ඇත. කුරුණෑගල මහ රෝහලේ දී දරු ප්‍රසූතිය සිදුකර ගැනීමට පැමිණි කාන්තාවන් සිය ගණනකට ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වඳ සැත්කම් කළ බවට සැක කෙරෙන දොස්තර තවත් එවැනිම නරුමයෙකි. මෙය වහා සොයා බැලිය යුතු ප්‍රශ්නයකි.

මේ හැර තවත් දොස්තරවරයකු කොළඹ මහ රෝහලේ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම සඳහා ගෙනැවිත් තිබූ රුපියල් ලක්ෂ ගණනක මුදලක් මහදවල් කොල්ල කා පලා යාමට තැත් කර තිබුණේය. එහෙත් ඔහුට එලෙස පලා යාමට ඉඩ නොලැබුණේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු සහ වරුණී බෝගහවත්ත නැමැති අභීත පොලිස් නිලධාරිනියක ඔහු පසුපස හඹාවිත් අත්අඩංගුවට ගත් බැවිනි.

ඒ හැර තවත් දොස්තර පුතකු තමන්ට ලේ කිරි කර පොවා හැදූ වැඩූ මෑණියන් නිවසින් පලවා හැර මහමඟට ඇද දමා ඇතැයි කියන සිද්ධියක් ගැනද මීට ටික කාලයකට ඉහත ජනමාධ්‍යයෙන් වාර්තා කර තිබුණේ ය. තවත් එක්තරා දොස්තරවරයකු තමන්ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රූමත් තරුණිකයකට අතවර කර මරා දමා එම මළ සිරුර පවා රෝහල් ගොඩනැගිල්ලෙන් පහළට ඇද දමා තිබුණේය. ජනමාධ්‍ය මගින් හෙළිකර තිබූ අන්දමට ඔහුගේ බිරිඳ ද වෛද්‍යවරයෙකි.

රජයේ රෝහලක සේවය කළ තවත් වෛද්‍යවරයකු තම රෝහලේ හෙදියන් නිතර යන එන කාන්තා වැසිකිළියක දොරට කුඩා කැමරාවක් සවිකර තමන් අත තිබූ ජංගම දුරකථනයෙන් නැරඹීමට පුරුදුවී සිටි බවක් ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේය. එයද නිර්ලජ්ජිත ක්‍රියාවකි.

ඉහත සඳහන් වැරදි සහ අපචාර සිදුකර ඇතැයි සැක කෙරෙන සියලු දෙනාම දොස්තරවරුන්ය. මුලින් ඒ ගැන ඇසූ අපට ද සිතුණේ ඔවුන් දුර්වල සහ විකෘති මානසිකත්වයකින් යුත් හොර දොස්තරවරුන් විය හැකි බවය. ඔවුන් විසින් සිදුකර ඇතැයි සැලකෙන ක්‍රියාවන් ඒ තරමට ජුගුප්සාජනකය. නැතහොත් අමානුෂිකය.

එහෙත් අන්තිමේදී බලනවිට වැරදී තිබුණේ අපට ය. මන්ද ඔවුන් විවිධ අයථා මාර්ගවලින් වෛද්‍ය පත්වීම් ලබාගත් හොර දොස්තරලා නොව නිසියාකාර වෛද්‍ය අධ්‍යාපනයක් ලැබූ නීත්‍යානුකූල වෛද්‍යවරුන් වූ බැවිනි. අසන්නට ලැබෙන අන්දමට මෑතකදී කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම සඳහා ගෙනැවිත් තිබූ මුදල් බණ්ඩල් කීපයක් කොල්ලකා පලා යාමට තැත්කළ පුද්ගලයා ද එසේ මෙසේ අයකු නොව විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා පැමිණි M.B.B.S වෛද්‍ය උපාධිධරයෙකි. ඔහුගේ බිරින්දෑ ද කොළඹට ආසන්න මහ රෝහලක සේවයේ නියැළි වෛද්‍යවරියකි.

එනයින් පැහැදිලි වන්නේ මෙවැනි අකටයුතුකම් සිදු කරනු ලබන්නේ නූගතුන් පමණක් නොවන බවයි. උගතුන් සහ බුද්ධිමතුන් වශයෙන් සමාජයේ පිළිගත් රැකියාවන්හි නිරතව සිටින ඇතැම් පුද්ගලයන් පවා මෙවැනි නිහීන ක්‍රියාවන් සඳහා පෙළඹී සිටීම අතිශය ඛේදනීය කරුණකි.

මෙහිදී මතුවන තවත් ප්‍රශ්නයක් වන්නේ උගතුන් සහ බුද්ධිමතුන් වශයෙන් සමාජයේ උසස් යැයි සම්මත රැකියාවන්හි නිරතව සිටින ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් මෙතරම් පහත් මට්ටමක පවතී නම් සැබෑ නූගතුන්ගේ හැසිරීම කෙබඳු විය හැකිද යන්න පිළිබඳවය. එය සමාජයේ සංවාදයකට ලක්විය යුතු කරුණක් බව අපගේ අදහසයි.

කෙසේ වෙතත් අප අතර වෙසෙන සියලුම වෛද්‍යවරුන්ගේ හැසිරීම සහ ක්‍රියාකාරකම් ඊට සමාන නොවන බව ද විශේෂයෙන්ම අවධාරණය කළ යුතුය. සිතින්වත් අනිසි සහ විෂමාචාර ක්‍රියාවන් සිදු නොකරන දෙවිවරුන් වැනි වෛද්‍යවරු ද අප අතර සිටිති. ඔවුන්ට මුළු මහත් සමාජයේම ගෞරවාචාරය හිමිවිය යුතුය. එහෙත් අදහාගත නොහැකි කරුණක් වී ඇත්තේ එබඳු උතුම් පිරිස අතර කළු බැටලුවන් ද එකකු දෙන්නකු හෝ සිටීමයි.

ඇතැම් විට ඔවුන් විවිධ මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයන් විය හැකිය. අපේ දොස්තරවරුන් අතර එබඳු පුද්ගලයන් සිටී නම් ඔවුන් වහාම කොටුකර ගෙන මානසික පුන්රුත්ථාපනයක් සඳහා යොමු කරවීම රජයේ සෞඛ්‍ය බලධාරින් සතු වගකීමකි.

Comments