වතුකර ළඳුන්ගේ අතමිට සරු කරන සංස්ථා මදුරුකූරු | සිළුමිණ

වතුකර ළඳුන්ගේ අතමිට සරු කරන සංස්ථා මදුරුකූරු

තේ කර්මාන්තය මූලික ආදායම් මාර්ගය වූ වැවිලි සංස්ථාව සතුව තිබූ වතු 241 න් වර්තමානය වන විට සංස්ථාව සතුව පවතින්නේ වතු දහතුනක් පමණි. එයින් දොළහක් තේ වතුය. ඉතිරිය රබර් වත්තකි. එකල තේ වතු සියල්ලෙහි කම්හල් ක්‍රියාත්මකව තිබුණ ද මේ වන විට ක්‍රියාත්මක වන්නේ කම්හල් තුනක් පමණි. එනම් ගල්පිහිල්ල කොටගඟ සහ කැලෑබොක්ක තේ වතු කම්හල්ය.

දශකයකටත් අධික කාලයක් පුරා පාඩු ලබමින් තිබූ මේ තේවතුවල තේ ගස්වලට පොහොර යොදා සරුකොට, අබලන්ව තිබූ කම්හල් යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි යළි පිළිසකර කර උසස් මට්ටමේ රසවත් පිරිසුදු තේ කොළ නිෂ්පාදනය කරන්නටත්, ඉතිහාසයේ කවර කලෙකවත් නොවූ විරු තරම් ඉහළ මිලකට එම තේ අලෙවි කරන්නටත් නව සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සමත්ව සිටිති. ප්‍රධාන නිෂ්පාදනය වූ තේවලට අමතරව වෙනත් විකල්ප ආදායම් මාර්ග වතුවලට හඳුන්වා දෙමින් සංස්ථාවට අමතර ආදායම් උපදවා දෙන්නට ද කටයුතු යොදා ඇත.

වර්තමාන ශ්‍රී ලංකාවේ ඇතිවන කාලගුණික හා දේශගුණික විපර්යාසයනට අනුව පෙර මෙන් එකලෙස අඛණ්ඩ වර්ෂාපතනයක් හෝ උණුසුම් කාලගුණයක් අපේක්ෂා කළ නොහැකිය. පසුගිය වසර කිහිපය මුළුල්ලේ ම ඇති වුණු අධික වර්ෂාව සහ නියං සමයෙන් තේ වගාවට හා අස්වැන්නට ද ඇතිවූ අහිතකර බලපෑම ඉමහත්ය. එය අස්වනු හානිය හා අවම වීමට පමණක් නොව මෙම වතුවල සේවයෙහි නියුතු 4000 ක් පමණ වූ සේවකයන්ගේ ජීවනෝපායට ද බලවත් පහරක් එල්ල කළේය. වතුවල ආදායම් අඩු වීමත් සමඟ ඔවුනට වැටුප් ගෙවීම පවා අභියෝගයට ලක්වූ අතර වතු නඩත්තුව හා වැටුප් ගෙවීම කරනු ලබන්නේ සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් ලබා ගත් ණය මුදල්වලිනි.

වතු සංවර්ධනය කර, තේ නිපැයුම වර්ධනය කරන අතර ම ඒවායෙහි වෙසෙන කම්කරුවන්ගේ ජීව‍නෝපාය මංපෙත් වැඩි දියුණු කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ස්වයං රැකියා ව්‍යාපෘති හඳුන්වා දීමට ද සභාපතිවරයා කටයුතු යෙදුවේය. තේ අස්වනු හිඟවන හෝ නියං කාලයට සිය දෛනික ජීවනෝපාය වන දළු කැඩීම අහිමි වන කම්කරුවන්ට ඒ කාලය තුළ යෙදිය හැකි ස්වයං රැකියා කිහිපයක් ම දැන් හඳුන්වා දී තිබේ. කම්කරු කාන්තාවන් සඳහා ඖෂධීය මදුරුකූරු හා හඳුන්කූරු නිෂ්පාදනය මෙන් ම පාවහන්, අත් බෑග්, පාසල් බෑග් තිරරෙදි ඇඳ ඇතිරිලි හා කොට්ටඋර මැසීමේ ස්වයං රැකියා ව්‍යාපෘති හඳුන්වා දී තිබේ. වතුවල වැඩ නැති කාලයට ගැහැනු පිරිමි දෙපිරිසට ම නියුතු විය හැකි මේ රැකියා සඳහා මේ වන විට වතු බොහො‍මයකම පිරිස් පුහුණුකර තිබේ.

මෙලෙස ඇරැඹුණු ස්වයං රැකියා ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන ගල්පිහිල්ල, කැලෑබොක්ක සහ කොටගඟ වතුයායන්හි සංචාරය කළ අපට එහි සාරථකත්වය සියැසින් ම දැක බලා ගැනීමට අවස්ථාව උදා විය. මෙම ස්වයං රැකියා ව්‍යාපෘති සියල්ල වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ පුහුණු උපදේශකවරියක වන අනුලා රත්නායක මහත්මිය ගේ උපදෙස් මත ක්‍රියාත්මක වේ. ඉහත සඳහන් නිෂ්පාදන සඳහා අවශ්‍ය පුහුණුව අනුලා මහත්මිය විසින් ලබා දෙන අතර ඊට අවශ්‍ය ඇතැම් උපකරණ හා අමුද්‍රව්‍ය සංස්ථාව මඟින් ලබාදේ. ආරම්භයේදී නිපැයුම් සඳහා අවැසි උපකරණ මැෂින් හා යන්ත්‍රසූත්‍ර සංස්ථාව සතු නොවූයෙන් ස්වේච්ඡාවෙන් ම තමා සතු යන්ත්‍ර සූත්‍ර, උපකණ හා අමුද්‍රව්‍ය නොමි‍ෙල් ම පරිත්‍යාග කරමින් මෙම පුහුණු පාඨමාලා ඇරැඹූ බව අනුලා මහත්මිය අප හා පැවැසුවාය. කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබලියක ලෙස සේවය කළ ඇය ඉන් ඉවත් වී තමා සතු හැකියාවෙන් අන්‍යයනට සේවයක් ලබා දීමට අදිටන් කළ බව පවසයි. ඇය රාජ්‍ය වැවිලි සංස්ථාවෙන් ලද ඇරයුම සතුටින් පිළිගත්තේ අතිශය දුෂ්කර දිවියක් ගතා කරන වතුකර ජනතාවට මෙහෙයක් ඉටු කිරීමට ඇති වූ කැමැත්ත නිසා බවද පැවැසුවාය.

දළු නෙලන්නට, වල්නෙලන්නට හෝ උදළු ගාන්නට ම හුරු වූ රළු පරළු දෑත්, විසිතුරු රටා මවමින් අපූරු අත්කම් නිමවීමේ සියුම් කලාවන්ට හුරු කරවීමට එතරම් දැඩි වෙහෙසක් දරන්නට සිදු නොවූ බව අනුලා පවසන්නේ සතුටිනි. ඇරැඹුමේදී රැකියා පුහුණුව ස්ත්‍රී පුරුෂ සැමට ලබා දුන්නද අවසානයේ එය ජීවිකාවක් ලෙස තෝරාගෙන ඇත්තේ කාන්තාවන් කිහිප දෙනෙකු පමණි. එහෙත් එමඟින් දළු නෙලීමෙන් හෝ වල් නෙලීමෙන් ලබන ආදායමට වඩා බෙහෙවින් ඉහළ ආදායමක් ලබන්නට අද ඔවුහු සමත්ව සිටිති.

ඩෙංගු උවදුර මුළු මහත් ජාතියම බිලිගන්නා ව්‍යසනයක් බවට පත්ව ඇති මෙකල එය පිටු දැකීමට ඇති හොඳ ම ක්‍රමෝපායක් ලෙස මදුරු විකර්ෂක “ඖෂධීය මදුරු කූරු” හඳුන්වා දිය හැකිය. සාමාන්‍ය හඳුන්කූරු නිපදවන ආකාරයෙන් ම එම අමුද්‍රව්‍යවලට මදුරුවන් පළවා හරින ස්වභාවික ඖෂධීය තෙල්වර්ග මිශ්‍ර කොට මදුරු කූරු නිපදවනු ලැබේ. මේ වනවිට කොටගඟ වතු යායේ කාන්තාවන් මදුරු කූරු නිෂ්පාදනය පිළිබඳ පුහුණුව නිම කර ඇති අතර කාන්තාවන් පස් දෙනෙක් මදුරු කූරු නිෂ්පාදනය සිය මූලික ජීවනෝපාය ලෙස ‍තෝරාගෙන ඇතැයි කොටගඟ වතු යායේ පවුල් සුභසාධන නිලධාරිනී පී‍.කේ.එස්. පින්නලන්ද මහත්මිය පවසයි. අනුලා රත්නායක මහත්මිය යටතේ සාර්ථක ලෙස පුහුණුව ලබා එලෙස දිවි සැරිය සරු කරගන්නට සමත්ව සිටින්නේ කේ. ජයන්ති, එස්. ඉන්ද්‍රානි, එම් කල්‍යානි, ආර්. පරම්ශේවී සහ එස්. තිරුචෙල්වි ය.

රාජ්‍ය වැවිලි සංස්ථාවේ ඍජු නිෂ්පාදනයක්‍ලෙස එළිදකින සංස්ථා ඖෂධීය මදුරු කූරු මෙරට එවැනි වර්ගයෙහි ස්වභාවිකව නිපදවන ලද ප්‍රථම මදුරු කූරු නිෂ්පාදනය ද වේ. මෙම නිෂ්පාදනයේ වට්ටෝරුව අනුලා රත්නායක මහත්මිය විසින් කරන ලද පර්යේෂණ රැසකින් පසුව සාර්ථකත්වයට පත්වූවකි. ඒ සඳහා පේටන්ට් අයිතිය අපේක්ෂාවෙන් සිටින අනුලා ඈ සතු දැනුම ගුරු මුෂ්ටි නොතබා නිර්ලෝභීව සංස්ථා සේවිකාවනට ලබා දීමට තරම් කාරුණික වීම ප්‍රශංසා කටයුතුය.

පට්ටා කුඩු අඟුරු කුඩු, ජලය පැඟිරිතෙල් ඇතුළු තවත් ඖෂධීය තෙල් වර්ග කිහිපයක් මුසුකොට තනනු ලබන මේ මදුරුකූරු 100%ක්ම සෞඛ්‍යාරක්ෂිතය. ස්වභාවිකය. ඉතා මිහිරි ගන්ධයකින් යුක්තය. එහි ගන්ධය හේතුවෙන් යළි දැල්වීමක් අවශ්‍ය නොවේ. මදුරුවන් ඇති ස්ථානයක දල්වා තැබූ විට අඛණ්ඩව පැය හතරක් පහක් නොනිමී පවතී. මදුරු කූරු නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය සහ උපකරණ සංස්ථාව මඟින් නොමිලේ ලබා දෙන අතර කොටගඟ කම්හලෙහි පැරැණි ගොඩනැඟිල්ලක පසෙක ඒවා නිපදවනු ලැබේ. කූරුවල තෙල්ගල්වා අලෙවිය සඳහා අසුරනු ලබන්නේ ගල්පිහිල්ල වතු යායේ රාක්ෂාව කොටසේදීය.

කාන්තාව විසින් නිපදවනු ලබන එක් මදුරු කූරකට ශත 75 බැගින් සංස්ථාව විසින් ගෙවනු ල‍ැබේ. සාමාන්‍යයෙන් එක් කාන්තාවක් දිනකට මදුරු කූරු 2000 ක් පමණ තනා නිම කරයි. ඒ අනුව මසකට රුපියල් 35,000 ක් පමණ උපයන්නියෝ ද ඔවුන් අතර වෙති. පෙරවරු හතට කම්හලට පැමිණෙන ඔවුහු පස්වරු 5.00 දක්වා මදුරු කූරු තනති. ඒ අතර ඔවුනට කම්හලෙන් තේ කුඩුද අනෙකුත් පහසුකම් ද නොමිලේ සපයනු ලැබේ. උදෑසන දරුවන්ගේ සහ ගේ දොර වැඩපළද නිමවා කම්හලට පැමිණෙන ඔවුහු සතුටින්, සහයෝගයෙන් වැඩ කර බිම් කරුවල වැටෙන්නට පෙර නිවෙස් බලා යති.

පෙර මෙන් නොව දැන් වතුකර කාන්තාවනට මෙන් ම ජනතාවට රජයෙන් ලබා දෙන පහසුකම් බොහෝය. ඉහළ දෛනික වැටුපට අමතරව ජල විදුලිය සහිත නිවාස නොමිලේ ලැබෙයි. මේ වන විට පර්චස් හතක ඉඩමක් සහ නිවසක් සින්නක්කර වශයෙන් ලබා දීමට රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා අය කරනු ලබන මුදල කම්කරුවනට දරා ගන්නට අපහසු වූවක් නොවේ. රැකියාවල යෙදෙන කතුන්ගේ දරුවන් රැකබලා ගැනීමට දිවා සුරැකුම් මධ්‍යස්ථාන තිබේ. ගැබිනි මවුවරුන් හා ළදරුවන් සඳහා නොමිලේ ත්‍රිපෝෂ ලබාදීම මෙන් ම සායන පැවැත්වෙන දිනයන්හි නොමිලේ සමබල ආහාරපාන, ඖෂධ විටමින හා එන්නත් ලබා දීම වැනි පහසුකම් රැසක් ලබා දෙන බව සුභසාධන නිලධාරිනී පින්නලන්ද මහත්මිය පවසයි. රංගල කොටගඟ වතු යායේ පවුල් 433 ක් වෙසෙන අතර මුළු ජනගහනය 1738 කි. ඒ අතරින් අවුරුදු පහට අඩු ළමුන් 203 දෙනෙකි. ඔවුන් රැක බලා ගැනීම සඳහා ළමා සුරැකුම් මධ්‍යස්ථාන තුනකි. ඒ සියලු දෙනාට ම සමානව සේවා සැපැයේ. දැනට මානව සම්පත් භාරය සහ ඉන්දියානු ආධාර යටතේ කොටගඟ වතුකර ජනතාව අතරින් 52 දෙනෙකු සඳහා පර්චස් හතක ඉඩමක ඉදිකරන ලද සුව පහසු නිවාස ලබා දී ඇතැයි රාජ්‍ය වැවිලි සංස්ථාවේ ව්‍යාපෘති කළමනාකරු දර්ශන විජේසිංහ මහතා පවසයි. රාජ්‍ය වැවිලි සංස්ථාවේ ප්‍රාදේශීය වැවිලි කලමණාකාර මංජුල වීරසිංහ මහතා පවසන්නේ මෙම ස්වයං රැකියා ව්‍යාපෘති හඳුන්වා දීම තුළින් වතුකර කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන් ම වැඩි පඩි සොයා කාන්තාවන් එතෙර යෑමෙන් ඇතිවන සමාජීය ගැටලු අවමර කර ගැනීමට ද අපේක්ෂා කරන බවය. කම්කරු පවුල්වල මව හෝ බිරිය රට යෑමෙන් ඒ පවුලේ දරුවන්ට රැකවරණය හා සෙනෙහස අහිමි වීම, පියා හෝ සැමියා මතට යොමු වීම, බාල අපචාර, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම වැනි ගැටලු රැසක් උද්ගත වේ. මෙවැනි ස්වයං රැකියා හඳුන්වා දීමෙන් කාන්තාවන් නිවසේ රැ‍ඳෙන අතරම ඇගේ ආර්ථිකය ද සවිමත් වේ. වත්මන් සභාපතිවරයාගේ සංකල්පය අනුව ඇරැඹුණු මෙම ස්වයං රැකියා ව්‍යාපෘති සංස්ථාවට අයත් දිවයින පුරා පිහිටි සියලුම වතුවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි ද වීරසිංහ මහතා පවසයි.

ඔසු ගුණයෙන් හා සුවඳින් අනූන සංස්ථා ඖෂධීය මදුරුකූරු ලබන දෙසැම්බර් මාසයේ පස් වැනිදා පටන් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට සූදානම්ය. මහා පරිමාණයේ අලෙවිකරුවකු ඖෂධීය මදුරු කූරු මසකට අවම වශයෙන් 25,000 බැගින් සංස්ථාවට අලෙවි කර දීම සඳහා ඉදිරිපත්වී සිටියි. මදුරු කූරු 10 ක් අඩංගු පැකැට්ටුවක් රුපියල් 98.50 බැගින් අලෙවි කිරීමට නියමිතව තිබේ. මදුරු කූරකින් සංස්ථාවට ලැබෙන ශුද්ධ ලාභය රු. 10 ක් ලෙස ගණන් බලා තිබේ.

කලක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සම්ප්‍රදායික භෝග අපනයනය තුළින් දේශීය ආර්ථිකයට විශාල විදේශ විනිමයක් උපයා දුන් රාජ්‍ය වැවිලි සංස්ථාව පසු කලෙක සීඝ්‍රයෙන් පාඩු ලබන ආයතනයක් බවට පත්වී තිබිණ. වරින්වර බලයට පත්වුණු විවිධ රජයන් යටතේ එහි මුල් පුටුවලට පත්වූ බලධාරීන් හා උදාසීන නිලධාරීන් ගේ අනිසි ක්‍රියාකලාපයන් හේතු කොට ගෙන රාජ්‍ය වැවිලි සංස්ථාව වැසීයාමට ආසන්නව පැවැති කළ වත්මන් රජය යටතේ පත් කළ නව සභාපතිවරයා රාජ්‍ය වැවිලි සංස්ථාව යළිත් සීඝ්‍රයෙන් ලාභ උපයන ආයතනයක් බවට පත්කරන්නට සමත්ව සිටියි. ප්‍රවීණ ආර්ථික විද්‍යා උපදේශකයකු වූ තිලක් මහානාම මහතා 2015 අගෝස්තු මාසයේ රාජ්‍ය වැවිලි සංස්ථාවෙහි සභාපති ධුරයට පත් වන විට රුපියල් කෝටි 25 ක් පාඩු ලබා සිටි සංස්ථාව 2017 මැයි මාසය වන විට රුපියල් මිලියන 14 ක වාර්තාගත ලාභයක් ඉපැයීමට සමත්ව ඇත්තේ දැඩි උත්සාහය, කැපවීම හා දූරදර්ශී මාර්ගෝපදේශකත්වය තුළිනි. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ද විෂය භාර ඇමැති කබීර් හෂීම් මහතාගේ සම්පූර්ණ සහයෝගය හා මඟපෙන්වීම ද ඊට හේතු වූ බව ඔහු පවසන්නේ කෘතවේදීවය.

නව සභාපතිවරයා ගේ සංකල්පයක් අනුව හඳුන්වා දෙනු ලැබූ ඉස්තරම් නැවුම් සංස්ථා තේ පැකට්ටුව දැන් හොඳ ම තේ සඳහා ඉල්ලුමක් සහිත පාරිභෝගිකයන් අතර බොහෝ ජනප්‍රිය ය. ඒ අයුරින් ම වගකීමෙන් හා සෞඛ්‍යාරක්ෂිතව නිපදවනු ලබන සංස්ථා මදුරු කූර ද සුවපත් දිවියක් පතා වෙහෙසෙන ජනතාවට නැතිවම බැරි ඉස්තරම් නිෂ්පාදනයක් ලෙස ජනාදරයට පත්වනු නොඅනුමානය.

ඡායාරූප - තිලක් පෙරේරා

Comments

mama suwayan rakiyawak karanna[ mama abadetha kanak] milaganan labanna salsanna 0713248479 wathtala hadala k.g.r.dias

mama suwayan rakiyawak karanna[ mama abadetha kanak] milaganan labanna salsanna 0713248479 wathtala hadala k.g.r.dias

mama suwayan rakiyawak karanna[ mama abadetha kanak] milaganan labanna salsanna 0713248479 wathtala hadala k.g.r.dias

පිටු