සූරියවැව මොකද උනේ? | සිළුමිණ

සූරියවැව මොකද උනේ?

 වෙනදා කිරිකැට් ගහන්ඩ විලාකටුපොත පිට්ටනියට යන කොලු නඩේ පාරෙ ටැග් ගැහි ගැහී ඉන්නොව දැකල ගෑටුව එතෙන්ට.

“මොකද පුතේ? පිට්ටනියෙ රැස්සීමක් ද?”

මං ඇහුවා.‍

“යන්ඩ බයයි මාමෙ”

කොල්ලෙක් ලැජ්ජාවෙං ඇඹරුණා.

“මොකද පුතේ?”

මං ආයෙ ඇහුවා.

“සූරියවැව මතක් වෙලා ආපහු ආවා‍”

තවත් කොලුවෙක් උත්තර දුන්නා.

මං ආපහු ගෑටුවා අබිලිංගෙ කඩේට.

“සූරියවැව මතක් උනාම කොල්ලො බයවෙන්නේ අහවල් දේට ද?” මං නිමලෙගෙං ඇහුවා.

“කිව්වත් වගේ - ආයෙත් වම්බොට්ටො ඇවිල්ල ද?” අබිලිංටත් පුරස්නයක්.

“වම්බොට්ටො තියා එල බට්ටෙක්වත් නෑ. කොල්ලො බය වෙලා ඉන්නෙ අර පිට්ටනියෙ වැඩකරපු මිනිස්සුන්ගෙ කලිසං ගලවගත්තු එකට” මයික් විජේ කිව්වා.

“හද්දෙයියනේ! දැන්නෙ තේරුණේ! කව් ද අප්ප ඔය වාගෙ තුට්ටු දෙකේ වැඩ මතක තියාගන්නෙ.”

“මට නං තවමත් තේරෙන් නෑ පිට්ටනියෙ වැඩවලට උදවු කරපු කොල්ලන්ගෙ කලිසම් ගලව ගත්තෙ මොන ඇන්නෑවට ද කියලා.”

මං කීවා.

“මං කියන්ඩ ද? නිමලෙ සුවෙච්චාවෙන් ඉදිරිපත් වුණා”

“හා කියමු එහෙනං බලන්ඩ”

“මැච් එක බලපු ක්‍රිකට් පිට්ටනියෙ නිලදාරියට මල පැනලා හිටියෙ”

“ඉතින්?”

“බෝල ගහපු අයත් එකයි. තෙමෙනවට රෙද්ද එලපු අයත් එකයි කියලා කල්පනා කොළා.”

“ඊට පස්සෙ?”

“ඊට පස්සෙ සල්ලි දෙන්ඩ කලිං කලිසං ගලවා ගත්තා”

නිමලෙගෙ උත්තරේ සමහරු පිළිගත්තෙ නෑ.

“ඔතන සිද්ද උනේ වෙනින් දෙයක්”

අබිලිං කීවා.

“හා එහෙනම් කියමු බලන්ඩ”

“ක්‍රිකට් මණ්ඩලේ ලොක්කො හොඳ ටීම් එකක් තෝරපු නැති හින්දයි මෙහෙම උනේ කියලා ක්‍රිකට් පිට්ටනියෙ නිලදාරියා දත්මිටි කකා හිටියෙ”

“ඊට පස්සෙ?”

“මණ්ඩලේ නම කැත කරන්ඩ හොඳ ‍වැඩක් කරන්නං කියලා කලිසං ටික ගලවා ගත්තා.”

ඔන්න ආයිබොවන්ඩ අබිලිංගෙ මතේ.

යකඩ මරං මෙහෙම කියපි.

“ඕන් නැති තැන්ඔල පිට්ටනියක් හදලා කෝටි ගණන් නාස්ති කරන එකට විරුද්දව උගන්නපු පාඩමක්”

“ඒ මොකද්ද?” මං ඇහුවා.

“කලිසං ගලෝන පුරස්නෙන් මීට පස්සෙ පිට්ටනියෙ සුලු වැඩකටත් මිනිස්සු එන්නැතුව යන හින්ද පිටිය ඉබේට ම පාළුවට යනවා”

“ඊට පස්සෙ ඒ පිට්ටනිය හදපු උත්තමයගෙ නම සවුත්තු වෙනවා”‍

“ඊට පස්සෙ?”

“ඊට පස්සේ තව කාගෙ හරි ඕනෑ කොමට වෙන දිස්තිරික්කෙක පිට්ටනියක් හදනවා”

යකඩ මරනුත් බලං ගියාම එක්තරා දුරකට පණ්ඩිතයෙක්.

“ඔය මොකක්වත් නොවෙයි සිද්ද වුණේ” අබිලිංගෙ මායියත් ඉදිරිපත් උනා‍.

“එහෙනං මොකද්ද?” නිමලෙ ඇහුවා‍.

“අලුතෙං කිරිකැට් කණ්ඩායමක් හදන්ඩ එතන වැඩ කරපු අයගෙ සරී‍ර සුවතාව පරීක්සා කරල බලන්ඩ කියලා කිරිකැට් මණ්ඩලේ කොළඹ ලොක්කා ටැලිපෝං කරල කියල තියනවා.”

දැං බලං ගියාම අබිලිංගෙ මායියා තමයි හරියට ම පුරස්නෙ තේරුං අරං තියෙන්නේ. බොරු ද මං අහන්නේ?

Comments