සමාජ අසාධාරණය ‘‘සාධාරණද’? | සිළුමිණ

සමාජ අසාධාරණය ‘‘සාධාරණද’?

ට්‍රාන්ස්පේ­රන්සි ආය­තනය ළඟදි එළි­ද­ක්වපු කැම්පේන් එක දකිද්දී මට කාරණා කිහි­ප­යක් මතක් වුණා. එකක් තමා කාලා­න්ත­ර­යක් තිස්සේ ක්‍රමි­කව අපේ සමා­ජය තුළ මුල් බැස­ගෙන තියෙන සමාජ අසා­ධා­ර­ණ­ත්වය සහ එහි ප්‍රති­ප­ල­යක් ලෙස සමාජ ආසා­ධා­ර­ණ­ත්වය එදි­නෙදා ජීවි­ත­යේදී සාමා­න්‍ය­ක­ර­ණ­යට ලක්වීම. 71 තරුණ කැරැල්ලේ ඉදන් 83 න පස්සේ දෙමළ තරු­ණ­යන්ගේ නැඟි­ටී­ම­ටත් නැවත වරක් අවා­ස­නා­වන්ත ලෙස 89 තරුණ කර­ල්ල­ටත් මුලි­කම හේතුව එදි­නෙදා දේශ­පා­ලන භාවි­ත­යෙන් එහාට ගිය ගමේ, පන්සලේ, පාසලේ, රාජ්‍ය ආය­ත­න­වල සහ අනෙ­කුත් තවත් බොහෝ තැන්වල තියෙන සමාජ අසා­ධා­ර­ණය. කොයි­ත­රම් දියුණු වුනත් අද­ටත් ඉගෙන ගත්ත ඉස්කෝලේ, දේශ­පා­ලන සම්බ­න්ධතා, හැදුණු වැඩුණු ගම්ප­ළාත, මවු­පි­යන්ගේ සමාජ සම්බ­න්ධතා මත තමයි බොහෝ තරුණ තරු­ණි­යන්ගේ අනා­ග­තය තීර­ණය වෙන්නේ.

අපි වටේ තියෙන සමා­ජය මොකක්ද කියල තේරුම් ගන්නෙ නැතුව සමාජ (අ)සාධා­ර­ණ­ත්වය තේරුම් ගන්න බෑ. මේක දුප­තක්.

හැම ජාති­යක්ම ආග­මක්ම අවු­රුදු දහස් ගානක් තිස්සේ, පොඩි පොඩි ප්‍රශ්න තිබ්බත්, සතු­ටින් සමා­දා­නෙන් ඉන්න තැනක්. ඇම­රි­කාවේ හෝ දකුණු අප්‍රි­කාවේ වගේ හමේ පාට හින්ද මිනිස්සු කොන් කරන්නේ නෑ. යුරෝ­පයේ වගේ විදේ­ශි­ක­යෙක් නිසා අඩු සැල­කිලි කර­න්නෙත් නෑ. ගමෙන් ආවා කියල, දෙමළ හෝ මුස්ලිම් කියල, කාට­වත් නිද­හස් අධ්‍යා­ප­නේට හෝ රස්සාවේ ඉහ­ළට යන්න බාධා­වක් නෑ.

හැබැයි අමුතු ජාතියේ බෙදීම් ගොඩයි. ලොකුම දේ කුලය. කසා­දෙට, දේශ­පා­ල­නේට, පන්ස­ලට කුලය තමා හර­හට හිටින්නෙ. ඊට පස්සෙ ගම, පාසල, රැකි­යාව, පක්ෂෙ වගේ ‘හදා­ගත්ත දේවල්’ මතත් බෙදී­මක් තියෙ­නවා. තව කෙනෙ­කුට කියන්න පුළු­වන් ඒක බෙදී­මක් නෙමෙයි ‘අන­න්‍ය­තාව සහ අභි­මා­නය’ කියල.

සාධා­ර­ණ­ත­වය සහ අසා­ධා­ර­ණය කියන්නෙ මොකක්ද? ඒකත් සාපේ­ක්ෂයි නේද?.

කාන්තා­වන්ට ආසා­ධා­ර­ණ­යක් කියල හිතෙන එක මගේ පිරිමි මිතු­රන්ට සාමාන්‍ය දෙයක් වෙන්න පුළු­වන්. හඳුනන කෙනෙක් නැතුව ආණ්ඩුවේ තැන­කින් වැඩක් කර­ගන්න බෑ කියන කාර­ණය හැම­දාම මාව තරහ ගන්න­නවා. නමුත් බොහෝ දෙනෙ­කුට දැන් ඒක සාමාන්‍ය දෙයක්. ආණ්ඩුවේ කන්තෝ­රු­වට යන්නෙම කීයක් හරි අත­මිට මොළ­වලා රාජ­කා­රිය කර­ගන්න. ළමයි බලා­ගෙන හස්බන්ඩ් කියන දෙයක් අහ­ගෙන ගෙදර ඉන්න එකට සතුටු මිතු­රියෝ ගොඩක් මට ඉන්නවා. හැබැයි කාන්තා­වන් සවි­බල ගැන්වීම ගැන වැඩ­ක­රන සිවිල් ක්‍රියා­ක­රි­නි­ය­කට ඒ සම්බ­න්ධ­යෙන් වෙනස් අද­හ­සක් තියෙන්න පුළු­වන්.

ඊළඟ දේ තමා අසා­ධා­ර­ණය වෙන්නෙ කා අතින්ද කියන එක. පඩි පෙළක් වගේ හැම වෙලා­වේම යට ඉන්න කෙනා අසා­ධා­ර­ණ­යට ලක් වෙන­වද? අපිට අසා­ධා­ර­ණ­යක් කරන අය පිරි­ම­හ­ගන්නේ එයා­ලට ඊට වඩා උඩින් උන අසා­ධා­ර­ණ­යක ඇරි­යස් එකද? එත­කොට අපි හැමෝම මේ අසා­ධා­ර­ණ­කම් සිදු­වන ජාලයේ කොහෙ­දි­හරි වින්දි­ත­යන් (victim) බවට පත්වෙලා තියෙන නිසා ‘සමාජ අසා­ධා­ර­ණ­ත්ව­යන්’ නොම­ල­යිස් වෙලාද? සාධා­රණ සමා­ජ­යක් ගොඩ­නැ­ගී­මට තිබෙන ලොකුම බාධ­කය විය හැක්කේ එයයි.

දැන් මම ගන්නම් දේශ­පා­ල­නික උදා­හ­ර­ණ­යක්. කොළඹ මහ­න­ගර සභාව සදහා මගේ කැම්පේන් එක. ඒකෙ තේමාව වුණේ ‘ඔබ දින­වන කොළඹ ගමන’. මේ අද­හස මට ආවේම කොළඹ හෙවත් ලංකාවේ ආර්ථික, සමාජ සහ සංස්කෘ­තික අග­න­ග­රයේ තිබෙන ‘සමාජ අසා­ධා­ර­ණ­ත්ව­යයි’. කොළඹ කියන්නේ මේ රටේ ප්‍රති­බි­ම්බය. ඇයි මිනිස්සු කොළ­ඹට එන්නේ? ආවම මොකද වෙන්නේ? සමාජ (අ)සාධා­ර­ණ­ත්වය ඔවුන්ගේ සිහින සැබෑ කර­ගන්න බල­පෑම් කරන්නේ කොහ­මද? ‘අසා­ධා­ර­ණය’ එදි­නෙදා සෑම කට­යු­ත්ත­ක­දීම හමු­වන නිසාත් ඊට පිළි­තුරු සොය­න්නනේ අසා­ධා­රණ ක්‍රම සහ විධි වලින් නිසාත් සමාජ අසා­ධා­ර­ණ­ත්වය ඔවුන්ගේ ජිවිත වල ‘නෝම­ල­යිස්’ වෙන්නේ කොහො­මද? මිනිස්සු තමුන්ගේ පෞද්ග­ලික ජය­ග්‍ර­හ­ණ­යන් වෙනු­වෙන් කැප­ක­රන්නේ සමාජ සාධා­ර­ණ­ත්වයේ පද­නම නෙමෙ­යිද? ඒක පුරු­ද්ද­දක් හරි සිරි­තක් හරි බවට පත්වෙ­න­වද? වැඩි­හි­ටි­ය­න්ගෙන් දරුවෝ ඉගෙන ගන්නේ එක නේද?

පෞද්ග­ලි­කව තමුන්ට පාල­න­යක් නැති තමුන්ගේ මවු­පි­යන්ගේ සමාජ තත්වය හෝ තමුන්ගේ පාසල මත මහා සමා­ජ­යේදී කොන් කිරී­ම­කට හරි වෙනස් කර සැල­කී­ම­කට හරි ලක්වු­ණාම ලොකු කම්ප­න­යක් ඇති වෙනවා. ඊට­පස්සේ ඒක සමාජ පළි­ගැ­නී­මක් දක්වා වර්ධ­නය වෙනවා. තවත් පිරි­සක් ඒ කම්ප­න­යෙන් මිදෙන්න ‘මේක තමා හරි විදිහ’ කියල හිත­නවා. හිතලා අත යටින් කීයක් හරි දීලා තමුන්ගේ වැඩේ කර­ග­න්නවා. ප්‍රශ්නය එතැ­න­මයි.

සමාජ අසා­ධා­ර­ණය ‘සාධා­රණ’ එකක් නේද කියල කොළඹ රස්ස­වා­ලට එන, ආණ්ඩුවේ කන්තෝරු වලින් වැඩක් කර­ගන්න එන, ව්‍යාපාර පට­න්ගන්න එන හැමෝම දිග­ටම හිතු­වොත් මොනව වෙයිද?

Comments